Print this Article


දුටුගැමුණු මහ රජතුමා - 41: ගැමුණු කුමාරයාට රජ කුමරියක්

දුටුගැමුණු මහ රජතුමා - 41:

ගැමුණු කුමාරයාට රජ කුමරියක්

“සිරිනාග එවා තිබූ තල්පතේ රහස් තොරතුරු පිළිබඳ ඔබ වහන්සේගේ අවධානය යොමුකරන එක හොඳයි. ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ප්‍රමාද කරන්නට හොඳ නැහැ.”

ත්‍රිපිටක තිස්ස තෙරුන් වහන්සේ එම රහස් තොරතුරු අතර වැදගත් කරුණු දෙකක් ගැන යම් යම් පියවර ගත යුතු බවයි මගේ අදහස. දීඝාභය මගින් තිස්ස කුමරු අවනත කරගෙන දීඝවාපිය ප්‍රාන්ත රාජ්‍යක් වීමට ඉඩ දෙන්නට බැහැ.”

ඔව් , ඒ පිළිබඳ ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක්ම තියෙනවා. තිස්ස කුමරුට දීඝාභය හමුවීමට මේ වනතුරුත් අවස්ථාවක් ලැබී නැති බවයි මගේ අවබෝධය. රජතුමා අවසන් හුස්ම හෙලන මොහොතේ දීඝාභය කුමාරයා හදිසියේම දිගාමඩුල්ලට ගියේ ඇයි ? ඔහු ආපසු පැමිණියේ කුමන තීරණයක් අරගෙනද ?”

“තිස්ස අපට වෙනස් කරගන්න බැරිද?”

“ඇයි බැරි? මට ඒක කරන්න පුළුවන්. නමුත් ඒ සඳහා තිස්ස හමුවන්නට ඕනෑ. හෙට හවස ඔහු හමුවේවි.”

“අපි උත්තර මහ ඇමතිතුමාට කියමු කෙසේ හෝ තිස්සට දීඝාභය කළ මෝඩකම් කරන්නට එපා කියා අවවාද කරන්නටත් දීඝාභය කුමරු තමන් කළ මෝඩකම අවබෝධ වී ඒ ගැන පශ්චාත්තාප වන බව අවබෝධ කරවන්නත්.”

ඒ උත්සාහයෙන් ප්‍රතිඵලයක් නොලැබුණොත් කුණ්ඩල බ්‍රාහ්මණතුමා මගින් දීඝාභය කුමරු වෙනස් කර ගන්නට බලමු.”

මේ සිදුවන දේවල් කාලයට ඉඩදී බලාගෙන ඉඳීමු. නැතිනම් කුණ්ඩල බ්‍රාහ්මණතුමා මගින් දීඝාභය වෙනස් කරන්නට බලමු.

කුණ්ඩල බ්‍රාහ්මණතුමා ජාත්‍යන්තර වෙළඳ ශ්‍රේණියක නායකයෙක්. ඉතා ලාභ ලබන වෙළඳ ආයතන කිහිපයක හිමිකම් දරන මහා සිටාණෝ කෙනෙක්. ඔහුගේ ගුරුකුලය උසස් එකක්. රජයේ ඉහළ තැන්වලට පත් වන බොහෝ පිරිසක් එම ගුරුකුලයෙන් බිහිවන අය බව ප්‍රකට කරුණක්. නමුත් එතුමා කිසිම දේශපාලන කටයුත්තකට සම්බන්ධ නොවීමේ ප්‍රතිපත්තිය නිස ිලෙස රකිනවා. “

නමුත් සිංහල බෞද්ධ ජනතාවට හානිදායක තැන් වලදී කුණ්ඩලි බ්‍රාහ්මණතුමා ඉදිරිපත් වන බව මට මතකයි. ප්‍රධාන යුද කඳවුර මහමෙව්නාව අසලට ගන්නට සුදානම් වූ අවස්ථාවේ එයට විරුද්ධත්වය පළ කළා. දීඝාභය කුමරු එළාර රජු යටතේ මහා සෙනෙවියකු වී තමන් හමුවීමට පැමිණි අවස්ථාවේ බැන වැදී එළවාගත් බව අපට දැනගන්නට ලැබුණා. “

දීඝාභය වගේම උපතිස්සත් අපෙන් වෙන්වීම විශාල පාඩුවක්. දෙදෙනාම වැරදි අවබෝධය නිසා විරුද්ධ පිලට එක් වණු අය. එය ඔවුන්ට අවබෝධ කරවීම කල් ගනිමින් සීරුවෙන් කළ යුතු වැඩක්. සිරිනාගට එය කරන්නට හැකිද?”

“සිරිනාග ශුරයි. ඔහු එළාර රජුගේ සිත් දිනාගත් ශුරයෙක්. මෙහිදී ඔහු එය කළ යුත්තේ වෙනත් මඟකින්.”

“දීඝාභය, දුටුගැමුණු දෙදෙනාම කුඩා කළ සිටම විරුද්ධ ආකල්ප දරමින් වැඩුණේ. දීඝාභයගේ මව මැරුණු පසු දුටුගැමුණුත් දිඝාභයත් හැදුණේ එකට. විහාර මහා දේවිය ඔවුන් නිවුන් දරුවන් ලෙස සිතා ඇති දැඩි කළත් රාජ්‍ය හිමි කුමරු ලෙස දුටුගැමුණුට ලැබුණු විශේෂ සැලකිල්ල නිසා දීඝාභය හීනමානයෙන් පෙළුණු කෙනෙක්. ඒ නිසයි ඔහු තුළ විරුද්ධ ආකල්ප ඇතිවුණේ.”

“කාලය විසින් බොහෝ ප්‍රශ්න විසඳනු ඇත. දීඝාභය හෙමින් සීරුවේ වෙනස් කරගන්නට උත්සාහ කරමු. තිස්ස හෙට උදේ පැමිණි පසුව අපි මේ ගැන තවදුරටත් කතා කරමු. ගැමුණු කුමාරයාට විරුද්ධව කුමක් හෝ ක්‍රියාමාර්ගයක් ගැනීම වරදක් බව පෙන්වා දෙමු.”

මෙතෙක් වේලා චෛත්‍ය මලුවේ සක්මන් කරමින් සාකච්ඡාවේ යෙදී සිටි ආචාර්ය හිමිවරුන් වෙත, ශිෂ්‍ය හිමිනමක් පැමිණ ගිලන්පස සූදානම් වී ඇති බව දැන්වුයෙන් මාහිමිවරු සිලාපස්ස පිරිවෙනට ඇතුළු වූහ.

නගරයෙන් ගෙන්වා ගත් අවමංගල්‍ය සැරසිලිකරුවන් කිහිප දෙනෙකු සමග ථෙරපුත්තාභය, සුරනිමල මහා සෙනෙවිවරුන් පැමිණියේ ය. ඔවුන් පසුපසින් රන්සිවිගෙය චිතකය ආදිය තැනීමට අවශ්‍ය උපකරණ රැගත් ගැල් කිහිපයක් ද ආවේය.

කටයුතු සියල්ල අසල පිරිස් වෙත පැවරීමෙන් අනතුරුව ස්වාමින් වහන්සේලා දෙදෙනා සෑය ඉදිකෙරෙන තැනට ගියහ. ආදාහන උත්සවය සඳහා වැඩම කරන පන්දහසකට අධික ස්වාමීන්වහන්සේලාට සොහොනෙහි උතුරු පැත්තේ පහසුකම් සැලසෙන අතර, සිව්රඟ සේනා ඇතුළු වාදක මණ්ඩලයට දකුණු පැත්ත වෙන්කිරීමට තීරණය විය. රාජ්‍ය නායකයන්ට හා ප්‍රභූන්ට බටහිර පැත්ත හා රජ පවුලේ සියලු දෙනාට නැගෙනහිර පැත්තද වෙන් කිරීමට උපදෙස් ලැබිණි.

අවමඟුල් කටයුතු ඉතා චාම් ලෙස කිරීමට තීරණය කෙරිණි. එකම අනුශාසනාවකින් අවමංගල සභාවේ කටයුතු අවසන් කිරීමටත් සැවොම එකඟ වූහ. අනුලා දේවියගේ පුතුන් දෙදෙනෙකු විසින් චිතකයට ගිනි දැල්වීම සිදු කිරීමටත් තීරණය කෙරිණි.

“කාවන්තිස්ස රජතුමා මියගියා” යන පුවත නිල නිවේදනයක් ලෙස ප්‍රචාරයට පත් වුයේ ආදාහනයෙන් දින පහකට පසුව ය. රුහුණු ජනපද වාසීන්ගේ ශෝකය දරාගත නොහැකිව රජ මාළිගය දෙසට ජනතාව ඇදී ඒම වැළැක්වීම පිණිස අවශ්‍ය පියවර මහා සෙනෙවිවරු විසින් ගෙන තිබිණි.

සුදු මල් වට්ටියක් අතින් ගත් ජනතාව තිස්ස මහා චෛත්‍ය වෙත මල් පුදා කාවන්තිස්ස රජතුමාගේ සොහොන වෙත ගොස් පින් පැමිණ වූහ. සති ගණනක් පුරා මේ සිදුවීම අඛණ්ඩව පැවතිණි.

මේ වන විට ත්‍රිපිටක තිස්ස තෙරුන් වහන්සේ ප්‍රකාශ කළ අනාවැකි එලෙසම සිදුවෙමින් තිබිණි. තිස්ස කුමාරයා රජතුමාගේ ආදාහනය පැවති දිනට පසුදින හිමිදිරියේම දීඝවාපිය බලා පිටත් විය. ඒ තනිවම නම් නොවේ. මව්බිසව හා කඩොල් ඇතු ද සමඟය. මාගම රාජධානියේ ශ්‍රේෂ්ඨතම කාන්තාව වන විහාර මහා දේවිය හා මංගල හස්තියා රැගෙන යාම මාගම රාජ්‍ය තමන් වෙත පවරා ගැනීමක් බඳු විය.

මාගම රාජ්‍ය සත් දිනකට වඩා අරාජිකව නොතැබිය යුතුය යන්න අමාත්‍ය මණ්ඩල තීරණය විය. ගැමුණු කුමාරයා සොයා රාජ දුතයන් පිටත් කර යැවීමට වඩා මංගල හස්ති රාජයා සරසා යවා රාජ්‍ය හිමි කුමාරයා ගෙන්වා ගැනීම සුදුසු බව ඒකමතික ව තීරණය විය.

ඇසළ මස පුර පසළොස්වක පොහොය දිනයේ තෝරාගත් මංගල හස්ති රාජයකු සරසා සිව්සැට ආභරණ , ඔටුණු, රජ ඇඳුම් සහිතව පංචතුර්යවාදකයන් පෙරටු කරගෙන අමාත්‍ය මණ්ඩලය ද ආරක්ෂක සේනා සහිතව ගමන් ඇරඹිණි.

රජ මාළිගයෙන් පිටත්ව මඟුල් ඇතු රජ මාවත ඔස්සේ ගමන් කළේය. අනුරාධපුර රජ වීදියට පැමිණ එතැනින් කොත්මලේ දෙසට වේගයෙන් ගමන් කළේය. ගම්වැසියෝ මග දෙපස එක් රැස්ව තමන්ගේ අනාගත වීරයා වන දුටුගැමුණු කුමාරයා කැඳවාගෙන එන්නට යන රජ පෙරහර දෙස මහත් අපේක්ෂාවෙන් යුතුව බලා සිටියහ.

තිස්ස කුමාරයා විසින් කරන ලද අසම්මත ක්‍රියාවෙන් සියලු දෙනා මහත් කලබලයටත්, කළකිරීමටත් පත් වුව ද කිසිවකුත් ඒ ගැන කතා නොකළේ විහාරමහා දේවියද තිස්ස කුමාරයා විසින් කැඳවාගෙන ගොස් තිබු බැවිනි.

“සියලු ආරක්ෂක සේනා සීරුවෙන් තබන්න.” වේළුසුමන කිවේය. මංගල හස්ති රාජයා පිටත් වී හෝරාවකට පමණ පසු සිව්රඟ සේනාංකවලින් කොටසක් පෙරමඟට ගමන් කිරීමට සූදානම් කරන ලෙස වේළුසුමන දැනුම් දුන්නේ ය.

ඒ අනුව ඇතුන් දෙසියයක්, අසුන් තුන්සියයක්, අස්රිය සියයක් හා පාබල සේනා තුන් දහසක පිරිසක් පංචතුර්ය වාදක කණ්ඩායම් සහිතව ඉදිරියට ගමන් කළහ.

දුටුගැමුණු කුමාරයාගේ රාජාභිශේක උත්සවයේ කටයුතු සියල්ල කාම්බෝජ පඬිතුමාට පවරා තිබිණි. ක්ෂත්‍රිය කුමරියක දුටුගැමුණු කුමාරයාගේ බිසව ලෙස අභිෂේක කළ යුතු බව මහා ඇමතිවරුන්ගේ අදහස විය.

දුටුගැමුණු කුමාරයා මාගමට පැමිණෙන්නේ ගොවි රැජිණියක සමඟ බව කි වේළුසුමන ඒ නිසා අභිෂේකයට වෙනත් කුමරියක් අවශ්‍ය නැතැයි පැවසිය. නමුත් කාම්බෝජ පඬිතුමා විසින් ඒ අදහස ප්‍රතික්ෂේප කෙරිණි.

ගැමුණු කුමාරයාත් එම තීරණයට එකඟ විය. හැකි වුවත් සාම්ප්‍රදයාට අනුව රජ කුමරියක් අවශ්‍යයි. ගොවි රැජිණියටද සිත නොරිදෙන අයුරින් ඇයද අභිෂේක කරමු. ඒ සඳහා කාගේත් එකඟතාව හිමි විය.

කතරගම අභය නාග - අනුලා රාජකීය යුවළගේ දියණිය වු රජිතා කුමරිය සමග ගැමුණු කුමාරයා ප්‍රිය මනාපව ඇසුරු කළ බව භරණ විසින් සඳහන් කරන ලදී. ඒ අනුව අභිසේක මංගල්‍ය සඳහා අභයනාග රජුට අනුලා දේවිය සමග පැමිණීමට ආරාධනා කෙරුණු අතර රජිතා කුමරිය ගෙන්වාගෙන සමන්තා කුමරියගේ ඇසුරට පත් කිරීමටත් උත්තර මහා ඇමතිතුමාට අවසර ලැබිණි.