Print this Article


පහන් සිතක කවි

මරණෙට මා බිය නොවනා

මහ ලොකු දේපොළ නොවනා
එනමුත් නැත සිත ලොබිනා
මන දොළ සරලව පිරෙනා
මරණෙට මා බිය නොවනා

සඟුනට දන් පැන් පිදුණා
මව් පිය යුතුකම් කෙරුණා
දූ දරුවන් යහ ගුණෙනා
මරණෙට මා බිය නොවනා

නැති බැරි අය හට බෙදුණා
සතුනට කරුණා පිදුණා
ඉසි කෝ මද මන් හැලුණා
මරණෙට මා බිය නොවනා

මත් දිය කිසි දින නොවනා
සොරකම සිත නැත හඳුනා
නිවැරැදි කාමයෙ රැඳුණා
මරණෙට මා බිය නොවනා

බොරු බස් මට පි‍්‍රය නොවනා
හිස් වචනය නැත සොබනා
පරුෂ වදන් මොට හඳුනා
මරණෙට මා බිය නොවනා

****

වඳිමු සිරිපා පියුම්

බැතියෙන් සිත් පැහැදේ
කරුණා රැස් විහිදේ
අපේ නඩේ
මැදිකරගෙන
අපි යමුද සිරිපාදේ

කිරි කෝඩින් රෑනයි
සැමටම තුන් සරණයි
සීත ගඟුල ළඟ හිඳගෙන
සුදු පිරුවට මානයි

මේ ගෙත්තම් පානයි
මහ ගිරි දඹ මුදුනයි
ඉදිකටු පානින් පියඹන
සුදු සමනළ රෑනයි

කොවිඩ් විපත් නොමවේ
වෛරස් බිය පහවේ
සුමන සමන් දෙවි පිහිටෙන්
මේ ලක් බිම සැනසේ

****

සතුට

කුස ගිනි නිවා ගෙන සතුටින් සිටීමට
හැම කෙනෙකුට ම ඇත අයිතිය විසීමට
වස විස නොයෙක් රසකාරක එකතුකොට
හදනා අහර විකිණෙනවා හතර වට

වස විස නැතිව හෙල බොජුනක් වළඳන්න
අගහිඟ නැතිව සතුටින් ජීවත්වෙන්න
මෙත් කරුණාව හැම හදකම පුරවන්න
බිය සැක නැති ලොවක් ඒවිද දැක ගන්න

****

ගංගාව

ඉඩෝරයට
වියළී ඉකිගසන
ගංගාව.....
අනෝරා වැස්සකදි
නැවතත් හඬයි
දරාගත නොහැකිව
ධර්මතාවය
එයයි.......

****

බුදුන් දකින මල් පිපුණා

ගසක් සෙවණ දුන් බව මුදු සිසිල පෙරා
ඇසක් පුරා බුදු රැස් පෙළහරක් දරා
දොසක් නොමැති ලෙස අමයුරු මියුරු පුරා
වෙසක් මල් පිපෙයි සම්බුදු ගුණ සමරා

මරු පරදවන්නට නිසි දස පෙරුම් පිපී
අරුණා ලෝකයක් ලෙස හැම නෙතම හැපී
කරුණා ගුණෙන් සපිරුණු මෙත් දියෙන් දැපී
තෙරුවන් සරණ යමු මුළු හදවතින් අපී

අන්තිම භවය මෙය වේ ලද කය දිරුව
පන් සාළිස් වසක් සත සිත නිවූ තරුව
පින් කෙත් මව මවා දුන් බවදුක් වැරුව
පුන් සඳ පවා පායන්නේ ගරු සරුව

දැල් වෙන පහන් වැට ආලෝකය පැළඳ
කල්පයකටම නොනැසෙන දහමක පැහැද
සල් මල් මැළවුණත් නිසසල බව වැළඳ
මල් සුවඳට වඩා පැතිරේ සිල් සුවඳ

දරා විදුරසුන් පරදා මරු පබල
පෙරා අමමිහිර මිසදිටු කර දුබල
සරාගික සතන් යොමුකළ මඟ නමල
විරාජිතයි දහමින් පිරි සිත් කමල

මැදුම් මඟ සොයා දුන් දම් ඇසක් සැදේ
රිදුම් සියලු දුක් නිවනා ලොවක් රැඳේ
මුදුන් අත් තබා වඳිනා රුවක් ඇඳේ
බුදුන් දකින මල් පිපුණා වෙසක් සඳේ

****

කසාවත

උපන්දා සිට තිබුණු අප්පච්චිගේ
අයිතිය ඉවත් කෙරුණා
නැකත් බලලා - අකුරු බලලා
අම්ම දුන් නම ඉවත් කෙරුණා
පොදුවේ සැමටම ගමේ නාමෙන්
යළිත් උප්පත්තියක් ලැබුවා
සසුන සුරකින - පින් කෙතයි නුඹ
අපයි සරු අස්වැන්න නෙළණා

කෝටියක් සංවර ශීලය - පුංචි හිතට බර වැඩිද මන්දා
පරම්පරා හත නිවන් දක්නා සසර පුරුද්ද කියා සිතුණා
පූජනීයයි වන්දනීයයි සදා බොදු හදවතේ රැඳුණා