Print this Article


මල්වතු මහාවිහාරයීය ශ්‍රී සංඝරාජාරාමයෙහි වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ කෞතුකාගාරය

මල්වතු මහාවිහාරයීය ශ්‍රී සංඝරාජාරාමයෙහි වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ කෞතුකාගාරය

වර්තමාන ශාසන පුනරුද්දීප්තියෙහි මෙන් ම ශබ්ද ශාස්ත්‍රෝන්නතියෙහි ද ආදි කර්තෘවර බෝධිසත්ත්ව ගුණෝපේත වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ ශ්‍රී සරණංකර සංඝ රාජයාණන් වහන්සේගේ ශ්‍රී නාමය අනුස්මරණය කරවමින් උන්වහන්සේ වැඩ විසූ මල්වතු මහා විහාරයීය ශ්‍රී සංඝරාජාරාමයෙහි දැනට ස්ථාපනය කර ඇති වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ කෞතුකාගාරය පිළිබඳ ව සාකච්ඡා කිරීම මෙම ලිපියෙහි අරමුණයි.

වැලිවිට සරණංකර මාහිමියන්ගේ ශාසනාභිවෘද්ධිය සඳහා අතිශයින් උපකාරී වූ කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමන් විසින් ස්වකීය පරම්පරාගත රාජකීය පුෂ්ප උද්‍යානයෙහි සංඝාරාමයක් කරවා උන්වහන්සේට පූජා කළ අතර, එය මල්වතු මහාවිහාරය නමින් වර්තමානයෙහි චිරප්‍රසිද්ධියට පත් ව තිබේ.

මෙම ආරාම පූජාවට ප්‍රථමයෙන් වැලිවිට සරණංකර මාහිමියන් ප්‍රමුඛ සිල්වත් සමාගමට අයත් සාමණේරවරු වැඩ වාසය කරන ලද්දේ ඒ ආසන්නයෙහි ම පිහිටි ඉපැරැණි පොහොයමලු විහාරයේ ය. උපසම්පදා විනය කර්මාදිය පැවැත්වීමේ පහසුවත්, වැඩි භික්ෂු පිරිසකට සෙනසුන් සපයාදීමේ අවශ්‍යතාවත් සලකා බැලූ රජු විසින් මෙලෙස රාජකීයයන්ගේ මල් උයන තුළ පුෂ්පාරාම විහාරය හෙවත් මල්වතු විහාරය ඉදිකරවන ලදී. එහි ප්‍රථමයෙන් ම ඉදිකරවන ලද ආරාමය වැලිවිට සරණංකර මාහිමියන්ගේ වාසය සඳහා පූජා කරන ලද අතර, එය වර්තමානයෙහි ශ්‍රී සංඝරාජාරාමය හෙවත් වැලිවිට පන්සල යන නාමයෙන් හැඳීන් වේ.

තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත මාහිමි, දරමිටිපොළ ධම්මරක්ඛිත මාහිමි, රඹුක්වැල්ලේ ධම්මරක්ඛිත මාහිමි, මොරතොට ධම්මක්ඛන්ධ මාහිමි ආදී උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යවරයන් වහන්සේලා සඳහා ද ඒ ආසන්නයෙහි ම වෙන වෙන ආරාම තනවා පූජා කරන ලදී.

වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන් වර්ෂ 1778 ඇසළ මස පුන් පොහෝ දින අපවත් වන තුරු ම මෙම මල්වතු මහාවිහාර පරිශ්‍රයෙහි තමන් වහන්සේ සඳහා වෙන් වූ ආරාමයෙහි වැඩ වාසය කරන ලදී.

උන්වහන්සේ සංඝරාජ පදවියට පත් වීමත් සමඟම සංඝරාජාරාමය යන නමින් එය ප්‍රසිද්ධියට පත් විය. මෙකී සංඝරාජාරාමයෙහි උන්වහන්සේ විසින් පරිහරණය කරන ලද පාසිවුරු ආදී පාරිභෝගික වස්තූන් සහිත ඉපැරණි කෞතුක භාණ්ඩ මහජන ප්‍රදර්ශනය සඳහා තැන්පත් කොට වර්තමානයෙහි වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ කෞතුකාගාරය ස්ථාපනය කොට ඇත.

මෙම කෞතුකාගාරයෙහි දැනට ප්‍රදර්ශනයට තබා ඇති සංඝරාජයාණන් වහන්සේගේ පාරිභෝගික වස්තූන් සහිත කෞතුක භාණ්ඩ උන්වහන්සේගේ පැවිදි ශිෂ්‍ය පරම්පරාවට අයත් ව මේ දක්වා සුරක්ෂිත කොට පාරම්පරික ව පැවත එනු ලබයි.

මෙම පෞරාණික වස්තූන් සැමගේ ප්‍රයෝජනය පිණිස මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීම වඩාත් යෝග්‍ය බව සැලකූ සංඝරාජයාණන් වහන්සේගේ මී මුණුපුරු වූ වැලිවිට ශ්‍රී සරණංකර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් වර්ෂ 1954 දී ගරු අග්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවල මැතිතුමන් ප්‍රමුඛ රජයේ ආධාර ඇති ව පළමු ව මෙම කෞතුකාගාරය ආරම්භ කරන ලදී.

පසුකාලීන ව උන්වහන්සේගේ ශිෂ්‍ය වූ වැලිවිට ශ්‍රී විපස්සි නාහිමියන් විසින් එය වඩාත් දර්ශනීය ආකාරයෙන් වැඩි දියුණු කොට පවත්වාගෙන එන ලදී.

අනතුරු ව වර්ෂ 1995 දී කණ්ඩක්කුළමේ ධම්මකිත්ති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් අපවත් වී වදාළ රඹුක්වැල්ලේ ශ්‍රී විපස්ස්‍යාභිධාන මල්වතු මහාවිහාර පාර්ශ්වයෙහි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ද අනුශාසනා ඇති ව මධ්‍යම සංස්කෘතික අරමුදලෙහි මහනුවර ව්‍යාපෘතිය මඟින් මෙම වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ කෞතුකාගාරය එහි පෞරාණික අගයට කිසිදු හානියක් නොවන අයුරින් දර්ශනීය ලෙස ප්‍රතිනිර්මාණය කරවන ලදී.

මේ සඳහා මැලේසියාවේ හා සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ධුරය හෙබවූ කිරින්දේ ශ්‍රී ධම්මානන්ද නාහිමි, මහනුවර නගරාධිපති තනතුර දැරූ ඩී. ඊ. පතිරණ මැතිතුමන්, ශ්‍රී දළදා මාළිගාවේ හිටපු දියවඩන නිළමේ නෙරංජන් විජේරත්න මැතිතුමන් ආදී බොහෝ පිරිසකගේ දායකත්වය හිමි විය.

මෙම වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනයට තබා ඇති ප්‍රධාන කෞතුක වස්තූන් අතර කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමන් විසින් වර්ෂ 1760 දී වැලිවිට ශ්‍රී සරණංකර මාහිමියන් සංඝරාජ පදවියට පත් කරමින් පූජා කරන ලද ඇත්දළයෙන් නිර්මිත වූ ඉපැරණි විජිනිපත ප්‍රධාන වේ.

සාම්ප්‍රදායික සිංහල කැටයමින් අලංකෘත වූ මෙම විජිනිපත මඟින් සංඝරාජ පදවිය සංකේතවත් කරන ලද අතර එය සෙසු විජිනිපත් වලට වෙනස් වන්නේ එයට ම ආවේණික ආකාරයකින් නිර්මාණය කර ඇති ඇත්දළමුවා මිට හේතුවෙනි.

තව ද සියම් දේශාධිපති ප්‍රවර ධාර්මික මහරජතුමන් විසින් ස්‍යාමෝපසම්පදාව රැගෙන මෙරටට වැඩම වූ ප්‍රවර උපාලි මාහිමියන් අත එවන ලද සියම් මැටියෙන් නිර්මිත වූ පාත්‍රය ද වේ. මෙය වැලිවිට සරණංකර මාහිමියන් උපසම්පදාව ලද අවස්ථාවෙහි උපාලි මාහිමියන් විසින් පූජා කර ඇති අතර මෙය පිණ්ඩපාතය සඳහා භාවිත කොට ඇත.

තවද සියම් දේශයෙන් එවන ලද කෝසෙය්‍ය පට සිවුරු කිහිපයකි. මෙම සිවුරුවල රන් නූලෙන් වියන ලද සියුම් මල් රටා දැකිය හැකි අතර ඒවා සංඝරාජයාණන් වහන්සේ විසින් පරිහරණය කර ඇත.

තව ද කුක්කුටිනන්දන නම් පට නූලෙන් වියන ලද ඉතා සිනිඳු වූ අඳනයක් ද අඹරන ලද පටනූලෙන් වියන ලද නිසීදනයක් ද වේ. මෙම සියලු සිවුරු, අඳනය හා නිසීදනය සියම් දේශාධිපති ප්‍රවර ධාර්මික මහරජතුමන් විසින් එවන ලදු ව කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමන් විසින් ප්‍රවර උපාලි මහතෙරුන් වහන්සේ වෙතින් ලබාගෙන සංඝරාජයාණන් වහන්සේ උපසම්පදාව ලද අවස්ථාවෙහි පරිෂ්කාර වශයෙන් පූජා කරන ලද ඒවා යි.

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ මහ රජතුමන් විසින් ගමන් බිමන් යාම සඳහා භාවිත කරන ලද ස්වකීය රාජකීය කූනම වැලිවිට සරණංකර මාහිමියන්ට පූජා කරන ලදී. එම රාජකීය කූනම ද කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමන් විසින් උන්වහන්සේගේ පෞද්ගලික ගමන් බිමන් සඳහා යොදාගනු පිණිස පූජා කරන ලද ඉපැරැණි පල්ලැක්කිය ද මෙම කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනයට තබා ඇත.

එසේ ම උන්වහන්සේ විසින් පරිහරණය කරන ලද කොස් දැවයෙන් හා වේවැලින් නිමවා විසිතුරු සිතුවමින් අලංකාර කරවන ලද ඉපැරණි සයනයත්, ඕලන්ද ක්‍රමයට අනුගත ව සාම්ප්‍රදායික සිංහල කැටයමින් විසිතුරු කරන ලද ආසනයත් කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමන් විසින් පූජා කරන ලද ඒවායි. තව ද සංඝරාජ මාහිමියන් බැහැදැකීම සඳහා සපැමිණි අවස්ථාවන්හි කීර්ති ශ්‍රී රාජසිංහ මහරජු අසුන්ගත් මුක්කාලි බංකුව නම් ඉපැරණි ආසනය ද සංඝරාජයාණන් වහන්සේ විසින් පරිහරණය කරන ලද විසිතුරු සැරයටිය ද ගිනිතැපීම සඳහා භාවිත කරන ලද සයනය ද මෙහි දී දැකගත හැකි ය.

සංඝරාජයාණන් වහන්සේ විසින් පුස්කොළ ග්‍රන්ථ රචනා කිරීම සඳහා භාවිත කරන ලද පන්හිඳ, දණ්ඩාසනය, දැලිපිහිය බහා තබන ලද කඩකැති පෙට්ටිය, පැන් පෙරීමට භාවිත කරන ලද පැන් දඹරාව, පැන් කොතලය, හෝඩි පොත ආදිය ද මෙහි තැන්පත් කොට තිබේ. එසේ ම රාජකීය මුද්‍රාව සහිත ව කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමන් විසින් ශ්‍රීපාදස්ථානය සහිත කුට්ටාපිටිය ගම්වරය උන්වහන්සේ වෙත පූජා කරන ලද සුප්‍රසිද්ධ කුට්ටාපිටිය සන්නස ද ශ්‍රී වික්‍රම රාජසිංහ මහරජතුමන් විසින් සංඝරාජයාණන් වහන්සේගේ මුණුපුරු වැලිවිට ශ්‍රී සරණංකර මහානාහිමියන්ට පූජා කරන ලද ඉපැරණි රන් කරඬුවත් අල්ගම විහාරයට ඉඩකඩම් පූජාකරන ලද තුඩපත ද මේ අතර වේ.