ලොකු හාමුදුරුවන්ගේ
ලියමන
අප හිතවත් ධම්මානන්ද සථවිරයන් වහන්සේ වෙත,
එවන ලද ලියුම් කඩදහිය ලැබුණා. එය කියවලා මම මහත් සංවේගයකට පත්වුණා. අපේ විදුහල්පති
වික්‍රමතිලක මහත්තයා ඔය කියන ළමයව අතින් අල්ලන් පන්සලට එනවා මට හොඳට මතකයි. කොවිඩ්
වසංගතය නිසා මම දැනගෙන හිටියේ නැහැ ළමයාගේ අභාවය ගැන.
වික්‍රමතිලක මහතා ඉතා හොදින් දහම් පාසලුත් එවලා , හොඳට උගන්නපු ළමයා. ඒත් මෝටර්
සයිකලය පාවිච්චි කරල තියෙන්නේ වැරදි විදිහටයි.
දැන් දහම් පාසල්වල මේ කාලීන අභියෝගවලට මූණ දෙන්න දරුවන් යොමු කරන්න ඕන කාලය
ඇවිල්ලා. ඕනෑම ගැටලුවකට පිළිතුරු බුදු දහමේ තිබුණත් අපි ඒවා යාවත්කාලීන කරලා
භාවිතයට ගන්න උගන්නල නැහැ.
බුදුරජාණන් වහන්සේ සර්වඥයි. උන්වහන්සේ ඉදිරිපත් කළේ අකාලික ධර්මයක් . පෙර නොඇසූ
විරූ දහමක්. දරුවෝ වැඩෙන කොට මදයත් වැඩෙනවා. ඒ තමයි යොබ්බන මදය, ආරෝග්‍ය මදය, ජීවිත
මදය. මේ මද රූප මදය, කූල මදය, ජාති මදය, භාෂා මදය, බල මදය ආදී සියලු මදවලට වඩා
බලවත්, යොබ්බන මදය ඒ කියන්නේ තරුණ කමින් මත් වීම. ඒක නිසා වන විනාශය කියලා නිම
කරන්න බැහැ.
තරුණකම ඉතාම හොඳයි . මේ ලෝකේ සියලුම ආගමික නායකයෝ , දාර්ශනිකයෝ බිහි වුණේ තරුණ කාලේ
.අපේ බුදුරජාණන් වහන්සේ , ජෛන මහවීර තූමා, ජේසුස් වහන්සේ, කොන්ෆියුසියුස්තුමා.
ලාඕට්සේතුමා වගේ ආගමික ශාස්තෘවරු තරුණ කාලේ බිහිවුණේ.
අපේ බෝධිසත්වයෝ ගවේෂණ ආරම්භ කළේ කළු කෙස් ඇති, යෞවන වයසේ සිට කියලා බණ පොතේ තියෙනවා
. බටහිර බිහි වුණු සියලු දාර්ශනිකයෝ තේලිස්, අකේසිමැන්ඩල්, අනෙක්සිමීනීස්,
පයිතගරස්, ඇරිස්ටෝටල්. සොක්‍රටීස් ආදී සියලු දෙනා හොඳ යෞවනයේ තරුණයෝ ලෙසයි තම මත
වාද ඉදිරිපත් කළේ. ඒ නිසා මේ ලෝකේ තරුණකම තරම් හොඳ දෙයක් නැහැ.
ඒත් තරුණකමින් මත්වුණාම වන විනාශය කියල නිම කරන්න බැහැ. පාපැදියෙන් මෝටර් සයිකලයේ
වැඩ කරන්න යනවා, මෝටර් සයිකලයෙන් ජෙට් එකේ වැඩ කරන්න යනවා, ත්‍රිරෝද රථයෙන් රේසින්
කාර් එකේ වැඩ කරන්න යනවා. දිය ඇල්ල, බෝක්කූවක වතුර පාර වගේ සලකනවා.පාරේ යන බස්
ඇඟෙන් හප්පලා පෙරළන්න පුළුවන් කියල හිතනවා. මේක තමයි යොබ්බන මදය.
මතකද? එක දවසක් නමසිය හැත්තෑ ගණන්වල අපි දෙන්න ම ගියා කොලඹ මහා රෝහලට අමරවංස නායක
හාමුදුරුවෝ බලන්න. උන්වහන්සේ හිටියේ භික්ෂූ වාට්ටුවේ. අපි ඉතින් ගම්බද ඇත්තොනේ .
රෝහලේ සේවක මහත්තරුන්ගෙන් අපි ඇහුවා භික්ෂු වාට්ටුව කොහේද කියලා . එතකොට කිව්වා
හොන්ඩා වාට්ටුවයි, සුසුකී වාට්ටුවයි පහු කරලා දකුණට හැරිල දිගටම ගියාම 25 වාට්ටුව
තියෙනවා කියලා. ඒ කාලේ තමයි මෝටර් සයිකල් වැහි වැස්සේ. ඒ හොන්ඩයි සුසුකියයි තමයි
රොහල් වාට්ටු දෙකම පිරෙව්වේ. අලුත් නම් දැම්මේ.
අද ගියත් බලන්න ඒ වාට්ටු තිබුණු තැන තියෙනවා ලොකු උස ගොඩනැඟිලි. ඒකට නැග්ගම පේනවා
කනත්ත. ඒ කාලෙත් ඒ වාට්ටුවල හිටපු අය කෙළින්ම ගියේ කනත්තට.
අද තරම් තරුණයෝ මැරෙන කාලයක් ලංකාවේ කවදාක්වත් තිබුණේ නැහැ. යුද්දෙට ගිහිල්ලා රට
ජාතිය වෙනුවෙන් විශාල තරුණ පිරිසක් මැරුණා , ආබාධිත වුණා. ඒක ජාතික කර්තව්‍යයක්.
වීරත්වයට මඟක්. ඒත් අද මහ පාරේ දවසකට 9 ක් 10 ක් මැරෙනවා. වැඩියෙන් ම මැරෙන්නේ
මෝටර් සයිකල්වල යන තරුණයෝ. පිරිමි.
ඊළඟට ත්‍රිරෝද රථ තරුණයෝ, කාර් එළවන තරුණයෝ . ඒ ගොල්ලො හිතන්නේ මේ මහා බ්‍රහ්මගේ
වාහනය වගේ වගේ සතර පැත්තට විදපු ඊතල බිමට වැටෙන්න ඉස්සෙල්ල අල්ලගන්න හංසය වගෙයි
තමන් කියල.
ඒ හැර මත් ද්‍රව්‍යවලින් , මත් වතූර නිසා. දුම්බීමෙන්, දුරාචාරයෙන් මැරෙන පිරිමි
සංඛ්‍යාව ලංකාවේ මුළු ප්‍රමාණයෙන් භාගෙටත් වැඩියි. මෙහෙම ගියොත් අපේ රටත් ඉවරයි .
ජාතියත් ඉවරයි.
අපේ දහම් පාසල් අධ්‍යාපනය ආයෙ පටන් ගත්තම දරුවන්ට කාලීන ගැටළු ගැන උගන්නන්න ඕන.
බුදු දහමේ එක ගාථාවක් වුණත් ඇති මුලු සදාචාරය ම උගන්නන්න. බුද්ධඝෝස ආචාර්යයන්
වහන්සේ එක ගාථාවකින් මුළු ථේරවාදී දර්ශනයම කියල දුන්නේ. ඒ නිසා මේ භවය සාර්ථක
කරගන්න පාඩම් හදමු.
මට මතක හැටියට ස්විස්ටර්ලන්තේ 2019 අවුරුද්දේ, අවුරුදු 19 දක්වා එක ම ළමයෙක් වත්
මාර්ග අනතුරකින් මැරිලා නැහැ. මනුෂ්‍යත්වය දේවත්වයට බ්‍රහ්මත්වයට වඩා උසස්. මේ දහම
පිළිගන්න රටක බෝධිසත්ව චර්යාව වඩන්න තරම් කායික මානසික කුසලතා තියෙන දරුවන් මේ වගේ
මැරෙන එක වළක්වන්න වැඩ කිරීම පරලොව, දිව්‍යලෝකේ යන්න පින් පමුණුවනවට වඩා හොඳයි.
මගේ බලවත් සංවේගය අපේ වික්‍රමරත්න මහත්තයට දැනුම් දෙන්නේ මැනවි.
වසංගත රෝග තත්වයෙන් මිදෙන්නට ඔබ වහන්සේට තිසරණාධාර වේවා
|