Print this Article


සසර සරන තුරු අසරණ නොවීමට නම්

සසර සරන තුරු අසරණ නොවීමට නම්

ශරීර රකින යහළුවන්ට අමතර ව සිත රකින, තමන් නියමිත දිශාවට මෙහෙයවන, ආධ්‍යාත්මය දියුණු කර ගැනීමට උදව් කරන මිතුරන් සමීප කර ගත යුතු ය. ඇති තැන මෙන් ම නැති තැන ද මිත්‍රත්වය අත්නොහරින ස්වභාවයක් අවශ්‍ය ය.

අනාථ වීම යනු පිහිටක්, සරණක්, හව්හරණක්, උදව්වක්, සහයෝගයක් නොලැබ අසරණ වීමයි. අනාථ නොවී සනාථ වීම හෙවත් පිහිට ඇතිව වාසය කිරීම වැදගත් වේ. අනාථවීම නොයෙක් ආකාරයෙන් සිදුවිය හැකි ය.

මෙවැනි කාලසීමාවක දී රෝගීවීම මත කෙනෙක් අනාථ වේ. මව්පියන් අහිමි වීම හෝ අත්හැර යාම මත දරුවන් අනාථ වේ. දරුවන්ගේ නොසැලකිල්ල නිසා මව්පියන් අනාථ වේ. ඇතැම්විට තරුණ ගැහැණු දරුවන්, පුංචි දියණිවරු විවිධ හිරිහැරවලට පත්වේ. එය ද අනාථවීම යන වචනයෙන් හඳුන්වනු ලැබේ. මේ මත අනාථ නිවාස, වැඩිහිටි නිවාස, පුනරුත්ථාපන මධ්‍යස්ථාන, පරිවාස ආයතන ඇතිව තිබේ. මේ සියලු අනාථවීම සර්ව සම්පූර්ණ අනාථ භාවයක් නොවේ.

එක් පැත්තකින් පිහිටක් නොලබන බව මත සෑම පැත්තෙන් ම කෙනෙක් අනාථයකු නොවේ. එක් දොරක් වැසුණ ද තවත් එවන් දොර දහය දොළහක් විවෘත වනු ඇත.

දරුවකුට මව්පියන් අහිමිවීම මත රැකවරණය ආරක්ෂාව අහිමි වේ. එනමුත් උත්සාහය හා අන්‍ය උදව් මත ලෝකය දිනන්න ඒ දරුවාට හැකියාව ලැබේ. එවන් දරුවන් ලෝක ඉතිහාසයේ දුලබ නොවේ.

අනෙක් කාරණාවන් ද මෙසේ ගලපා ගත හැකි ය.

බුදු දහමට අනුව සියලු දේ සම්පූර්ණ වූවත් මිනිසුන් අනාථවන අවස්ථා ඇත. ඒ අනාථවීම මුලින් සදහන් කළ අනාථවීමට වඩා භයානක ය. අ.නි. සසක නිපාතය පළමු නාථකරණ සූත්‍රය තුළ දී දේශනා කරනුයේ අනාථ නොවී සනාථ වීමට අවශ්‍ය කාරණා 10ක් ඇති බව ය. යම් භික්ෂුවක් හෝ ගිහියකු මේ කාරණා තමන්ගේ ජීවිතයට එක්කර ගන්නේ නම් ඔවුන් දෙලොව ම සනාථ කරගනු ලබන බවයි. එසේ නොවන අය දුක සේ ජීවත් වේ. එම නාථකරණ ධර්ම මෙසේ ය.

සිල්වත්වීම, බහුශ්‍රැතවීම, කල්‍යාණ මිතුරන් ඇති බව, සුවචවීම, තමාට වඩා වැඩිහිටි අයගේ උපදෙස් ගැනීම, පෙළදහම නිවැරැදිව ඉගෙන දේශනා කිරීම, අකුසල් නොකිරීම, කුසල් වැඩීම , ලැබෙන සිව්පසයෙන් තෘප්තිමත්වීම, සිහියෙන් යුක්ත වීම, ප්‍රඥාවෙන් යුක්තවීම.

මෙම ධර්ම තමන්ගේ ජීවිත තුළ පුරුදු කරන්නේ නම්, ජිවිත සනාථ කර ගත හැකි වේ. මෙහි දී සීලය යනු නික්මීමයි. එසේ කුමන සීල කණ්ඩයක දී වූව ද ගැටලුවක් නොවේ. සීලය ආණ්ඩුවක්. ආණ්ඩුවේ කාර්යභාරය පාලනයයි. සියල්ලෝ ම සීලය තුළ, පිහිටන්නේ නම් ඒ හැමෝ ම තුළ ආණ්ඩු පවතී. එහි දී අමුතු නීති මාලාවක් අවශ්‍ය නොවේ. අසංවරය, ස්වයං විනයක් නැතිකම බොහෝ ප්‍රශ්න නිර්මාණය කිරීමට සමත් වේ. අවිගත් කණ්ඩායම්, විවිධ අපචාර, සමාජ විරෝධී දෑ නිර්මාණය වන්නේ එහි ප්‍රතිඵල මත ය.

බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව බහුශ්‍රැතවීමයි. සියල්ල දන්නා බව පමණක් බහුශ්‍රැතවිම නොවේ. අසන ලද, ධාරණ කරන ලද දෑ පිරීම හෙවත් ප්‍රායෝගික ව සිදුකිරීමට ඇති හැකියාව ඇසූ පිරූ යන්නෙන් ගම්‍ය වේ.

එක් ගාථාවක් හෝ නිවැරැදි ව අසා එය පිරීම ඉතා වැදගත් ය. ඒ අර්ථසම්පන්න බව සෑම ක්ෂේත්‍රයක ම දැකිය හැකි වනු ඇත. ශරීර රකින යහළුවන්ට අමතර ව සිත රකින, තමන් නියමිත දිශාවට මෙහෙයවන, ආධ්‍යාත්මය දියුණු කරගැනීමට උදව්කරන මිතුරන් සමීප කර ගත යුතු ය. ඇති තැන මෙන් ම නැති තැන ද මිත්‍රත්වය අත්නොහරින ස්වභාවයක් අවශ්‍ය ය.

එවන් සංවේදී අවස්ථාවක් අප පසුගිය දින අත්වින්දෙමු. එනම් හිටපු අමාත්‍යවරයකු මිය ගිය මොහොතේ දේහය දවන තැනට පැමිණි හිටපු ජනාධිපතිනියක ඒ දුම් කවුළුව දෙස බලා සිටින ආකාරයයි. ඇයගේ දේශපාලනය කවරක් වූව මිත්‍ර ආකල්ප ඉතා වැදගත් ය. එවන් අවස්ථා දුලබ ව හෝ අප සමාජයෙහි වර්තමානයෙහි ද දැකිය හැකි ය.

අන්‍ය මතයට ඇහුම්කන් දී කීකරු වීම, උද්ධච්ච නොවී අනතිමානී ගුණයෙන් යුක්තවීම, ජීවිතය සනාථකර ගැනීමට මහත් රුකලකි.

එමෙන් ම තමාට වඩා වැඩිහිටි සිල්වත්, ගුණවත් අයගේ අවවාද අනුශාසනා ගැනීම, ඒ මත හික්මීම තවත් යහපත් ගුණයකි. මන්දයත් තමන් සියල්ල නොදන්නේ ය.

යමෙක් නොදන්නා බව දන්නේ නම් එය මහත් පණ්ඩිතකමකි. එසේ නොවීම මත තමා අසාර්ථක කෙනකු වේ. එමෙන් ම ඒ මත සමාජය අයහපතට ඇදදමයි.

මෙහි දී විශේෂයෙන් ම භික්ෂුවක් නම් මුල් බුදු දහම නිවැරැදිව හඳුනාගෙන බුද්ධ වචන නිවැරැදිව දේශනා කිරීම කළ යුතු වේ.

ගිහියකු නම් තමන්ගේ විෂය ක්ෂේත්‍රය මනාව හඳුනාගෙන එයින් සිදු කළ හැකි සේවාව අවංකව සිදු කිරීමට වග බලාගත යුතු ය.

එසේ නොවන විට තමන් සහ තමන් නියෝජනය කරන ක්ෂේත්‍රය විනාශ වී යනු ඇත.

අකුසලයෙන් ඈත්ව කුසල් වැඩීමට විශේෂයෙන් මේ කාලයෙහි කටයුතු කිරීම ඉතාම වැදගත් වේ. මන්දයත් පින් කළත්, පව් කළත් මරණ ධර්මයට යටත් ය. කුසල් වැඩීම සසර ගමන කෙටි කර ගැනීමට මඟකි. අප සියල්ලෝ වහවහා උත්සාහ කළ යුත්තේ සසර ගමන කෙටි කර ගැනීමට ය. ඒ අරුතින් අකුසලයෙන් ඈත්ව කුසල් වැඩීම අවශ්‍ය වේ.මහච්ඡතාවයට පත්ව අසීමිත ව ධන ධාන්‍ය හෝ සිව්පසයට ගිජුවීම අනාථවීමට හේතුවකි. ඒ තුළ අනාථ වන්නේ තමන් පමණක් නොවේ. එවන් සිතුවිලිවලින් යුක්ත මිනිසුන් ජීවත්වන සියලු ක්ෂේත්‍ර අනාථ වේ. එහෙයින් ලද දෙයින් සතුටු වී අල්පේච්ඡතාවෙන් තම ජීවිතය ගත කිරීමට අදිටන් කර ගැනීම ජීවිත සනාථ කර ගැනීමට ඉවහල් වේ.

එළඹ සිටි සිහියෙන් ජිවිතය ගත කිරීම හෙවත් සම්මා සතිය ජිවිත සනාථ කර ගැනීමට අත්‍යවශ්‍ය අංගයකි. විශේෂයෙන් මෙවන් කාලයක සිදු කරන සෑම කටයුත්තක දී ම යෝනිසෝමනසිකාරය ඉතා වැදගත් වේ.

සිහිය යනු මේ මොහොතයි. අතීතයේ හෝ අනාගතයේ නොසිට මේ මොහොතේ කටයුතු කිරීම වැදගත් ය.

මෙහි අවසන් කාරණය ප්‍රඥාවයි. යහපත, අයහපත, සදාචාරය, දුරාචාරය, පින, පව, සරු, නිසරු දෑ දැනගෙන ක්‍රියා කිරීම මත ජීවිත කොහෙත් ම අනාථ නොවේ. මව පියා භාරකරු අහිමිවීම මත ඇතිවන අනාථ බව සසර හෝ නිවැරැදි කර ගැනීමට මෙම ගුණයන් වැඩීම වැදගත් ය.