සුළු දෙයටත් කෝප වීම
මිනිස්කමට නිගාවක්
වෛරය ශක්තිමත් වෙන්නේ ඉවසීම නැති තැනයි. මෛත්‍රී සිතිවිලි නැති තැනයි. සැනසීම ලබන්න
නම් ඉවසීමත්, මෛත්‍රියත් වර්ධනය කරන්න ඕනෑ.
සෑම පුහුදුන් මිනිසෙකු තුළම තිබෙන දුර්වල මානසිකත්වයන් අතරින් එකක් වන්නේ තරහ ගතිය
යි. මෙය ද්වේශය, ක්‍රෝධය, කෝපය, වෛරය, බද්ධ වෛරය ආදී විවිධ නම්වලින් හඳුන්වන්න
පුළුවනි. කෙසේ හැඳීන්වුව ද ද්වේශය අතිශය බියකරු විනාශකාරි සිතිවිල්ලක්.
ඉතා සුළු කෙලෙස් සිතිවිල්ලක් ලෙසින් මෙය සිතෙහි ආරම්භ වී සිතෙහි ම වැඩී ශක්තිමත් වී
තමන්ට මෙන්ම මුළු මහත් සමාජයට ම සිදු කරන අයහපත විශාල යි. ඉවසීමක් නැති අපගේ සිත
තුළ එය පහසුවෙන් ම පෝෂණය වෙනවා. බොහෝ ප්‍රශ්න ගැටුම් ඇතිකර මේ ද්වේශයට කිසිදින අප
ප්‍රිය නො කළ යුතුයි.
තරහ ඇතිවෙන හැටි
සිතක ද්වේශය ඇතිවීමට හේතු දෙකක් තිබෙනවා. එකක් දැඩි මමත්වය යි. මමත්වය වැඩි තරමට
ද්වේශය ප්‍රබල යි. අනෙක අනවශ්‍ය අපේක්ෂාවන් හා බලාපොරොත්තු යි. අපේක්ෂාවන් වැඩි වූ
තරමට අපේක්ෂා භංගත්වයට මුහුණදීමේ ඉඩද වැඩියි.
මේ ලෝකයේ පවතින කිසිවක් අපට අවශ්‍ය ලෙස ක්‍රියාත්මක වන්නේ නැහැ. එය ලෝක ස්වභාවයක්.
නමුත් අප සිතන්නේ ඒ සියල්ල අපට අවශ්‍ය පරිදි ම පැවැතිය යුතුයි කියා. අපට සීත අවශ්‍ය
වෙලාවේ රස්නය දැනුණොත් අපි රස්නය සමඟින් තරහා ගන්නවා. අද දවස හොඳට පායන්නට ඔිනෑ
යැයි සිතන අවස්ථාවක වැසි වැස්සොත් වැස්ස සමඟ තරහා ගන්නවා. අද නම්, වැස්සොත් හොඳයි
කියා සිතන අවස්ථාවක තදින් පෑව්වොත් අව්ව සමඟ තරහා ගන්නවා. මෙලෙසින් භෞතික සම්පත්
හමුවේ ද තම දරුවන්, ස්වාමි - භාර්යාවන්, දෙමාපියන්, ගුරුවරුන් - සිසු සිසුවියන් ආදී
වශයෙන් සමාජයේ ජීවත්වෙන සෑම දෙනාගේ ම අප බලාපෙරොත්තු වන දේ නො ලැබුණොත් ඒ සමඟ උරණ
වෙනවා. තරහා ගන්නවා. එසේ වන්නේ මමත්ය නිසා යි.
මෙසේ මමත්වයෙන් යුතුව භෞතික ලෝකය පිළිබඳ අනවශ්‍ය ලෙස අපේක්ෂාවන් කඩා වැටෙන විට
ඇතිවන්නේ තරහ ගතියක්. සිතේ තිබෙන මමත්ව නිසා ඔහු සිතන්නේ ලොව සියල්ල තම කැමැත්ත
පරිදිම සිදුවිය යුතුයි කියා. නමුත් ලෝකයේ බොහෝ විට දක්නට ලැබෙන්නේ සිතු දේ නොවී නො
සිතු දෙයක් සිදුවන ස්වභාවය යි. යමෙක් මේ ධර්මතාව සිතට ගෙන ලෝකය හා කටයුතු කරන විට
සිතුදේ සිදුනොවන අවස්ථාවක එයට එරෙහිව අනවශ්‍ය දුකක් හෝ තරහ ගතියක් ඇතිකර ගන්නේ
නැහැ.
ද්වේශයෙන් සිත අඳුරු වනවිට තමා කරන දේ පවා තමාට තේරෙන්නේ නැහැ. එයින් තමන්ටත්
අනුන්ටත් වන හානිය විශාල යි. සාමාන්‍ය ගෘහ ජීවිතයේ දී විශේෂයෙන් මෙය තේරුම් ගෙන
කටයුතු කළ යුතුයි.
ආදීනව දකිමු
ද්වේශයෙන් ඇතැම් අය එකිනෙකා සමඟ රණ්ඩු සරුවල් වන විට බැණ ගන්නා විට කොතරම් පරුෂ වචන
කතා කරනවා ද? තම සිතෙහි කෝපය ආවේගයක් ලෙස ආ විට එය පාලනය කළ නොහැකිව තමන්ගේ ම නිවසේ
භාණ්ඩ කඩා දමනවා. එයින් අනුන්ට මෙන්ම තමන්ට ද සිදු වන්නේ මහත් හානියක්. ආර්ථික
පැත්තෙන් මෙන්ම ආධ්‍යාත්මික පැත්තෙන් ද වන්නේ විනාශයක්.
එනිසා අප සිතෙහි ඇතිවන ද්වේශය පාලනය කිරීමට නම් ද්වේශයෙහි ඇති ආදීනව දැකිය යුතුයි.
ඔිනෑම දෙයක නරක පැත්ත දකින විට ඒ පිළිබඳ සිතෙහි ඇතිවන්නේ කලකිරීමක්. එපාවීමක්. එසේ
කලකිරීම වැඩිවන විට අත්හරින්න කැමැතිනම් ඒ පුද්ගලයාට ද්වේශය දුරුකර ගන්න පහසු යි.
එහි ආදීනව නොදකිනවා නම්, එය තමාගේ අහිත පිණිස පවතිනවා.
වේදේහිකාගේ කතාව
දිනක් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේට මෙසේ වදාළා. පින්වත් මහණෙනි, මේ පෙර
සිදු වූ සිදුවීමක්.
සැවැත්නුවර වේදේහිකා කියලා ගෘහණියක් හිටියා. ඇය ගැන කීර්ති රාවයක් පැතුරුණා.
වේදේහිකා හරි නිහංකාර යි. කීකරු යි. යටහත් පහත් ඇති තැනැත්තියක්. උපශාන්ත කෙනෙක්
කියා. මේ වේදේහිකාට කාලි කියා දාසියක් හිටියා. ඈ හරිම දක්ෂයි. කම්මැළි නැහැ. සෑම
දෙයක් ම සොයා බලා කරනවා.
දිනක් මේ කාලී දාසියට හිතුණා “මගේ ස්වාමි දියණිය ගැන මේ ආකාරයට සුන්දර කීර්ති
රාවයක් පැතිරී තිබෙන්නේ ඇය ඇත්තට ම උපශාන්ත නිසා ද? නැතිනම් ඇය මම සියලු වැඩ සොයා
බලා කරන නිසා කෝපය සඟවා ගෙන සිටිනවා ද? මම ස්වාමි දියණිය ගැන විමසා බැලිය යුතුයි”
සිතා පසුදා කාළී පාන්දර අවදි නොවී දවල් වී නැගිට්ටා. එදා වේදේහකා කාළීට මෙහෙම
කිව්වා.
“ඒයි කෙල්ලේ කාලි නුඹ මොකද අද දවල් වී අවදි උනේ?”
“ස්වාමි දියණියනි, කිසිවක් නැහැ”
“එහෙම ද? කිසිම හේතුවක් නැතිව නුඹ දවල් වෙනතුරු අවදි නොවුණාම මේ නිවසේ වැඩ කරන්නේ
කවුද?” කියා මදක් කෝපයෙන් ඇහිබැම හකුලා කියා සිටියා.
එවිට කාළී සිතනවා “හරි! මගේ ස්වාමි දියණිය තිබෙන්නා වූ කෝපය මතු කරන්නේ නැතිව ඉන්නේ
මම වැඩ අඩුපාඩුව නැතිව කරන නිසා යි. නැතිව ඇය උපශාන්ත කෙනෙක් නොවේ. මම තවත් ඇය ගැන
විමසන්න ඔිනේ” සිතා පසුවදාත් ටිකක් දවල් වේලා අවදි වුණා.
එදාත් වේදේහිකා කාළීගෙන් මෙසේ අසා සිටියා.
“ඒයි කෙල්ලේ නුඹ මොකද අදත් බොහෝ ප්‍රමාද වී නැගිට්ටේ?”
“හේතුවක් නැහැ ස්වාමිනි දියණියනි, මම නිකං හිටියේ.”
“පාපී වැඩකාරී නුඹ දවල් වී අවදි වූයේ හේතුවක් නැතුව ද?” කියා කේන්ති ගත්තා.
කාළී දැනගත්තා “මගේ ස්වාමි දියණිය දැඩි කෝපයෙන් යුතු කාන්තාවක්. ඇය තුළ මෙත් සිතක්
නැහැ. ඇය අපව රවටමින් ඉන්නේ” සිතා පසුවදා ඊටත් දවල් වී අවදි වූවා. එදාත් වේදේහිකා
අසනවා
“ඒයි කෙල්ලේ කාළී නුඹ අදත් පරක්කු වී අවදි වූයේ ඇයි?”
“ස්වාමි දියණියනි, හේතුවක් ඇතිව නොවේ මම පරක්කු වී නැගිට්ටේ.”
“එහෙමද වැඩකාරී. නුඹ කිසිදු හේතුවක් නැතිව පරක්කු වී අවදි වුණාම මේ නිවසේ වැඩ
කරන්නේ කවුද?” කියා මහත් වූ කෝපයෙන් නො සතුටු සිත් ඇතිකරගෙන ඇයගේ අතට හසු වූ දොර
පොල්ලෙන් දාසියගේ ඔළුවට පහර දුන්නා. දාසිය ඔලුව පැලී ලේ ගලද්දී නිවසින් එළියට පැන
අහල පහළ අයට කියා සිටියා “මේ බලන්න ඔබලා උපශාන්ත යි, කීකරු යි, මෙත්සිතින් සිටිනවා
කියන මගේ ස්වාමි දියණිය මම ප්‍රමාද වී අවදි වුවා කියා මගේ හිසට පහර දී ඔලුව පැලුවා”
කියා.
මහණෙනි, කලක් යනවිට මේ වේදේහිකාගේ ළාමක අපකීර්තිය පැතිරී ගියා. වේදේහිකා නපුරු,
දරුණු, නො සන්සුන් , කෝපයෙන් යුතු තැනැත්තියක් කියා. (ම.නි. කකචූපස සූත්‍රය).
එනිසා අනුන්ගේ ක්‍රියාකාරකම් නිසා තමන්ගේ සිතෙහි ඇතිවන අකුසල සිතිවිල්ලට වගකිව
යුත්තේ තමන්ම යි. අසවලා මට ගැසුවා ය. බැන්ණා ය. මාව පරාජයට පත් කළා ය ආදී සිතමින්
වෛරය ශක්තිමත් නොකර ඉවසීමෙන් මෛත්‍රියෙන් ඒ සිතිවිලි පාලනය කර ඉවසීමෙන් ලැබෙන
සැනසීම අත්විඳ බලන්න.
නයනා නිල්මිණී |