මහාමායා
දේවිය
දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනවාසී
රාජකීය පණ්ඩිත
ශාස්ත්‍රපති අධ්‍යාපනපති
පදියතලාවේ අමරවංශ හිමි
ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මව්තුමිය මහාමායා දේවියයි. ගිහි කල සිද්ධාර්ථ
කුමරුගේ මවයි. සුද්දෝධන මහරජතුමාගේ අගබිසවයි. මහාප්‍රජාපතී ගෝතමී දේවියගේ වැඩිමහලු
සහෝදරියයි. තුන් ලොවම ධර්මයෙන් සනසාලීමට සහ දුකින් පෙලෙන සත්වයින් මුදවාලීමට
පුත්‍රයකු බිහි කළ උතුම් මව්තුමිය ඇයයි.
සිද්ධාර්ථ කුමාරයාගේ ඥාතීහු රෝහිණී නදියෙන් එගොඩ සහ මෙගොඩ ජීවත් වූහ. මෙගොඩ ජීවත්
වූයේ පිය පාර්ශ්වයේ ඥාතීන් ය. එගොඩ ජීවත් වූයේ මවගේ ඥාතීන් ය. දෙ පිරිසම ශාක්‍ය
වංශයට අයත් විය. මහා සම්මත සූර්යය වංශයෙන් ප්‍රභවය වූ ශාක්‍ය පරපුර නොකැඩී පැවත ආවේ
ය.
රෝහිණී නදියෙන් මෙගොඩ කපිලවස්තු නුවර විය. එහි පාලකයා ජයසේන රජතුමා ය. ඔහුට දාව
සිංහහනු සහ යශෝධරා (ලුම්බිනී) යනුවෙන් දරුවන් දෙදෙනෙක් වූයේ ය. පිය රජතුමාගෙන් පසු
රාජ්‍ය සිංහහනු කුමාරයාට හිමිවෙයි. සිංහහනු රජතුමාට දාව ශුද්දෝධන, ශුක්ලෝදන,
දෝතෝදන, අමිතෝදන නමින් පිරිමි දරුවන් හතරදෙනකු සහ ශුද්ධා, ශුක්ලා, ද්රෝතණා, අමිතා
(අමෘතා) නමින් ගැහැනු දරුවන් හතර දෙනෙකු ද උපත ලබයි.
රෝහිණී නදියෙන් එගොඩ කෝලිය රටේ රාජ්‍ය දෙව්දහ ශාක්‍ය රජතුමා පාලනය කරයි. එහි අගනුවර
දෙව්දහ නුවරයි. රජතුමාට දාව සුප්‍රබුද්ධ (අංජන) නමින් පුත්‍රයෙක් ද, කාංචනා නමින්
දුවක් ද උපත ලබයි.
කාංචනා දේවිය විවාහ වන්නේ කපිලවස්තුවේ රාජ්‍ය කර වූ සිංහහනු රජු සමඟ ය. දෙව්දහ
ශාක්‍ය රජතුමාගෙන් පසු ඔහු පුත් සුප්‍රබුද්ධ කුමරු රාජ්‍ය පාලනය බාර ගනියි. මොහු
විවාහ වන්නේ කපිලවස්තුවේ රජ පැමිණි ජයසේන රජතුමාගේ එකම දියණිය වූ යශෝධරා හෙවත්
ලුම්බිනී දේවිය සමඟයි.
සුප්‍රබුද්ධ රජතුමාට දාව යශෝධරා දේවිය ගැහැනු දරුවන් දෙදෙනෙකු බිහි කරයි. පළමුව
බිහිවන දියණිය රූප ශෝභාවෙන් දෙව්දහ නුවර හෝ කපිලවස්තු නුවර හෝ අසල්වැසි රාජ්‍යයක හෝ
එවැනි රූප ශෝභාවකින් යුක්ත තැනැත්තියක් දක්නට නොහැකි විය. දුටුවන් පුදුම කරවන
මායාවක් වැනි විය. අදහා ගත නො හැකි විය. දුටු දුටුවන්ගේ සිත් ඇදගන්නා ස්වභාවයෙන්
යුක්ත විය. මෙවැනි හේතු නිසා ඇයට ‘‘මායා” නමින් නම් තැබී ය.
වසර කිහිපයක් ගත වන විට ලුම්බිනී බිසව තවත් දරුවකු බිහි කරයි. එම දරුවා ද පළමු
දියණිය මෙන් රූප ශී‍්‍රයෙන් බැබළුණේ ය. මව්පියන්ගේ ආදරය දෙදෙනාට ම එක සමාන විය.
එබැවින් ඇයටත් ‘‘මායා” නාමය යෙදීමේ අවශ්‍යතාව ඇති විය. එයට පිළිතුරු සෙවූ දෙමාපියෝ
පළමුව උපන් දියණියට ‘‘මහාමායා” නාමය යෙදූහ.
දෙවැනි දියණියට ‘‘මායා ගෞතමී” නාමය තැබී ය. පසුකලෙක මහාමායා දේවියටත් නැඟෙණියට යෙදූ
ගෞතමී නාමය එකතු වී ‘‘මහාමායා ගෞතමී” නාමය ද හිමි වී ඇත.
මායා දේවිය පරිසරයට ඇලුම් කළාය. උයන්වතුවල ඇවිදීමටත්, සතුන් නැරඹීමටත්, කරුණාවෙන්
ඔවුන් රැකබලා ගැනීමටත් පි‍්‍රය කළ බව ලුම්බිනි උයනට පිවිසීමෙන් තහවුරු වෙයි. එය තම
මෑණියන්ගේ නමින් පිහිටි ඇය සතු උයනකි. මවගේ ආභාසය දියණියටත් පැමිණ තිබූ බව එයින්
පෙනේ.
මහාමායා දේවිය විවාහ වන්නේ සිංහහනු රජතුමාගේ වැඩිමහලු පුත් සුද්දෝධන කුමාරයා සමඟ ය.
රෝහිණී ගංගාවේ දෙපස ජීවත් වූ දෙදෙනා ඔවුනොවුන් ඥාතීහු වූහ. රූප ශෝභාවත්, ඇයගේ උතුම්
ගුණ සමූහයත් කෙරෙහි පැහැදුණු සුද්ධෝධන කුමරු මහාමායා දේවිය කෙරෙහි අපේක්ෂාවෙන් කල්
ගෙවීය. එහෙත් ඇය විවාහ කර ගැනීමට ක්‍රමයක් නොමැති විය.
ක්‍රමයෙන් කලක් ගතවන විට කපිලවස්තු රාජ්‍යයේ පසල් දනව්වක යුද්ධයක් ඇති වූයේ ය.
සිංහහනු රජතුමා එය මැඩපැවැත්වීමට තම සේනාව ලබා දෙමින් සුද්දෝධන කුමරු එහි යැවී ය.
හෙතෙම යුද්ධය ජයගෙනවිත් සියලු තොරතුරු රජුට පවසා සිටියේ ය. එයින් පැහැදීමට පත්
පියරජතුමා ඔහුට යුවරජකම ලබා දෙයි.
එදින කැමැති වරයක් ඉල්ලීමට ද අවස්ථාව උදා කර දී තිබිණ. තම සිතෙහි පැවැති අදහස රජුට
දැන්වීමට අවස්ථාව උදාවූයෙන් මහාමායා දේවිය විවාහ කර ගැනීමට අවස්ථාව සලසන ලෙස ඉල්ලා
සිටියේ ය. රජතුමා සුප්‍රබුද්ධ රජුවෙත අදාළ කරුණ දන්වා දෙදෙනාගේ විවාහය සිදු කර
දෙයි.
මහාමායා දේවිය සුද්දෝධන රජතුමාගේ බිසව බවට පත් වෙයි.
දෙදෙනාම උතුම් ගුණවලින් පිරුණු තැනැත්තෝ වූ හ. නිතර දන්දීම් සහ සිල් රැකීම් ආදි
කටයුතුවල යෙදෙමින් කල් ගෙවූහ. පියරජතුමාගේ ඇවෑමෙන් ඔහු රාජ්‍යත්වයට පත්වෙයි. සෙසු
සහෝදරයින්ගේත්, අමාත්‍යවරුන්ගේත් සහාය යුවරජුට ලැබෙයි.
කාලය ක්‍රමයෙන් ගත වූයේ ය. ඔවුහු දරුවන් අපේක්ෂා කළහ. ඒ වෙනුවෙන් යාචකාදීන්ට සහ මහණ
බමුණන්ට දන්පැන් පිළිගන්වමින් කටයුතු කරන්නට ද වූහ. මෙලෙස කාලය ගත විය. වාර්ෂික ව
සංවිධානය වන ඇසළ උත්සවයක් දඹදිව හැම රාජ්‍යයකම පවත්වන සිරිතක් එකල පැවතිණ. රජ පවුලේ
සියලු දෙනාත් එයට සම්බන්ධ වූ හ. උත්සවය දින හතක් පැවැත්වීම නියමය විය. රජතුමා
අමාත්‍ය මණ්ඩලය මෙහෙයවමින් අවශ්‍ය කටයුතු සැලසුම් කළේ ය. මහාමායා දේවිය පිරිවර
ස්තී‍්‍රන් සමඟ දන්දීම් සහ සිල් රැකීම් කළා ය. හත්වැනි දිනත් සුපුරුදු ලෙසම මහාමායා
දේවිය යාචකාදීන්ට සහ මහණ බමුණන්ට දන් දී, රාජ උද්‍යානයෙහි සිටි අසිත දේවල සෘෂිවරයා
වෙතින් සිල් සමාදන් ව මෛතී‍්‍ර භාවනාදිය වඩමින් දවස ගෙවා දැමීම සිදු කළා ය.
රාති‍්‍රය උදා වූයෙන් පිරිසුදු සිතින් සහ ගතින් යුක්තව සිරියහනට වැද දිවා සමයේ කළ
උතුම් පින්කම් සිහිකරමින් නිදන්නට වූවා ය. රාති‍්‍රයේ පශ්චිම යාමයේ දී ඇය මෙබඳු
සිහිනයක් දුටුවා ය.
දෙවිවරු හතර දෙනෙක් තමා නිදා සිටි සිරියහන ඔසවාගෙන හිමාලය පර්වතයට ගෙන ගොස් එහි
ගල්තලාවක් සමීපයේ විශාල සල් ගසක් මුල තබා පසකට වීම හීනයේ පළමු සිදුවීම විය. අනතුරුව
එතැනට පැමිණි දෙවඟනන් හතර දෙනෙක් ඇය අනෝතත්ත විලට ගෙන ගොස් සුවඳ පැනින් නහවා, දිව
සළු අඳවා, දිවමල් පළඳවා රිදී පර්වතයක පිහිටි රන් මාලිගාවකට ගෙන යයි. එහි අලංකාර කළ
යහනක් විය. එහි නිඳා ගැනීමට සයනයක් සකසා තිබිණ. එහි හිස තැබිය යුතු දිශාව බටහිර
දිශාවට තබා තිබුණේ ය. දෙවඟනන් හතර දෙනා මාහා මායා දේවිය ඒ ශී‍්‍ර යහනේ සයනය කරවයි.
එහි නිඳා සිටින ඇය නොබෝ වේලාවකින් සුදු ඇත් පැටවෙක් දකියි. ඌ සුදු පියුමක් හොඩින්
ගෙන රන් පර්වතයකින් රිදී පර්වතයකට පැමිණ එතැනින් ඇවිදගෙන රන් ප්‍රසාදයට පැමිණ එහි
උතුරු දිශාවෙන් යහන තිබුණු කුටියට පිවිස තුන් වතාවක් යහන වටා පැදකුණු කර ඇයගේ දකුණු
ඇලයට ළං වී කුසට පිවිසෙයි.
පසුදින සුද්ධෝදන රජුට සිහිනය පැවසීමෙන් බ්‍රාහ්මණයින් ලවා කරුණු විමසා උතුම් පුත්
රුවනක් පිළි සිඳගත් බව දැන ගනියි. එතැන් සිට රජතුමාගේ රැකවරණය යටතේ දස මසකින් පසු
සිද්ධාර්ථ කුමරුට උපත ලබා දෙයි. වෙසක් පුර පසළොස්වක පොහෝ දින කුමරුගේ උපත සිදුවෙයි.
එදින සිට දින හතක් ගෙවුණු පසු මහාමායා දේවිය කළුරිය කර ඇත.
සන්තුෂිත දිව්‍ය රාජයා තම මව වශයෙන් මහාමායා දේවිය තෝරා ගන්නේ ඇයගේ ආයුෂ වින්දනය
අධ්‍යනය කිරීමෙන් අනතුරුවයි. පස්මහ බැලුම් බැලීමේ පුවතින් එය පෙනේ. තම පියතුමාත්,
රටත්, ප්‍රදේශයත්, කාලයත් තීරණය කරන්නේ මව්කුස පිළිසිඳ ගැනීමට පෙර සිට ය.
පුත්කුමරුට නම් තැබීමේ මංගල්‍යයේ දී රාම, ධජ, ලක්ඛණ, මන්ති, කොණ්ඩඤ්ඤ, භෝජ, සුයාම
සහ සුදත්ත යන බ්‍රාහ්මණ නායකයින් අට දෙනා ප්‍රමුඛ එකසිය අටදෙනෙක් පැවසූ අනාවැකිත්,
අසිත දේවල තවුසාගේ අනාගත සුබ නිමිතිත් ඇසීමෙන් මහත් සේ පී‍්‍රතියට පත්ව සිටි
මහාමායා දේවිය තමන්ගේ මරණය පැමිණ ඇති බව සිහි කරන්නට වූවා ය.
එබැවින් පුතුගේ සියලු කටයුතු තම නැඟණිය වූ ‘‘මහාප්‍රජාපතී ගෝතමී” දේවියට පවරනු ලැබී
ය. තම පුත්‍රයා කෙරෙහි අපමණ සෙනෙහසකින් යුක්ත වූ බවත්, බුද්ධ පුත්‍රයකු බිහිකිරීමේ
පුණ්‍ය මහිමයෙන් සොළොස් හැවිරිදි දිව්‍ය පුත්‍රයෙක් ව මාතෘ දිව්‍යරාජයා (මාතෘ
දිව්‍ය පුත්‍රයා) නමින් තුසිත දෙව්ලොව උපන් බවත්, බුදුරජාණන් වහන්සේ තම මවට කෘත ගුණ
දැක්වීමට අභිධර්ම දේශනාව ප්‍රථමයෙන් ම මෑණියන් උදෙසා පැවැත්වූ බවත් ශාසන ඉතිහාසයේ
දැක්වෙයි. |