Print this Article


බෙල්ලන්විල සඟ පරපුරේ මූලස්ථානය වූ අත්තිඩිය මාලිගාවත්තේ පුරාණ විහාරය

බෙල්ලන්විල සඟ පරපුරේ මූලස්ථානය වූ අත්තිඩිය මාලිගාවත්තේ පුරාණ විහාරය

පෘතුගීසි ආදී යුරෝපීයයන්ගේ ආක්‍රමණ හමුවේ වනගත ව ගිය බෙල්ලන්විල රජමහා විහාරස්ථානය සහ තදනුබද්ධ දෙතිස්ඵල බෝධිරාජයාණන් වහන්සේ නැවත සොයා ගනිමින් පුනර්ජීවනය සලසන ලද්දේ අත්තිඩියේ මාලිගාවත්තේ පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කොට ගනිමිනි.

සයවැනි පැරකුම්බා මහ රජතුමා අලකේශ්වර ප්‍රභූ රාජයාට විරුද්ධව සටන් කිරීමට පෙර පැපිලියානට සමීප ගමක ගල්තලාවක් මත මාලිගාවක් තනවා කෙටි කලක් විසූ බව ජනප්‍රවාදයේ එයි.

රජුගේ පුණ්‍ය ශක්තිය නිසා ගල් තලාව මත රාජකීය මංගල හස්ති රාජයාගේ පා සටහනක් පිහිටි බවත් ඇත් අඩිය සහිත වූ ග්‍රාමය අත්තිඩිය වී යැයි සැලකේ. රජමාලිගාව පිහිටි බිමට මාලිගාවත්ත නමින් ව්‍යවහාර විය. රජුගේ මන්ත්‍රීවරුන් විසූ කොටස මන්ත්‍රීමුල්ල ලෙස ව්‍යවහාර කොට ඇත.

බෙල්ලන්විලට දකුණින් පිහිටි අත්තිඩිය ග්‍රාමයේ විචිත්‍රත්වය කෝට්ටේ යුගයේ රචිත පරෙවි, ගිරා සහ කෝකිල සන්දේශයන්හි විස්තර කෙරෙයි. පරෙවි, කෝකිල සන්දේශයන් අත්තිඩියේ කාන්තාවන්ගේ රූප ශෝභාව සහ විචිත්‍රවත් ගීත ගායනය අගය කොට ඇත. ගිරා සන්දේශයට අනුව මේ ප්‍රදේශයේ වාසය කළ රාජකීය යුද්ධ හමුදාවේ සේවය කළ සොල්දාදුවන්ගේ ස්වාමි දියණිවරුන් තම සැමියන් ලද වැටුපෙන් සතුටු වී මිහිරි හඬින් ගීත ගායනා කොට තිබේ.

ආක්‍රමණ හමුවේ මෙම නටබුන් විනාශයට පත් වූ පසු 19 වන සියවස මුල්භාගයේ දී සන්දේශ කාව්‍යගත තොරතුරු අනුව අත්තිඩිය සොයා පැමිණි තෙන්ගොඩගෙදර හිමියන් විසින් මාලිගාවත්තෙහි ගල් තලාව මත ආවාස ගෙයක් තනා ගනිමින් මෙහි විහාරස්ථානයක් ආරම්භ කරන ලදි. ගල් තලාව මත තැන වූ විහාරය යන අරුතින් අත්තිඩියේ ගලඋඩ පන්සල නමින් ව්‍යවහාර විය.

වර්ෂ 1850දී පමණ අත්තිඩියේ කටු ඇළ ඔස්සේ තොටියකු සමඟ ඔරුවකින් ගමන් කළ තෙන්ගොඩගෙදර හිමියන්ට වනය මැදින් බෙර හඬක් ඇසුණු බවත්, ඒ පිළිබඳ කරුණු සොයා යාමේදී බෙර හඬ මැකී ගොස් වනස්පතීන් අතර මැනවින් ආරක්ෂා වී තිබුණු බෙල්ලන්විල දෙතිස්ඵල බෝධි රාජයාණන් වහන්සේ හඳුනා ගත් බවත් ජනප්‍රවාදගත ව එයි.

මින් පසු බෙල්ලන්විල බෝධිසමීපාරාමය නමින් විහාරස්ථානයේ පුනර්ජීවන කටයුතු ආරම්භ කරන ලද්දේ තෙන්ගොඩගෙදර හිමියන්ගේ මූලිකත්වයෙනි.

මෙතැන් සිට අද දක්වා බෙල්ලන්විල සහ මාලිගාවත්තේ විහාරද්වය සඳහා එකම අධිපති ස්වාමින්ද්‍රයන් වහන්සේ නමක් පත් වෙති. මෙම සම්ප්‍රදාය වෙනස් වී ඇත්තේ මාලිගාවත්ත සඳහා දුම්බර වේඬරුවේ උපනන්ද හිමියන් අධිපතිත්වය දැරූ අවස්ථාවේදී පමණි.

තෙන්ගොඩගෙදර හිමියන්ගෙන් පසු තත්ශිෂ්‍ය ගණාචාර්ය උඩුගම්පොල රතනපාල මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ විහාරාධිපතීත්වයට පත් වූහ. රත්මලානේ පරමධම්ම්මචේතිය පිරුවනේ වලානේ සිද්ධාර්ථ මාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය හිමිනමක වශයෙන් පිරුවනෙහි උපාචාර්යයන් වහන්සේ වශයෙන් කටයුතු කළ උඩුගම්පොල රතනපාල මාහිමිපාණන් වහන්සේ ලක්දිව සාතිශය සම්භාවනීය උගතෙකු වශයෙන් සම්භාවනා ලැබූහ.

සියම් නිකායේ පහතරට උපසම්පදා පිහිටුවීම, අධිමාසවාදය, පාරුපනවාදය වැනි වැදගත් ශාසනික කටයුතුවල මුඛ්‍ය කාර්යභාරයක් උසුලන ලදි. වර්ෂ 1856 ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ආරම්භක කර්මවාගාචාර්යයන් වහන්සේ නමක ලෙස ද කටයුතු කළ අතර 1867 පැල්මඬුල්ල ත්‍රිපිටක සංගායනාව සඳහා සියම් නිකාය වෙනුවෙන් දායකත්වය ලබා දී 1888 වසරේ අපවත් වී වදාළහ.

උඩුගම්පොල රතනපාල මාහිමියන්ගෙන් පසු පිළිවෙළින් වේඬරුවේ උපනන්ද හිමියන් සහ බෙල්ලන්විල විහාරාධිපති උඩුගම්පොල ධම්මක්ඛන්ධ මාහිමියන් මාලිගාවත්තේ විහාරාධිපතීත්වය හෙබවූහ.

වර්ෂ 1894 දී කැලණි ගඟ ආශ්‍රිතව සිදු කළ උපසම්පදා කටයුතු කෝට්ටේ රජමහා විහාරයට රැගෙන යාමට තීරණය කළ අවස්ථාවේ ඊට විරෝධය පළ කරමින් මුල්ලේරියාව ගල්වාන විහාරය ආශ්‍රිතව උපසම්පදා කටයුතු සිදු කිරීමට ධම්මක්ඛන්ධ හිමියන් එක්ව පසුව මල්වතු විහාරයට සම්බන්ධ වී නැවත කෝට්ටේ රජමහා විහාරය ආශ්‍රිත උපසම්පදා සඳහා දායකත්වය ලබා දුනි.

අභිධම්මිකාචාර්ය වෑබඩ සංඝරතන මාහිමිපාණන් වහන්සේ ධම්මක්ඛන්ධ මාහිමියන්ට පසු අත්තිඩිය සහ බෙල්ලන්විල විහාරද්වයේ විහාරාධිපති පදවිය හෙබවූහ. ලක්දිව වැඩ සිටි අසහාය අභිධර්ම උගතෙකු වශයෙන් පරමාර්ථ විකාශනී නම් ග්‍රන්ථය රචනා කරමින් ද දිවයිනේ චිරප්‍රසිද්ධ ධර්ම දේශක හිමිනමක වශයෙන් ද නාහිමිපාණන් වහන්සේ කීර්තියට පත් වූහ. ඉනික්බිති කෙටි කලක් අස්ගිරියේ දේවරක්ඛිත හිමියන් විහාරාධිපති ව වැඩ සිටියහ.

වෑබඩ නාහිමියන් වැඩසිටින අවධියේ සිට මාලිගාවත්තේ විහාරයේ නිත්‍යවාසීව වැඩසිටි බෙල්ලන්විල සෝමරතන නාහිමිපාණන් වහන්සේ වර්ෂ 1946 වර්ෂයේ දී මාලිගාවත්තේ සහ බෙල්ලන්විල විහාරාධිපති පදවියට පත් වීම විහාරද්වයේ ම ඉතිහාසයේ නව මං සලකුණු කිරීමක් විය. බෙල්ලන්විල රජමහා විහාරය දේශ දේශාන්තරයේ ප්‍රකට වන අන්දමින් විහාර කර්මාන්ත කරවා පෙරහර ඇතුළු සංස්කෘතික කටයුතු අරඹන ලද්දේ සෝමරතන නාහිමිපාණන් වහන්සේ විසිනි. මාලිගාවත්තේ විහාරයේ විහාර මන්දිරය ඇතුළු විහාර කර්මාන්ත සෝමරතන නාහිමිපාණන් වහන්සේ විසින් අද පවතින අන්දමට දියුණු කරවන ලදි.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්මමහා සංඝ සභාවේ රත්මලාන විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක පදවියෙන් 1966 වසරේ පුද ලද බෙල්ලන්විල සෝමරතන නාහිමිපාණන් වහන්සේ 1984 වර්ෂයේ අපවත් වූ පසු සිංගප්පූරුවේ ප්‍රධාන සංඝ නායක, ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත විහාරාධිපති ධුරයේ වගකීම් පැවරුණි. නාහිමිපාණන් වහන්සේ ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරතව සිටි බැවින් විහාරස්ථානයන්හි සියලු කටයුතු සඳහා බෙල්ලන්විල හා අත්තිඩිය උභය විහාරාධිකාරී, කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්මමහා සංඝ සභාවේ අනුනායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, අපවත් වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමිපාණන් වහන්සේ නායකත්වය සැපයූහ.

අතිගරු නායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා මත කලින් කල සූරියගොඩ ධම්මික හිමි, පණ්ඩිත හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමි ආදී යතින්ද්‍රයන් වහන්සේලා විහාරස්ථානයේ දියුණුවට කැප වූ අතර වර්තමානයේ කැම්පනේ ඉන්දරතන මාහිමියන් ඇතුළු විහාරවාසී මහා සංඝ රත්නයේ අනුශාසනා පරිදි මාලිගාවත්ත පුරාණ විහාරයේ කටයුතු සිදු කෙරෙයි.

සිරිලක සම්බුද්ධ ශාසනෝද්දීපනිය උදෙසා සුවිශාල දායකත්වයක් සපයන ලද බෙල්ලන්විල සඟ පරපුරෙහි මූලස්ථානය වශයෙන් සම්භාවනාවට පත් වන අත්තිඩිය මාලිගාවත්තේ පුරාණ විහාරය සුවිශේෂී පුදබිමක් වශයෙන් සඳහන් කළ හැකිය.