Print this Article


ජීවිතයේ සැනසීම හැසිරීම අනුවයි

ජීවිතයේ සැනසීම හැසිරීම අනුවයි

සිත, කය, වචනය නම් වූ තිදොරින් දුසිරිත් පුරුදු කළ, දුගඳ හමන සොහොනකට සමාන ජීවිතයක් කුමටද? තමාට මෙන් ම සමාජයේ අන් අයට ද සැනසිය හැකි සුවඳ හමන මල් උයනකට උපමා කළ හැකි ජීවිතයක් පවත්වා ගත හැකි නම් එයයි උතුම් ම මනුෂ්‍ය ජිවිතය.

ඈත අතීතයේ කෙනෙක් මිය ගිය පසු සිරුර ආදාහනය කිරීමක් නොවුණි. සුසාන භූමියට ගෙන ගොස් දැමීම පමණක් සිදු කෙරිණි. ඉතින් එහි මළ සිරුරු බොහෝ දක්නට ලැබිණ. ඒ මළ සිරුරු අතරින් සමහරක් ඉදිමී නිල්වන් ව පැවතිණ. තවත් සමහර මළ සිරුරු මස් දියවෙමින් ද, පණුවන්ගේ වැසීමෙන් ද පැවතිණ. දිරා ගිය ඇටසැකිලි, ඒ වගේ ම විසිරී ගිය ඇට කැබලි සුන් බුන් නිසා මුළු සුසාන භූමිය ම ඉතා අපිරිසුදු ව දුර්ගන්ධය හමන තැනක් බවට පත්ව තිබිණි.

යම් සේ ඒ සොහොන අපිරිසුදු වූයේ ද තිදොර අපිරිසුදු වූ පුද්ගලයින් ද එබඳු යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. තිදොර අපිරිසුදු වීම නම් සිත, කය, වචනය අපිරිසුදු වීම ය.

අනුන් නසන පුද්ගලයා මොනතරම් අපවිත්‍ර පුද්ගලයෙක් ද? අනුන්ගේ පණ උදුරා ගන්නා පුද්ගලයා ධනය, බලය, පෙනුම හා ලෞකික උගත්කම් ආදියෙන් සමන්විත වූව ද කිසිවිටෙකත් සිල්වත් හෝ ගුණවත් ලෙස දහමෙහි නොලසකයි.

ඔහු හෝ ඇය ආධ්‍යාත්මික ගුණයෙන් හීන සහ අපිරිසුදු කර්ම සංස්කාර ඇත්තෙකි. ස්වල්ප හෝ මහත් වූ හෝ සොරකම් කරන්නා, සොර සිත් ඇත්තෙකි. ඒ වගේ ම කාමයෙහි වරදවා හැසිරෙන්නා ද ඉතාම අපිරිසුදු විෂම හැසිරීම් ඇත්තෙක් ලෙස සැලකේ. ඔහුගේ හෝ ඇයගේ චරිතය මෙන් ම පැවැත්ම ද සොහොනක් බඳු ව අපිරිසුදු ය.

අපවිත්‍ර වූ වාග් කර්ම ඇත්තා මුවින් අපිරිසුදු කෙනෙකි. බොරුකීම, කේලාම්කීම, ඵරුස වචන කීම සහ හිස්වදන් කතා කිරීම මේ පුද්ගලයාගේ හැටි ය. මෙවැනි පුද්ගලයෙක් ලස්සන ඇඳුමෙන් පැළඳුමෙන් සැරසී සිටිය ද මුවින් අපිරිසුදු නම් ඔහුගේ හෝ ඇයගේ බාහිර පිරිසුදුකමින් ඇති ප්‍රයෝජනය කුමක් ද? ඔහු හෝ ඇය හෝ චරිතයෙන් හා පැවැත්මෙන් දූෂිත වූ අයෙක් බවට පත් වේ. මේ ආකාරයෙන් අපිරිසුදු පුද්ගලයා කාලයට හෝ තැනට නො ගැළපෙන දෙයක් ම කියයි. සිදු නොවූ දෙයක් හෝ බොරුවක් ම හෝ කියයි. අර්ථයක් නැති නිෂ්ඵල දෙයක් ම කියයි. අධර්ම දෙයක් ම කතා කරයි. සංවරයට හෝ ශික්ෂණයට නොගැළපෙන්නක් ම කියයි.

ඒ වගේ ම මනසින් ද යම් අයෙක්, අමු සොහොනක් මෙන් අපිරිසුදු විය හැකි ය. ඒ විෂම ලෝභ සිතිවිලි නිසා ය. තමා සතු වස්තූන්හි පමණක් නොව අන් සතු වස්තූන් කෙරෙහි ද දැඩි ආශාවකින් යුතු වෙයි.

ඒ වගේ ම ද්වේෂය හෙවත් තරහවෙන් යුක්ත වේ. මැරේවා, නැසේවා, අයහපතක් ම වේවායි ප්‍රාර්ථනා කරමින් අපවිත්‍ර වූ සිත් ඇති අයෙක් බවට පත්වෙයි. ඒ වගේ ම වැරැදි දැක්මකට නතුවීමෙන් අපිරිසුදු වෙයි.

එනම් දුන් දෙයෙහි විපාක නැත. මෙය දස ආකාරයක වැරැදි දැක්මකින් යුක්ත ය. සිත, කය, වචනය නම් වූ තිදොරින් ම මෙවැනි අය අපිරිසුදු සොහොනක් බඳු ය.

අපවිත්‍ර වූ මෙබඳු පුද්ගලයාගේ නුගුණ ම පැතිරේ. එනම්, සොහොනේ මළකුණු නිසා දුර්ගන්දය පැතිරෙන්නා සේ තිදොරින් සිදු කරන අපවිත්‍ර කර්ම නිසා මේ පුද්ගලයා ද දුගඳ හමන පුද්ගලයෙක් බවට පත්වේ . ලෝභය, තරහව, වෛරය පිරුණු, පව පින නො අදහන, මෙලොව පරලොව ගැන විශ්වාසයක් නැති මනුෂ්‍යයෙක් ලෙසයි සාමාන්‍ය ලෝකයා මෙවැනි අය ගැන කතා කරන්නේ.මෙසේ අයහපත පැතිරෙන්නේ නම්, එය සොහොනෙන් පැතිරෙන දුගඳ හා සම බව ධර්මයේ සඳහන් ය.

අමු සොහොනක් පිළිබඳ සාමාන්‍ය මනුෂ්‍යයා තුළ යම් බියක් වේ. තැති ගැනීමක් වේ. එබඳු අපවිත්‍ර, දුගඳ හමන,බිය ගෙන දෙන පුද්ගලයෙක් පිළිබඳ ව ද සමාජය බිය වේ. සමාජය එවැනි පුද්ගලයා ඇසුරින් දුරින් ම දුරු කරයි.

පවුල් පරිසරයේ ද , රැකියා ස්ථානයේ ද, ගමේ ද, පළාතේ ද, ආගමික ස්ථානයකට ඔහු හෝ ඇය පැමිණියේ ද, ඔහුට හෝ ඇයට සිදු වන්නේ අන්‍යයන් විසින් දුරලීමෙන් ඇති වන හුදකලා බවට පත්වීමටයි. ඇසුරකට තබා සමීපයටවත් නොගත යුතු අයෙක් ලෙසයි අන් අය සිතන්නේ.

සොහොන ඇසුරු කොට අමනුෂ්‍යයන් වාසය කරන්නාක් සේ තිදොරින් අපිරිසුදු පුද්ගලයා ද තමාට සමාන පුද්ගලයන් සමඟ වෙසෙයි. . නරක, පාපී පුද්ගලයන් වෙතට එවැනි ම පුද්ගලයෝ එකතු වෙති. කුණුවලට කුණු එකතු වන්නාක් මෙනි. සිල්වත්, සත්පුරුෂ, යහපත් පුද්ගලයන් බැහැර වෙති.

ප්‍රියශීලි ගති පැවතුම් ඇති අය අපවිත්‍ර වූ කාය, වචී, මනෝ කර්ම ඇති පුද්ගලයා හඳුනාගනී. හඳුනාගෙන “අප මෙවැනි පුද්ගලයෙක් සමඟ ඇසුරු කරනවා නම් එය ඒකාන්තයෙන් ම දුකකි‘ යැයි ශෝකයට පත්වනු ඇත.

යම් පවුලක් තුළ ස්වාමි දියණියකට, යම් වූ පාපී ස්වාමි පුත්‍රයෙක් නිසා දුකක්, ශෝකයක් ඇති වූයේ නම් “මොන කරුමයට මේ පුද්ගලයා මගේ ජිවිතයට එකතු වුණා දැයි ශෝක වෙයි. හඬා වැළපෙයි.මේ පුද්ගලයා අන් අයට හැඬීම් හා ශෝක ගෙන දෙන අමු සොහොනකි.

මේ අනුව ස්වාමි දියණියක්, මවක්, පියෙක්, දරුවෙක් හෝ යම් ඕනෑම පුද්ගලයෙක් අන් අයට දුකට ශෝකයට හේතු ගෙන දෙන සොහොනක් විය හැකි ය.

වර්තමාන සමාජයේ බොහෝ පවුල් පරිසරවල අන් අයගේ ජිවිත එකම කඳුළු ගොඩක් බවට පත් කරන පිරිස් දක්නට ලැබීම අභාග්‍යයකි. සිත, කය, වචනය නම් වූ තිදොරින් දුසිරිත් පුරුදු කොට දුගඳ හමන සොහොනකට සමාන ජීවිතයක් නොවෙමු. තමාට මෙන් ම සමාජයේ අන් අයට ද සැනසිය හැකි සුවඳ හමන මල් උයනකට උපමා කළ හැකි ජීවිතයක් පවත්වා ගත හැකි නම් එයයි උතුම් ම මනුෂ්‍ය ජිවිතය. එයයි උතුම් මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රයෝජන ලැබුවා වන්නේ.