Print this Article


කලාකරුවන් ජෛව බුබුළක් ලෙස පවත්වා ගනිමින් මෙවර ඇසළ පෙරහර ආරක්ෂිතව සිදු කරනවා - ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේ තුමා

කලාකරුවන් ජෛව බුබුළක් ලෙස පවත්වා ගනිමින් මෙවර ඇසළ පෙරහර ආරක්ෂිතව සිදු කරනවා - ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේ තුමා

හෙළයේ විචිත්‍රවත්ම කලා මංගල්‍යය ලා සැලකෙන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පසුගිය 09 දින සතර මහ දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් ආරම්භ විය.ප්‍රථම කුඹල් පෙරහර 13 දා වීදී සංචාරය කළ අතර රන්දෝලි පෙරහර ආරම්භ වූයේ අගෝස්තු මස 17 දින ය.අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුන් පොහෝ දිනය යෙදෙන 22 දින වීදී සංචාරය කිරීමට නියමිත ය.

කලාකරුවන් දහසකට අධික පිරිසක් සමඟ අලි ඇතුන් 65 දෙනෙකු පමණ සහභාගී වෙමින් දින එකොළහක් පුරා පවත්වාන්නා වූ මෙවන් සංස්කෘතික මංගල්‍යයක් ලොව කිසිදු රටක දක්නට නොමැත.එක් පසෙකින් සංස්කෘතික මංගල්‍යයක් වුව ද තවත් පසෙකින් මෙය

දළදා සමිඳුන් උදෙසා මෙන්ම සතර මහ දෙවිවරුන් වෙනුවෙන් පවත්වන්නාවූ පූජෝපහාරයකි.පැරණි රජ දවස පටන් රාජ්‍යය අනුග්‍රහය ලබමින් පැවැත්වූ පෙරහැර මංගල්‍යය අදද පවත්වන්නේ රාජ්‍යය උත්සවයක් ලෙසිනි.ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍ර ගරුකරමින් විචිත්‍රවත්ව පවත්වා අවසන් කිරීමේ ප්‍රධාන වගකීම පැවරෙන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ තුමන්ට ය.වසර 2005 දී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරයට පත්ව නිල කාලය අවසන් වූ පසු යළිත් 2015 වසරේ දී එම තනතුරට පත් ප්‍රදීප් නිලංග දෑල මහතා මෙවර මහනුවර ඇසළ පෙරහර සංවිධානය කරන්නේ 17 වන වරට ය.මෙවර පෙරහරේ සංවිධාන කටයුතු සම්බන්ධව ඒ මහතා සමඟ කළ සාක්ච්ඡාවකි මේ...

ශ්‍රී දළදා මාලිගාවේදී දළදා වහන්සේ වෙනුවෙන් වාර්ෂිකව මංගල්‍යයන් හතරක් පවත්වනවා.මේ අතරින් දළදා පෙරහර සුවිශේෂී වනවා නේද?

දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යය,අලුත් අවුරුදු මංගල්‍යය,කාර්තික මංගල්‍යය හා ඇසළ පෙරහර මංගල්‍යය ලෙසින් වසරකදී මංගල්‍යයන් හතරක් පවත්වනවා.දළදා වහන්සේ වෙනුවෙන් පවත්වන මේ සියලු මංගල්‍යයන් අතරින් ජනතාවගේ වැඩිම අවධානය දිනා ගන්නේ ඇසළ පෙරහරයි.

විදේශ රටවල ජනතාව පවා පෙරහර මංගල්‍යය ගැන අවධානයෙන් සිටිනවා. ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර සමඟ පිළිවෙළින් නාථ,විෂ්ණු,කතරගම හා පත්තිනි යන දේවාළ පෙරහර දින 11 ක් පුරා වීදී සංචාරය කරන්නේ කලා කරුවන් දහසකට වැඩි පිරිසක් සමඟයි.ලෝකයේ කොහේවත් මෙපමණ කලාකරුවන් පිරිසක් එක දිගට දින 11 ක් පෙළහර දක්වන උත්සවයක් නැහැ.ශ්‍රී ලංකාවේ අභිමානය ලෝකයට ගෙනයන ප්‍රබලතම අවස්ථාවක් ලෙස මහනුවර ඇසළ මංගල්‍යය පෙන්වා දෙන්න පුළුවන්.

මහනුවර ඇසළ පෙරහර නැරඹීමට දෙස් විදෙස් ජනතාව දක්වන්නේ විශාල උනන්දුවක්.වාර්ෂිකව ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පෙරහර නරඹනවා.දැන් අඛන්ඩව වසර තුනක් පෙරහර සියැසින් දැක බලා ගැනීමේ අවස්ථාව ජනතාවට අහිමි වුණා නේද?

පාස්කු ප්‍රහාරයෙන් පසුව 2019 දී ජන සහභාගිත්වයක් නොමැතිව පෙරහර කරන්න සිදුවුණා.ආරක්ෂක අංශවල උපදෙස් අනුව තමයි පෙරහර ඒ විදිහට සංවිධානය කළේ.පසුගිය වසරේදී කොවිඩ් නිසා අපිට නැවතත් පෙරහර කරන්න සිද්ධ වුණේ ජන සහභාගිත්වයක් නොමැතිවයි.මෙවර කෙසේ හෝ ජනතාවට පෙරහර නරඹන්න අවස්ථාව දෙන්න ඕන කියලා හිතලා තමයි අපි මූලික සංවිධාන කටයුතු කළේ.

නමුත් නොසිතූ ලෙස කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගිය නිසා සෞඛ්‍ය අංශවල උපදෙස් මත මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා දෙනමගේ ද අවවාද අනුශාසනා ලබා ගනිමින් පෙරහර ජනතාවට නරඹන්න අවස්ථාව නොදී පවත්වන්න තීරණය කළා.

පෙරහරට දහසකට වැඩි කලාකරුවන් පිරිසක් සම්බන්ධ වෙනවා.ආරක්ෂක කටයුතු වලට පොලිස් නිලධාරීන් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ 3000 ක් පමණ සහභාගි වෙනවා.මෙතරම් විශාල පිරිසක් ඒකරාශී වීම තුළ කොවිඩ් ව්‍යාප්ත වීමේ අවධානමක් මතුවෙන්න පුළුවන් නේද?

මහනුවර ඇසළ පෙරහර කියන්නේ දළදා වහන්සේ සහ සතර මහ දෙවිවරු වෙනුවෙන් කරන පූජෝපහාරයක්.පෙරහර නොපවත්වා ඉන්න බැහැ.පෞරාණික චාරිත්‍ර ගරුකරමින් අපි පෙරහර මංගල්‍යය පවත්වන්නේ සෞඛ්‍ය නිර්දේශ උපරිම ලෙස ගරුකරමින්.පෙරහර ආරම්භ වීමට මාසයක් තිබියදී පෙරහරට සම්බන්ධ වන කලාකරුවන් ඇතුළු සියලු දෙනාට කොවිඩ් එන්නත ලබා දුන්නා.ආරක්ෂක කටයුතු වලට සම්බන්ධ වන පොලිස් නිලධාරීනුත් එන්නත්කරණයට ලක්කර තිබෙනවා.කලාකරුවන් ජෛව බුබුළක් ලෙස පවත්වා ගන්න අපි පියවර ගත්තා.මේ අකාර ආරක්ෂිත පියවර රැසක් අනුගමනය කරමින් තමයි අපි පෙරහර සංවිධානය කළේ.

පෙරහර මංගල්‍යයන් සඳහා අවශ්‍යය හීලෑ අලි ඇතුන් හිඟය කලක පටන් පවතිනවා.මෙවරත් එය තදින්ම දැනෙනවා නේද?

දැනට අපට ඉන්නේ හීලෑ අලින් 105 ක පමණ සංඛ්‍යා‍වක් පමණයි.මේ අය අතරින් බොහෝ දෙනකු දැන් ඉන්නේ වයස් ගතවයි.සමහරු පෙරහර කාලෙට මද කිපෙනවා.මේ කාරණා සියල්ල බැලුවම ඇත්තටම පෙරහරේ ගමන් කරන්න පුළුවන් තත්ත්වයේ ඉන්නේ අලි ඇතුන් 75 ක පමණ සංඛ්‍යාවක් පමණයි.

1995 වසර වනවිට ලංකාවේ හීලෑ අලි 225 ක් පමණ හිටියා.අද ඒක 105 ක් දක්වා අඩු වෙලා.වසර 25 ක් තුළ අලි 120 ක් පමණ මිය ගිහින්.ඉන්න අලි සංඛ්‍යාව අඩු නිසා ඒ සත්තු ටික රටේ වෙනත් පෙරහරවලට හැම තැනම ගෙනියන්න ඕන.මේ නිසා ඒ අය රෝගී වෙන්න තියෙන ඉඩ වැඩියි.මේවා ගැන අපි අවධානය යොමු කරලා තීරණ ගන්න ඕන.

මෙවර දළදා මාලිගා පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරන්න නැඳුන්ගමුවේ රාජා වසර දෙකකට පසු යළිත් සම්බන්ධ වෙනවා නේද?

ඔව්.මම 2005 දියවඩන නිළමේ ලෙස පත්වුණාට පස්සේ මහනුවර පෙරහරට නැඳුන්ගමුවේ රාජා සම්බන්ධ කර ගත්තා.පහුගිය අවුරුදු දෙකේදී ම මේ ඇතා පෙරහරට ආවේ නැහැ.මෙවර නැඳුන්ගමුවේ ඇතාගේ පැමිණීමත් එක්ක අපිට සධාතුක කරඬුව වැඩම කරන්න ලංකාවේ ඉන්න සුදුසුම ඇතුන් තිදෙනාගේම සේවය ලබා ගැනීමට අවස්ථාව ලැබුණා.කතරගම පෙරහර නිමාවී තිබෙන නිසා කතරගම වාසනාත් මෙවර නුවර පෙරහරට සහභාගි වුණා.මාලිගාවේ ඇත් පන්තියේ ඉන්දිරාජා කරඬුව වැඩම වන අනිත් ඇතා.

මහනුවර පෙරහරේදී උඩරට වෙස් නැටුමට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්.අදවන විට මේ පාරම්පරික කලා ශිල්ප අභාවයට යමින් තිබීම අනාගතයේ පෙරහර පැවැත්වීමට ගැටලුවක් වේවි නේද?

මහනුවර ඇසැළ පෙරහරේ සියලු නර්තන උඩරටට ආවේනික ඒවායි.පහතරට හා සබරගමු සම්ප්‍රදායට අයත් කිසිදු නර්තනයක් මේ පෙරහරට එකතු කරන්නේ නැහැ.ඒක සම්ප්‍රදායක්.

පාරම්පරික කලා ශිල්පීන්ගේ පවුල්වල වර්තමාන පරම්පරාව මේ කලා ශිල්ප වලින් ක්‍රමයෙන් ඈත්වන බවත් පෙනෙන්නට තිබෙනවා.ඔවුන් ආර්ථික වශයෙන් ප්‍රතිලාභ ඇති වෙනත් රැකියාවලට යොමු වෙනවා.

තවත් පැත්තකින් මේවාහි අගය තේරුම් ගත් අලුත් පරම්පරාවේ තරුණයින් උඩරට වෙස් නැටුම හදාරනවා.ඔවුන් පාරම්පරික කලා පවුල්වල අය නොවෙයි.නර්තනය වසරක් දෙකක් හදාරලා වෙස් බඳීන්න බැහැ.අද පාසල්වල මේක කෙරෙනවා.මම එය අනුමත කරන්නේ නැහැ. දළදා මාලිගාවේ බෞද්ධ විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව උඩරට නර්තන පීඨයක් අපි ආරම්භ කළේ මේ රික්තකය පිරවීමටයි.

මෙවර පෙරහර වීදීවලට රැස්ව සියැසින් දැක බලා ගැනීමට නොහැකි වුවත් ජනතාවට රූපවාහිනි නාළිකා ඔස්සේ බලන්න අවස්ථාව උදාකරලා තියෙනවා නේද?

දේශීය හා විදේශීය වශයෙන් අපි පෙරහර වීදි සංචාරය කරන සියලු දිනවල සජීවීව විකාශනය කරනවා.රූපවාහිනි නාළිකා වලින් පමණක් නොව අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ඔස්සේ පෙරහර නරඹන්න පුළුවන්.