Print this Article


ලක්දිව පින්කෙත කිරි උතුරායා

ලක්දිව පින්කෙත කිරි උතුරායා

බුදුන් වහන්සේ විසින් වදාළ සුවාසූදහසක් ධර්මස්කන්ධවල සෑම අක්ෂරයක් ම ස්පර්ශ කළ වර්තමානයෙහි වැඩ සිටින එකම සාධකය වන්නේ ද දළදා වහන්සේ වීම මෙතරම් ගෞරව සම්මාන ලැබීමට හේතු වන්නට ඇති බවත් පැහැදිලි කරුණකි.

අනුරාධපුර අවධියේ මුල් කාලයෙහි එනම් ක්‍රිි.ව හතර වන සියවසෙහි සිරිමෙවන් රජු දවස දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද්දේ භාරතයෙහි උදේනි පුර රජ කළ උදේනි රජුගේ පුත් දන්ත කුමරුන් හා කලිඟු දේශයෙහි ගුහසිව රජුගේ දියණි හේමමාලා කුමරිය යන දෙදෙනා විසින් බව දළදා ඉතිහාසයෙහි සඳහන් වී ඇත.

එදා මෙදා තුර සියවස් දහ හතකට අධික කාලයක් දළදා වහන්සේ හා බැඳුණු සංස්කෘතිය අතිශයින්ම ගෞරවාන්විත ය.

දළදා වහන්සේ හිමි කාට ද ඔහු රටේ රජු බවට පත්වීමට තරම් මෙම සංස්කෘතිය හෙළ ජන හදවත් තුළ මුල් බැස ගැනීමට එතරම් කාලයක් ගත නොවීය. ක්‍රි. ව. හතර වන සියවසේ රචිත එළු දළදා වංශ කාව්‍ය, පොළොන්නරු යුගයේ ලියවුණ දාඨාවංශ පාලි කාව්‍ය, කුරුණෑගල යුගයේ ලියවුණු දළදා සිරිත හා දළදා පූජාවලිය මහනුවර රචිත දළදා වරුණ, දළදා පූජාවලිය, දළදා හටන, දළදා වංස කාව්‍ය, දන්ත ධාතු විස්තර, දළදා වතුර, දළදා විසිතුර, දංෂ්ට්‍රාධාතු කථා, දළදා සතකය තරම් සුවිසල් සාහිත්‍යයක් දළදා වහන්සේ මුල් කොට රචනා කිරීමට හෙළ සාහිත්‍යකරුවන් පෙළඹී ගියේ දළදා වහන්සේ හෙළයින්ගේ සදාතනික රජු ලෙස සැලකූ නිසා ය.

එසේම විදේශීය සතුරු ආක්‍රමණ සිදුවන හැම විටම රජවරුන්ගේ ප්‍රධානතම කාර්ය වූයේ තම දිවි දෙවෙනි කොට දළදා වහන්සේ ආරක්ෂා කිරීමයි.

අනුරාධපුරයෙන් පොළොන්නරුවට ද පසුව මාඝ ආක්‍රමණයන් නිසා කොත්මලේ, බෙලිගල, දඹදෙණිය, යාපහුව, කෝට්ටේ, දෙල්ගමුව මහනුවර ආදි විවිධ ස්ථානවල ද විසිතුරු විහාර මන්දිර නිර්මාණය කොට දළදා වහන්සේ ආරක්ෂා කිරීමට රජවරු ගත් ක්‍රියා මාර්ග දෙස විමසා බැලීමේ දී පැහැදිලි වන්නේ දළදා වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය ලෙස හෙළයින් පිළිගත් බවයි. බුදුන් වහන්සේ විසින් වදාළ සුවාසූදහසක් ධර්මස්කන්ධවල සෑම අක්ෂරයක් ම ස්පර්ශ කළ වර්තමානයෙහි වැඩ සිටින එකම සාධකය වන්නේ ද දළදා වහන්සේ වීම මෙතරම් ගෞරව සම්මාන ලැබීමට හේතු වන්නට ඇති බවත් පැහැදිලි කරුණකි.

දැනට දළදා වහන්සේ වැඩ සිටින විහාරයට ‘දළදා මාලිගාව’ යනුවෙන් භාවිත වූයේ ද රජු වාසය කරන මන්දිරය මාලිගාව වන හෙයිනි.

ඉහත සඳහන් කළ පැරණි ගද්‍ය පද්‍ය සාහිත්‍යයේ මෙන්ම වර්තමානයෙහි ද දළදා වහන්සේට ගෞරවය දක්වමින් රචිත ගීත සාහිත්‍යයෙහි ද රසිකයින්ගේ ඉමහත් ප්‍රසාදයට පත් වී ඇත. ප්‍රවීණ ගේය පද රචක අජන්තා රණසිංහ විසින් රචනා කරන ලද ධර්මදාස වල්පොලයන් විසින් ගැයුණු පහත ගීතය ද දළදා වහන්සේගේ ආශිර්වාදය ලක් දෙරණට ලැබී ඇති ආකාරය මැනවින් කියාපා යි.

උත්තම මුනි දළදා වඩම්මන
මොක්පුර රන් නෞකා
බලන් සකි සත් සමුදුරු ගැඹරේ
උදේනි රජ පුත් දන්ත කුමරුවන්
උදේනි රජ දූ මාලි කුමරියන්
කෙස් කළඹේ සඟවා හිසින් ගෙන

දන්ත කුමරු හා හේමමාලා කුමරිය විසින් ක්‍රි. ව. හතර වන සියවසේ සිරිමෙවන් රජ දවස දන්ත ධාතුන් වහන්සේ මෙරටට වැඩම කිරීම ලක්වැසි සැදැහැවතුන්ට නිර්වාණගාමී මාර්ගය සලසා දෙමින් ලෝකෝත්තර විමුක්තිය සමීප කරවන සංසිද්ධියක් ලෙස කවියා සිය රසික මනස සරාගී ලෝකයෙන් විරාගී ලෝකයට ප්‍රවේශ කිරීමට සමත් වෙයි.

එසේම ශ්‍රව්‍යගෝචර කර්ණරසායන මිහිරි පදවැල ශ්‍රාවකයාගේ මනස තුළ නිවුණ සැනහුණ සුන්දර සංවර බවක් ඇති කිරීමට සමත් වී ඇත. වර්තමාන සමාජ පරිසරයෙහි කඨෝර රළු පරළු අමිහිරි ශබ්ද තරංග මගින් ශ්‍රාවකයා තදබල වෙහෙසකට පත් වී එයින් මානසිකව රෝගාතුර වී ඇති බව අමුතුවෙන් කිවයුතු නොවේ. එකී රෝගී රසිකයා සුවපත් කිරීමට මෙවැනි ගීතවලින් ලැබෙන්නේ ඉමහත් පිටුබලයකි.

තඹවන් වැල්ලට මල් වැසි වස්සන
නිසි කල රන් ගොයමේ කිරි වද්දන
උත්තම මුනි දළදා හිසින් ගෙන
කෙස් කළඹේ සඟවා වඩම්මන
මොක්පුර රන් නෞකා බලන් සකි සත් සමුදුරු ගැඹරේ

එමෙන් ම බෞද්ධ සංස්කෘතිය මත ගොඩ නැඟුණ හෙළදිව ශිෂ්ටාචාරය කෘෂි ආර්ථිකය මත ගොඩ නැගුණ බව කවියා මෙයින් ධ්වනිත කරවයි. පෙරදිග මහා ධාන්‍යාගාරය යන විරුදාවලිය ලබමින් ලෝක ඉතිහාසයේ අභිමානවත් ගමනක පැමිණීමට හෙළයන් සමත් වන්නේ ද නිවැරැදි දැහැමි ආර්ථික රටාවකට හුරුපුරුදු වූ නිසා ය. එකී ආර්ථිකය මෙම ලක්පොළොව තුළ නිර්මාණය වීමට බුදු දහමින් ලැබී ඇති සදූප දේශයන් කවියා මෙම ගීතයේ පදවැල් තුළ තැම්පත් කොට ඇත.

සත් සිය වරුසක් අනුරපුෙර්යා
ලක්දිව පින්කෙත කිරි උතුරායා
උත්තම මුනි දළදා හිසින් ගෙන
කෙස් කළඹේ සඟවා වඩම්මන
මොක්පුර රන් නෞකා
බලන් සකි සත් සමුදුරු ගැඹරේ

දළදා වහන්සේ දීර්ඝ කාලයක් අනුරාධපුරයේ වැඩ වසමින් අපේ ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිට ලබා දුන් ආශිර්වාදය නැවතත් කවියා සිහිපත් කරවයි. කෙත්වතු සරුසාර වී රට ස්වයංපෝෂිත ව අතමිට සරු වී නිවහල් චින්තනයකින් නිරෝගී ජීවිත ගත කිරීමට උතුම් දළදා වහන්සේ මහානුභාව සම්පන්න ආශිර්වාදය වූ බව ‘ලක්දිව පින්කෙත කිරි උතුරායා’ යන පද්‍ය කණ්ඩය තුළින් මැනවින් ප්‍රකට වේ.

මෙම ඇසළ මාසය දළදා පෙරහර පවත්වන කාල පරිච්ඡේදයයි. එය ලක් රජයේ පවත්වන එකම ජාතික ආගමික කලා මංගල්‍යයයි. රාජකීය පෙළහරයි. ජාතියේ නිවහල් බව කියා පාන මහාර්ඝ වූ අභිමානයයි.