Print this Article


ජීවාගේ ලෝකය - බටුවන්ගල රාහුල හිමි ලියන යොවුන් නවකතාව: ජීවාට අද්භූත ඊ - මේල් පණිවිඩයක්

ජීවාට අද්භූත ඊ - මේල් පණිවිඩයක්

ජීවා පරිගණකයේ වැඩක් කර කර හිටියා. ඒ අතර එයාට ඕන වුණා එයාගෙ නමට විද්‍යුත් ලිපි තියෙනවා ද කියලා දැන ගන්න. මොකද? ඇය අන්තර්ජාලයේ මිතුරු ඇසුරක් පටන් අරගෙනයි තිබුණේ.

ඒක නිසා ජීවාට නිතර ම යාළුවෝ විද්‍යුත් ලිපි එව්වා. තමන් කෙරුවේ මහ මෝඩ වැඩක් කියලත් එයාට නො හිතුණා නොවෙයි. ඒ තමන්ගෙ වයස, නම ඇතුළු පෞද්ගලික තොරතුරු අන්තර්ජාලයට එකතු කිරීම එච්චර හොඳ නැති බව මේ ලිපි කියවද්දි තේරුණ නිසා. ඒත් දැන් මොනවා කරන්න ද? ඊ - මේල් ලිපිනය වෙනස් කරන එක හැර එයාට වෙන දෙයක් තිබුණෙ නෑ.

කොහොම හරි ජීවාට එක අතකින් පාලුව මකා ගන්නත් මේ ලිපි කියවීම උපකාරයක් වුණා. සමහරු හොඳ මිතුරො. සමහරුන්ට මහ පුදුම ජාතියෙ ආසාවල් තියෙන්නෙ. ඒ අයගෙ යෝජනා, විවිධ කතා, කියවන කොට ජීවාට හිනාත් යනවා.

එදා ජීවාට තිබුණු ලිපිය හරි අමුතුයි. ඒක එවාපු කෙනාගෙ නම සීමන්... එයා ඉංග්රීිසි ජාතිකයෙක් වෙන්න බෑ කියලා හිතුණේ එයාගෙ ලිපිනය ලංකාවෙ එකක් නිසා. වෛරස් එකක් ද කියලා ජිවාට බවයි. නාඳුනන අයගෙන් එන විද්‍යුත් ලිපි විවෘත කිරීම හරිම මෝඩ වැඩක්. ඒ වගේ ම හරි භයානක දෙයක්. ඒත් ජීවාගෙ හිත කියන්නෙ ඒක විවෘත කරලා බලන්න කියලාමයි. ඕන දෙයක් වෙද්දෙන් කියලා හිතේ තිබුණු කුතුහලය හින්දා ම ජීවා ඒ ලිපිය විවෘත කරා.

“ජීවා ඔබ පිරිසිදු ද?

එච්චරයි ඒ ලිපියෙ තිබුණේ “පිස්සෙක්“ ජීවා තමන්ට ම කියා ගත්තා. එහෙම ප්‍රශ්නයක් අහන්න සීමන් කවුද? අනික එයාට තියෙන උවමනාව මොකක් ද? ජීවා ලිපිය මකලා දැම්මා. ඒත් ඒ

ප්‍රශ්නෙ ජීවාට හරි ප්‍රශ්නයක් වෙලා. මිතුරු හවුලෙ සාමාජිකයෙක් නො වන සීමන් එහෙම ප්‍රශ්නයක් ඇහුවෙ ඇයි....? ඒකෙන් එයා අදහස් කෙරුවෙ මොකක් ද? සමහරක් වෙලාවට එයාට දැනගන්න ඕන වෙලා ඇත්තෙ මා කන්‍යාවක් ද? කියලා වෙන්න ඇති.

“අනේ දෙයියනේ..... ඇයි එහෙම කෙනෙක් මගෙන් මේ වගේ ප්‍රශ්න අහන්නෙ...“ එහෙම නැත්නම් නාලා හොඳට පිරිසිදු ව ඉන්නව ද? කියන එක ද? කොහොම ඇහුවත් ඒකට දෙන්න ඕන පිළිතුර “ඔව්“ කියන එක. ඒත් ඉතින් ඇයි මං නො දන්න කෙනෙකුට එහෙමවත් උත්තරයක් ලියන්නෙ.

ජීවාගෙ හිත ටිකක් කලබල වෙලා. කොහොමත් හැම වැඩකදි ම ජීවා ටිකක් කලබලයි. අම්මා එක්ක කන්න ගියත් රන්ඩු තාත්ත එක්කත් රන්ඩු. තමන්ට ගුරුවරු දීලා තියෙන චරිත සහතිකේ එච්චර හොඳ නෑ කියලත් ජීවා දන්නවා. දෙපාරක් උසස්පෙළ කරලා දෙමව්පියන්ගෙ බලාපොරොත්තු ඉෂ්ට කරන්න බැරි වුණ එකට ජීවා හිටියෙ තමන් එක්ක ම තරහෙන්.

ජීවා පරිගණකය නිවා දමා ඇඳට ගියා. කේන්ති ගියහම ජීවාගේ කම්මුල් මහත් වෙනවා. ඇස්වලට අලුතින් ලේ පිරිලා වගේ ජීවා කොට්ටෙ මූණට තද කරගෙන ඇස් දෙක පියා ගත්තා.

“ඩිංගක් නින්ද යනවා නම්“ හිත ගිනි ගත්තා ම නින්ද යන්නෙ නෑ. ජීවාට ඒක තේරීලා තිබ්බත් ඇය උත්සාහ කෙරුවා ඒක බොරු කරලා නිදා ගන්න. ඒ අතර එයාගෙ ජංගම දුරකථනයට පණිවුඩයක්. ජීවා ඇඳ අයිනෙ තිබිච්ච දුරකථනය අරගෙන බැලුවා. කාගෙන් ද කියලා පණිවුඩය...

“ඇයි උත්තර නො දෙන්නෙ ජීවා..... ඊ - මේල් එකට උත්තරයක් එවනකම් මං බලා ඉන්නවා“

“ඇත්තට ම ඒ මනුස්සයට පිස්සු ද? ජීවා ඉක්මනින් දුරකථනය දිගේ ම මේ පුද්ගලයාට උත්තරයක් දෙන්න හිතුවා. ඈ ඉක්මනින් ටෙක්ස් බොක්ස් එකට ගිහින් ටයිප් කළා මෙහෙම.

“මං හැම අතින් ම පිරිසිදුයි...“

ජීවා පිළිතුර දුරකථනයේ තිබිච්ච අංකයට යැව්වා. ඒ පණිවිඩය ගිය බවට සංඥාවක් නිකුත් වුණා.

“මට පිස්සු......... ඇයි? මං ඇයි ඒ මනුස්සයාට පිළිතුරක් යැව්වෙ.

එදා රෑ වෙනකම් ජිවාගෙ හිත සැහැල්ලුවක් නෑ. එක එක මනස්ගාත ඔළුවට එනවා. තුනිවැනි පාරට විභාගෙ ගන්න ඕන. ඒත් ඒක කාගේ උවමනාවක් ද? කවුරු සතුටු කරන්න ද? මේසෙ පොත් ගොඩ බෝතල් පත්තර එකතු කරන කඩයක් වගේ. ඇඳ උඩ පොත් ටිකයි. මේසෙ උඩ තැනින් තැන පොත්. පොත් රාක්කෙ මකුළු දැල් දූවිලි පිරිලා.... “මං කිසි පිළිවෙළක් නැති කෙල්ලක්“ ජීවාට එහෙම හිතුණා. ඒත් එයාට කාමරේ අස් කරන්න කිසිම ආසාවක් නෑ. ජීවාට එක පාරට ම සීමන් මතක් වුණා. දෙයියනේ එයා අහලා තියෙන්නේ මේවා ගැන ද? ඒත් ඒ මනුස්සයා මගෙ කාමරේට ආවද...? මේ අතරෙ අම්මා ජීවාට කන්න කතා කළා අම්මාගෙ වචන ජීවාට ගෙනාවේ අසතුටක්, කේන්තියක්. ඒ ඇයි කියලා ජීවාට තේරෙන්නෙ නෑ. අම්මාගෙයි තමාගෙයි අතර මොකක්දෝ නොගැලපීමක් තියෙනවා කියලා ජීවාට දැනෙනවා. තාත්තා නිශ්ශබ්දයි. ඒක ඊට වඩා එපා වෙනවා. තාත්තා තමාට කිසි වරදක් නොකළත් තාත්තා පිට කෙනෙක් විදියටයි ජීවාට දැනෙන්නේ. “අනේ මන්ද මට දැන් මා ළඟින් ම ඉන්න අයව පෙන්නන්න බැරි තරං“ ජීවාට ගෙදර පරිසරය එපාවෙලා වගේ.

ජීවා අන්තර්ජාලයෙ මිතුරු ඇසුරක් සෙව්වේ ඒ නිසා වෙන්නැති. එයාට සමීප වෙච්ච අය ගැන එපා වෙලා. ජීවාට කොට්ට උරෙන් එන පුස් ගඳ අපුලයි. “අම්මා මගේ කොට්ට උරේ හෝදලා නෑ. ෂි ජීවාගෙ ඇස් ආයිත් ඉදිමිලා.

ජීවා කෑම මේසෙට ගියේ තියෙන ඔක්කොම කනවා කියලා හිතා ගෙන. ඒත් හදලා තිබිච්ච ව්‍යාඤ්ජන දැක්කහම කෑම එපා වුණා. සලාද, පරිප්පු, අල, මාළු මේවා සේරම දැන් එයාට එපා වෙලා.

සලාද කොළ අස්සෙන් එළියට ආපු කෙස්ගහ දැක්ක ගමන් ජීවාට හරි අප්පිරියාවක් ඇති වුණා.

“ඈයි ය... සලාදෙ කෙස් “ජීවා කෑම පිඟන මේසෙ එහාට තල්ලු කරලා නැගිට්ටේ කේන්තියෙන්.

සීමන්ට අර ප්‍රශ්නෙ අහන්න තිබුණෙ මගෙන් ද? අම්මාගෙන්. මං අපිරිසිදු නම් මට කෙස් ගහ අප්‍රිය වුණේ කොහොම ද? අනේ මටත් පිස්සු... ඒ මනුස්සයාගෙ ලියුම ගැන ඇයි මං මෙච්චර හිතන්නෙ.“

ඇත්තටම ජීවාට තමන්ගේ හැම කි‍්‍රයාවක් එක්ක ම ඒ ලියුම මතක් වෙන්න පටන් අරගෙන. අන්තර්ජාලයේ මුණ ගැහිච්ච කිසිම මිතුරකුගෙන් එවැනි ලියුමක් ලැබිලා නෑ. ඒ ලියුම්වල තිබෙන යාංහෑලි ජීවාට කිසිම මතකෙකුත් නෑ. ඒත් මේ පුංචි ප්‍රශ්නෙ....... නිතර ම දැං හිතට වද දෙනවා.

ජීවා ශීතකරණයෙන් ඇපල් ගෙඩියක් අරගෙන ඒක කටින් කඩා ගෙන කකා නැවත කාමරේට ගියා.

පරිගණකය විවෘත කරගත්ත ජිවා තමන්ගේ විද්‍යුත් තැපැල් පෙට්ටිය පරික්ෂා කරා. ඒකට තවත් ලියුමක්. “අර පුද්ගලයාගෙන් අම්මපා ඒ මනුස්සයට වෙන වැඩක් නැතුව ද..?

ජීවා ඔයා හරි අපිරිසුදුයි

මීළඟ කොටස නිකිණි අව අටවක පෝදා (30) පත්‍රයේ පළවේ.