ජීවිතය
දරන්නට බැරි
බරක් ද?
රෝගාතුර වීම මට ද උරුමය යන හැඟීමෙන් මේ විසිරෙන සිත සන්සුන් කරගත යුතු ය. මමත් ලෙඩ
වේවි. වයසට යාවි. කවර මොහොතක හෝ මරණය උරුම වේවි. මේ සිතිවිලි ඔස්සේ ආශාවෙන් , දැඩි
තෘෂ්ණාවෙන් ආත්මාර්ථකාමීබවෙන් හා වෛරයෙන් පිරුණු සිත තරමකින් හෝ පාලනය කිරීමට
ශක්තියක් අප විසින් ගොඩනඟා ගත යුතු ය.
උතුම් මිනිසත් බවට පැමිණියේ කොතැන සිට දැයි අපි නොදනිමු. මේ ජීවිතයෙන් පසු කවර
භවයක උපදින්නේ දැයි ද නොදනිමු.
දිගු සසර ගමනක ඉපදෙමින් මියයමින් ඇවිද යමු. ඒ ගමන පිරී පවතින්නේ ද කායික හා මානසික
දුක්ඛයන්ගෙනි. දුගතියක ඉපදෙන්නේ නැතිව දිව්‍ය හා මනුෂ්‍ය ආත්මයක උපත ලබන්නට හැකි
වුණොත් සුව විඳීය හැකි නොවේදැයි යම් කෙනකු සිතනු ඇත. එහෙත් බෞද්ධ ධර්මයට අනුව, සැප
යැයි සිතමින් අප සිතින් අල්ලා ගන්නා මේ සියල්ල වහ වහා වෙනස් වෙයි. අවසානයේ දුක හා
ශෝකය පමණක් උරුම කොට පවතියි.
ගෙවී ගිය ජීවිතය දෙස ආපසු හැරී බලනවිට ගෙවා දැමූ දුක් විපත් මේ බවට සාක්ෂි දරයි.
අඳ, ගොළු, බිහිරි ව හෝ අංග විකල ව උපත ලැබුවේ නම් ඒ මිනිස් ජීවිතය මොනතරම් දුක්බර
ද? ඒ වගේ ම මේ ජීවිතය අධර්මයට යොමු වූයේ නම්, දුෂ්චරිතයන්ට පුරුදු වූයේ නම්,
විපරීත මනසක් වූයේ නම් උතුම් ව ලැබූ මේ මිනිසත් බවට වටිනාකමක් දිය හැකි ද?
ප්‍රතිඵලය ම දුක පමණි.
“නැවත ඉපදීම” හෙවත් පුනර්භවය ධර්මයේ වැදගත් ම ඉගැන්වීමකි. නැවත ඉපදීමට හේතුව වන්නේ
තමන්ගේ සිතින් අල්ලා ගනු ලබන තෘෂ්ණාව බව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සේක. නැවත
ඉපදීමේ ඇති භයානක බව නම්, මනුෂ්‍ය ජීවිතය අත්හැරී දුගතියකට වැටීමේ ඇති අවස්ථා
වැඩිවීමය.
මනුෂ්‍ය ජීවිතයක ආයුෂ සාමාන්‍යයෙන් අවුරුදු සියයක් නම් දුගතියක ආයු කාලය වචනයකින්
කිව නොහැකි තරම් බොහෝ වැඩිවිය හැකි ය.
බොහෝ සත්වයෝ සිත, කය හා වචනය දස අකුසල්වල පැවැත්වීමෙන් සසරෙහි හඬමින් හා වැළපෙමින්
මහත් වූ දුකෙහි පසුවන බව ධර්මයෙහි පැහැදිලි කරයි. එහෙත් සමහර පිරිස් නැවත ඉපදීමක්
විශ්වාස නො කරති. එසේ සිතා මේ ජීවිතයේ පස් පව්, දස අකුසල් සිදු කරගනිමින් කෙසේ හෝ
සතුටින් ජීවත් වීමට උත්සාහ ගනිති.
බුදුරජාණන් වහන්සේ මීට බොහෝ කලකට පෙර මනුෂ්‍යයාගේ සිත පිළිබඳ දෙසූ කරුණ වර්තමානයේත්
එලෙස ම ක්‍රියාත්මක ව පවතී. “අනිත්‍යය” යන්න පමණක් ගෙන නුවණින් විමසා බලමු. මේ ලොව
ඇති පණ ඇති හා පණ නැති සියලු දේ නිරතුරුව ම වෙනස්වීමකට භාජනය වන බව කොපමණ නම්
පැහැදිලි ව අපට වැටහේවි ද?
වෙනස්වන ලෝකයෙහි දැඩි ආශාවෙන්, වෛරයෙන් මෙන් ම ඊර්ෂ්‍යාවෙන් මනුෂ්‍ය ජිවිතය
අප්‍රසන්න කරවන සිතිවිලිවලින් මනුෂ්‍ය ජීවිතය රැක ගන්නටයි මේ අනිත්‍ය මතුකොට අප
දැකිය යුත්තේ. සියලු දේ අනිත්‍ය යන්න අමතක වන විට බාහිර වස්තූන්වලට එනම් ගේදොර,
ඉඩම්කඩම්, මිල මුදල්, යානවාහන, ඇඳුම් පැළඳුම් මෙන් ම තම රුව වෙනුවෙන් මනුෂ්‍යයා
කොපමණ අර්ථ ශුන්‍ය ලෙස හැසිරෙනවා ද?
ලෝකය සමඟ මොනතරම් ගැටුම්, ගැටලු ඇති කරගන්නවාද? ගෘහයක් තුළ ස්වාමියාට බිරිඳත්,
බිරිඳට ස්වාමියාත්, මව්පියන්ට දරුවනුත්, දරුවන්ට මව්පියනුත් අමතකව, අවසානයේ මිනිසත්
බවත් අමතකව ඇති කරගන්නා ගැටුම්වල අවසානය ඇතැම් විට කෙළවර වන්නේ මරණයෙනි. කරුණාව,
මෛත්‍රීය පැවතිය යුතු සිත් තුළ රාගය, වෛරය, තරහව ආදී කෙලෙස් මතු වූ විට සිව්පා
සතුන්ටත් වඩා මනුෂ්‍යයා පහතට වැටුණු අවස්ථා අප මේ සමජයෙන් මොන තරම් නම් අසා හා දැක
තිබෙනවා ද?
සියලු මනුෂ්‍යයන් මවු කුසෙන් බිහිව මෙලොවට පැමිණ සොහොනෙන් මේ ගමන අවසන් කරන බව
ඉගැන්වේ. මේ ගර්භාෂය සහ සොහොන අතර ගමනේ දී කිසිදු භේදයකින් තොරව ලොව ඉපදෙන සියලු
දෙනාට ම පොදුවේ මුහුණ දෙන්නට සිදුවන කරුණු කිහිපයක් ඇත. ව්‍යාධීන්ට ගොදුරු වීම,
දිරාගෙන යෑම හෙවත් මහලු බවට පත්වීම ය. මරණය ඉලක්ක කරගෙන මේ හැම දෙයක් ම විශාල
ගිනිකඳු ලෙසින් අප සියලු දෙනා වෙත ම ලුහුබැඳ පැමිණේ. මේවාට මුහුණ දී අපට මේවා පරාජය
කළ නොහැකි ය. ඒ වගේ ම ඉන් පැන දිවීමට ද නොහැකි ය. අප රෝගාතුර වීමට හැකි බැවින්, අප
මනුෂ්‍යත්වයේ නාමයෙන් ඉගෙන ගත යුතු පාඩමක් ඇත. එනම් ගිලනුන් කෙරෙහි කාරුණික විය
යුතු බව ය.
රෝගාතුර වීම මට ද උරුමය යන හැඟීමෙන් මේ විසිරෙන සිත සන්සුන් කරගත යුතු ය. මමත් ලෙඩ
වේවි. වයසට යාවි. කවර මොහොතක හෝ මරණය උරුම වේවි. මේ සිතිවිලි ඔස්සේ ආශාවෙන් , දැඩි
තෘෂ්ණාවෙන් ආත්මාර්ථකාමීබවෙන් හා වෛරයෙන් පිරුණු සිත තරමකින් හෝ පාලනය කිරීමට
ශක්තියක් අප අප විසින් ගොඩනඟා ගත යුතු ය.
අද බොහෝ විට තරුණ වයසෙහි පසුවන අයට මමත් වයසට යනවා නේද? දෑත දෙපා වාරු නැති වෙනවා
නේද? යන සිතිවිල්ල පහළ නොවීම කෙතරම් අභාග්‍ය සම්පන්න තත්වයක් ද? වයස හා ගිලන් බව
හේතුවෙන් අසරණ වන මව්පියන් මෙන් ම වැඩිහිටියන් තමන්ට කරදරයක් යැයි සිතන බොහෝ
පිරිසක් සිටියි.
මගේ දරුවනුත් යම් දවසක මා ගැනත් මේ ආකාරයෙන් ම සිතන්නට පෙළඹුණොත් එදාට මට කුමක්
සිතේ දැයි ඇයි නොසිතෙන්නේ?
අපගේ තරුණ කාලයේ දී නපුරු කෙලෙසුන්ගෙන් සිත පාලනය කරන්නේ නැතිව තමන්ට සියලු දේ කළ
හැකියි. තමන් සියලු දේ දන්නවා. මට කවුරුවත් අවශ්‍ය නැහැ‘යි සිතන බොහෝ කෙනෙකුට මහලු
වයස කායිකවත්, මානසිකවත් ගිනි ගොඩක් වේවි. එවන් පුද්ගලයන් ගැන සමාජය පවා කතා කරන්නේ
“ඔය පුද්ගලයා ජිවත් වූයේ වයසට යන්නැති, මරණයට පත් වෙන්නේ නැති පිළිවෙළටයි, යනුවෙනි.
සියල්ල අත්හැර සාහොනෙන් කෙළවර වන ගමනක ආශාවන් පොදි බැඳගෙන වෛරයෙන්, තරහ සිතින් පිරී
, අන්‍යයන්ටත් නපුරුකම් කරමින් ගත කරන ජිවිතයක අර්ථයක් නැහැ.
දිනපතා දිනකට කිහිප වරක් සෝදා හැඩ බලමින් පිරිසුදු කරන, විසිතුරු කරන මෙන් ම ඉල්ලන
ඉල්ලන රස ආහාර දෙමින් දිවත්, සිතත් සතුටු කරන්න හදන, මෙම ශරීරයවත් අවසානයේ තමන්ට
හිමි නොවන බව අවබෝධ නොවෙන්නේ ඇයි?
“මහ වනයක ඇති සෑම වෘක්ෂයක් ම සඳුන් වෘක්ෂයක් වන්නේ නැහැ. එනමුත් සඳුන් වෘක්ෂ ද
දුර්ලභ නොවේ. ඒ වගේ ම මනුෂ්‍යයන් අතර හැම මනුෂ්‍යයකු ම උතුම් මනුෂ්‍යයෙක් නොවුණත්
ශ්‍රේෂ්ඨ හා මනුෂ්‍යකම පිරිනු මනුෂ්‍යයෝ ද දුර්ලභ නොවෙති.“
දීපා පෙරේරා |