Print this Article


සෙංකඩගලපුර ඇසළ පෙරහර වරුණ

සෙංකඩගලපුර ඇසළ පෙරහර වරුණ

ශ්‍රද්ධාභිලාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වන්නේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ය. මේ අතිඋත්තම ධාතූන් වහන්සේගේ ලංකා ගමනයෙන් පසු උන්වහන්සේට කළයුතු වතාවත් හා පුද පූජාවන් පිළිබඳ දීර්ඝ විස්තරයක් පෞරාණික ”දාඨාවංස” ආදී වංශ කථාවන්හි සටහන් ව ඇත.

සෙංකඩගල පුරවරයට දළදා වහන්සේ වැඩමවීත් සමඟ ම හින්දු පුද පූජා චාරිත්‍රයන් ද සමඟ සංකලනය වෙමින් දළදා පූජාවන් පැවැත්වීම ආරම්භ වේ. ඒ අනුව වර්තමානයේ දළදා වහන්සේ උදෙසා අලුත් සහල් මංගල්‍යය, අවුරුදු මංගල්‍යය, කාර්තික මංගල්‍යය, (වෙසක්, පොසොන්, ඇසළ) පෙරහර මංගල්‍යය ආදි උත්සවයන් පත්වනු ලැබේ.

වාර්ෂිකව සිදුකරනු ලබන මෙම සතර මංග්‍යයන් අතුරෙන් ඇසළ පෙරහර මංගල්‍යයට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. වාර්ෂිකව සිදුකරනු ලබන මෙම පෙරහර මංගල්‍යයට සහ සම්බන්ධවන පාරම්පරික කලාකරුවෝ, ප්‍රභූවරු මෙන්ම සැදැහැවත් බෞද්ධ ජනතාව පෞද්ගලික හා පොදු අපේක්ෂාවන් පෙරදැරිව පෙළගැසෙති.

ඇතැම් ස්වාමියෝ තම අලි ඇතුන් ද භාරහාර උදෙසා සහභාගි කරවති. හින්දු ජනතාව මෙන් ම වැදි ජනතාව ද තම පෞරාණික චාරිත්‍රයන් ඉටුකරමින් මෙම ඇසළ පෙරහරට සම්බන්ධ වීම විශේෂත්වයකි.

මෙරටට දළදා වහන්සේ වැඩමවන්නේ ථේරීය සම්ප්‍රදායට අනුගත මහාවිහාරය හා මහායාන සම්ප්‍රදායට අනුගත අභයගිරි විහාරය අතර ජනප්‍රසාදය උදෙසා යම් උත්සාහයක් පවත්නා කාලවකවානුවක ය. එහිදි දළදා වහන්සේගේ භාරකාරත්වය හිමිකර ගනු ලබන්නේ අභයගිරි භික්ෂූන් ය. එයට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයක් එකල රජ කළ ශ්‍රී මේඝවර්ණ රජතුමාගෙන් ලැබේ.

ශාසනික සම්ප්‍රදායන්හි පිළිගැනීම් පිළිබඳ යම් යම් පරස්පරතාවයන් තිබුණ ද දළදා වහන්සේ උදෙසා කළයුතු පුදපූජා කාර්යයන් ඉෂ්ට සිද්ධ කිරීමට මේ විහාර පාර්ශව දෙකම එකට අත්වැල් බැඳගත් බවක් පෙනේ.

අභයගිරික භික්ෂුහු දළදා වහන්සේ තැන්පත් කළ “ධම්මචක්ඛ” විහාරයේ සිට අභයගිරි විහාරයට උත්සවශ්‍රීයෙන් කලින් කල වැඩමවීමක් සිදුවිය. පසුව මෙම කාර්ය වාර්ෂිකව සිදුකරන ආගමික චාරිත්‍රයක් බවට පත්විය. පසුව එයට රාජ්‍ය අනුග්‍රහය ද ලැබ ඇසළ මාසයේ සිදුවූ හෙයින් “ඇසළ මංගල්‍යයක් ” ලෙස ප්‍රකට විය. මෙසේ අභයගිරි නිවාසී භික්ෂූන් වහන්සේලා මහජනතාවගේ ප්‍රසාදය ලබා ගැනීමට සිදුකළ දළදා ප්‍රදර්ශනය පසුකාලයේ දී දෙස් විදෙස්හි ප්‍රකට උත්සවයක් බවට පත්ව තිබූ බව “ෆාහියං” නම් චීන භික්ෂූන් වහන්සේගේ ගමන් විස්තරයෙන් පැහැදිලි වේ.

අතීත ශ්‍රී ලංකාද්වීපය කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කොටගත් රාජ්‍යයකි. මේ නිසා ලංකාවාසී ජනතාව කලට වැසි ලබාගෙන ආර්ථික සෞභාග්‍යය ඇති කර ගැනීමටත් තමන්ට සිදුවන්නා වූ අපල උපද්‍රවයන්ගෙන් ආරක්ෂා වීමටත් දළදා වහන්සේගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කළහ.

මේනිසා මෙරට භික්ෂූන් වහන්සේලාගේත් මහජනතාවගේත් දළදා වහන්සේ රැක ගැනීම ප්‍රධාන අරමුණ වු අතර දළදා වහන්සේගේ හිමිකාරිත්වය යමෙක් දරයි නම් ඔහු තම රාජ්‍යත්වයේ ප්‍රධානියා ලෙස පිළිගැනුනි. එමනිසාවෙන් රාජ්‍යත්වයට දෙස් විදෙස් තර්ජන ඇතිවන හැම විටකම භික්ෂූන් වහන්සේලා දළදා වහන්සේ ලංකාවේ විවිධ ස්ථානවලට රහසිගතව වැඩම කළහ.

දළදා වහන්සේ මහනුවරට වැඩම කරවනු ලබන්නේ පළමු විමලධර්මසූරිය රජතුමා විසිනි. පසුව ලංකා රාජ්‍ය නායක්කර් වංශිකයන්ට නතුවිය. සෙංකඩගල පුරය මේ වංශිකයින්ගෙන් වර්ධනය විය. දළදා මාළිගය අවට සතර දේවාල ඉදිවිය. මේ දෙවියන් උදෙසා වාර්ෂිකව පෙරහර උත්සව පැවැත්වූ අතර පසුව ඇසළ පෙරහරේ පෙරමුණට දළදා වහන්සේ උදෙසා පෙරහරක් පැවැත්වීමට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා කටයුතු කළේ

”අවුරුද්දක් පතා මහනුවර සතර දේවාල වල පැවැත්වෙන ඇසළ පෙරහරේ පෙරමුණට දළදා පෙරහරකුත් උවමනා ය ” යන රාජ ආඥාව නිකුත් කරමිනි.

ක්‍රමක්‍රමයෙන් එදවස සිට මහනුවර දළදා පෙරහර උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට රජවරු සමත්වූ අතර 1815 මාර්තු දෙවන දින ඉංග්‍රීසීන්ට ලංකා රාජ්‍ය යටත් වූ පසු පෙරහර පැවැත්වීම නවතා දමන ලදී.

ඉන්පසු කලකදී රටේ ඇතිවූ නියං සමය “දළදා වහන්සේට නිසි පූජා නොපැවැත්වීම නිසා ය” යන මතය රටේ පතළ විය. එවකට ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වූ “එඩ්වඩ් බාන්ස්” මහජන මතයට දළදා ප්‍රදර්ශනයක් පැවැත්වූ අතර නියං සමය දුරු කරමින් ඇදහැළුණු මහා වර්ෂාව ගංවතුරක් බවට පත්විය.

එය අද ද ජනතාව අතර ප්‍රකට ව ඇත්තේ “දළදා වතුර” නමිනි. මේ ආශ්චර්ය සිදුවීමෙන් පසු වර්ෂ 1828 දී උක්ත ආණ්ඩුකාරවරයාගේ අනුමැතියෙන් නැවතී තිබූ පෙරහර නැවත ආරම්භ කර දළදා වහන්සේට අවශ්‍ය පූජා සත්කාර කිරීම සිදු කළහ.

මෙසේ මහජන මතයට ගරු කරමින් 1828 දී නැවත ආරම්භ කරන ලද ඇසළ පෙරහර අද දක්වාම ඉතා සාර්ථකව පවත්වනු ලැබේ.

පෞරාණික ඇසළ පෙරහරේ ගමන් ගන්නා අය අතර කස කරුවෝ නොවූහ. ඔවුන් පෙරහරට එකතු වන්නේ පී. බී. නුගවෙල දියවඩන නිලමෙතුමාගේ කාලයේ දී බව පැවසේ. එසේ එකතුවූ කස පුපුරුවන්නෝ සහ පන්දම් කරකවන්නෝ විසින් වර්තමාන පෙරහරේ විශේෂිත අංගයක් සිදුකරනු ලබති. ඔවුනට මහ ජනතාවගේ විශේෂිත ගෞරවයක් හිමිවන අතර මූල්‍යම පරිත්‍යාග ද පෙරහර අවස්ථාවේ ම සිදුකරනු ලබති.

දළදා පෙරහර නුවර වීදි පුරා දින දහයක් විදී සංචාරය කරන අතර කුඹල් පෙරහර හා රන්දෝළි පෙරහර ලෙස පෙරහර පැවැත්වේ. පෙරහරට සහභාගිවන කලාකරුවෝ බොහෝ දිනක සිට පේවීමකින් පෙරහරට සහභාගි වන අතර මහත් ශ්‍රද්ධාවක් ඔවුන්ගේ සිත්හි තබාගෙන එම කටයුත්ත දළදා වහන්සේ උදෙසා සිදුකරනු ලබති.

දළදා පෙරහර ශ්‍රී ලංකා ද්වීපයේ පමණක් නොව ලෝකයේ ම පැසසුමට ලක්වන මහා සංස්කෘතික මංගල්‍යයකි. ශ්‍රී ලංකාවට ම අවේණික කලා සංස්කෘතික ලක්ෂණ හා වාද්‍ය භාණ්ඩයන්ගෙන් සමලංකෘත ව පවත්වන නිසාවෙන් ඇසළ පෙරහර මංගල්‍යය සංස්කෘතික මංගල්‍යයක් ද වෙයි.

තවද සාම්ප්‍රදායික නැකතට මුල්තැන දෙමින් සියලුම චාරිත්‍ර විධි සිදුකරනු ලබයි. ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය කොට ශ්‍රී දළදා මාළිගයට ගෙවදී. නැවත මහනුවර අස්ගිරි ගෙඩිගේ විහාරය වෙත කුඩා පෙරහරකින් පෙරහර කරඬුව වැඩමවා අස්ගරි මහ නාහිමියන්ට භාරදී එදින රාත්‍රියේ ගේඩිගේ විහාරයේ පෙරහර කරඬුව තැන්පත් කොට අස්ගිරි විහාරවාසී මහා සංඝ රත්නයට හා අස්ගිරි ග්‍රාමවාසි ජනීජනයාට පුදපූජා පැවැත්වීමට අවකාශ සලසා දෙනු ලබති.

මෙම කටයුත්ත පුරාණ චාරිත්‍රානුකූල ව සිදුකරනු ලැබේ. ඉන් පසුව සෙසු දේවාල පෙරහර ගැටඹේ දිය කපන තොටේදී දිය කැපීම සිදුකොට දවල් පෙරහර අස්ගිරි මහා විහාරයෙන් ආරම්භ කර වීදි සංචාරය කිරීමෙන් පසුව ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වේ.