Print this Article


අනුන්ගේ දුකේ දී හදවත කම්පාවීම මිනිසත්කමයි

අනුන්ගේ දුකේ දී හදවත කම්පාවීම මිනිසත්කමයි

ජීවිතය කුමකින් හෝ අවසානයකට පත්වේ. මේ කාලය තුළ ඊට අදාළ ගමන් වියදම් සකසා ගැනීම ඉතා වැදගත් වේ.

සත්වයන් අතර දියුණු ම ජීවියා මිනිසා ය. ලද මිනිස් ජීවිතය එතරම් ම දුර්ලභ ය. එය වැටහීමට නම් අසම්පූර්ණ ජීවිතයක් හෝ තිරිසන් ආත්මයක් ලද යුතු ය.

බුද්ධ දේශනාවට අනුව මිනිස් වෙසින් සිටින ප්‍රේත, තිරිසන්, යක්ෂ කොට්ඨාශ ද ඇතැම් විට සිටිය හැකිය. වඩා වැදගත් වන්නේ මිනිස්කම අවභාවිත නොකරන මිනිසකු වී ඉපිද ඒ ගෞරවය සහිතව මිය යෑමට හැකියාව සකසා ගැනීම යි. ඇතමුන් ට මේ තත්වය තේරුම් ගැනීමට නොහැකිවීම කනගාටුවට කරුණකි.

මේ පවතින තත්වය මිනිස්කම ප්‍රදර්ශනය කළ හැකි හා මිනිස්කමට වැඩි වටිනාකමක් ලබා දිය හැකි කාලසීමාවකි. එය ආකාර දෙකකින් සිදු කළ හැකි ය.

එහි පළමු පැත්ත වනුයේ පුරවැසියෙක් ලෙස පුරවැසි යුතුකම් මනාව හඳුනාගෙන රජයට අවනත වීමයි. මෙහි දී එන්නත ලබා ගැනීම ප්‍රමුඛ වේ. එපමණක් නොව ඒ කාලසීමාවේ දී හෝ මත්පැන් , දුම්වැටිවලින් සම්පූර්ණයෙන් ම ඉවත් විය යුතු ය.

මිය ගිය බහුතරය පිරිමින් වේ. එයින් ද මත්ද්‍රව්‍ය, දුම්වැටිවලට ඇබ්බැහි වූවන්ගේ ප්‍රමාණය වැඩි ය. එවන් තත්වයක දී එන්නතෙන් නියමඵල නෙළා ගැනීමට හැකියාව ඇතිවන්නේ නැත.

තවද තමන් රෝග වාහකයෙක් නොවී ඉතා පොඩි වෙනසක් දැනුන විගස ස්වයං නිරෝධායනයට යොමුවීම ඉතා වැදගත් ය. අත්‍යවශය නොවන හැම විට ම නිවසින් බැහැර නොයාමට වගබලා ගැනීම ඉතා වැදගත් වේ. එවන් දෑ සිදු වූයේ නම් එම අඩුපාඩුව සකසා ගෙන දහමෙහි දක්වන ආයතිසංවරය සකසා ගැනීමට වගබලාගත යුතුය.

මෙහි අනෙක් කාරණය වන්නේ කිසිවෙකු මෙවැනි රෝගයක් ආසාදනය වීමට කැමැත්තක් නොදක්වයි. එසේ ආසාදනය වූවකු දිහා වෛරයෙන්, ක්‍රෝධයෙන්, සැකයෙන් නොබැලීම මනුස්ස ගතියයි.

අපේ මිනිසත්කම උපරිමයෙන් පෙන්වීමට මෙය කදිම අවස්ථාවකි. රෝගියෙක් හෝ ආශි‍්‍රතයෙකු වීම නිසා ඔවුන් මානසිකව ඇදවැටේ. එය සාමාන්‍ය තත්වයකි. ඒ අසරණ බව ඇතැම්විට වචනයෙන් කිවහැකි නොවේ. මෙවන් අවස්ථාවක අනෙකාගේ කරුණාව උදව්ව අවශ්‍යය. එවන් මොහොතක ඔවුන් ත්‍රස්වාදීන් ලෙස සැලකීම යුතු නොවේ. රෝගය වැළදෙන සියල්ලෝ ම මරණයට පත් නොවේ. හෙට දවසේ ඔවුන් සුවය ලද විට ඔවුන් සමග ගනු දෙනු කිරීමට සිදුවේ. එහෙයින් තමාගේ ආරක්ෂාව සලසාගෙන ඔවුන්ට කළහැකි යමක් ද එය සිදු කිරීමට මැලි නොවිය යුතු ය.

මන්දයත් ජීවිතය කුමකින් හෝ අවසානයකට පත්වේ. මේ කාලය තුළ ඊට අදාළ ගමන් වියදම් සකසා ගැනීම ඉතා වැදගත් වේ.

බුදුරදුන් නියම බුද්ධ පූජාව ලෙස සඳහන් කළේ රෝගීන්ට සැලකීමයි. රෝගීන්ට සැලකීම තමන් වහන්සේට සැලකීම හා සමාන බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. හමුවී කතා කිරීමට, උදව්කිරීමට මෙය අවස්ථාව නොවුණු ද දුරකතනයෙන් හෝ අවශ්‍යතා විමසා හැකි පමණික් උදව් කළ හැකි ය. ඇතැම් විට පවුල්වල මරණ පවා සිදු වී ආශි‍්‍රතයන් මහත් වේදනාවෙන් කල්ගත කරයි. එවන් විටක මිනිසා ගේ යුතුකම තම හැකියාව මත ඔවුන්ට වචනයෙන් හෝ උදව් කිරීම යි. දහමෙහි පරාර්ථචර්යාව ලෙස විස්තර වන්නේත් සතර සංග්‍රහවස්තු තුළ අර්ථචර්යාව වශයෙන් දක්වන්නේත් මේ කාරණය යි.

අපට කායිකව, මානසිකව, භෞතිකව, සිතුවිලි තුළින් මේ කාර්ය සිදුකළ හැකි ය. මේ කළමනාකරණයකින් වූව ද, අනෙකාට පිහිට වීම ඉතා වැදගත් වේ. පර අර්ථය සැලසීම හැමෝට ම කළ හැක්කක් නොවේ. ඒ සඳහා කරුණාව හා මෛත්‍රිය අවශ්‍යය.

මෙහි දී කරුණාව යනු, අන් දුකේ දී හදවත කම්පාවීම පමණක් නොව ඔවුනට ඒ වෙනුවෙන් කළ හැකි යමක් ද එය සිදු කිරීමයි. මෛත්‍රය යනු, හිතවත්කමයි. එසේත් නැති නම් , මිත්‍රත්වයයි. මිත්‍රව ආකල්ප සකසා ගත හැකි විම ඉතා වැදගත් ය. එහි දී අනෙකාට තමන්ගේ ලෙන්ගතුකම ප්‍රදර්ශනය කළ හැකි ය. බොහෝ පිරිස් අනෙකාට අකෘතඥ අකාරුණික ලෙස සැලකීමට පෙළඹෙන්නේ මෙම ආකල්ප නැති නිසාවෙනි.

එහෙයින් තමාගේ සිතට එබී තමන් තුළ කොතරම් ප්‍රමාණයකට මේ ගුණයන් ඇති ද කොපමණ ප්‍රමාණයකින් දියුණු කරගත යුතු ද යන්න සොයා බැලීම තුළ ආත්මලාභය හා ආත්ම තෘෂ්ණාව නැති වී යයි. එවන් තත්වයක දී මේ පවතින තත්වය නිවැරදිව තේරුම් ගැනීමට සමත් වේ. දිවාරෑ පින් වැඩෙන පින්කම් අතර පර අරමුණු වෙනුවෙන් තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය යොමු කිරීම එකකි.

විශේෂයෙන් සම්බුද්ධ චරිතය තුළින් ඒ සඳහා බොහෝ ආදර්ශ ගත හැකිවේ. නියම ලෙස බුදුන් සරණ යනවා යනු, උන්වහන්සේ පෙන්වා වදාළ මාර්ගය අනුගමනය කිරීමයි. තථාගතයන් වහන්සේ වසර හතළිස් පහක් පුරාවට දින 16425 නොකඩවා පරාර්ථය වෙනුවෙන් කැප කළහ. සෑම දිනයක් ම බෙදා ගනිමින් ඒ ඒ අවස්ථා ව බොහෝ පිරිසකට යහපත වෙනුවෙන් හැසිරුනාහ.

උන්වහන්සේගේ පාදස්පර්ව අප රටේ බහුතරය මේ ගුණයන් මත සිරවීම එක් අතකින් නිවැරදි විශ්ව ශක්තිය රටට සහ ජනතාවට ලැබීමට ඉවහල් වේ. මෙවැනි අවස්ථාවක අපේ සිතිවිලි ධාර්මික, අසාහසික සිතිවිලි වීම ඉතාම වැදගත් ය. යම් සත්‍ය කි‍්‍රයාවක් හෝ සිදු කළ හැක්කේ එවන් පසුබිමක පමණි.

රෝගීවීම සියල්ලන්ට ම පොදු වේ ගිරිමානන්ද සූත්‍රයට අනුව කාරණා හයක් මත අප රෝගී වේ. උදාහරණයක් ලෙස සෙම ශරීරයේ කොටසකි. එය සියල්ලන් තුළම ඇතුළත් ය. එම සෙම කෝපවීම නිසා ලෙඩ ඇතිවේ. එහෙයින් සෙම ඇති සියල්ලෝ ම මෙය තේරුම්ගත යුතුව ඇත.

අනෙක් ඉන්ද්‍රියන් ද එසේ ම ය. ඒ ඒ ඉන්ද්‍රියන් සියල්ලෝට ම ඇති නිසා රෝග වැළඳීම සිදුවේ. එය තේරුම්ගෙන ආරෝග්‍ය මදය අඩු කර ගැනීමට කටයුතු කිරීම වැදගත් වේ.

කෙනෙකු අකාරුණික වී අනෙකා ඔහුගේ රෝගී තත්ත්වය හෑල්ලුවට ලක් කරනුයේ මෙම ආරෝග්‍ය මදය නිසා ය. බුදු දහමට අනුව සෞඛ්‍ය සම්පන්න යනු කායික නීරෝගීභාවය පමණක් නොවේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වර්තමාන විවරණය ද ඊට සමාන ය. එනම් කායික, මානසික සාමාජීය, ආධ්‍යාත්මික සමතුලිත භාවයයි.

එහෙයින් ආරෝග්‍ය මදය සකසා ගැනීම අර්ථවත් නොවේ. සමාජයට කරුණාව, දයාව, ලෙන්ගතුකම් අවැසි වෙලාවක එසේ නොකර සිටීම මිනිස්කමට නිගරුවකි. පූතිගත්තතිස්ස හිමියන්ට බුදුරදුන්ගේ උපස්ථානය මෙහි දී අප සිහියට නඟා ගත යුතු ය.