පළඟැටියා සහ ගිනි දැල්ල
කොළඹ බෞද්ධාලෝක මාවත
නාරද බෞද්ධ ධර්මායතනාධිපති
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි
සාමාන්‍යයෙන් පළඟැටියා කියන්නේ ආලෝකයට කැමැති කුඩා සතෙක්. පහන් එළියක් දුටු
සැණෙකින් පියඹා අවුත් ඒ පහන් දැල්ලෙහි ගැටීම තමයි පළඟැටියාගේ ස්වභාවය. පළඟැටියා
පහන් දැල්ලට ආශා කරනවා. එහෙත් පහන් දැල්ලේ ගැටීම නිසා ඇතිවෙන පිච්චී යෑමට කැමැති
නෑ. පිච්චීමෙන් වන දුකට කැමැති නෑ. ඓහෙත් පළඟැටියාට මේ ස්වභාව දෙකම එකවර ලබා ගන්නට
අවස්ථාවක් නැහැ.
කැමැති දේ ලැබුණා ම එය සතුටක්. එහෙත් ඒ සතුට ලබා ගන්නට ගිනි දැල්ලට පැනීමෙන් සිදු
වන්නේ පිච්චී යාමයි. එවිට ඇති වන්නේ දුකක්. ගිනි දැල්ලට ආශා කරන පළඟැටියා
බලාපොරොත්තු වන පරිදි මේ ගිනි දැල්ල ලැබීමේ සතුටත්, එයට පිච්චී නොසිටීමේ සතුටත්
දෙකම එකවර ලබා ගැනීමට කිසිදා හැකියාවක් ලැබෙන්නේ නෑ.
ගිනි දැල්ල ලබා ගැනීමට නම් පිච්චී නොසිටීමෙන් ලබෙන සතුට අතහරින්නට වෙනවා. පිච්චී
නොසිටීමට නම් ගිනි දැල්ල ලැබීමෙන් වන සතුට අත්හැරීමට සිදුවෙනවා. මෙහි දී පළඟැටියාට
එක් පැත්තක් තෝරා ගැනීමට සිදු වෙනවා. එක්කෝ ගිනි දැල්ලට ආශා නොකොට එය අත් හැර ,
පිච්චීමෙන් වන දුකට අකැමැති ව ,පිච්චෙන්නේ නැතිව සිටිය හැකියි.
නො එසේ නම් ගිනි දැල්ලට ආශා කොට ,පිච්චීමෙන් වන දුකට කැමැති ව එය ලබා ගෙන දැවී දුකට
පත්විය හැකියි. මේ ක්‍රම දෙක හැර වෙන ක්‍රමයක් පළඟැටියාට ඇත්තේ නෑ.
සාමාන්‍යයෙන් පළඟැටියාගේ ස්වභාවය ගිනි දැල්ලක් දුටු සැණින් එයට පැනීමයි. එසේ කරන්නේ
ගිනි දැල්ලට පැනීමෙන් දැවෙනවා ය කියා නොදන්නා නිසයි. එය පළඟැටියාගේ මෝඩකමයි. කිසිදා
නොලැබෙන දෙයක් ලබා ගැනීමටයි මේ මෝඩකම කරන්නේ.
ගිනි දැල්ලෙන් පීඩාවට පත් නොවී සිටීමටත් , ගිනි දැල්ල ලබා ගැනීමත් යන දෙකම එකවර
සිදු කළ හැකි දෙයක් නොවෙයි. එය වටහා ගත නොහැකි පළඟැටියා ගිනි දැල්ලට ආශාවෙන් එය ලබා
ගැනීම පිණිස එයට පැන තමන් අකැමැති දෙයක් හෙවත් පිච්චීමෙන් ලැබෙන දුක ලබා ගන්නවා.
මේ පළඟැටියාට වන දෙය ම දුක්ඛ සත්‍ය නිසි ලෙස වටහා නොගත් පුහුදුන් පුද්ගලයාටත්
සිදුවෙනවා.
සාමාන්‍ය මිනිසා ගේ දොර, වතු පිටි, ඉඩකඩම්වලට කැමැතියි. දු දරුවන්ට කැමැතියි. රන්
රිදී මුතු මැණික්වලට කැමැතියි. යාන වාහනවලට කැමැතියි. ඒ අජීව වස්තූන් තමන් කෙරෙන්
නැතිව යනවාට කැමැති නෑ. දූ දරුවන් දෙමව්පියන් ආදීන්ට කැමැතියි. එහෙත් ඒ අය ලෙඩ
වෙනවාට , වයසට යනවාට, මිය යනවාට කැමැති නෑ. එසේ වුව ද ඉපදෙන සෑම කෙනෙක් ම කෙදිනක හෝ
වයසට පත්වීම, ලෙඩ වීම, මිය යාම කාටවත් වළක්වන්නට බැහැ.
ඒ අනුව බලන විට අප මේ කැමැති වන දෙය කවදා හරි වෙනස් ව යනවා. ඒවා වෙනස් වන විට
ඇතිවන්නේ දුකක්මයි. යම් කෙනෙක් කාමයට කැමැති වන්නේ ද, ඒ තැනැත්තා කැමැති වන්නේ දුකට
ම යි. යම් කෙනෙක් දුකට කැමැති ද, ඒ තැනැත්තා කාමයට කැමැතියි.
යෝ කාමං කාමේති, සෝ දුක්ඛං කාමේති. යෝ දුක්ඛං කාමේති, සෝ කාමං කාමේති.
වශයෙන් ධර්මයේ දක්වා ඇත්තේ ඒ ස්වභාවයයි. යමෙක් රූප , වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ
යන පඤ්චස්කන්ධයට කැමැති ද, ඒ තැනැත්තා කැමැති වන්නේ දුකට ම යි. යමෙක් දුකට කැමැති
වන්නේ නම් ඒ තැනැත්තා පඤ්චස්කන්ධයට කැමැතියි.
මෙහිදී අපට ඇතිවන ප්‍රශ්නය නම් ඇයි සත්වයා දුකට කැමැති වන්නේ. සැබැවින් ම බලනවිට
සත්වයා දුකට කැමැති නෑ. පුහුදුන් සත්වයා සැපට කැමැතියි. දුක පිළිකුල් කරනවා.
(සුඛකාමා දුක්ඛ පටික්කුලා)
එහෙත් උතුමන් දුක යැයැ සිතන දේ පුහුදුන් සත්වයාට වැටහෙන්නේ සැපයක් ලෙසිනුයි. ඒ සැබෑ
දුක සැපයක් ලෙසින් සිතන නිසයි පුහුදුන් සත්වයා එයට කැමැති වන්නේ. ඒ අනුව තමන්ගේ
කැමැත්ත ඇතිවුණ දේ ගැන නිසි ලෙසින් නොදකින නිසයි , අනිත්‍ය වශයෙන් නොබලන නිසයි මේ
කැමැත්ත ඇති වන්නේ.
වෙනත් ලෙසකින් පවසන්නේ නම් තමන්ගේ තිබෙන අනුවණකම නිසයි. අවිද්‍යාව නිසයි මේ
පඤ්චස්කන්ධ දුක වැටහෙන්නේ නැත්තේ.
යමෙක් මම කියා, මගේ කියා මට අවශ්‍ය ලෙසින් පාලනය කළ හැකි ය කියා අල්වා ගෙන සිටින මේ
පඤ්චස්කන්ධය ම ජාති, ජරා, ව්‍යාධි, මරණාදී දුක් ඇති කරවන එකක් බව වටහා ගතහොත්
තමන්ගේ යැයි සිතන මව, පියා, දුව, පුතා, ආදීන් ද ඒ ජරා මරණාදී දුකට පත් වෙන බව වටහා
ගත හොත් , ගේ දොර, වතු පිටි ආදී දේ ද විනාශ වී යන දේ බව වටහා ගතහොත් ඒවා කෙරෙහි
තණ්හාව ඇති වන්නේ නැහැ.
ඒ අනුව අප අවබෝධ කර ගත යුත්තක් වන්නේ තණ්හාව ඇති වන්නේ දුක නිසි ලෙසින් අවබෝධ කර
ගන්නේ නැති නිසා බවයි. |