Print this Article


මාතෘභූමිය ත්‍රස්තවාදීන්ගෙන් ආරක්ෂා කිරීමට අන්තර්ජාතික මතවාද පරාජයට දායක වුණා

මාතෘභූමිය ත්‍රස්තවාදීන්ගෙන් ආරක්ෂා කිරීමට අන්තර්ජාතික මතවාද පරාජයට දායක වුණා

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ අමරපුර මම්මවංශාභිධජ සිරිසද්ධම්මයුක්තික මහා නිකායේ හිටපු මහා ලේඛකාධිකාරී බත්තරමුල්ල කොස්වත්ත ම්ධ්උ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ උපදේශක කොළඹ හත්බෝධි විහාරාධිපති බොරැල්ල සුසුමයවර්ධන විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ගලගම ධම්මරංසී නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ය.

කෙලිදෙළෙන් ගත කළ ළමා කාලයේදීම පුණ්‍යවන්ත පැවිදි ජීවිතය ඇලුම් කළ ඔබ වහන්සේ උසස් ජීවන දර්ශනයක් ගොඩනඟාගත් යතිවරයාණන් වහන්සේ නමක් වශයෙන් ප්‍රකටයි. ඔබ වහන්සේ ආ ගමන්මඟ පිළිබඳ අතීතාවර්ජනයක යෙදෙමින් සාකච්ඡාවට ප්‍රවේශවෙමු අපේ හාමුදුරුවනේ,

දකුණු පළාතේ මාතර ප්‍රදේශයේ පරවාහැර නමින් හඳුන්වන බොහොම සුන්දර ගැමි පරිසරයක උප්පත්තිය ලැබුවා. එමළින් බෝගහවත්ත සහ ජෝන් යන සදාදරණීය මව්පියන් බොහොම ශ්‍රද්ධා බුද්ධිසම්පන්න ගුණවත් මව්පිය දෙපළක්. ඒ වගේම අපේ පවුලේ මා ඇතුළුව දරුවන් හත් දෙනෙක් සිටියා. ඔවුන් සියලු දෙනාම දැන උගත් පිරිසක්.ඥාතිවරුන් කිහිප දෙනෙකුම පැවිදිවී සිටි නිසා පැවිදි ජීවිතය කෙරෙහි ඇතිවුණ ආකර්ශනයත්, ගෞරවනීය මහා සංඝරත්නය කුඩා කල සිට ඉතා සමීපව ඇසුරු කිරීමත් නිසා පැවිදි වීමට ආසාවක් ඇති වුණා.

ඒ අනුව දෙවිනුවර ගන්දරාවත්තේ ශ්‍රී නිග්‍රෝධාරාමාධිපතිව වැඩ විසූ අමරපුර මම්මවංශාභිධඡ සිරි සද්ධම්මයුක්තික මහා නිකායේ අධිකරණ සංඝනායක නරවැල්පිට සිරි පියරතන නායක හිමිපාණන් වහන්සේගේත්, කොළඹ නාරාහේන්පිට සිරි හත්බෝධි විහාරාධිපති අමරපුර සද්ධම්මයුක්තික මහා නිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වශයෙන් වැඩ විසූ රාජකීය පණ්ඩිත නරවැල්පිට ධම්මරතන මහානායක මා හිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් වලස්මුල්ල ඕලුආර ශී‍්‍ර පූර්වාරාම මහා විහාරාධිපතිව වැඩ විසූ කණුමුල්දෙණියේ සිරි සෝරත මහානායක මා හිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් 1974 වර්ෂයේදී දෙවිනුවර ගන්දරාවත්ත ශී‍්‍ර නිග්‍රෝධාරාම මහා විහාරස්ථානයේ දී ගලගම ධම්මරංසී යන උත්තරීතර ශාසනික නාමයෙන් සංසාරගත පුණ්‍යශක්තියට අනුව උතුම් පැවිදි ජීවිතයට එළඹුණා.

අනතුරුව වත් පිළිවෙත් පුරුදු පුහුණු වෙමින් මාතර වෙහෙරහේන පූර්වාරාම රාජමහා විහාරස්ථ ශී‍්‍ර රේවත පිරිවෙන , මාතර සුදර්ශී පිරිවෙන යන පරිවේණාස්ථානයන් තුළින් ප්‍රාචීන භාෂා ශාස්ත්‍රය ඉගෙන ගෙන 1980 වර්ෂයේ දී කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදි උපාධිය ලබා ගත්තා. අධ්‍යාපන කටයුතු සිදුකළ කාලවකවානුවේ දී ම නිසි වයස් සම්පූර්ණ වීමත් සමඟ මා පැවිදි කළ ආචාර්යපාදෝත්තමයාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් හා එම උපාධ්‍යායන් වහන්සේගේම උපාධ්‍යායත්වයෙන් 1983 වර්ෂයේ දී ගාල්ල ගිං ගඟනදී උදඛුක්ඛේප සීමාමාලකයේදී උතුම් අධිශීල සම්පත්තිය ලැබීමට පුණ්‍යවන්ත වුණා.

1988 වර්ෂයේ සිට 1992 දක්වා ලිබියාවේ අල්පාතා විශ්ව විද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ උසස් ඩිප්ලෝමාව ලබා ගැනීමට කටයුතු කළ එම කාල වකවකවානුවේදී ම ලෝක නායකයින් හමුවී සාකච්ඡා කරමින් විවිධ අත්දැකීම් ලබා ගත්තා. නැවතත් ලංකාවට වැඩම කරමින් කොළඹ විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්,පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලබා ගැනීමට කටයුතු කළා.

ඔබ වහන්සේගේ ධර්ම ශාස්තී‍්‍රය සේවයත්,ජාතික, ආගමික, සාමාජික සේවයත් සිදුවුණේ කුමන ආකාරයෙන්ද ? හාමුදුරුවනේ,

මට විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු අවසන් කිරීමට සිදුවුණේ 1988,1989 වැනි භිෂණ කාලයක. විශ්ව විද්‍යාලය තුළ ජාතික ශිෂ්‍ය ව්‍යාපාරවල කටයුතු කළ නිසා ම එම කාල වකවානුව තුළ විශාල වශයෙන් ජීවිත තර්ජන තිබුණා. අපිත් සමඟ සිටි කිහිප දෙනකුම මරණයට පවා පත්වුණා. එම කාලයේදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් මා ලිබියාවට වැඩම කරවනු ලැබුවා. එහිදී ලිබියාවේ අල්පාතා විශ්ව විද්‍යාලය තුළ අධ්‍යාපනය ලැබූ කාලයේදි කර්නල් අල් ගඩාපි, නෙල්සන් මැන්ඩෙලා, සෑම් හුජුමා, යසර් අර්පත් , ඩැනියෙල් ඔටේගා, චාල්ස් ටේලර් වැනි ලෝක නායකයන් හමුවී සාකච්ඡා කොට විවිධ අත්දැකීම් ලබා ගත්තා. එහිදී ලෝක ජාතික විමුක්ති ව්‍යාපාරයේ සිටි බොහෝ නායකයන් මුණගැසීමේ අවස්ථාව උදාවුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමා මන්ත්‍රීවරයකුව සිටියදී යසර් අර්පත් පලස්තීන සහයෝගීතා ව්‍යාපාරයේ සභාපතිව කටයුතු කළා. මමත් එයට සහයෝගය ලබාදෙන ව්‍යාපාරයක සභාපති ලෙස කටයුතු කළා. මහින්ද රාජපක්ෂ මහතා සමඟ බල්ගේරියාවට, ලිබියාවට වැඩම කරමින් යම් යම් සංවිධාන සමඟ සාකච්ඡා කරමින් පලස්තීන ව්‍යාපාරයට සහයෝගය ලබා දුන්නා. එම කාලයේදී ම අපේ මාතෘභූමිය විනාශ කරමින් සිටි දෙමළ ත්‍රස්තවාදී කණ්ඩායම ත්‍රස්තවාදී කණ්ඩායමක් මිස සැබෑ විමුක්තිකාමීන් නොවන බවත් ඔවුන් වෙත පැහැදිලි කරදෙමින් එම මතවාදය ජාත්‍යන්තරය තුළ රැගෙන යාමට මා තුළ පැවතුණ සම්බන්ධතාවය එම අවස්ථාවට ප්‍රයෝජනවත් වුණා. දෙමළ ත්‍රස්තවාදයට සහයෝගය ලබානොදෙන ලෙස මතවාදය රැගෙන ගියා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වශයෙන් බලයට පැමිණිමත් සමඟ දෙමළ ත්‍රස්තවාදය තුරන් කිරීමේ අරමුණින් පලස්තීනය, බල්ගේරියාව, ලිබියාව යන රටවල සහයෝගය බලාපොරොත්තුවෙන් එතුමා එම රටවලට ගිය අවස්ථාව සම්බන්ධීකරණය කිරීමට කටයුතු කළා. දෙමළ ත්‍රස්තවාදීන්ගෙන් මාතෘ භූමිය මුදවාගැනීමේ අවස්ථාවන්හි ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් ජාත්‍යන්තරව කළ හැකිව තිබූ සියලු දේ මගේ ශක්ති ප්‍රමාණයට සිදුකළා.

විදේශගත විහාරස්ථාන සම්බන්ධතා මත පදනම්ව ලංකාවේ සුභ සාධන,අධ්‍යාත්මික, අධ්‍යාපනික, සංවර්ධන වෙනුවෙන් අපරිමිත සේවයක් කිරීමට හැකියාව ලැබුණා. ඒ අනුව සුනාමි ව්‍යසනයේදී නිවාස 500 කට අධික ප්‍රමාණයක් ඉදිකිරීමටත්, මුහුදුතීරයේ සම්පූර්ණව නටඹුන්ව පැවැති විහාරස්ථාන 36 ක් නැවත නඟා සිටුවීමටත්, පාසල් දරුවන් 500 කට අධික ප්‍රමාණයකට අවශ්‍ය පාසල් උපකරණ ලබාදීමටත්, කටයුතු කළා. කොරෝනා වසංගතය හමුවේදීත් බොහෝ ජනතාව වෙනුවෙන් වියළි ආහාර ලබාදීමට කටයුතු කළා. අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් මහන මැෂින් 100 කට අධික ප්‍රමාණයක් ලබාදීමටත් කටයුතු කළා. බත්තරමුල්ල කොස්වත්ත ම්ධ්උ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමේදී ඒ සඳහා පුරෝගාමීව කටයුතු කළ බවත් සිහිපත් කළ යුතුයි.

ජපානය,තායිලන්තය,මාලදිවයින,සිංගප්පූරුව,ඉන්දියාව,පාකිස්ථානය,ස්විට්සර්ලන්තය ආදී පෙර අපර දිග රටවල් තිහක පමණ ධර්මදූතයකු , පරිසරවේදියකු ලෙස කටයුතු කළා.

ශාස්තී‍්‍රය ලේඛන වශයෙන් ශී‍්‍ර ලංකාවේ සියම් අරගලය,ජනවාර්ගික අර්බුදයට විසඳුම්,පංචශීල ප්‍රතිපත්තිය,මා පිය සංග්‍රහය,කාන්තා විමුක්තිය ආදී ග්‍රන්ථ රචනා කිරීමටත්,සතිපට්ඨානය හා භාවසන්නස ග්‍රන්ථ නැවත සංස්කරණය කිරීමටත් කටයුතු කළා. ඒ වගේම මරදාන සංඝරාජ විද්‍යාලය,තිබිරිගස්යාය විද්‍යාතිලක විද්‍යාලය යන පාසල් තුළ ආචාර්යවරයකු ලෙස සේවය කළා. බොරැල්ල සුසීමයවර්ධන විද්‍යාලයේ ආචාර්යවරයකු වශයෙන් සේවය කරනවා. වලස්මුල්ල සිරිදේව සිංහාරාමය,ගන්දරාවත්ත ශී‍්‍ර නිග්‍රෝධාරාමය,කඹුරුපිටිය සුභද්‍රාරාමය, යන විහාරස්ථාන මගේ අධීක්ෂණය යටතේ එහි වැඩසිටින ස්වාමීන් වහන්සේලා ජාතික,සාමාජික,ශාසනික කටයුතු සිදුකරගෙන යනවා.

සුපේෂල ,ශික්ෂාකාමී,බහුශ්‍රැත ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් දේශීයව හා විදේශීයව ලබාගත් දැනුම් සම්භාරය ආශ්‍රයෙන් හැදෙන වැඩෙන ස්වාමීන් වහන්සේලාට ලබාදෙන උපදෙස් මොනවගේද ?හාමුදුරුවනේ

ආගමික,ජාතික වශයෙන් විශාල කාර්යභාරයක් භික්ෂූන් වහන්සේලා වෙත පැවරිලා තිබෙනවා. ලංකාවේ භික්ෂූන් වහන්සේලා හුදෙක් පාංශූකූලයට, දානයට, බණට, පිරිතට පමණක් සීමාවෙලා සිටිය යුතු නැහැ. එවැනි ශාසනික ඉතිහාසයක් අපට තිබිලත් නැහැ. අපේ රටේ භික්ෂූන් වහන්සේලා ආත්මාර්ථකාමිත්වයෙන් තොරව පරාර්ථකාමී ලෙස සුවිශාල ශාසනික කාර්යයක නියැළෙන බුද්ධ පුත්‍රයන් වහන්සේලායි. ජාතියේ මුරදේවතාවුන් වහන්සේලායි. තායිලන්තය බුරුමය වැනි රටවල භික්ෂූන් වහන්සේලා අතර එවැනි පළල් බවක් දකින්න අපහසුයි. සංසාරික විමුක්තිය සඳහා අවශ්‍ය අධ්‍යාත්මික පරිසරය ගොඩනඟමින් බොහෝ ජාතික,ආගමික, ශාසනික කාර්යභාරයක් කළ හැකියි. විහාරස්ථානයකට පමණක් කොටුවෙලා සිටීමෙන් පාසලට හෝ විහාරස්ථානයට පමණක් එම සේවය සීමාවෙන්න පුළුවන්. ජාත්‍යන්තර වශයෙන් පවා ස්වාමීන් වහන්සේලා වෙත ශක්තිය ලබාදෙන කණ්ඩායම් විවිධ සැදැහැවතුන් සිටිනවා. එම නිසා රට ජාතිය වෙනුවෙන් බොහෝ සේවයක් කළ හැකියි. භික්ෂුවගේ කාර්යභාරය අධ්‍යාපනික විමුක්තිය සහ පරාර්ථකාමිත්වයෙන් තොරව භික්ෂු භූමිකාවක් ඇත්තේ නැහැ