Print this Article


දියුණුව හෝ පරිහානිය හෝ උත්සාහයේ තරමටයි

දියුණුව හෝ පරිහානිය හෝ උත්සාහයේ තරමටයි

පින්වතුනි,

පත්තකම්ම යන්නෙහි සරල අර්ථය නම් “අංගසම්පූර්ණ” “පිරිපුන්” යන්නයි. බුදුරජාණන් වහන්සේ මෙම පත්තකම්ම සූත්‍රය අනේපිඬු සිටුතුමාට සැවැත්නුවර ජේතවනාරාමයේ දී දේශනා කරන ලද සූත්‍රයකි.

බුදුන් වහන්සේ ඉදිරියෙහි වූ අනේපිඬු සිටුතුමා පුද්ගලයකුගේ ජීවිතයක් සම්පූර්ණ වීමට අවශ්‍ය කරුණු මොනවාදැයි සිතූ කල එම සිතැඟි දැනගත් බුදුහිමියෝ ජීවිතයක් අංගසම්පූර්ණවීමට අවශ්‍ය කරුණු හතරක් දේශනා කළහ.

එනම්, ධාර්මිකව ධනය හෝ භෝගයන් ලැබීම, ධාර්මිකව ධනය ලැබ ඤාතීන් සමඟ හොඳින් ජීවත්වීම එනම් හොඳ ඤාති මිත්‍රාදීන් පිරිසක් සිටීම, දීර්ඝායුෂ ඇතිව ජීවත්වීම හා පරලොව ජීවිතය සුගතිගාමී කරගැනීම යනුයි.

කෙනෙකු ධර්මිකව ධනය ලැබ ජීවත්වේ නම් ඒ ජීවිතය පිරිසිදු හෙවත් කිලුටු නොවූ ජීවිතයකි. අධාර්මික ව උපයන්නා සැපෙන් ජීවත් වුව ද, ඔහුගේ ජීවිතය කිලුටුය. හැමවිටම අවශ්‍ය වන්නේ සාධාරණ බවයි. ක්‍රීඩාවක් කරනා විට අසාධාරණයෙන් දිනනවට වඩා සාධාරණව පරාජය වීම ද ගෞරවාන්විත ය.

එසේ ජීවත් වන්නේ, හොඳ ඤාතීන් ලැබෙන්නේ නම් එය ද සාර්ථක ජීවිතයකි. මිනිසුන් බොහෝමයක් දැන් දැන් තමාගේ කෙනා දියුණු වනවාට අකමැති ස්වභාවයකින් යුක්තයි. එබැවින් අවංකව ම තමාගේ දියුණුව අපේක්ෂා කරන, එසේ අපේක්ෂා කරනවා යැයි විශ්වාස කළ හැකි ඤාතීන් පරිපූර්ණ ජීවිතයකට අත්‍යවශ්‍ය ය.

දීර්ඝායුෂ ලැබීම ද ඉතා දුර්ලභ හා අංගසම්පූර්ණ ජීවිතයක ලක්ෂණයකි. ඒ සඳහා පෙර පින් ඇති බව ද වැදගත් ය. එසේම තමා මනාව පිහිටුවා ගැනීම ද වැදගත් ය. තම ආහාර රටාව චර්යාවන් මනාව පිහිටුවා ගැනීම දීර්ඝායුෂ ලැබීමට මහෝපකාරි වේ. එකී නීරෝගි බවින් දිගාසිරි ලැබීම පරිපූර්ණ ජීවිතයක ලක්ෂණයකි.

පරලොව සුගතිගාමී කර නොගන්නේ නම් එය අඩුවකි. නඛසිඛ සූත්‍රයේ දී පෙන්වූ අයුරින් මිනිසත් බවයක් ලැබ මියගිය පසු නැවත මිනිසුන් ව උපදින්නේ අල්ප පිරිසකි. එබැවින් පරලොව සුගතිය පිණිස කටයුතු කිරීම ද අංගසම්පූර්ණ ජීවිතයක ලක්ෂණයකි.

අනතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනුයේ උක්ත කාරණා සම්පූර්ණ වීමට වැදගත් වන තවත් කරුණු හතරකි.

සද්ධාසම්පදා (ශ්‍රද්ධාව), සීලසම්පදා (සීලය), චාගසම්පදා (ත්‍යාගය) හා පඤ්ඤාසම්පදා (නුවණ) යනුවෙනි.

මෙහිදී සද්ධාසම්පදා නම් වනුයේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය පිළිගැනීමයි. එසේම උන්වහන්සේගේ ගුණයන් පිළිබඳව වන අවබෝධයයි.

අරහං (රහසින්වත් පව් නොකළ, සියලු පූජාවන්ට සුදුසු, සියලු කෙලෙස් නැතිකළ) ගුණයෙන් යුතුබව) සම්මාසම්බුද්ධ (උන්වහන්සේ බුද්ධත්වය තනිවම අවබෝධකළ බව) විජ්ජාචරණසම්පන්න (අටක් වූ විද්‍යාවන්ගෙන් හා පහළොවක් වූ චරණ ධර්මයන්ගෙන් යුතුබව) සුගත (යහපත් ගමන් ඇති බව එනම් කාමසුඛල්ලිකානුයෝගය හා අත්තකිලමථානුයෝගය යන දෙකෙන් ම තොරව මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කිරීම හා යහපත් වචන ඇති බව) ලෝකවිදු (ඕකාස, සංඛාර හා සත්ව ලෝක යන තුන් ලෝකය පිළිබඳව අවබෝධය ඇති බව, සත්ව ලෝක නම් සත්වයා පිළිබඳව අවබෝධය, ඕකාස නම් එකී සත්වයා පහළ වන භෞතික ලෝකය පිළිබඳව අවබෝධය හා සංඛාර නම් එකී සත්වයන්ගේ හා පහළ වන භූමීන්හි හේතු ප්‍රත්‍යයන් පිළිබඳව අවබෝධය ඇති බවයි) අනුත්තර පුරිසදම්මසාරථි බුදුවරයකු හැර වෙනත් කිසිවකු උන්වහන්සේගේ ගුණයන්ට වඩා ඉහළ හෝ සමාන නොවන බැවින් අනුත්තර නම් වන අතර හික්මවිය යුත්තන් හික්මවන බැවින් පුරිසදම්මසාරථි වන බව) සත්ථා දේවමනුස්සානං (මිනිසුන්ට හා දෙවියන්ට ද ශාස්තෘ වන බව) බුද්ධ (තමන් අවබෝධ කොටගත් බැවින් හා අන් අයට අවබෝධ කරවන බව) භගවා (සීලාදී ගුණයෙන් උතුම් බැවින් භගවා නම්) මේ අයුරින් මෙකී ගුණයන් පිළිබඳව අවබෝධයෙන් යුක්තව බුද්ධත්වය විශ්වාස කිරීම සද්ධා සම්පදා නම් වේ.

සීල සම්පදාව යනු පරපන නැසීම ,හොරකම් කිරීම. කාමයෙහි වරදවා එනම් නම් ස්වාමියා හෝ බිරිඳ ඉක්මවා යෑම, බොරු කීම. හා මත්පැන් භාවිතය යන පංච දුශ්චරිතයෙන් වෙන්ව ජීවත්වීමයි.

චාග යනු ත්‍යාගයයි. දන් දීමයි. ඒ අනුව ලෝභ සිතින් තොරව ගිහිගෙයි වෙසේ ද, නිතර දෙනු ලබන ත්‍යාග ඇත්තේ ද, දානයෙන් පිරිසුදු කරන ලද අත් ඇත්තේ ද, දානයෙහි ඇලුනේ ද. ඉල්ලීම කෙරෙහි සුදුසු වූයේ ද, දීම හා බෙදීම යන දෙකෙහි ඇලුනේ ද. මෙය ත්‍යාග සම්පදාය යනුවෙන් හඳුන්වයි.

අභිජ්ඣා නම් වූ විෂම ලෝභයෙන් (එනම් අන්සතු වස්තුව ද, ධනය ද කෙරෙහි පවතින ලෝභය එනම් දැඩි ලෝභය) වාසය කරන්නේ වැරදි කරයි. නිවැරැද්ද නොකරයි. එසේ කිරීමෙන් කීර්තියෙන් ද . සැපයෙන් ද පිරිහෙයි.

එසේම ව්‍යාපාදයෙන් (තරහව, ද්වේශය) මඩන ලද සිතින් වාසය කරන්නේ වැරැදි කරයි. නිවැරැද්ද නොකරයි. එසේ කිරීමෙන් කීර්තියෙන් ද සැපයෙන් ද, පිරිහෙයි.

විචිකිච්ඡාවෙන් (සැකය) යුක්තව වාසය කරන්නේ වැරැදි කරයි. නිවැරැද්ද නොකරයි. එසේ කිරීමෙන් කීර්තියෙන් ද සැපයෙන් ද පිරිහෙයි.

ඒ අනුව සිතේ උපදින්නා වූ උක්ත අකුසලයන් තමන්ට අහිත පිණිස පවතින බව දැන ඒවා දුරු කරයි ද. එය ප්‍රඥා සම්පදාය නම් වේ.

උක්තව දැක්වූ සතරාකාර සම්පදායන් ලැබීම පිණිස ඉවහල් වන තවත් කරුණු හතරකි.

දෑතේ මහන්සියෙන් රැස් කරන ලද. ඩහදිය වගුරුවමින් දැහැමින් ලත් ධාර්මික වස්තුවෙන් තමාව පෝෂණය කොට, මව්පියන් පෝෂණය කරවා, අඹු දරු දාස කම්කරු ආදීන් පෝෂණය කරවයි. හිතවතුන් සුවපත් කරයි. පිනවයි. මෙසේ යහපත් ව යුක්ති සහගත ව භුක්තිවිඳීම පළමුවැන්නයි.

ගින්නෙන් හෝ ජලයෙන් හෝ රජුන්ගෙන් හෝ සොරුන්ගෙන් හෝ අපි‍්‍රයයන්ගෙන් හෝ දායාද ගන්නවුන්ගෙන් හෝ යම් ඒ ආපදා කෙනෙක් වෙත් ද. එබඳු ආපදාවන් හි දී ධාර්මික ව රැස් කරන ලද ධනය ආරක්ෂාකොට ගැනීම දෙවැන්නයි.

නැවත ද උත්සාහයෙන් , දෑතේ මහන්සියෙන්, ධාර්මිකව. රැස්කරන ලද ධනයෙන් කළ යුතු යුතුකම් (බලි) පහක් ඇත.

ඤාතිබලි – තම ඤාතීන්ට සංග්‍රහ කිරීම මෙනමි. “ඤාතකානං ච සංගහෝ” යනුවෙන් ද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එය පුද්ගලයකුගේ දියුණුවට ද ඉවහල් වන බවයි.

ආගන්තුක බලි (අතිථිබලි) එනම් ආගන්තුකයින්ට කරන සංග්‍රහයි. තම මිතුරන් හෝ ඕනෑම කෙනෙක් ආගන්තුකයින් ලෙස පැමිණේ ද ඔවුන්ට තම ධනය යොදවා සංග්‍රහ කළ යුතුයි.

රාජබලි, රජුන්ට දීම මෙනමි. එනම් රජයට ගෙවිය යුතු බදු ආදිය බිල්පත් ආදිය නිසි ලෙස ගෙවීම ද යුතුකමකි.

දේවතාබලි – දෙවියන් වෙනුවෙන් කරන දෑ එනම් පලතුරු වට්ටි ගණනින් පූජා කිරීම නොව පින් කොට දෙවියන්ට පින් දීම තුළ සිදු කරන ක්‍රියාව මෙනමි.

පුබ්බපේතබලි . මිය පරලොව ගියවුන් වෙනුවෙන් කරන දෑ ය. එනම් පින් කොට පින් අනුමෝදනා කරවීමයි. මේ ආදී දෑ ධාර්මික ව ලැබූ ධනයෙන් සිදුකිරීම තෙවැන්නයි.

තමන් ධාර්මික ව ලැබූ ධනයෙන් මදයට, මුළා බවට පත් නොවී සිත දමනය කර ගනිමින් සිල්වත් ව ගුණවත් ව නිවන් මග ගමන් කරයි ද, සුගතියට යයි ද, එය සතරවැනි කාරණාවයි.

මෙලෙස කටයුතු කරන්නා මා විසින් ධනය භුක්තිවිඳීම. පෝෂ්‍ය කළ යුත්තන් පෝෂණය කිරීම, ආපදාවලින් මිදීම හා සිල්වතුන් ගුණවතුන් පිදීම හා පංච බලි සිදුකරන ලදී. එබැවින් මා විසින් ධනය නිසි ලෙස පාවිච්චි කරන ලැබුවා යැයි සතුටට පැමිණේ. එසේ ධන පරිභෝජනය නිසි ලෙස සිදුකරන්නා මෙලොව ජීවිතය ද, සාර්ථක කර ගන්නා සේ ම පරලොව ජීවිතය ද සුවපත් කර ගනී.

කොතරම් අවාසිදායක වුවත් සාධාරණ වන්න. තවෙකෙක් පෙරළාගෙන ලබන ජය හෝ සාර්ථකත්වය සැබවින්ම කිලුටුයි. ධනය පරිභෝජනය හා උපයා ගැනීමේදීත් සාධාරණව. ධාර්මිකව ඒවා සිදුකොට යුතුකම් ද මනාව ඉටුකොට මෙලොව පරලොව සුගතිගාමි කර ගැනීමෙහිලා සියල්ලෝ අධිෂ්ඨානශීලි වෙත්වා!.