Print this Article


විවාහ ජීවිතය කරදරකාරී නොවීමට නම්...

විවාහ ජීවිතය කරදරකාරී නොවීමට නම්...

විවාහ ජීවිතයට පත්වීම තුළින් තනිව සිටි පුද්ගලයා දෙදනකු බවට පත්ව ඒ තුළින් පවුල් සංස්ථාවක් ගොඩනැඟේ. සමාජයේ මූලිකම ඒකකයක් වන පවුල සාර්ථකත්වයෙන් යුතුව පවත්වාගෙන යාම විවාහ ජීවිතයට පත්වන සැමගේ බලාපොරොත්තුවයි.

එසේ වුවද සමාජයේ පවතින හා ඇතිවන විවිධ තත්ත්වයන් මුල්කරගෙන පවුල් සංස්ථාව බිඳ වැටීමට හේතුවෙයි. එසේ පවුල් සංස්ථාවක් බිඳ වැටීමට හේතුවන කරුණු පිළිබඳ සලකා බැලීමේ දී එකිනෙකාට දැනෙන ලෙස ආදරය නොදැක්වීම, සන්නිවේදනය අඩාල වීම, වගකීම් පැහැර හැරීම, එකිනෙකාට ගෞරව නොදැක්වීම, කාර්ය බහුල බව නිසා එකිනෙකාට නොසලකා හැරීම, අනෙක් පාර්ශ්වයට ඇහුම්කන් නොදීම, අනෙකා අගය නොකිරීම, නොඉවසීම, අධික කෝපය, ආදී කරුණු ඉන් සමහරෙකි.

මෙකී කරුණු පදනම් කරගෙන වර්තමානයේ ද බොහෝ පවුල් බිඳවැටීමට හේතු වී ඇත. මෙකී කරුණු මුල්කරගෙන දරුවන් හට මව හෝ පියාගේ වෙන්ව යාම, දරුවන්ට මව්පියන්ගේ සෙනෙහස අහිමි වීම, දරුවන්ගේ ඉදිරි අනාගතය අඳුරුවීම, දරුවන්ට ආරක්ෂාව නැතිවීම ආදි කරුණු මෙන්ම පිරිමි පාර්ශ්වය මත් පැනට ඇබ්බැහිවීම, අනියම් සම්බන්ධතා ගොඩනඟා ගැනීම මෙන්ම වාද විවාද කලහ ඇතිවීම, අවසන මිනීමැරුම් දක්වා මෙම පවුල් සංස්ථාවේ බිඳ වැටීම උග්‍රවීම සිදුවෙයි. එබැවින් මෙවන් තත්ත්වයන් අවම කරගෙන තෘප්තිමත් පවුල් ජීවිතයක් ගත කළ යුතු ආකාරය සඳහා බුදු දහමෙන් මඟ පෙන්වීමක් සිදුකරයි.

පවුලක් ගොඩනඟා ගැනීමේ ප්‍රධාන සාධකය නම් අඹුසැමි සම්බන්ධතාවයයි. බෞද්ධ සූත්‍ර ධර්මාවලී ස්වාමියාගේ හා භාර්යාවගේ කාර්ය භාර්ය පිළිබඳ සාකච්ඡා කරයි. ඒ අනුව ගිහි විනය ලෙස දැක්වෙන සිඟාලෝවාද සූත්‍රයේ දී ස්වාමි භාර්යා දෙපාර්ශවයේ මනා සම්බන්ධතාවය සඳහා දෙපාර්ශවය මඟින් ඉටුවිය යුතු යුතුකම් මාලාවක් දක්වා ඇත.

ඒ අනුව ස්වාමි පුරුෂයා තම භාර්යාව කෙරෙහි සම්මානයෙන් අවමන් නොකිරීමෙන්, පරඹුවන් කරා නොයෑමෙන්, ගෙදර කටයුතු භාරදීමෙන්, ඇඳුම් පැළඳුම් ආභරණ ලබා දීමෙන් සංග්‍රහ කළ යුතු ය. මෙසේ සැලකුම් ලබන භාර්යාවද තම ස්වාමි පුරුෂයා කෙරෙහි කටයුතු කළ යුතු අයුරු දක්වා ඇත්තේ මෙසේ ය.

මැනවින් ගෙදර කටයුතු කිරීමෙන්, අන් පුරුෂයන් කරා නොයෑමෙන්, ස්වාමියා උපයන වස්තුව රැකීමෙන්, පිරිවර ජනයාට හොඳින් සංග්‍රහ කිරීමෙන්, සෑම කාර්යයකම දක්ෂව අනලස්ව ක්‍රියාකිරීමෙන් අනුගමනය කළ යුතු ය.

මෙසේ අන්‍යොන්‍ය සම්බන්ධතාවය මනාව පවත්වා ගනිමින් එකිනෙකා අගයමින්, ගරුසරු ඇතිව කතා බස් කිරීමෙන් කටයුතු කළ යුතු ම ය. ඉවසීමෙන් කටයුතු කළ යුතු ය.

දීඝ නිකායේ වත්ථු සූත්‍රයේ දී බුදුරදුන් පෙන්වා දී ඇත්තේ බිරිඳ තම හොඳම මිතුරිය ලෙස සලකා කටයුතු කළ යුතු බවයි. ඉන් දෙදෙනා අතර විශ්වාසය ගොඩනැඟෙන පරිදි තම අදහස් ප්‍රකාශ කළ යුතු ය.

එසේම අඹු සැමියන් අතර අන්‍යොන්‍ය සබඳතාව බිඳ වැටීමට හේතුවන මූලික කාරණයක් වනුයේ දෙදෙනා අතර පවතින වයස් පරතරයයි.

පරාභව සූත්‍රයේ දී වයෝවෘද්ධ මිනිසකු තිමිරිඵල වැනි පියයුරු ඇති තරුණියක ආවාහ කරගෙන ඇය කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් නොනිදා ඇය රැකීම ට වෙහෙස ගැනීම පිරිහීමේ දොරටුවක් ලෙස දක්වා ඇත. එබැවින් දෙදෙනා අතර සමාන වයස් පරතරයක් පැවතිය යුතු ය. සිද්ධාර්ථ කුමරු හා යශෝධරා කුමරියගේ විවාහ ගිවිස ගැනීම බෞද්ධ සාහිත්‍යයේ සම වයස් ගැළපීමට ඇති හොඳම නිදසුනයි.

එක් බිරිඳකගෙන් එක් ස්වාමි පුරුෂයාගෙන් සතුටුවන පවුල් ජීවිතය බුදු දහමෙන් ඇගයීමට ලක්කරයි. තම බිරිඳගෙන් සතුටු නොවී පරඹුවන් කරා යෑම පිරිහීමටත්, අපවාදයන්ට ලක්වන බවත් පරාභව සූත්‍රයේ දී පෙන්වා දී ඇත. නූතනයේ බොහෝ සමාජ රෝගයන්ට පවා හේතු වී ඇත්තේ මෙකී කරුණයි.

එසේම වසල සූත්‍රයේ දී බුදුරදුන් පෙන්වා දී ඇත්තේ නෑදෑයින්ගේ හෝ යහළුවන්ගේ බිරින්ඳෑන් සමඟ බලහත්කාරයෙන් හෝ කැමැත්තෙන් විසීම වසල ගතියක් ලෙසයි. එසේම ඉත්ථි මුතෙකා ලෙස ස්ත්‍රී ලෝලීවීම ද පිරිහීමට කරුණක් ලෙස දක්වයි. එසේ නොවී කටයුතු කිරීම තෘප්තිමත් පවුල් ජීවිතයකට මඟ පාදයි.

නකුල පිතා සහ නකුල මාතා දෙදෙනා බුදුරදුන් වෙත පැමිණ පවසා සිටියේ තමන් එකිනෙකාට සිත් රිදවන කිසිදු වචනයක් පවා පවසා නොමැති බවයි. එබැවින් මතු භවයේ එකට සිටීමට අප කුමක් කළ යුතුදැයි විමසූ කල්හි බුදුරදුන් වදාළේ සද්ධා, ශීල, ප්‍රඤ්ඤා, චාග යන ගුණාංගයන් සම මට්ටමෙන් අනුගමනය කිරීම එසේ වීම හේතු කරගත හැකි බවයි.

එසේම තම ස්වාමි පුරුෂයා වෙනුවෙන් කටයුතු කරන බිරිඳගේ විවිධ ගති ලක්ෂණ ද බුදු දහමේ උගන්වයි.

මාතු භරියා - මවක් වැනි භාර්යාව

භගිනි භරියා - නැඟණිය වැනි භාර්යාව - යහපත් භාර්යාවකගේ ලක්ෂණ

දාසි භරියා - දාසියක වැනි භාර්යාව

සඛී භරියා - මිතුරිය වැනි භර්යාව

චොරි භරියා - සෙරක වැනි භර්යාව

වධක භරියා - වධ කාරියක වැනි භාර්යාව - අයහපත් භාර්යාවකගේ ලක්ෂණ

අස්‍ය භරියා - අධිපතිනියක වැනි භාර්යාව

මේ අතරින් යහපත් භාර්යාවකගේ ලක්ෂණ අනුගමනය කරන භාර්යාව සිටින පවුලේ තෘප්තිමත් පවුල් ජීවිතයක් සඳහා අවකාශ ඇතිවේ. එබැවින් බුදු දහමේ උගන්වන මෙකී කරුණු අනුගමනය කිරීම සාර්ථක පවුල් ජීවිතයක් සඳහා මඟ පාදයි.