ශ්‍රී බුද්ධ වර්ෂ 2565ක් වූ ඇසළ පුර පසළොස්වක පෝය දින, 2021 ජූලි 23 සිකුරාදා |
||||
පැපිලියානේ මංගල සංඝරාජයන් වහන්සේගේ සිල්වත්, ගුණවත් ගති ලක්ෂණ, ධර්ම දේශනයේ නිපුණත්වය සන්දේශ කාව්‍යයන්හි වර්ණනාවට බඳුන් වෙයි. පැපිලියාන පිරුවන ආශ්‍රිත ව සිදු කෙරුණු මාසිකව ත්‍රිපිටක ග්‍රන්ථ එක්දහස් හත්සියය බැගින් පිටපත් කිරීමේ කටයුත්ත වෙනුවෙන් ප්‍රතිපාදන පිරිනැමීම පිළිබඳ තොරතුරු පැපිලියානේ සෙල් ලිපියෙහි අන්තර්ගත වන හෙයින් එම ත්‍රිපිටක පොත් පිටපත් කිරීමේ කටයුත්ත මංගල මාහිමියන් භාරයේ පැවති බව අනුමාන කළ හැකි ය. එසේම පැපිලියානේ ගණවාචක මංගල තෙරුන් ත්‍රිපිටකධාරී බහුශ්‍රැත මහතෙර නමක වශයෙන් සලකන ලද අන්දම තත්කාලීන ලේඛනවලින් හෙළි වෙයි. පිරුවන පිහිට වූ අවධියේ පටන් වරින්වර රටේ විවිධ පළාත්වලින් රජතුමා පූජා කළ ගොඩ සහ මඩ ඉඩම් අක්කර 378ක් පිළිබඳ විස්තර හමු වෙයි. මව්බිසවට පින් පිණිස රත්නපුර දිස්ත්‍රික්කයේ දෙණවක අරමණපොළ විහාරය ඇතුළු විහාර රැසක් කරවා ඉඩකඩම් සහිතව පැපිලියානේ මංගල මාහිමියන් වෙත පූජා කර තිබේ. එසේම පරිවාර ජනයා 250ක් සහිත පූජා භාණ්ඩ සහ ගරුභාණ්ඩ පුද දී ඇත. පිරුවනේ ආදායමෙන් ත්‍රිවිධ චෛත්‍යය සහ නාථ දේවාලයේ මුළුතැන් පූජා, පරිවේණාධිපති හිමි, විධාන තැන ඇතුළු විහාරවාසී පස්නමගේ කටයුතු, ත්‍රිපිටක ග්‍රන්ථ ලියන්නන්ගේ නඩත්තු කටයුතු, තෙමසකට වරක් සිව් දෙසින් වඩිනා මහා සංඝ රත්නයේ කටයුතු, මව් බිසවගේ වාර්ෂික ගුණසමරු පින්කම, විශේෂ අවුරුදු පූජාව යන කටයුතු සිදු කළ යුතු අන්දම 1454 වසරෙහි පිහිට වූ පැපිලියාන සෙල්ලිපියෙහි නියම කොට ඇත. තොටගමුවේ ශ්‍රී රාහුල සංඝරාජ හිමියන් කලක් පැපිලියානේ වැඩ සිටි තොරතුරු හමු වෙයි. පෘතුගීසි ආක්‍රමණ හමුවේ සිංහල සේනාව මෙහෙයවීමට මෙම විහාරයේ විසූ නාගසේන හිමියන් කටයුතු කළ බවත් ධ්වනිවාහිනී යන්ත්‍රයෙන් දුරින් හිඳ කතා ඇසීමට හැකියාව ලද බවත්, ආරක්ෂාව පිණිස දළදා වහන්සේ පැපිලියානේ පිරුවනේ සඟවා තිබූ බවත් ජනප්‍රවාදයේ කියැවෙයි. පෘතුගීසීන්ගේ ආක්‍රමණ හමුවේ විනාශයට පත් පැපිලියාන සුනේත්‍රාදේවි පිරුවනට පුනර්ජීවනය සලසනු ලබන්නේ වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරට අයත් හිමිපාණන් වහන්සේලා වෙතිනි. පොල්හෙන්ගොඩ මහ තෙරුන් වහන්සේ, කොලොන්නාවේ මහ තෙරුන් වහන්සේ, රත්මලානේ පියතිස්ස මහ තෙරුන් වහන්සේ යන මාහිමිවරුන් විහාරාධිපති පදවිය හොබවනු ලැබූහ. රත්මලානේ පියතිස්ස මාහිමිපාණන් වහන්සේගෙන් පසු රාජකීය පණ්ඩිත, ආචාර්ය මැදගොඩ සුමනතිස්ස නාහිමිපාණන් වහන්සේ විහාරාධිපති පදවියට පත්ව විහාරස්ථානයට නූතන නවෝදයක් උදා කළහ. විහාරස්ථානයේ සියලු විහාරාංග නවීකරණය කරමින්, සියවස් ගණනාවකට පසු 1961 වර්ෂයේ සුනේත්‍රාදේවි පිරුවන යළිත් ආරම්භ කොට ලක්දිව අග්‍රගණ්‍ය පාරිවේණික විද්‍යායතනයක් බවට පත් කළ සේක. විහාරස්ථානය ආශ්‍රිත ව ගිහි බාලක හා බාලිකා දරුවන් වෙනුවෙන් පාසල් තනවා රජයට පිරිනමමින් ද එසේම විහාරස්ථානයට අයත් ගංගොඩවිල භූමි භාගයක් විද්‍යොදය විශ්වවිද්‍යාලය වෙනුවෙන් පුද දුන්හ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පදවිය, බස්නාහිර පළාත සහිත කොළඹ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පදවිය වැනි සම්භාවනීය ඨානාන්තර රාශියකින් පිදුම් ලද මැදගොඩ සුමනතිස්ස නාහිමියන්ගෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය, රාජකීය පණ්ඩිත, දර්ශන විශාරද මැදගොඩ අභයතිස්ස නාහිමිපාණන් වහන්සේ විහාරාධිපති, පරිවේණාධිපති සහ කෘත්‍යාධිකාරී පදවි ශෝභමාන කරති. සුනේත්‍රාදේවි පිරුවනට අනන්‍ය වූ සම්ප්‍රදාය හඳුනාගනිමින් ආගමික හා ශාස්ත්‍රීය මෙහෙවරෙහි නිරත වන අතරම රටෙහි විවාදාපන්න සෑම අවස්ථාවකදී ම නොපැකිල ඉදිරිපත් වෙමින් නාහිමිපාණන් වහන්සේ සුවිශේෂී මෙහෙවරක් සිදු කරති. සියවස් හයකට වැඩි පටන් රටේ ජාතික, ආගමික හා සාමාජයීය ගැටලුවල දී පෙරමුණ ගනිමින් දෙස, බස, දැය, සමය උද්දීපනය කිරීම පිණිස සුනේත්‍රාදේවි පිරුවන ඉටුකළ මෙහෙවර අනභිභවනීය වෙයි. |
||||