Print this Article


බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසය

බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසය

තමන් කළ වරද නිසා උපන් පශ්චාත්තාපයෙන් අජාසත් රජුට සුව නින්දක් නොලැබුණි. තමාට චෛතසික සහනයක් ලබා දිය හැක්කේ බුදුරජාණන් වහන්සේට පමණක් බව දැන ජීවක සමඟ ඔහු බුදුරදුන් දැකීමට අඹ වනයට ගියද වරදකාරී හැඟීම නිසා බුදුරජාණන් වහන්සේ හා කතා කිරීමට ධෛර්යය නොමැතිව වට පිට බලමින් සිටියේ ය. සංසුන්ව වාඩි වී සිටි භික්ෂූන් වහන්සේලා බලා “මගේ පුතාටත් මේ විදියට සංසුන්ව ඉන්නට පුළුවන් නම් කොච්චර හොඳදැයි” සිතුවේ ය. බුදුරජාණන් වහන්සේ අජාසත්තගේ සිත හඳුනා ගෙන ඔහුට කතා කළ සේක.

දෙතිස් මහාපුරුෂ ලක්ෂණ හා අසූවක් වූ අනුව්‍යඤ්ජන හෙවත් අතිරේක සුවිශේෂ ලක්ෂණ සංඛ්‍යාත වූ රූප කාය සම්පත්තිය මෙන් ම උන්වහන්සේගේ දේශනා විලාසයේ විවිධ සන්නිවේදන ක්‍රම පාලි සත්‍ර, අට්ඨකතා, ටීකා, ජිනචරිත, ජිනාලංකාරවණ්ණනා ආදී පාලි ග්‍රන්ථවල ද ඒවා මූලාශ්‍ර කොට ලියැවුණු සිංහල සම්භාව්‍ය ගද්‍ය ග්‍රන්ථවල ද වර්ණනාවට පාත්‍ර වී තිබේ.

ධර්මය ඇසීමට ද, යම් යම් කරුණු නිරවුල් කොට ගැනීමට ද උපදෙස් ලබා ගැනීමට ද ඒ ඒ ලබ්ධීන්හි එල්බ ගෙන වාද කිරීමට ද විවිධාකාර පුද්ගලයෝ බුදුන් වහන්සේ වෙත පැමිණියහ. එසේ ම පිහිට අවශ්‍ය අය දිවැසින් දැක උන්වහන්සේ එවැන්නන් වෙත වැඩියහ.

හික්මවිය යුත්තන් හික්මවා දහම් දෙසා යහ මඟට යොමු කළහ. මෙකී සියලු දෙනාට ම බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ එකම ආකාරයකට නොවේ.

දේශනාවේ ඉලක්කය එක් තැනැත්තකු නම් ඒ පුද්ගලයාගේ බුද්ධි මට්ටම, සමාජ පසුබිම, එම අවස්ථාවේ ඒ පුද්ගලයාගේ මානසික වාතාවරණය, සිත උකටලී ද සංසුන් ද සාහසික ද සැක සංකා සහිතව ද බියපත්ව ද යන වග අවබෝධ කොට ගැනීමේ හැකියාව ආදිය බුදුරජාණන් වහන්සේගේ සැලකිල්ලට හසු විය.

හික්මවිය යුතු සත්ත්වයන් හික්මවීම සඳහා බුදුරජාණන් වහන්සේ අනුගමනය කළ ක්‍රම දෙකක් බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වේ. එනම්, දේශනා විලාසය හා සෘද්ධිප්‍රාතිහාර්ය යන ක්‍රමෝපායද්වය යි. ප්‍රශ්න ව්‍යාකරණ විධිය බුදුන් වහන්සේගේ දේශනා විලාසයේ වැදගත් ලක්ෂණයකි. උන්වහන්සේ මේ ක්‍රමය උපයෝගී කොට ගත්තේ අන්‍ය ලබ්ධිකයන් උන්වහන්සේ හා වාදයට පැමිණි විට ය. නිගණ්ඨනාතපුත්‍ර පෙන්වන පරිදි කුසලාකුසල කෙරෙහි වඩාත් ම බලපාන්නේ කායික ක්‍රියාව බව සනාථ කොට මනසෙහි මූලිකත්වය සම්බන්ධ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම (වාදයෙන් වාද කොට) නිශ්ප්‍රභා කිරීමට ය.

උපාලි තම වාද ශක්තිය ගැන ඉමහත් ආත්ම විශ්වාසයකින් පසු වූවෙකි. එසේම පාපයට මනස නොව කායික ක්‍රියාව ම ප්‍රධාන වශයෙන් හේතු වන බවට තම ශාස්තෘවරයාගේ ඉගැන්වීම තදින් ම පිළිගත් තැනැත්තෙකි. ‘මනෝ කර්ම හා කාය කර්ම’ අරබයා තමන් වහන්සේ හා වාදයට පැමිණි උපාලිට බුදුන් වහන්සේ පළමුව ධර්මය දේශනා කළේ නැත. උන්වහන්සේ කළේ උපාලිගේ ලබ්ධිය ගැන ප්‍රශ්න කිරීම ය. එක් ප්‍රශ්නයකට දෙන පිළිතුර පාදක කොට ඊළඟ ප්‍රශ්නය නැඟෙයි. මේ ප්‍රශ්නෝත්තරාවලිය මජ්ක්‍ධිම නිකායේ උපාලි සූත්‍රයේ පැහැදිලිව දැක්වේ. ක්‍රමයෙන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්නයට උපාලි දෙන පිළිතුර මනසෙහි මූලිකත්වය ම තහවුරු කරන්නක් විය.

නිගණ්ඨ ධර්මය අනුගමනය කරන තැනැත්තා ප්‍රාණඝාත, අදින්නාදාන, පඤ්චකාමානුභාවය, බොරු කීම ආදියෙන් වැළකෙන්නා සේ ම සීතල වතුර, දිරච්ච කෝටු, පරඬලා, ගල්, කැබිලිති ආදිය ප්‍රාණින් සේ සලකා සීතල වතුර බීමෙන්, කෝටු ආදිය කැඩීමෙන් වැලකෙයි. එහෙත් ඇවිද යන විට පයට පෑගී සමහර කුඩා ප්‍රාණීහු මැරෙති. එහි විපාකය කවරේ ද? යි බුදුහු උපාලිගෙන් ඇසූහ.

මරණ චේතනාවක් නැති නිසා පව් නැත යනු උපාලිගේ පිළිතුර යි. ‘සිටුවරය, තමා මුලින් ම කිවූ දෙය හා දැන් කියන දෙය ගැළපෙන්නේ නෑ නොවේ ද? බුදුරදුන් විමසූ විට බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම ‘යතාර්ථය’ ලෙස පිළිගැනීමට උපාලිට අවසානයේ සිදු විය.

උපාලි සිටුවරයා එතෙක් තමා ඇදහූ ලබ්ධිය අතැර බුදුරදුන් සරණ ගියේ ය. සූත්‍රයේ ඊළඟ කොටසින් දැක්වෙන්නේ අන්‍යාගමිකයන් කෙරෙහි පැවති සහනශීලී පිළිවෙත ය.

තමන් වහන්සේ කෙරෙහි පැහැදී සරණ ගිය උපාලි නම් ප්‍රසිද්ධ සිටුවරයාට බුදුරජාණන් වහන්සේ වදාළේ ඉක්මන් නොවී සිතා පරීක්ෂා කොට සරණ යන ලෙස ය. එසේ ම එතෙක් පවත්වාගෙන ආ ලෙසට ම නිගණ්ඨයන්ට දානය දෙන ලෙස ද බුදුහු වදාළහ.

බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණික යාග හෝම විධි අනුමත නොකළහ. යාග හෝමාදියේ දී තිරිසන් සත්ත්වයෝ සිය දහස් ගණනින් මරන ලදහ. එසේ මරනු සඳහා විවිධ වර්ගයේ සතුන් සත්සියය බැගින් අල්ලා බැඳ යාගය පටන් ගැනීමට පෙර කූටදන්ත බමුණාට යාග පටිපාටියට සම්බන්ධ එක්තරා කරුණු දෙකක් පැහැදිලි කොට ගැනීමට අවශ්‍ය විය. ඒ කරුණු දෙක නම්, යාග සම්බන්ධ වූ ත්‍රිවිධ යාග සම්පත් හා සොළස පරිවාර යි. කූටදන්ත බුදුරදුන් වෙත ගොස් ඒ කරුණු පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටියේ ය.

බුදුරජාණන් වහන්සේ ඒවා විග්‍රහ කළ ආකාරය දීඝ නිකායේ කූටදන්ත සූත්‍රය හා එම අටුවාවේ දැක්වේ. ‘යාග‘ ශබ්දයේ ‘දානය’ යන තේරුමක් ද ඇත. බුදුරජාණන් වහන්සේ ඒ අර්ථය ‘යාග‘ යන්නට ආරෝපණය කරමින් පෙර ආත්මභාවයක මහාවිජිත නම් රජකු කිසිම සත්ත්ව ඝාතනයක් නොකොට රටවාසීන්ට පීඩනයක් ඇති නොවන සේ ද, දානයට සහභාගිවීමට කැමති අයට අවකාශ දෙමින් ද ‘යාගයක්’ පැවැත් වූ ආකාරය ද ඒ යාගය පැවැත්වූ රජ හා යාගයට උපදෙස් දුන් පුරෝහිත ද දිව්‍ය ලෝකයෙහි උපන් බව ද වදාළ සේක.

ඒ යාග පටිපාටිය සම්බන්ධ ත්‍රිවිධ යාග සම්පත්ති හා සොලොස පරිවාර ද බුදුරදුන්ගේ ඉගැන්වීම්වලට අනුකූල විය. කතන්දරය අවසානයේ බෙහෙවින් සතුටට පත් කූටදන්ත සතුන් මුදා හරින ලෙස පණිවුඩ යවා බුදුරජාණන් වහන්සේට පසුදින දානයට ද ආරාධනා කළේ ය.

මෙසේ ‘දේශනා විලාසයේ’ අංගයක් ලෙස බුදුරජාණන් වහන්සේ උපහැරණ කතා දැක් වූ බවට නිදසුන් එමට ඇත. කෙනෙකුගේ බාහිර හැසිරීම අනුසාරයෙන් ඔහුගේ සිත වැඩ කරන ආකාරය හඳුනාගෙන ඔහුගේ සිතේ සබකෝලය හැර බුදුරජාණන් වහන්සේ ම ඔහුට ඇමතීම උන්වහන්සේ අනුගමනය කළ තවත් උපක්‍රමයකි. අජාසත් රජ පිතෘ ඝාතකයෙකි.

තමන් කළ වරද නිසා උපන් පශ්චාත්තාපයෙන් අජාසත්ට සුව නින්දක් නොලැබුණි. තමාට චෛතසික සහනයක් ලබා දිය හැක්කේ බුදුරජාණන් වහන්සේට පමණක් බව දැන ජීවක සමඟ ඔහු බුදුරදුන් දැකීමට අඹ වනයට ගියද වරදකාරී හැඟීම නිසා බුදුරජාණන් වහන්සේ හා කතා කිරීමට ධෛර්යය නොමැතිව වට පිට බලමින් සිටියේ ය.

සංසුන්ව වාඩි වී සිටි භික්ෂූන් වහන්සේලා බලා “මගේ පුතාටත් මේ විදියට සංසුන්ව ඉන්ට පුළුවන් නම් කොච්චර හොඳදැයි” සිතුවේ ය. බුදුරජාණන් වහන්සේ අජාසත්තගේ සිත හඳුනා ගෙන ඔහුට කතා කළ සේක.

අංගුලිමාලට තවත් දිවීමට නොහැකි තරමට මහන්සි වන තුරු බුදුරජාණන් වහන්සේ දිගට ම සංසුන්ව වැඩියහ. අංගුලිමාල නැවතී

‘මහණ නවතිනු’යි අණ කළේ ය. ‘මා නම් නැවතිලා. ඔබ තමා දුවන්නේ’යි බුදුරජාණන් වහන්සේ වඩිමින් ම වදාළ සේක. අංගුලිමාල විමතියට පත් විය.

‘ගමන් කරන ඔබ නැවතී සිටින බවත් නැවතී සිටින මා දුවන බවත් කියා බොරුවක් කියන්නේ ඇයිදැයි අංගුලිමාල විමසුවේ ය.’

‘ක්ෂාන්ති මෛත්‍රියෙහි පිහිටා කෙලෙස් සිඳ දමා මා සසර ගමන නවතා සිටිමි. ආයුධ රැගෙන හිංසාකාරී ලෙස හැසිරෙන ඔබ දැන් ඔය විධියට නැවතී හිට ගෙන සිටියත් ඔබ සසර දුවන්නෙහි’ ය යනු බුදුරදුන්ගේ පිළිතුර විය. අංගුලිමාලට තම අරමුණ අමතක විය. ඔහු බුදුරදුන් හැඳින ගත්තේ ය. ආයුධ ඉබේ ම බිම පතිත විය. ඔහු බුදුරදුන් වෙත ගොස් බිම වැටී වැන්දේ ය. ඔහුගේ මානසික වාතාවරණය ධර්ම ශ්‍රවණයට සුදුසු සේ සැකසිණ.

මෛත්‍රිය පැතිරවීමෙන්, සුහද සල්ලාපයෙන්, සාපිපාසාවෙන් පෙළෙන්නන්ගේ සාපිසාසා නිවීමෙන්, අවාසනාවන්ත ඉරණමකට හසුව වියරුවෙන් තමන් වෙත දුව එන්නන් සංසුන් කරමින් බුදුරජාණන් වහන්සේ සත්වයනට ශාන්තිය සැලසූහ.

පුද්ගලයන් කීප දෙනෙකු එකවර ප්‍රශ්න ඇසූවත් ඒ හැමට පැහැදිලිව සැණෙකින් පිළිතුරු දීමට බුදුරජාණන් වහන්සේට තිබූ හැකියාව පෙළ අටුවාව මෙන් ම සම්භාව්‍ය ගද්‍ය ග්‍රන්ථවල ද විස්තර වේ.