Print this Article


අසිරිමත් මහබිනික්මන

අසිරිමත් මහබිනික්මන

ඇසළ පුර පසළොස්වක දිනයයි එළඹ තිබෙන්නේ. මේ දිනය බෞද්ධ ලෝකයට ම අතිශය වැදගත් දිනයක්. අපේ රටේ පමණක් නොවෙයි, සමස්ත ලෝකයේ ම බෞද්ධ ජනතාව එක දිගට මාස තුනක් හෝ චීවර මාසයත් එක්ක ගත්තොත් මාස හතරක් ම සිදු කරන වස් පින්කම් හා කඨින පින්කම් ආරම්භ කරන්නේ මේ පෝය දවසේ සිට යි.

ඉතින් මේ පෝය දිනය තුළ බෞද්ධ ඉතිහාසයෙහි සිදුවීම් අතර තවත් අතිශය වැදගත් කමක් ඇති කාරණයක් තමා ශාක්‍ය වංශයේ, ගෞතම ගෝත්‍රයේ සිද්ධාර්ථ රජතුමන් ගිහිගෙයින් නික්ම යාම. මේ සිදු විම සම්බන්ධයෙන් අපේ හුරුපුරුදු භාවිතය තමා අප මහා බෝධිසත්වයන්ගේ මහාභිනිෂ්ක්‍රමණය.

ඉතින් සංස්කෘත භාෂාවට අනුව මහාභිනිෂ්ක්‍රමණය එහෙම නැතිනම් සිංහල භාෂාවෙන් මහබිනික්මන යන මේ වචනයෙන් අදහස් කරන්නේ සැබවින් ම නික්මීමක් පමණක් නො වේ. එය ගිහිගෙයින් නික්මීම යි.

ගිහිගෙයින් නික්මීමක් කියන මේ භාවිතය තවදුරටත් විස්තර කරනවා නම් ‘අභි’ කියන උපසර්ග පදය මුල් වූ නිෂ්ක්‍රමණය(නික්මීම) යන ක්‍රමයට අර්ථයට තවත් ගැඹුරක් ලබා දී තිබෙනවා.

එහෙම බලන කොට අපි නොයෙක් තැන්වලින්, නොයෙක් අවස්ථාවලින් ඉවත් වෙනවා. නික්මෙනවා. පිටත් වෙනවා. අතහැර යනවා කියන එක තමා නික්මිම. මේ අභිනිෂ්ක්‍රමණය ඊට වඩා බරපතළ නික්මීමක්, ඉවත්වීමක්. මෙයට කියනවා ගිහිගෙයින් නික්මීම කියලා. ගිහිගේ සම්බන්ධ සම්බාධක සියල්ල මෙතැන දී අත්හැරිමක් තමයි සිදු වෙන්නේ. ඒ කියන්නේ අනගාරික ජීවිතයකට යොමු වීමක්. තවත් මේ වචනය දිහා බැලුවහම බෝධිසත්වයන් සම්බන්ධ ව සටහන් වන්නේ මහාභිනිෂ්ක්‍රණය කියල යි.

අපේ ගෞතම බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ මේ භද්‍රකල්පයෙහි පහළ වීමට නියමිත සිටි කකුසඳ, කෝනාගම, කාශ්‍යප, ගෞතම යන සතර බුදුවරයාණන් වහන්සේලාගේ අවසාන බුදුහාමුදුරුවෝ යි. ඉතින් බුදුවරයන්ගේ පහළ වීම කොතරම් දුර්ලභ ද කියන මේ කාරණය මෙයින් ම පැහැදිලි වෙනවා.

ඒ නිසා අනෙකුත් ගිහි උදවිය ගිහිගෙයින් ඉවත් ව පැවිදිබිමට පත් වෙනකොට අභිනිෂ්ක්‍රමණය කියා සටහන් වෙනවා වගේම බුදුබව පතා ගෙන ඊට අවශ්‍ය පෙරුම් දම් පුරා මෙලොව පහළ වන බෝධිසත්ව වරයෙක් වශයෙන් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ ගිහිගෙයින් නික්මීම මහාභිනිෂ්ක්‍රමණය වශයෙන් සටහන් වෙනවා. එය දුර්ලභ අවස්ථාවක්.

ඉතින් අපේ සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ ලොව පහළ වී වයස අවුරුදු දහසයට එළඹුණු පසු රූමත්, ආඪ්‍යසම්පන්න කෝලිය වංශික සුප්‍රබුද්ධ රජතුමාගේ දූකුමරිය යසෝධරාව සමඟ විවාහපත් වී ඔටුණු ද පැළඳ අතිසුඛෝපභෝගි ජිවිතයක් ආරම්භ කළා. එතැන් සිට වයස අවුරුදු 29 වනතුරු ම උන්වහන්සේ කිසිවකින් අඩුපාඩුවක් නැති සැප සම්පතින්, කිසිදු අඩුවක් නැති ජීවිතයක් ම යි ගත කළේ. ඒ බව උන්වහන්සේ ම භික්ෂූන් වහන්සේ අමතා ප්‍රකාශ කරනවා

“මහණෙනි, මම ගත කළේ සුඛෝපභෝගි ජීවිතයක්. එය ඉතාමත් ඉහළ මට්ටමේ වුවක්. පියරජතුමාගේ රාජ මන්දිරයෙහි ම මා වෙනුවෙන් නිල් උපුල්, රත් උපුල්, සුදු නෙලුම් ආදියෙන් සමන්විත පොකුණු නිමවා තිබුණා. මා හැම විට ම ඉතා සියුම් සඳුන් මයි ආලේප කළේ. මා පැළැන්දේ ම සියුම් කසී සළු ම යි. හැම විට ම මා සීතලෙන්, උෂ්ණෙන්, පින්නෙන් හා තණපත් ආදියෙන් රැක ගන්නට සේසත් දරාගත් පිරිස් යොදා සිටියා.

රම්‍ය, සුරම්‍ය, සුභ යන මේ මාළිගාවල එක් එක් සෘතුවට අපහසුතාවක් නො විඳ වාසය කළා. මා වාසය කරන යම් මාළිගාවක් වුණා ද ඒ හැම තැන ම නටන, ගයන, වයන ගී කියන රූමත් නාටිකාංගනාවන් පිරිවරා ගෙන යි සිටියේ. මගේ සියලු ම දැසි දස් කම්කරුවන්ට මගේ පියරජතුමා විසින් සපයා දුන්නේ රසමසවුලෙන් සපිරි ඇල්හාලේ බත යි.”

සිදුහත් කුමරු දකින්නට, බෝසතුන්ගේ උපත දෙවිවරුන් වෙතින් දැනගත් විට පැමිණි අසිත තවුසාගේ මෙන් ම, පසු ව නම් තැබීමට ආ පස්වග තවුසන්ගෙන් කොණ්ඩඤ්ඤ තවුසා කළ ප්‍රකාශය නිසා සුද්ධෝදන රජතුමාගේ සිතේ අසහනයක් හැම විට ම තිබුණා. ඒ තමා සිදුහත් කුමරු ගිහිගෙය අත්හැර පැවිදි වෙස් ගනීිවිදෝ යන්න.

මේ නිසා රජතුමා හැමවිට ම තම පුත් කුමරාට ජිවිතයේ දුක් කම්කටොළු කිසිවක් නො දැනෙන්නට වගේ ම සැප සම්පත්වල කිසිදු අඩුවක් නො දැනෙන ලෙසට සියලු කටයුතු සම්පාදනය කළා. හැමවිට ම කෙළි දෙලෙන් සතුටින් කල දවස ගෙවූ සිදුහත් බෝසත් රජතුමා දැන් දැන් වයසට ත් යනවා. අවුරුදු විසිනවයකුත් ගත වෙන තැනට පැමිණ සිටියා.

උයන් ක්‍රීඩාව ප්‍රිය කළ බෝසතාණන් සුපුරුදු පරිදි දවසක් දා උයන් සිරි නරඹන්ට හා උයන් ක්‍රිඩා පිණිස යාමට තම රියදුරාට ඒ බව ප්‍රකාශ කළා. ඒ අනුව සුපුරුදු පරිදි ම ඔහු ඉතා අගනා අශ්ව රථයක් සියලු අලංකාර සහිත ව කුමුදුමල් පැහැය ගත් සුදු මඟුල් අසුන් සතර දෙනකු යොදා පිළියෙල කළා. එය දෙවි විමනක් මෙන් ශෝභමාන ව පැවතියා.

ඉතින් මේ මංගල අශ්ව රථයට නැඟුණු බෝසත් සිදුහත් රජතුමා ගමනාරම්භ කළා. උයන දක්වා වැටී තිබණු මැනවින් සරසන ලද මහ මඟෙහි මඳක් ගමන් ගත් විට දකින්නට ලැබුණේ බෝසත් රජතුමාගේ සිත් සසල කරවන දර්ශනයක්. කෙස් පැහුණු, දත් හැළුණු, දිරාගිය, නැමී ගිය වෙවුළන සිරුරක් දරාගත්, හැරමිටියක් අතට ගත්, ඒ හැරමිටියේ වාරුවෙන් ගමන්ගත් මහලු මිනිසෙක්.

සිදුහත් බෝසත් රජතුමාට මෙවැනි දසුනක් මීට පෙර දක්නට නො ලැබෙන ලෙස පියරජතුමා සියලු කටයුතු සලස්වල යි තිබුණේ. මේ දසුන නම් සිදුහත් රජතුමන්ගේ සිත තිගැස්මක් ඇති කළා. ඒ අවස්ථාවේ මහබෝසතුන් රියදුරාගෙන් ඒ කවර නම් අයෙක් දැ යි විමසා සිටියා. එක්වර ම රියදුරා ප්‍රකාශ කළේ ”

ඔය තමා ජරාවට පත් ව මහලු වූ අයෙකුගේ හැටි”. කියල යි. ජරාව කියන්නේ කුමක් දැයි රජතුමා රියදුරාගෙන් විමසනවිට එක්වර ම රියදුරා ප්‍රකාශ කළේ “ඔය කෙස් පැහුණු, ඇඟ රැළි වැටුණු, දත් හැළුණු, ශරීරය කුදු ගැසුණු, ශරීරයට හයියක් නැති දණ්ඩක ආධාරයෙන් පය තබන ස්වභාවය තමා ජරාව කියන්නේ. ඔය ජීවිතයට තව වැඩි කලක් පවතින්නට බැහැ දේවයන් වහන්ස’‘කියා රියදුරා කියන කොට

“අපට ත් ඔය දේ වෙනවා නේදැ?“ යි රජතුමා රියදුරාගෙන් අසන විට රියදුරා කියා සිටියේ “රජතුමනි, ඔබතුමාට ත්, මට ත්, කාටකාට ත් වෙන්නේ ඔය දෙය ම තමා“ කියල යි. රජතුමාට උයන් කෙළියට යාම එපා වුණා. හිතේ අසහන ගතියක් ඇති වුණා. මහත් සංවේගයක් ඇති වුණා. රියදුරාට අණ කළා රථය ආපසු හරවා මාළිගාවට යාමට. රජතුමා උපතේ ස්වභාවය ත් උපන් සත්වයා ජරාවට පත් වන ආකාරය ත් මෙනෙහි කරන්නට පටන් ගත්තා.

සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් බුදුබව පතා පාරමී ධර්ම පුරා සිත දියුණු කරගත් උත්තමයකුට මේ උපතත්, උපන් සත්වයා ජරාවට පත්වීම ත් එක්වර ම සිතට දැනෙන අසුභ ආරම්මණයක්.

සිත තවදුරටත් ප්‍රබුද්ධ කර ගැනුමට සුභ අවස්ථාවක්.

ජිවිත පැවැත්ම පිළිබඳ තරමක තිගැස්සුණු මනසකිත් සිටි සිදුහත් රජතුමා තවත් දවසක උයන් සිරි නරඹමින් සිත සනසා ගැන්මට පිටත් වුණා. මනහර අලංකාර අශ්ව රථයට පෙර සේ ම නැඟී මහබෝසතුන් උයන බලා පිටත් වුණා. අතරමග දී වහා ම ඇසට යොමු වුණේ රෝගී අයකු යි. රියදුරාගෙන් ඒ කිමෙක් දැ යි විමසන විට රියදුරු කීවේ ඒ ව්‍යාධියෙන් පෙළෙන අයක් බව යි. කළකිරුණු රජතුමා ආපසු පිටත් වෙලා ආවා.

සුද්ධෝදන රජතුමා මේ කරුණ දැනගෙන යළිත් සිදුහතුන්ට ගව් තුනක වට පිටාවේ රෝගීන් තම පුතුට දකින්ට නො ලැබෙන ලෙස මුරකාවල් යෙදුවා.

තවත් දවසක මේ ආකාරයෙන් ම උයන් කෙළියට පිටත් වුණු සිදුහත් රජතුමන්ට මළකඳක් ඔසවාගෙන යන අයුරු දකින්නට ලැබුණා. එයින් ද රජතුමා කළකිරුණා. දැන් රජතුමාට ජාති, ජරා, ව්‍යාධි, මරණ යන ආදීනව මෙනෙහි කරන්නට සුදුසු වාතාවරණය ඉබේ ම ඇති වුණා.

ඉන් පසු සුද්ධෝදන පියරජතුමා නැවත තම පුතුට මළකඳක් නම් නො දකින විදියට යොදුනක් අවට රැකවල් යෙදුවා. තවත් දවසක මෙලෙස උයන් ක්‍රීඩාවට යන අතරමග දී පැවිදි වූවෙක් දකින්නට ලැබුණා. එදා නම් රජතුමා රියදුරාගෙන් දැන ගත්තේ පැවිදි රුව මේ සියලු බැ¼දීම් අතහැරි බව. එදා ආපසු හැරුණේ නැහැ. එදා ඉතින් සිතේ සැනසීමක් ඇති කරගෙන උයන වෙත ම ගියා. උයන් කෙළි නිමවා පිරිවර ජනයා විසින් අලංකාර වස්ත්‍රාභරණවලින් සරසවා සුවඳ විලවුන් ගල්වා හැඳ පැළඳ ආපසු මාළිගාව බලා පිටත් වුණා.

ආපසු එන ගමනේ දී ඒ වෙනකොට ගැබ්බර ව සිටි යසෝධරා දේවිය පුතකු බිහි කළ බව සුද්ධෝදන පියරජතුමා තමපුතු සිදුහත් බෝසතුන්ට පණිවුඩයක් යැව්වා. එය අසා සතුටුවනු වෙනුවට එයින් සිදුහත් රජතුමා තිගැස්සී ”රාහු පැන නැඟුණා. බැම්මක් ඇති වුණා” යැයි සුසුම්හෙළමින් පණිවුඩකරුට ප්‍රකාශ කළා. එය අසා දැනගත් පණිවුඩකරු සුද්ධෝදන රජුට මේ සියල්ල විස්තර කර කීවා. උපන් පුතුට රාහුල යැයි නම් තැබුවා. මෙහි කියවුණු සතර පෙර නිමිති එකම දවසක සිදු වූ බවත් පෙළපොතෙහි සටහන් වෙනවා.

සිදුහත් බෝසතාණන් මනහර රූසපුවෙන් හා අලංකාර වස්ත්‍රාභරණයෙන් සැරසී අශ්වරථයෙන් ගමන් කරන ආකාරය දුටු කිසාගෝතමී මෙලෙස නිබ්බුත පද කියා සිටියා.”

මහ මඟ යන මොහුගේ මව නම් නිවුණු තැනැත්තියක් ම යි. පියා ඊටත් වැඩි ව නිවුණ කෙනෙක්. භාර්යාව ද නිවුණු රුවැත්තියක් ” කියලා.

එය අසා සිත පහන් කර ගත් සිදුහත් රජතුමා වඩාත් සැනසීමට පත් ව ඒ සදාකාලික නිවීම සැනසීම සොයා යාමට අදිටන් කර ගෙන ගෙල බැඳී අගනා මුතුහර කිසාගෝතමියට තෑගි වශයෙන් යැව්වා. මාළිගාවට පිවිසුණා.

සවස් කාලය එළඹුුණා. සියලු කටයුතු නිමවා සිරියහන් ගත වෙනකොට රූමත් නළඟනන් සිදුහතුන් ප්‍රීතිමත් කිරීමට නටමින්, වයමින්, ගයමින්, ශිල්ප දැක් වුවා. ඒ ගැන කිසි ඇල්මක් නො කළ රජතුමා වහා නින්දට වැටුණා. නාටිකාංගනාවෝ ද තැන් තැන්වල ම වැටී නිදන්නට වූවා. සමහරු මුවින් කෙළ වගුරන හැටි, තව ත් සමහරු ගොරවන ශබ්ද, නන්දොඩවන හඬ මුඛය විවර ව සිටින අයුරු, අඩ නිරුවත් ස්ත්‍රී රූප දැක වඩාත් කළකිරුණු බෝසතාණන්

“අද ම ගිහිගෙය අතහැර මහාභිනිෂ්ක්‍රමණ කරමි ” යි සිතා වහා යහනින් නැඟී ගිහි ගෙය හැර පිට ව යන්ට කන්ථක අසු සූදානම් කරන ලෙස ඡන්න ඇමතිට නියම කළා.

සිරියහන් ගබඩාවේ රාහුල සිඟිති පුතුගේ මොලකැටි සිරුර මත සිය අත හොවා සුවඳවත් යහන මත වැතිරී සිටි යසෝධරාව දෙස ත් රාහුල පුතු දෙස ත් බලා ඡන්න සමඟ කන්ථක අසුපිට නැඟී මහවාසල් දොරටුවෙන් නික්මුණා.

මේ වෙලාවේ තමන් වහන්සේ වෙත තව සතියකින් සක්විති රජ සැප ලැබෙන හෙයින් ගමන නවතන ලෙස මාරයා කළ ආරාධනාව සිදුහත් බෝසතුන් ප්‍රතික්ෂේප කළා. සක්විති රජ සැප කෙළපිඬක් ලෙස ඉවත ලූවා.

රජතුමා කන්ථක අසුපිට නැගී ඡන්න ද සමඟ මාළිගාවෙන් නික්ම සියලු ම කාමභෝගි සැප සම්පත් හැර දමා සියලු බැඳීම් නැවත කිසි දා ඇති නො වන සදාකාලික විමුක්තිය සොයා, ඉන් පසු සෙසු ලෝ වැසි සසර ගත දුක් විඳීන ජනතාව මුදවාලීමේ කරුණාව පෙරදැරිව මහාභිනිෂ්ක්‍රමණය කරමින් රජදහන් තුනක් පසු කර තිස්යොදුන් මඟ ගෙවා අනෝමා ගංතෙරට සැපත් වුණා.

තමන් වහන්සේගේ පැවිදිබිමට පත්වීම ත්, අනෝම හෙවත් සැහැල්ලු නො වේ යැයි බෝසත් සිදුහත් උතුමෝ විලුඹින් තම මඟුල් අසුට සංඥා කොට අනෝමා ගඟෙන් අසු පැන්නවූවා.

ඡන්න ඇමති අමතා කන්ථක අශ්වයා හා තම සිරුර පැළඳී රාජාභාරණ පිය රජාණන් වෙත ගොස් භාර දෙන ලෙස ත් තමන් පැවිදි වෙන බව ත් බෝසතාණන් පවසා සිටියා. ඒ වෙලාවේ තෙවරක් ම තමන්ට ද ඒ පැවිදි වරම ලබා දෙන ලෙස ඡන්න ඉල්ලා සිටිය ත් බෝසත් සිදුහතුන් ඊට එකඟ වූයේ නැහැ. පසුව එය සිදු කළ හැකි බව පැවසුවා.

බෝසත් සිදුහත් රජතුමා දැන් පැවිදිබිමට ඇතුළත් වීමට සිතුවා. කෙස් වැටිය පැවිදි රුවට නො ගැලපෙන නිසා දකුණතින් කඩුව ගෙන වමතින් කෙස්වැටිය අල්ලා කපා මට බුදුබව ලැබේ නම්ි මෙම කෙස්වැටිය අහසෙහ රැඳේවා යි අදිටන් කොට අහස දෙසට විසි කළා. එවේලෙහි ම අහසින් ආ ශක්‍ර දේවෙන්ද්‍රයා කෙස් වැටිය දෝතින් පිළිගෙන රැගෙන ගොස් නිදන් කර තව්තිසා දෙව්ලොව සිළුමිණි සෑය කළ බව කියැවෙනවා.

තමන් පැළඳී කසීසළු පැවැදි රුවට නො ගැළපෙන බව බෝසතුන්ට කල්පනා වනවිට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දවස සිට අප මහා බෝසතුන්ගේ මිතුරකු ව සිටි ඝටීකාර මහා බ්‍රහ්මයා බෝසතුන්ට අටපිරිකර පිළිගැන්වූවා. අප මහා බෝසතාණන් වහන්සේ ඒවා පිළිගෙන පැවිදි බවට අධිෂ්ඨාන ශක්තියෙන් පත් වුණා. ඡන්න ඇමති අමතා ඡන්න, ඔබ මා පියරජතුමා හමු වී මා සුවෙන් පසුවන බව දන්වන්න, කියා කී පසු ඡන්න තෙවරක් ම බෝසතුන් පැදකුණු කර දරා ගත නො හැකි ශෝකයෙන් කන්ථක අසු ද සමඟ ආපසු පිටත් වුණා. මේ සියලු සිදුවීම් හා කතාබහ තේරුම් ගත් කන්ථක අශ්වයා ශෝකය බලවත් වී ළය පැළි ඇද වැටී මිය ගියා. මිය ගිය පසු එම අශ්වයා තව්තිසා දෙව්ලොව උපන් බව ප්‍රකාශ වෙනවා.

බුදු රජාණන් වහන්සේ වරක් භික්ෂූන් අමතා මෙම අසිරිමත් මහබිනික්මන මෙසේ ප්‍රකාශ කර තිබෙනවා. “මහණෙනි, ශෝභන ව නවයොවුන් වියෙහි කලු කෙස් ඇතිව සිටිය දී ම ප්‍රථම වයසෙහි දී මව්පියන් කඳුළු සලමින්, හඬා වැළපෙමින් නො කැමැත්ත ප්‍රකාශ කරද්දී එය ද නො සලකමින් ගිහිගෙය අත්හැර කෙස් හා දැලි රැවුළු කපා කහවත් හැඳ පැවිදි වුණා.”