Print this Article


බුදුරදුන් වදාළ සියලු දහම් එක්තැන් කරන සමාධිය

බුදුරදුන් වදාළ සියලු දහම් එක්තැන් කරන සමාධිය

‘සමාධිය’ යනු කුසලාරම්මණයන් කෙරේ පවත්නා වූ චිත්ත ඒකාග්‍රතාවයයි. සීල, සමාධි, ප්‍රඥා ලෙස ත්‍රිශික්ෂාව විස්තර කෙර්. එහි දී සීලය සම්පූර්ණ වීමට සමාධිය අවශ්‍ය ම වන්නේ ය. සමාධි සංවත්තනික සීලය ලෙස හඳුන්වන්නේ එබැවිනි.

සම්මා ප්‍රඥාව නම් වූ යථාභූත ඤාණ දර්ශනය ඇතිකර ගැනීමට, නිතැතින් ම සමාධිය අවශ්‍ය යන්නේ ය. එබැවින් සතර සතිපට්ඨානයේ පෙන්වා දෙන සතර ආකාරයකින් පවත්වා ගත යුතු සතිය හෙවත් සිහිය නම් සමාධියයි. එනම් සම්මා සමාධියමයි. කෙටියෙන් සඳහන් කරන්නේ නම් ලෞකික සහ ලෝකෝත්තර නිවන් මඟේ දී සෑම චිත්තක්ෂණයක් පාසා පවත්වා ගත යුතු අවබෝධය සමාධියයි.

යම් විටක සමාධිය ඉතා දුබල වූව ද සෑම චිත්තයක් සමඟම වෙන්කළ නොහැකි පරිදි සම්ප්‍රයුක්ත වූ චෛතසික සතෙන් එකකි.

සම්මා සමාධිය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසාන අංගය වශයෙන් සතර ධ්‍යාන ලෙස පෙන්වා දී තිබේ. දුබල වූ සමාධි තත්වයන් ද ඇතුළත්ව සමාධිය සියලු කුසල චිත්තය හා සම්ප්‍රයුක්ත වෙයි.

මිත්‍යා සමාධිය යනු සියලු අකුසල චිත්ත හා සම්ප්‍රයුක්ත වූ සමාධියයි. ධර්මය විස්තර කිරීමේ දී සම්මා හෝ මිච්ඡා යනුවෙන් විස්තර කොට දක්වා නැති සෑම තැනැක ම එයින් සම්මා සමාධිය ම අදහස් කෙරේ.

සමාධිය ආරම්භක අවස්ථාවේ පටන් අවස්ථා තුනකින් දැක්වෙයි. පළමු අවස්ථාව නම් පරිකම්ම අවස්ථාවයි. එනම් සිත වැඩීමේ පළමු පියවර හෙවත් සිත අරමුණක පිහිටුවන අවස්ථාවයි. නිදසුනක් ලෙස මෙසේයි.

අනුස්සති නම් බුදුගුණයක හෝ කසිණාරම්මණයක හෝ ආනාපාන සතිය මුල් කොට ගත් විදර්ශනාවක හෝ සිත සිහිය පිහිටුවන මූලික අවස්ථාවයි. උපචාර සමාධි අවස්ථාව නම් චිත්ත ඒකාග්‍රතාවය දියුණු වන අවස්ථාවයි. ධ්‍යාන අවස්ථාවක මෙන් බලවත් ලෙසම කාමාදී අකුසල ධර්ම යටපත් නොවුණත් එයට ආසන්න අවස්ථාවකි. මෙම අවස්ථාවේ සිතේ

ලක්ෂණ වශයෙන් උග්ගහ නිමිත්ත, පටිභාග නිමිත්ත යනුවෙන් විස්තර විභාග කොට දැක්වෙයි. එනම් ආලෝකයක් බඳුව දැනෙන්නට වීම බෙහෝ අයෙකුගේ අත්දැකීමයි.

මීළඟ අවස්ථාව අප්පනා සමාධි නම් අවස්ථාවයි. එය බලවත් ලෙස කාමාදී අකුසල ධර්ම යටපත් වීමෙන් චිත්ත ඒකාග්‍රතාවය දියුණුවන ධ්‍යාන අවස්ථාවන් ය. මෙය වික්ඛම්භන සමාධි අවස්ථාවක් ලෙස ද හැඳීන්විය හැකිය. වික්ඛම්භන ප්‍රහාණ ලෙසත් දක්වන්නේ බලවත් ලෙස යටපත් කිරීමෙන් කෙලෙසුන්හි ප්‍රහාණයට අවස්ථාවක් සලසා ගැනීම ලෙස ය.

ආර්ය මාර්ග ලක්ෂණ සතරත් ඵල

ලක්ෂණ සතරත් වූ සමාධිය නිවන මුල්කොට ගන්නා වූ ලෝකෝත්තර සමාධියයි. අනෙක් සියලු සමාධිමය අවස්ථාවන්, එය අතිශයින් බලවත් වූ ධ්‍යානමය අවස්ථාවක් වූව ද, ලෞකික සමාධියකි. සමාධි භාවනා සූත්‍ර දේශනාවට අනුව සමාධියේ ආනිසංස සතරක් දැක්වෙයි. ඒවා භාවිත සිත් ඇති අයකුට තම අත්දැකීම් බවට පත්වෙයි. ධ්‍යාන මඟින් ලබන දිට්ඨධම්මික සුවය එකකි. එමෙන් ම ඥාන දර්ශනය නම් වූ, බොහෝදුරට ආලෝක සංඥාව මගින් ඇතිකරගන්නා වූ දිවැස තවත් අවස්ථාවකි. වේදනා, සංඥා සහ චිත්ත යන ඒවායේ උප්පාද, ඨිති, භංග නම් වූ අවස්ථාවන් මනා සේ අවබෝධ කරගන්නා වූ සති සම්පජඤ්ඤය ද සමාධියේ ආනිසංසයකි.

පංච උපාදනස්කන්ධයන්ගේ හට ගැනීම සහ භංගය විදසුන් නුවණින් අවබෝධ කර ගැනීම සහ එමඟිින් සියලු ආශ්‍රවයන්ගේ

ක්ෂයවීම සමාධියේ උච්ඡතම ප්‍රතිඵලයයි.

සමාධිය, ආශ්‍රවයන් ප්‍රහාණය කරන මාර්ගයේ දී ප්‍රබල සාධකයකි. සප්ත බොජ්ඣංගවල ද සමාධිය අන්තර්ගත ය. ආධ්‍යාත්මිය ඉන්ද්‍රියන් සහ බල අතර ද පවතී. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසාන අංගයයි. අෂ්ටාංගික මාර්ග තෙවදෑරුම් වන පරිදි (සීල, සමාධි, පඤ්ඤා) ලෙස බෙදීමේ දී එය මාර්ගයේ අවසාන අංග තුන සඳහා යෙදෙන සමූහ නාමයයි.

සමාධිය නිවන් මගේ දී සම්මා සමාධිය නම් වූ පර්යාය පදය භාවිත කෙරේ. එයට හේතුව නම් නිවන් මඟට බාධා කරන ලෞකිකව පවත්නා මිච්ඡා සමාධියක් ඇති බැවිනි. සම්මා සමාධියට අවශ්‍ය වන්නා වූ සතර ආකාරයක සිහිය පිහිටුවීම සතර සතිපට්ඨානයෙන් ඉදිරිපත් කෙරේ. මෙය සමාධි පරික්ඛාර ලෙසින් හැඳීන්වේ.

එමෙන් ම සමාධි - සමාපත්ති කුසලතා යනුවෙන් ද සමාධියේ අංග ලක්ෂණ විස්තර කෙරේ. ඨිති කුසලතා නම් සමාධියට පත්වීම සහ පවත්වාගෙන යාමේ හැකියාවයි. වුට්ඨාන කුසලතා නම් සමාධියෙන් බාධා රහිතව නැඟී සිටීමේ කුසලතාවයයි. මෙම අවස්ථාවන් සමථ සහ විපස්සනා නම් වූ සිත සහ ප්‍රඥාව වැඩීමේ දී අත්‍යවශ්‍යම වූ කරුණ ය. සමථය යනු ප්‍රබල චිත්ත සමාධියෙන් ලබන සිතේ කැළඹීමකින් තොර ශාන්ත පැහැදිලි ස්භාවයයි. මෙසේ ලබන්නා වූ චිත්ත ශාන්ති විපස්සනාවට අවශ්‍යම සාධකයකි. සමථය විසින් සිත අපිරිසිදු අරමුණුවලින් සහ අභ්‍යන්තරික නීවරණයන්ගෙන් මුදවා සිත විනිවිද දැකීම පිණිස, එනම් යථා භූත ඤාණ දර්ශනය පිණිස අවශ්‍ය මානසික පරිසරය සකසා දෙයි.

භාග්‍යවතුන් වහන්සේ විසින් මහා චත්තාරීසක සූත්‍ර දේශනාවේ දී වදාළ උත්කෘෂ්ඨ වූ සමාධිමය දහම් කරුණු කීපයක් කෙරේ සිත යොමු කරමි.

නිර්දෝෂ වූ මාර්ග සමාධිය හේතූන් සමඟ හා අවශ්‍ය කාරණා සමඟම දේශනා කරන්නෙමියි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. “මහණෙනි, හේතූන් සහ එයට අවශ්‍ය ප්‍රතිපදාව සහිත වූ ආර්ය වූ සම්‍යයක් සමාධිය කවරේ ද? එනම්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති යන මේ සත් අංගයන්ගෙන් සිතේ යම් ඒකාග්‍ර බවක් හා පරිවාර බවක් ඇතිවේ ද එය ආර්ය සම්‍යයක් සමාධිය සපතයැයි ද සපරිවාර යි ද පැවසේ. මෙහි දී විපස්සනා සම්මා දිට්ඨි හා මග්ග සම්මා දිට්ඨි නම් වූ සම්‍යක් දෘෂ්ඨියම පූර්වාංගම වෙයි. මෙහි දී මිත්‍යා දෘෂ්ඨිය ආරම්මණයන්හි හඳුනා ගනී. සම්‍යක්දෘෂ්ඨිය ප්‍රතිවේදයෙහි හඳුනාගනී. මේ දැක්ම සම්මා සමාධිය පිණිස උපකාර වන සම්මා දිට්ඨියම වෙයි.

මිත්‍යා දෘෂ්ඨිය නම් කුමක් ද? දානයෙහි විපාක නැත. සිරිත් විරිත් හි විපාක නැත. පූජාවෙහි විපාක නැත. හොඳ නරක කර්මයන්ගේ ඵල විපාක නැත. පරලොව සිටියහුට මෙලොව නැත. මෙලොව සිටියහුට පරලොව නැත. මවු නැත. පියා නැත. ඕපපාතික සත්වයෝ නැත. ලොව යම් කෙනෙක් මෙලොවත් පරලොවත් විශිෂ්ට ඥානයෙන් තමා ම ප්‍රත්‍යක්ෂ කොට දැන ප්‍රකාශ කෙරෙත් ද එමගෙහි ගමන් කරන ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් නැතැයි පැවසීමයි. ඇදැහීමයි. සම්‍යයක් දෘෂ්ඨිය දෙපරිදි ය. ආශ්‍රව සහිත පිනට යොමුවෙන මත්තෙහි සැප විපාක ලබාදෙන සම්මා දිට්ඨිය කුමක් ද? දුන් දෙයෙහි හෙවත් දානයෙහි විපාක ඇත ආදී වශයෙන් ඉහත සඳහන් කළ “නැත“ යනුවෙන් පැවසූ දෘෂ්ඨීන් සම්‍යක් දෘෂ්ඨියට ගැනීමයි.

එවිට එය දස වස්තුක සම්මා දිට්ඨියට පත්වෙයි. එමෙන් ම ආර්ය වූ අනාශ්‍ර වූ ලෝකෝත්තර මාර්ගාංග වූ සම්මා දිට්ඨිය කුමක් ද? ආර්ය මාර්ගය වඩන්නහුගේ යම් ප්‍රඥාවක්, ප්‍රඥා ඉන්ද්‍රියක්, ප්‍රඥා බලයක්, ධර්ම විචය සම්බොජ්ඣංගයක්, සම්‍යක් දෘෂ්ඨියක් ඇත් ද, එයම ආර්ය වූ අනාශ්‍ර වූ ලෝකෝත්තර මාර්ගාංග වූ සම්මා දිට්ඨියයි.

මිත්‍යා දෘෂ්ඨිය ප්‍රහාණය කරමින් සම්යනක් දෘෂ්ඨිය පිණිස වෑයම් කිරීම ම සම්මා වායාම වෙයි. සතියෙන් යුතුව මිථ්‍යා දෘෂ්ඨිය බැහැර කෙරෙයි. සතිමත් ව සම්මා දිට්ඨිය උපදවාගෙන වෙසෙයි. එය ම සම්මා සතිය වෙයි. සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති නම් වූ ධර්ම තුන පෙරටුවත්, එක්වමත් ප්‍රතිපදාවෙහි පවතියි. මේ ආදී ලෙසින් මේ තුන් ධර්මයෝ මාර්ගාංගයන්හි ප්‍රධානත්වය දරමින් සම්මා සමාධියට පූර්වාංගම වෙයි.

සමාධියේ දී වඩාත් උත්තරීතර වූ ද උච්ඡතම අවස්ථාවන් බවට පත්වන්නේ ආනන්තරික සමාධිමය අවස්ථාවයි. මාර්ග ඥානයට අනතුරුව හට ගන්නා ඵල සමාධිය මාර්ග චිත්තයන්ට අනතුරුව ඒ ඒ මාර්ග චිත්ත වීථියෙහි උපදනා ඵල චිත්තය, සෝවාන් ආදී මාර්ග සිත්වලට අනතුරුව එහි විපාක වශයෙන් උපදින ලෝකෝත්තර ඵල සිත් ආනන්තරික සමාධි නම් වේ ම ය. බුදු, රහත් උතුමෝ නිරෝධ සමාපත්තීන්ට සමවැදීම ද සමාධියේ ම උත්කෘෂ්ඨ ඵලයකි.