Print this Article


මජ්ක්‍ධිම නිකාය අභය රාජ සූත්‍රය ඇසුරෙනි.

මජ්ක්‍ධිම නිකාය අභය රාජ සූත්‍රය ඇසුරෙනි

අසුන්දර කතාවක සුන්දර අරුත

පින්වත්නි,

අද මේ ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කර ගත්තේ මජ්ක්‍ධිම නිකායේ අභයරාජ සූත්‍රයයි.

අභය රාජ කියන්නේ බිම්බිසාර රජතුමාගේ පුතෙක් බව අටුවාව සඳහන් කරනවා. බිම්බිසාර රජතුමා සෝවාන් ඵලයට පත් වූ ආර්ය ශ්‍රාවකයෙක් වුණත් ඔහුගේ පුතා වූ අභය රාජ බෞද්ධයෙක් නෙවෙයි. ඔහු ජෛන ආගම පිළිගත් කෙනෙක්.

බුද්ධ කාලයේ සිටි ඔහු ෂට් ශාස්තෘන් අතර ප්‍රධාන වූ නිඝන්ඨනාථපුත්තගේ අනුගාමිකයෙක්. මොහු දිනක් නිඝන්ඨනාපුත්ත මුණ ගැහෙන්න ගියා.

එහිදී නිඝන්ඨනාථපුත්ත අභයරාජට රාජකාරියක් පැවරුවා. එනම් ගෞතම බුදුන්වහන්සේ සමඟ වාදයක් කිරීමටයි. ඔහු ඒ පිළිබඳ තම නොහැකියාව ප්‍රකාශ කළ විට නිඝන්ඨනාථපුත්ත සඳහන් කළේ වාදය සඳහා අවශ්‍ය සියලු කරුණු තමන් ලබා දෙන බවත් ඒකාන්තයෙන් ජයග්‍රහණය කුමාරයා සතුවන බවත් ය.

බුදුහාමුදුරුවන් වැනි කෙනෙක් පරාජයට පත් කිරීමෙන් ලැබෙන ජයග්‍රහණය පිළිබඳව උද්දාමයට පත් කුමාරයා වාදයට ඉදිරිපත් වීමට කැමැති විය. එහිදී නිඝන්ඨනාථපුත්ත ප්‍රකාශ කළේ බුදුරජුන් මුණ ගැසී, “ඔබ වහන්සේ අනෙක් අයගේ සිත නොසතුටු වන ආකාරයට කතා කරන්නේදැයි ප්‍රශ්න කරන ලෙසයි.

එයට උන්වහන්සේ “ඔව්” කියා පිළිතුරු දුන්නොත් සාමාන්‍ය නූගත් ගැමියන් ද අනෙකාගේ සිත නොසතුටු වන විදියට කතා කරන බවත් ඔබ වහන්සේ ද එසේ කතා කරන්නේ නම් සාමාන්‍ය ගැමියා සහ ඔබ වහන්සේ අතර වෙනසක් නැහැනේදැයි අසන ලෙසත් ය.

එහිදී බුදුරජුන් ලජ්ජාවට පත්වී නැඟිට යාවි යැයි නිඝන්ඨනාථපුත්ත පැවසීය.

බුදුරජුන් එම ප්‍රශ්නයට මම එසේ කතා නොකරන්නෙමියි“ පැවසුවොත් මා කුමක් කළ යුතුදැයි කුමාරයා ප්‍රශ්නකළ විට

නිඝන්ඨනාථපුත්ත පැවසුවේ එවිට බුදුරජුන්ගෙන් මෙසේ ප්‍රශ්න කරන ලෙසයි.

“හාමුදුරුවනේ ඇයි ඔබ වහන්සේ බොරු කියන්නේ, ඔබ වහන්සේ දිනක් දේවදත්ත හිමියන්ට ‘දේව දත්ත ඔබ අපායට අයිති කෙනෙක්, නිරයට අයිති කෙනෙක්. කල්පයක් නිරයේ දුක් විඳිය යුතු කෙනෙක්. ප්‍රතිකාර කළ නොහැකි අසාධ්‍ය රෝගියෙක්. ආදී වශයෙන් ප්‍රකාශ කළා මතක නැද්ද? එය අසා දේවදත්ත සතුටට පත් වුණා ද? සිත නරක් කර ගත්තා නේද? එසේ කියා තිබියදී එසේ කියන්නේ නැතැයි දැන දැන බොරු කියන්නේ ඇයි දැයි ප්‍රශ්න කරන ලෙසයි.

එහිදී බුදුරදුන් තමාගේ බොරුව හෙළි වීයයි ලජ්ජාවට පත්ව නැඟිට යාවියයි

නිඝණ්ඨනාථපුත්ත ප්‍රකාශ කළා. තම ජයග්‍රහණය ස්ථිර යැයි සතුටට පත් අභයරාජ ඒ වෙලාවේ ම වේළුවනාරාමයට ගිය විට එහි විශාල පිරිසක් සිටින නිසා ප්‍රශ්න නො අසා බුදුරදුන් මුණ ගැසී හෙට දින දවල් දානය සඳහා තම මාලිගාවට වඩින ලෙසට ආරාධනා කළා.

තම මාළිගාවෙහි තමා වඩාත් සුරක්ෂිත නිසයි එසේ ආරාධනා කළේ. පසුදින බුදුරදුන් වැඩම කළ විට දවල් දානය පිළිගන්වා අවසන තම කුඩා පුතා ද උකුලේ හිඳුවාගෙන බුදුරදුන් සමීපයේ වාඩි වී ඉහත සඳහන් ප්‍රශ්නය ඇසුවා.

එයට බුදුන් වහන්සේගේ පිළිතුර වූයේ රාජ කුමාරය මට ඔය ප්‍රශ්නයට ඒකාන්ත පිළිතුරක් නැති බවයි. එනම් මම ඔය ප්‍රශ්නයට ‘ඔව්’ කියා හෝ ‘නැත’ කියා හෝ පිළිතුර නොදෙන බවයි. රාජකුමාරයා මෙබදු පිළිතුරක් කිසිසේත් බලාපොරොත්තු නොවීය. නිඝණ්ඨනාථපුත්ත කියා තිබුණේ ‘ඔව්’ කිව්වොත් මෙසේ අසන්න’ නැහැ කිව්වොත් මෙසේ අසන්න කියා පමණි. ඒ දෙකටම අයත් නොවන පිළිතුරක් දුන්නොත් කරන්නේ කුමක්දැයි උගන්වා නොතිබුණි. එම නිසා එක්වරම කුමාරයාගේ මුවින් (නිඝන්ඨයෝ නැසුණා) යන ප්‍රකාශය නිකුත් විය. එහිදී එසේ ප්‍රකාශ කළේ කුමක් නිසාදැයි බුදුරජාණන් වහන්සේ විමසූහ.

රාජ කුමාරයා මෙහි පසුබිම් කතාව බුදුන් වහන්සේ ඉදිරියේ හෙළිදරව් කළා.

එහිදී බුදුන් වහන්සේ රාජ කුමාරයාගේ උකුල මත සිටි කුඩා දරුවා පෙන්වා රාජ කුමාරයාගෙන් මෙසේ විමසූහ.

“රාජකුමාරය, ඔය දරුවා යම් විටෙක ගල් කැටයක් හෝ වෙනත් යමක් කටේ දමා ගත්තොත් ඔබ කරන්නේ කුමක්ද?

“ස්වාමීනි, මම මගේ ඇඟිල්ල කටට දමා එය ඉවත් කරනවා.

එසේ පහසුවෙන් ගත නොහැකි නම් කුමක් කරන්නේ ද?

ස්වාමීනී, මම වමතින් දරුවාගේ හිස තදින් අල්ලාගෙන මගේ ඇඟිල්ල මදක් නමා දරුවාගේ කටට දමා කෙසේ හෝ එය එළියට ගන්නවා

එවිට දරුවා අඬනවා නේද? ඔබේ ඇඟිල්ලට තුවාල වී දරුවාගේ කටින් ලේ ගලනවා නේද?

දරුවා ඇඬුවත් කටින් ලේ ගැලුවත් එය නොසලකා දරුවාගේ ජීවිතය බේරාගැනීම සඳහා තමා ඒ දේ කෙසේ හෝ කරන බවත් තමා තුළ දරුවා කෙරෙහි අනුකම්පා හිතක් ඇති බවත් කුමාරයා ප්‍රකාශ කළා.

ඒ අනුව තාවකාලික හැඬිම හෝ තාවකාලික ලේ ගැලීම හෝ නොසලකා වටිනා ජීවිතය රැක ගැනීමට ක්‍රියා කරන බව කුමාරයාගේ අදහස විය.

එවිට බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ තමන් වහන්සේ ද එසේ ක්‍රියා කරන බවයි. කෙනෙකුගේ තාවකාලික අප්‍රසාදය නොසලකා දීර්ඝකාලීන යහපත සලකා යම් යම් අවවාද අනුශාසනා කරන බවත්, තමන් වහන්සේ තුළ සත්වයා කෙරෙහි අනුකම්පාවක් ඇති බවත් උන්වහන්සේ දේශනා කළා.

දේවදත්තට එදා එසේ ප්‍රකාශ කළ නිසා ඔහු පසුව තම වරද පිළිගෙන ආයති සංවරයේ පිහිටි බවත්, කළ ආනන්තරිය පාප කර්මයන්ගේ විපාක විඳීමෙන් අනතුරුව කළ වරද පිළිගෙන ආයති සංවරයේ පිහිටීමේ ආනිසංස වශයෙන් අනාගතයේ ඝට්ඨිස්සර නමින් පසේ බුදු පදවියට පත්වන බව ද කුමාරයාට පැහැදිලි කර දුන්න.

මේ කතා පුවතින් පැහැදිලිවන වැදගත්ම කාරණය වන්නේ කෙනෙක් කරන ක්‍රියාවක් හෝ කරන කතාවක් හෝ දෙස බලා එය හොඳ නරක වශයෙන් විනිශ්චය කිරීම එතරම් සුදුසු නොවන බවයි. ඒ තැනැත්තා ඒ ක්‍රියාව හෝ කතාව යහපත් චේතනාවකින් කරන්නේ නම් අපට පෙනෙන දර්ශනය හෝ ඇසෙන කතාව එතරම් සුන්දර නොවූවත් එය නරක දෙයක් නොවන බව බුද්ධ මතයයි.

දෙමාපියන් ගුරුවරුන් තම දරුවන් හෝ ශිෂ්‍යයන් හෝ කළ වරදකට දෝෂාරෝපණය කරන්නේ හෝ දඬුවම් කරන්නේ ඔවුන් එම වරදින් මුදවා අනාගතයේ යහපත් පුරවැසියන් බවටපත් කර ගැනීමේ අභිලාෂය මතයි.

එසේම සමහරු අනාගත අපේක්ෂා හිතේ තබාගෙන සමාජ සේවා කටයුතු හා පෞද්ගලික උදව් උපකාර කරන අවස්ථා නිතර අසන්නට දකින්නට ලැබේ. ඔවුන්ගේ යටි අදහස් එතරම් පිරිසුදු නොවන නිසා ඒවා යහපත් දේ ලෙස වර්ග කිරීමද ඉහත දේශනාව අනුව කළ නොහැකි ය.

මේ අනුව අප කරන කියන දේ යහපත් චේතනාවකින් කරන්නේ නම් සමාජය ඒ පිළිබඳව කවර මතයක් දැරුවත් ඒ ගැන නොසලකා හොඳ හිතන් හොඳ දේ කිරීමටත්, හොඳ වචන කතා කිරීමටත් අපි අදිටන් කර ගනිමු.