Print this Article


උත්සාහය තිබේ නම් මාරයා ද පැරදවිය හැකියි

උත්සාහය තිබේ නම් මාරයා ද පැරදවිය හැකියි

" ලංකාවේ මරණ ස්වභාවය ඉතාම සංවේගජනක ය. දිනකට මහ මඟ යටත් පිරිසෙන් අට දෙනකුට වැඩියෙන් මිය යති. ඉන් වැඩි පිරිස මාරාවේෂ වූ තරුණයෝ යි. මගේ රත්තරන් පුතා මාරයා අරගෙන ගියේයැ’යි වැළපී වැඩක් නැත. වාහනයක් පරිහරණය කළ යුතු ආකාරය කියා දීමට ප්‍රගුණයන්ට සිත් නොදෙන්නේ ද මාරාවේෂය නිසායි."

මරු හෙවත් මාරයා යනු සියලු යහපත් දේට බාධා කරන චරිතයකි. බෞද්ධ ඉගැන්නීම්වල මාරයෝ පස් දෙනෙක් දක්වති. ඒ පඤ්ච මාරයි. එනම් දේවපුත්ත මාර , කිලෙස මාර, ස්කන්ධ මාර, අභිසංඛාර මාර සහ මච්චු මාරයි . මච්චු මාර යනු මරණය යි. සියලු සත්වයෝ මරණයට පත්වෙති.

කිලෙස මාර යනු කෙළෙස් මාරයා යි. තරහා, ද්වේෂ. මෝහ පදනම් වූ සියලු කාය ,වාග්. මනෝ ක්‍රියා ක්ලේස මාරයෝ යි.

ස්කන්ධ මාර යනු පඤ්චඋපාදාන ස්කන්ධ මාරයෝ යි. උපාදානයෙන් තොර පඤ්ච ස්කන්ධ ඇත්තේ රහතුන් වහන්සේලාට පමණි.

අභිසංඛාර මාර යනු පින් පවු අකූසල ස්වභාවයයි. රහතුන් වහන්සේ පුඤ්ඤ පාප පහීනස්ස හෙවත් පින් පවු වලින් බැහැර ගිය අයයි. උන්වහන්සේලා තුල කුසලය පවතී. මෙහි කුසලය අභිසංඛාර මාරයාට අයිති දෙයක් නොව අප්‍රමාදය යි.

දේවපුත්ත මාර යනු වසවර්ති මාරයා යි. මේ මාරයා අපේ ජන ව්‍යවහාරයට ද අයිතියි. නිතර හිරිහැර දෙන තම දරුවන්ට පවා මව්වරු යොදන වචනයකි, වසවත්තියා යන්න. මේ මාරයා අතර සුවිශේෂතා රාශියකි. එකක් ඔහු දෙවියකූ වීමයි. දෙවැන්න මේ සමස්ත දිව්‍ය ලෝක සයේ ම වඩාත් ම සැපවත් හා දීර්ඝකාලීන ජිවිත ඇති දිව්‍ය ලෝකයේ නායකයා වීමයි. එහි ආයු කාලය මිනිස් ලොව වසර එක් දහස් හයසීයක් මෙහි එක දවසකි. මිනිස් ලොව වැඩිම ප්‍රමාණයක් පිං කරන්නෝ මෙහි උපත ලබති. එසේ වුවද, එහි නායක වසවර්ති තෙමේ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයට පරම විරුද්ධකාරයා යි. හේ විවිධ රූප මවා ගැනීමට දක්ෂ වු පුද්ගලයෙකි. මෙයින් අපට වටහා දෙන කාරණය නම් කාමය, රාගය බහුලව හා දැඩි ආත්මීය භව තණ්හාවෙන් යුක්තව කටයුතූ කරන භක්තිවන්තයෝ මේ දෙව්ලොව උපදින බවයි. සාමාන්‍ය බෞද්ධයා දන් පහන් දී චාතූම්මහා රාජිකය, තාවතිංසය, යාමය, තූසිතය, නිර්මාණරතිය , පරනිම්මිත වසවර්තිය යන සදෙව් ලොවින් එක් ලොවක උපත පතයි.

බුදුරජාණන් වහන්සේ අභිමුව ට විවිධ රූපයන්ගෙන් රූපිතව ව පැමිණ සත්‍යාවබෝධයට බාධා කළේ මෙම වසවර්තී මාරයා යි. දැඩි දුෂ්කර වෘත වඩමින් ක්ලාන්තව වැටුණු බෝසතූන් වෙත පැමිණ ‘ඔබ මරණයට පත් වේවි. එබැවින් තව පින් කරගන්න. යාග කරන්න. බ්‍රහ්මචර්යාව වඩන්න යැ’යි කාරුණික ස්වරූපයෙන් ආරාධනා කර සිටියේ ද මේ වසවත්ති මාරයා යි. බෝසතූන් ප්‍රකාශ කළේ ‘ඔබ පවසන පින් අල්ප මාත්‍රයක් මට අවශ්‍යය නැති බව‘යි.

මේ මාරයාට බුදුන් වහන්සේ කථා කලේ ් ‘පාපිමා මාර, නමුචි, යන වහරෙනි. මාර යුද්ධය ගැන ජාතක නිදාන කථාවේ එන විස්තරය සෑම බෞද්ධයකූම අසා ඇත. මාරයා මහා යූද්ධ හමුදාවක් ද බලවත් ආයුධ ද ගෙන , මහා ඝෝෂා නංවමින් පැමිණ බෝධිසත්වයන්ට අභියෝග කලේ උන්වහන්සේ වැඩ සිටින භූමියේ අයිතිය තමන්ට ඇති බව පවසමිනි. මේ සන්නද්ධ සේනාව සහ මහා පිරිස දුටු, බෝසතූන්ට ලැදි ව සිටි සියලුම බ්‍රහ්ම, දිව්‍ය පිරිස හිස් ලූ ලූ අත පලා ගියහ. එහි දී වඩාත් වේගයෙන් පලා ගියේ සක්‍ර දෙවියා යි. මේ පලායෑමෙන් ද බුදු දහමේ සත්‍යතාවක් පැණෙයි, ඒ තමාට තමන් පමණක් බවයි.

මේ මාර සේනාවේ යථා ස්වභාවය මැනවින් දක්වන සුත්ත නිපාතයේ පධාන සූත්‍රය දස මාර සේනා යනු කාමය, අරතිය. බඩගින්න, පිපාසය ,තරහව. අලසකම, බිය ,සැකය, ගූණමකූකම හා මානය, ලාභ සත්කාර පැතීම හා බොරුවෙන් ලැබු කීර්තිය යන මනෝ භාවයන් බව විස්තර කරයි. මේ වසවර්තිගේ දෙව්ලොව ඇත්තේ අභිරූපතර දෙවඟනන් ය. එහෙයින් අභිරූපතම වූවෝ ඔහුගේ

දියණියෝ තිදෙනා යි. එනම් තණ්හා, අරතී. රගායි. මේ වසවර්තියා බුදුන් වහන්සේගේ පසු පසින් අවුරුදු හතක් ලුහු බැන්ඳේ යම් සුලු ප්‍රමාදයක් සෙවිමට යි. එය අපොහෙසත් වූ තැන නිසි කල පිරිනිවන්පාන්න යැයි ආරාධනා කළේය. එම ආරාධනාව පිළිගත් උන්වහන්සේ තම වයසින් අවුරුදු හැත්තැ නමයේ දී තමන් වහන්සේ හමුවීමට පැමිණි මාරයාගේ සිහිපත් කිරීම පිළිගත් සේක. බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර කළේ ඉන් අනතුරුව බව පරිනිබ්බාණ සූත්‍රයේ සඳහන් ය.

මෙලෙස වූ මාර බලය අද ද සමස්ත සමාජය යටපත් කරමින් සිටියි. මත්ද්‍රව්‍ය හා මත් කූඩු සඳහා ද තම පෙම්වතියගේ මෙහෙයීම නිසා ද තම මවට පහර දෙන වසවර්තියා තුළ ඇත්තේ මාරාවේෂය යි. බෝසතුන් ගිහිගෙය හැර යෑමේ ඇතිවු සංවේගය අත්තදණ්ඩ සූත්‍රයේ පැහැදිලි කර ඇත. සංවේගං කිත්තයිස්සාමි යථා සංවිජිතං මම යැයි එදා බෝසතුන්ට පහළ වූ සංවේගය අද සැදැහැවත් සමාජ . උපදේශක කුලදේවතාවුන් තුළ ඇතිවිය යුතුවෙයි. එමෙන් ම තම සිතින් ම, තමන් අවංක සමාජ ප්‍රගතිගාමීයකු යැයි මැන ගන්නා සත්පුරුෂයෝ ද සංවේගයට පත්විය යුත්තාහ. එම සුධීහු මද ජලයෙහි මසුන් දඟලන්නා සේ

මේ ලංකා ද්වීපයේ බාල, තරුණ, මහලු අසරණයන් මාර බන්ධනයට වැටෙන ආකාරය දැකිය යුතු වෙති. ඉන් මිදවීම පිණිස උත්සුක විය යුතු වෙති.සංවිධාන විය යුතු වෙති.

ලංකාවේ මරණ ස්වභාවය ඉතාම සංවේග ජනක ය. දිනකට මහ මඟ යටත් පිරිසෙන් අට දෙනකුට වැඩියෙන් මිය යති. ඉන් වැඩි පිරිස මාරාවේෂ වූ තරුණයෝ යි. මගේ රත්තරන් පුතා මාරයා අරගෙන ගියෝයැ’යි වැළපී වැඩක් නැත. වාහනයක් පරිහරණය කළ යුතු ආකාරය කියා දීමට ප්‍රගුණයන්ට සිත් නොදෙන්නේ ද මාරාවේෂය නිසායි.

මත් ද්‍රව්‍ය. මත් කුඩු නිසා විනාශ වන ජිවිත සංඛ්‍යාව සංවේගය ගෙන දෙයි. එහි දී ද අපි වගකිවයුත්තෝ වෙමු. පිළිකා රෝග, හෘද රෝග හා දියවැඩියාව වැනි රෝගවලින් මිය යන සංඛ්‍යාව අතර ලාංකිකයෝ ඉදිරි පෙළ සිටිති. බුදුන් වහන්සේ වදාළා වූ සහ අපට උරුම දේශීය වූ ආහාර පාන නොසලකා සුරූපී ළදුන් දෙන පණිවුඩය නිසා වස කෑමට පෙළඹී ලාංකිකයා දේශීයත්වය සමග ජීවිතය ද නසා ගෙන ඇත. උහු වනාහී ද වසවත් මරුගේ දියණියෝ ය.

තරුණ, තරුණියන් ද පාසල් බාලක බාලිකාවන් ද මහ මඟ හැසිරෙන හැටි සහ සිය දිවි නසාගන්නා හැටි ඉතා සංවේග ජනක ය. අවශ්‍ය උපදේශනය නොදුන් අප එහි ද වරද භාර ගැනිමට නිහතමානී විය යුතුය. මේ සියල්ලට අපි වරදකාරයෝ දැයි ඉහත මා සඳහන් කල සැදැහැවත්. බුද්ධිමත්. අවංක.ගිහි පැවිදි සුධීහු මට එරෙහි වනු ඇත. එහි වරද ඔබතුමන්ගේමය. ඊට හේතුව මේ උදාර ධර්මය උපදේශනයට යොදා නොගත් බැවිනි. ඒ නිසා මාර පරාජයට බුදුරදුන් යෙදු උපක්‍රම අප ද භාවිතා කළ යුතුය. එනම් ඔබ පාපී මාරයා හෙවත් කාක වර්ණ නමුචි මේ යැයි නිභයව මාරයාව සමාජයට හඳුන්වා දීමයි. එවිට මේ මාරයෝ දුකට පැමිණ. නොසතුටු සිත් ඇතිව, පලා යනු ඇත්තාහ. නිවෙස්ල ධර්ම දේශනය, පාසල් පන්ති කාමරය, උත්සව අනුශාසනය, පාංශූකූල චාරිත්‍රය, මතක බණ සියල්ල මාරයා දුර්මුඛ කළ හැකි ස්ථානයි, එසේවුවද මච්චු මාරාගමනය ළගා විය හැකි බැවින් උපායශීලි ද විය යුතුය.