Print this Article


මිනිසුන් අතර මෙතරම් වෙනසක් ඇයි?

මිනිසුන් අතර මෙතරම් වෙනසක් ඇයි?

බුදුරජාණන් වහන්සේගේ තථාගත දසබල ඥාණ වලින් එකක් තමයි, කර්මය සහ කර්ම විපාක පිළිබඳව උන්වහන්සේ තුළ ඇති අවබෝධය. කර්මය පිළිබඳව වන එම පරිපූර්ණ අවබෝධය බුදුරජාණන් වහන්සේට පමණක් පිහිටන සුවිශේෂී ඥානයක්. බුදුරජාණන් වහන්සේ කර්මය ගැන පෙන්වා වදාළේ “ මහණෙනි, කර්මය කියා කියන්නේ චේතනාවයි.

චේතනා පහළකොට තමයි කයෙන්, වචනයෙන්, මනසින් කර්ම කරන්නේ. (චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා) මේක තමයි භාග්‍යවතුන් වහන්සේගේ කර්මය පිළිබඳ මූලික විග්‍රහය.

ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “මහණෙනි, කර්මය හටගන්නේ කොහොමද? ස්පර්ශය හටගැනීමෙන් කර්මය හටගන්නවා (ඵස්සෝ භික්ඛවේ කම්මානං නිදාන සම්භවෝ) එනම් ඇස, කන, නාසය, දිව, කය, මනස කියන අභ්‍යන්තර ආයතන හය රූප, ශබ්ද, ගඳ-සුවඳ, රස, පහස, අරමුණු යන බාහිර ආයතන සමඟ විඤ්ඤාණය ඔස්සේ සම්බන්ධවීම කියන ස්පර්ශය තුළින් තමයි කර්මය හටගන්නේ.

එම නිසා භාග්‍යවතුන් වහන්සේ කර්මය ගැන අර්ථවත් උපමාවක් මේ විදිහට දේශනා කොට වදාළා. “කර්මය සත්ත්වයා සිරකර තිබෙන්නේ කරත්ත රෝදය මැද්දට දාපු කඩ ඇණය වගේ යනුවෙන් කරත්ත රෝදය ගැලවී විසිවන්නේ නැත්තේ කඩ ඇණය නිසයි. කඩ ඇණය ගැලෙව්වොත් කරත්තයට යන්න බෑ. රෝදය ගැලවී විසිවෙනවා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ සත්ත්වයන් කර්මයෙන් බැඳී සිටින්නේ කඩ ඇණයෙන් රෝදය සිර කර තියෙනවා වගේ කියා.

එකම දායාදය

තෝද්‍යෙය බ්‍රාහ්මණ පුත්‍ර සුබ මානවකයා දිනක් බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විමසා සිටියා. “

භාග්‍යවතුන් වහන්ස, අපට මනුෂ්‍යයන් අතර ලොකු විවිධත්වයක් දකින්න ලැබෙනවා. ඒ තමයි මේ ලෝකයේ දුප්පත් අය, පොහොසත් අය, නිරෝගී අය, රෝගී අය, දීර්ඝායුෂ ලබන අය, අඩු වයසෙන් මැරෙන අය, ලස්සන අය, කැත අය, උසස් කුලයේ අය, පහත් කුලයේ අය, ප්‍රසිද්ධ අය - අප්‍රසිද්ධ අය, ඥාණවන්ත අය - මෝඩ අය ජීවත්වෙනවා. භාග්‍යවතුන් වහන්ස මේ විවිධත්වයට හේතුව මොකක් ද? කියා. එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ පිළිතුරු දී වදාළා.

“තරුණය සත්ත්වයෝ වාසය කරන්නේ කර්මය තමාගේ දේ කරගෙනයි. උපත සකස්කර දෙන්නේ කර්මයයි (කම්ම යෝනි). කර්මය ඥාතියායි (කම්ම බන්ධු). කර්මය තමයි පිළිසරණ. කල්‍යාණ හෝ වේවා පාපී හෝ වේවා යම් කර්මයක් කරනවා නම් ඒක තමයි දායාදය වන්නේ. සත්ත්වයන් මේ විදිහට හීන - ප්‍රණීත ලෙස බෙදන්නේ කර්මය විසිනුයි. බුදුරජාණන් වහන්සේගේ මේ විග්‍රහය අනුව අපේ ජීවිතවලට කර්මයේ බලපෑම මොන තරම් ද කියා මනාව පැහැදිලි වෙනවා.

වෙනස් වන හැටි

සියල්ල දන්නා, සියල්ල දක්නා සර්වඥතා ඥාණයෙන් යුතු භාග්‍යවතුන් වහන්සේ කර්මයේ ඇති විවිධත්වයන් මෙසේ පෙන්වා දුන් සේක.

“පින්වත් මහණෙනි, නිරයේ විඳීය යුතු කර්ම තියෙනවා. තිරිසන් ලෝකයේ විඳීය යුතු කර්ම තියෙනවා. ප්‍රේත ලෝකයේ විඳීය යුතු කර්ම තියෙනවා. මිනිස් ලෝකයේ විඳීය යුතු කර්ම තියෙනවා. දිව්‍ය ලෝකයේ විඳීය යුතු කර්ම තියෙනවා.

ඒ වගේම බුදුරජාණන් වහන්සේ කර්ම විපාකයන්ගේ ස්වභාවයන් මෙසේ පහදා දී තිබෙනවා. “මහණෙනි, කර්මය විපාක දෙන ආකාර තුනක් තිබෙනවා. ඒ තමයි දිට්ටධම්මවේදනීය හෙවත් මේ ජීවිතයේදීම විපාක දෙන කර්ම. උපපජ්ජවේදනීය හෙවත් ඊළඟ ජීවිතයේදී විපාක දෙන කර්ම. අපරාපරියවේදනීය හෙවත් නිවන් දකින තුරු සසර පුරාවට විපාක දෙන කර්ම කියායි.

ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “කර්මය පිළිබඳව විග්‍රහය දැනගත යුත්තේ සසර පිළිබඳව අවබෝධයෙන් කළකිරීමටයි.” යනුවෙන්,

හේතු-ඵල දහම තුළ කර්මය

පටිච්ච සමුප්පාද විග්‍රහයේ දී කර්මය ඇතුළත් වන්නේ “භවය” කියන කොටසටයි. එක්තරා අවස්ථාවක ආනන්ද ස්වාමින් වහන්සේ මෙසේ විමසා සිටියා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, “භවය භවය” කියා කියනවා. මේ භවය කියන්නේ කුමක් නිසා ද?” “ආනන්දය, කාම ධාතුවෙහි විපාක විඳීම පිණිස කර්මයක් නොතිබෙන්නේ නම් කාම භවයක් තිබෙනවා ද? නෑ ස්වාමීනි. එම නිසා ආනන්ද, කර්මය තමයි කුඹුර. (ඉති ඛෝ ආනන්ද කම්මං ඛෙත්තං) විඤ්ඤාණය තමයි පැළවෙන දේ. (විඤ්ඤාණං බීජං) තණ්හාව තමයි වතුර (තණ්හා සිනෙහො) එවිට හීන ධාතුවෙහි විඤ්ඤාණය පිහිටියා. ප්‍රාර්ථනාව පිහිටියා. චේතනාව පිහිටියා. මෙසේ කාම භවයෙහි විපාක පිණිස කර්ම රැස්වීමෙන් කාම ලෝකයේ උපදින බවත්, රූප භවයෙහි විපාක පිණිස කර්ම රැස්වීමෙන් රූප ලෝකයෙහි උපදින බවත්, අරූප භවයෙහි විපාක පිණිස කර්ම රැස්වීමෙන් අරූප ලෝකයෙහි උපදින බවත් භාග්‍යවතුන් වහන්සේ ඉතා පැහැදිලිව පෙන්වා වදාළා.

එලෙසින් පුණ්‍ය සංස්කාර රැස් කරමින් සුගතියේත්, අකුසල කර්ම රැස් කරමින් දුගතියේත් ඉපිද සැප-දුක් විපාක ලබමින් සත්ත්වයා සසරේ දුක්ඛිත බිහිසුණු ගමනක යෙදී සිටිනා ආකාරය චුතූපපාත ඥානයෙන් භාග්‍යවතුන් වහන්සේ දැන වදාළේ මෙලෙසිනි. “තථාගතයන් වහන්සේ මිනිසුන්ගේ දැකීමේ හැකියාව ඉක්මවා ගිය පිරිසිදු වූ දිවැසින් චුත වන්නාවූත් උපදින්නාවූත් සත්ත්වයන් දකිනවා. ඒ ඒ කර්මයන්ට අනුව හීන - ප්‍රහීන වූත්, යහපත් - අයහපත් වූත්, සුගති දුගති වල සිටින්නා වූ සත්ත්වයන් දකිනවා. “අහෝ මේ භවත් සත්ත්වයන් කයින් - වචනයෙන් - මනසෙන් දුශ්චරිතයෙහි යෙදීම නිසා, ආර්යයන් වහන්සේලාට අපහාස කරලා, මිසදිටු වෙලා, මිසදිටු දේවල් සමාදන් වෙලා ඉඳලා තියෙනවා. ඔවුන් කය බිදී මරණයෙන් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ නිරයේ ඉපදී ඉන්නවා. ඒ වගේම මේ භවත් සත්ත්වයන් කයින් - වචනයෙන් - මනසෙන් සුචරිතයෙහි යෙදීම නිසා, ආර්යයන් වහන්සේලාට අපහාස නොකොට, සමිදිටු වෙලා, සමිදිටු දේවල් සමාදන් වෙලා ඉඳලා තියෙනවා.

ඔවුන් කය බිදී මරණින් මතු සුගතිය නම් වූ ලෝකයෙහි ඉපදී සිටිනවා. මෙසේ භාග්‍යවතුන් වහන්සේ කර්මානුරූපව සුගති - දුගති ලෝකවල ඉපිද සැප-දුක් විඳීන සත්ත්වයන් දැක වදාළා. එම නිසා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා, ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා නිතර නිතර මේ කර්මානුරූප ධර්මතාවය නුවණින් සිහිකළ යුතු බවත්, ශාස්තෘන් වහන්සේ අනුශාසනා කොට වදාළේ මෙලෙසිනි. මම කර්මය තමාගේ දෙය කරගෙන සිටිමි. කර්මය දායාද කරගෙන සිටිමි. කර්මය ඥාතියා කරගෙන සිටිමි. කර්මය උත්පත්ති ස්ථානය කරගෙන සිටිමි. කර්මය පිළිසරණ කරගෙන සිටිමි. එහෙයින් යහපත් වූ හෝ අයහපත් වූ හෝ යම් කර්මයක් මා විසින් සිදු කරන්නේ නම් එහි විපාකය මට දායාදය හැටියට ලැබෙන්නේ ය යනුවෙනි. නිතර නිතර මෙසේ නුවණින් මෙනෙහි කරන ශ්‍රාවකයා සිත කය වචනය දුසිරිතට නොයොදා සුචරිතවත් පැවැත්මක් ඇතිකර ගන්නා බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළා. කෙනෙක් උපතක් ලබන විට ඔහුට ලැබෙන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතන හයකි. එය තනිකරම කර්ම විපාකයකි. ඒ තුළින් ඔහුට සිදුවන්නේ තම තමන්ගේ කර්මානුරූපව සැප දුක් වේදනා විඳීමට ය. බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව මෙසේ වදාළ සේක. පින්වත් මහණෙනි, පුරාණ කර්මය යනු කුමක්ද? ඇස-කන - නාසය - දිව - කය - මනස පුරාණ කර්මයකි. විශේෂයෙන් සකස් වූ දෙයකි. චේතනාත්මක ව සකස් වූ දෙයකි. විඳීම තුළින් දැනගන්නා දෙයකි. මේ වනාහි පුරාණ කර්ම යැයි කියනු ලැබේ.

කර්මයෙන් නිදහස් වන්නේ කෙසේ ද ?

මෙම කර්මයෙන් අපට නිදහස් විය නොහැකිද? කර්මය යනු නිත්‍ය වූ දෙයක් ද කියා කෙනෙකුට සිතෙන්නට පුළුවනි. කිසිසේත්ම නැත. සැබැවින්ම අපට කර්මයෙන් නිදහස් විය හැකිය. කර්මය වනාහි අනිත්‍ය වූ දෙයකි. නිරුද්ධ වන දෙයකි.

බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව මෙසේ වදාළ සේක. පින්වත් මහණෙනි, කර්මය නිරුද්ධ වීම යනු කුමක්ද? කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම යන කර්ම නිරුද්ධ වීමෙන් විමුක්තිය ස්පර්ෂ කරයිද, මෙය වනාහි කර්ම නිරුද්ධ වීම යැයි කියනු ලැබේ.

ගෞතම බුදු සසුනේ උතුම් අරහත්වය ශාක්ෂාත් කළ ඒ නිකෙලෙස් මුනිවරුන් පරිපූර්ණ ලෙසම කර්ම නිරුද්ධ කළ සේක. අනාගාමී උතුමන් යළි කාම ලෝකයෙහි උපදින කර්ම ක්ෂය කළ අතර සෝවාන්, සකදාගාමී ශ්‍රාවක පිරිස සතර අපායේ විඳීය යුතු කර්ම ක්ෂය කර දැමූහ. ඒ සඳහා වන ප්‍රතිපදාව ශාස්තෘන් වහන්සේ මහා කරුණාවෙන්, විස්මිත ප්‍රඥාවෙන් මෙසේ පෙන්වා දුන් සේක.

පින්වත් මහණෙනි, කර්මය නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව කුමක් ද? එය වනාහි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ය. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි වේ. මෙය වනාහි කර්ම නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව යැයි කියනු ලැබේ.