Print this Article


තම තම නැණ පමණින් ලද හැකි දැනුම

තම තම නැණ පමණින් ලද හැකි දැනුම

ශ්‍රී ලංකා අධ්‍යාපන ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් ලෙස ඔන් ලයින් අධ්‍යාපනය සටහන් වනු ඇත. එය අන්තර් ජාල අධ්‍යාපන ක්‍රමය ලෙස හැඳීන්විය හැකි ය. ලෝක සංස්කෘතියේ මූලික ම අධ්‍යාපන ක්‍රමය ගුරු කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයයි. දඩයම් කිරීමේ සිට සියලු වෘත්තීයමය , සංස්කෘතික , ආගමික අධ්‍යාපනය ලබා දුන්නේ පාරම්පරික ඤාණයෙන් යුත් ස්වාධීන ගරුවරයායි.

මිහිඳූ මහ රහතන් වහන්සේගේ පටන් ලංකාවට දායාද වූ ශාස්ත්‍රීය අධ්‍යාපනයත්, මහ රහත් සංඝමිත්තා මෙහෙණීන් වහන්සේගේ උපදෙස් මත ලංකාවේ සංවර්ධනය වූ විවිධ කලා හා ශ්‍රේණි අධ්‍යාපනයත් ගුරු කේන්ද්‍රීය විය. ඒ මතු නොම මහින්දාගමනයට පෙර පැවති වාරි කර්මාන්තය, කෘෂි කර්මාන්තය. අක්ෂර කලාව. පරිසර අධ්‍යාපනය, සෞඛ්‍ය අධ්‍යාපනය . නක්ෂත්‍ර අධ්‍යාපනය ඈ සියල්ල ඉගැන්වීම් ගුරු කේන්ද්‍රීය විය. බුද්ධ වචනය සම්බන්ධ පර්යාප්තිය පමණක් නොව ප්‍රතිපත්තියත් ගුරු කේන්ද්‍රිය ව සිදු කළ යුතු විය. ඒ අනුව ආභිසමාචාරක සහ ආදිබ්‍රහ්මචරිය උපදෙස් ලබා එසේ ලබන අධ්‍යයනයෙන් ශිෂ්‍යයා තම තම නැණ පමිණින් දහම සාක්ෂාත්කරණය කර ගැනිණි. ගරු බස නොසලකා අධ්‍යාපනය ලැබීමට ගිය ශිෂ්‍යයෝ අතරමං වූ හ. බුද්ධ චරිතයේ පැණෙන උපවාන හිමි බුද්ධාවවාදය නොසලකා තනිව ස්ව අභිමත ස්ථානයක බවුන් වැඩීමට ගොස් අතරමං විය. වක්කලී හිමියන්ට ශිෂ්‍ය කේන්ද්‍රිය නොවී තම අවවාදයම වඩන ලෙස බුදුහිමියෝ වදාළහ.

ශ්‍රී ලංකාවේ ආර්ථික, සංස්කෘතික, සෞඛ්‍ය , ශාස්ත්‍රිය, තාක්ෂණික හා විද්‍යාත්මක අධ්‍යාපනය ගුරු කේන්ද්‍රිය විය. ලොකයේ කිසි රටකට අදවත් ළඟා විය නොහැකි ලංකාවේ වාරි කර්මාන්ත අධ්‍යාපනය එසේ ක්‍රමයෙන් සංවර්ධනය වූ අපූරු අධ්‍යාපනයක් විය.

මානව අයිතිවාසිකම් පිළිබඳ අපරදිග පනත් සම්මතවීමට පෙර බෞද්ධ ඉගැන්වීම් සහ ආභාෂය යටතේ මානව අයිතිවාසිකම් මතු නොව සර්ව සත්ව අයිතිවාසිකම් අපට හුරු වී තිබුණි. විශේෂයෙන්ම ගුරු ගෙදර ගුරුවරයා මේ තත්වය මැනවින් දැන සිටියේ ය. එහෙත් ශිෂ්‍යයා කෙරෙහි ඔහුගේ බාහිර පෙනුම තරමක් සැර ස්වභාවයෙන් යුක්ත විය.

ගුරුවරයා පිළිබඳ ශිෂ්‍යයා දැරූ ආකල්පය වදන් කවි පොතෙන් හෙළිවේ.

වේවැල් කෝටු නාරං සියඹලා අතු
කිතුල් පොල් ඉරටු වැල් කසඹිලිය අතු
මෙහැම ඉපල් මගේ දෑතට නොපෑයුතු
පමා නොවී එමි අකුරට මෙයින් මතු

අම්මොයි කියා ගෑ සිය ළඟ තෙල් රුවට
යම්මොයි කියා යති අකුරට ගුරුන් ගෙට
බම්මොයි කියා බස් තෙපළති විටින් විට
අම්මොයි කියා කීවත් ගුරු දෙතෙයි බැට

ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයේ මෙසේ නොවේ. දුටු වරද කීමෙහි ලා ගුරුවරයකු යම් දඬුවමක් කළහොත් අම්මොයි කියමින් පහර කෑමට ලක්වන්නේ ගුරුවරයායි. ඒ ශිෂ්‍යයාගේ දෙමාපියන්ගෙන් හෝ නව යෞවනයේ සිටින යහලුවන් ගෙනි. එබැවින් අද ගුරුවරයා නොඇසු කන් මතු නොව නොදුටු නෙත් සිටිති. දුරාචාරය ඇස් පනා පිට පැතිරෙයි.

පාසලට ගැලපෙන පාවහන් නොමැති නිසා පාසලෙන් පිටමං කළ හෝ පිටමං වූ දරුවෝ සිය ගණනක් ලංකාවෙන් සොයාගත හැකි ය. ඔවුහු පාතාල නායකයෝ වී වැජඹෙති. ඒ සම්භාවනීය බටහිර අධ්‍යාපනයේ ප්‍රතිඵලයි. පාවහන් රහිතව මව්බිම ස්පර්ශ වීමෙන් දෑසේ මෙන් ම කයේ සෞඛ්‍යය වැඩෙන බව වටහා දෙමින් කාරුණික ගුරුවරයා අවවාද කළේ

අල්ලට සිඟා වත් රස නැති කැවිලි කකා
වල්ුකොළ බිම අතුට නිදි නොලැබ දුක් තකා
කල් ගිය රෙදි වැරලි ඇඳ දැලි කුණෙන් වකා
ඇල්මෙන් අකුරු උගනිවු ඉදිරි වැඩ තකා

යන ලෙසයි. ගුරුවරු සිසුන්ට දඩුවම් දීම හැම යුගයේ ම අනතුරුදායක විය . තිලමුට්ඨි ජාතකයේ ඉගෙනුම් පාරප්‍රාප්ත රජ කුමරුට දඩුවම් කළ ගුරුවරයා අනාගතයේ එම සිසුවා තමන් මරණ බව ශිෂ්‍යයාගේ මුහුණින් වටහා ගත් ප්‍රාඥයෙක් නිසා ම මරණයෙන් වැළකුණි.

කෙසේ වුව කෝප සහගත ව සිසුන් දඬුුවම් නොකළ යුතු වුවත් එය එසේ ම සිදු නොවන්නේ ගුරුවරයා ද මනුෂ්‍යයෙක් බැවිනි. පාසල ළමයා මරයි යන සංකල්පය අධ්‍යාපන විද්‍යාවේ සාකච්ඡා වූයේ ද මෙම දඩුවම් සංකල්පය නිසා බැවින් පමණ ඉක්ම වූ දඬුවම කෙසේවත් අනුමත කළ නොහැකියි.

විශාල වශයෙන් දැනුම පුපුරා යෑම, විද්‍යා තාක්ෂණ ඤාණය ලොව පුරා ව්‍යාප්ත වීම, ලෝකය කුඩා වීම, විශ්ව ගම්මාන සංකල්පය ක්‍රමයෙන් ස්ථිර වීම නිසා ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනය ක්‍රමය නව ලොවට ප්‍රමාණවත් නොවීය. නාගසේන හිමියන්ට විනය පිටකයට පෙර අභිධර්ම පිටකය හැදෑරවිය යුතු යැයි තීරණය කළ හැකි තරමේ මහත් ප්‍රාඥයෝ ද ක්‍රමයෙන් හිඟ වූ අතර ශිෂ්‍යයා වටහා ගන්නා මනෝ විද්‍යාත්මක ගුරුවරු ද මෙම අධ්‍යාපන ක්‍රමයේ හිඟ විය.

ගුරු කේන්ද්‍රිය අධ්‍යපනයේ ප්‍රතිපත්ති නිසා ලොව ට ලබා ගත නොහැකි වන විශිෂ්ටයකු , කාරුණික නැණවත් ,සංවේදී, මවක නිසා ලෝකය ආලෝක කළ විශිෂ්ටයකු බිහිකිරීමට හැකි වූ බව තොමස් අල්වා එඩිසන් විද්‍යාඥයාගේ චරිත කථාවෙන් හෙළිවේ.

‘ඔබේ පුතා මානසික රෝගියෙක් බැවින් අපට උගන්නන්න බැරිය’ කියා දරුවා අතම මවට යැවූ ලිපියේ සඳහන් වන්නේ , ‘ඔබ වැනි දක්ෂයන්ට ඉගැන්වීමට තරම් සුදුසු ගුරුවරු අප ළඟ නැතැයි පවසා ඇති බව’ යි පැවසූ බුද්ධිමත් මව අකුරු ශාස්ත්‍රය කියා දීමෙන් පසු ස්වයං අධ්‍යයනයෙන් කටයුතු කරමින් නව නිපැවුම් සියයක් පමණ ලොවට ලබා දුන් තැනැත්තා තෝමස් අල්වා එඩිසන් ය. මෙම උදාහරණයම වර්තමාන විද්‍යා තාක්ෂණ අධ්‍යාපනයට ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනය ප්‍රමාණවත් නොවන බවට සාධකයකි. එසේ වුව සදාචාර අධ්‍යාපනයට සහ ආගමික අධ්‍යාපනයට ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනය අවශ්‍ය වන්නේ ගුරුවරයා සිය විෂයෙහි ප්‍රායෝගිකව ම ආදර්ශයක් විය යුතු බැවිනි.

ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය නිසා අධ්‍යාපනයේ විද්‍යාත්මක බව දහස් ගුණයෙන් වැඩිවුණි. එහෙත් ගුරු ගෞරවය , වෘද්ධපචායනය, කෘතඥතාව, කෘතවේදිතාව ආදී යහපත් ගුණ රාසියක් අවම ස්වභාවයට පත් විය. ඒ වෙනුවට නව යෞවන මිතුරන් ගුරුවරුන් බවට පත් කර ගැනීම, ආත්ම බුද්ධියම සැප දෙන්නේ යැයි සැලකීම වැනි පරිහාණී ලක්ෂණ ප්‍රචළිත විය. වර්තමාන අධ්‍යාපනය දැනුම ආකල්ප හා භාවිතය බව පිළිගන්නා නමුත් ආදර්ශය ගැන නොසැලකීම නිසා ගුරු පෞරුෂය ද පිරිහී ඇත. කෙසේ වුවද ශිෂ්‍ය කේන්ද්‍රිය අධ්‍යාපනයේ මැනවින් නියැළෙන්නකුට එය කාරුණික ද, වඩා ප්‍රජාතන්ත්‍රවාදී ද, වඩා මිත්‍රශීලී ද, ප්‍රියජනක ද අධ්‍යාපන භාවිතයක් බව පැවසිය හැකි ය.

ඔන් ලයින් අධ්‍යාපනය නවතම අධ්‍යාපන ක්‍රමයයි. එහි ආනිසංස රාශියකි. ඒ බව අපට වැටහුණේ කොවිඩ් 19 වසංගතය ලොව පුරා පැතිරයෑමේ අවස්ථාවේයි. ස්මාර්ට් දුරකථනයෙන් හෝ පරිගණකයෙන් නිවසේ සිටම මෙම අධ්‍යාපනය ලබා ගත හැකියි. ඒ සඳහා අන්තර් ජාල සබඳතා ලබා ගත යුතු ය. පරිගණකයක් නැති, ස්මාර්ට් ෆෝන් එකක් නැති දිළිඳූ දරුවන් විශාල පිරිසක් ලංකාවේ සිටිති. හතළිස් ලක්ෂයක් පමණ ලංකාවේ ශිෂ්‍ය පිරිසෙන් අඩක් පමණ දුළිඳූ දරුවෝයි. නිදහස් අධ්‍යාපනය නිසා ම අධ්‍යාපනය ලබන මෙම දරුවන්ට ශ්‍රී ලංකාවෙන් ලැබෙන පරම ලාභය නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යයයි.

එබැවින් ශ්‍රී ලංකාව පූජනීය වෙයි. සමහර දරුවන් පරිත්‍යාගශීලින් මඟින් ස්මාර්ට් දුරකථනයක් ලබා ගත්තත් වැඩි පිරිසකට එම පහසුකම් නැත. සියලු ගුරුවරුන්ට අභ්‍යාවකාශයෙන් ලැබෙන අන්තර් ජාල පහසුකම් සඳහා මුදලක් වැය වෙයි. එහෙත් සමහර බාහිර ගුරුවරු ශිෂ්‍යයන් ගෙන් ප්‍රමාණය ඉක්මවූ මුදල් අය කරති.

එහෙත් තම පාසලේ, තම විෂය හදාරන, දිනපතාම තමන්ට වැඳුම් කරන, දරුවන් මුදල් නොදුනහොත් අන්තර් ජාල අංකය නොදෙන ගුරුවරු ද කලාතුරකින් හමුවේ.

ජංගම දුරකථනජාලා රාශියක් තිබුණ ද දැනුත් දුෂ්කර සමහර ප්‍රදේශවල දරුවෝ ඔන් ලයින් අධ්‍යාපනය ලබනුයේ උස් කඳූමුදුන් වලට නැඟ හෝ ගස් උඩ නැඟ හෝ වහල්වල නැඟ හෝ ඉතා අමාරුවෙනි.

අල්පෙනෙත්තක් වත් නොනිපදවන ලංකාවට දුරකථනය හා පරිගණකය ලැබුණේ එම උපකරණ උච්ඡ ලෙස සංවර්ධනය වූ කාලයේයි. එම විද්‍යාත්මක උපකරණවල සොයා ගැනීමේ සිට පරිණාමීව සංවර්ධනය වීම දක්වා කිසිදු අත්දැකිමක් අපට නැත.

මෙම දියුණුම උපකරණ දෙපැත්ත කැපෙන ආයුධයකි. එම උපකරණය සොයා ගත් හා දියුණුකළ රටවල බුද්ධිමත්හු ස්වකීය රටේ දියුණුවට මෙම උපකරණ භාවිත කළහ. කරති. මෙම දියුණු උපකරණ ලබා ගත් , ක්‍රමික සංවර්ධන රටාව නොදත්, අප වැනි රටවල ජනයා වැඩියෙන් ම එය පාවිච්චි කරනුයේ දුරාචාර සඳහායි. අන්තර් ජාලයේ වැඩියෙන්ම දුරාචාරී අංශය භාවිත කරන රටක් ලෙස ලංකාව පත් වී ඇත. මහා ධනවතාගේ සිට අන්තිම දිළින්දා දක්වා සෑහෙන පිරිසක් ජංගම දුරකථනය පරිහරණය කරති. අන්තර් ජාල පහසු කම් නැති දුරකථන ,මිල ඉතා ඉහළ නොවේ. එහෙත් දුක් විඳ හෝ ස්මාර්ට් ෆෝන් එකක් ගැනීම නව යෞවන තරුණයන්ගේ සිහිනයකි. විභාගය සමත් වුවහොත් එවැනි දුරකථනයක් ලබා දෙන බව පවසා දෙමව්පියෝ දරුවන් විභාගයට සූදානම් කරවති.

ස්මාර්ට් දුරකථනය හා පරිගණකය පිළිබඳ මව්පියන් වැඩි පිරිසකට ඇත්තේ අල්ප දැනුමකි. දුරකථනයකින් තව කෙනෙකුට කථා කිරීම හැර වෙනත් බහු විධ කාර්යයන් දෙමාපියෝ නොදනිති. ඒ ටිකත් දෙමාපියන්ට උගන්වන්නේ දරුවායි. දුප්පත් දෙමාපියන්ගේ මුදලින් මිල අධික දුරකථන හා ඩේටා ලබා ගෙන දුරාචාරී හා අපචාරී ලෙස හැසිරෙමින් බොහෝ දරුවෝ පව් කර ගනිති.

එමෙන්ම අන්තර් ජාල ක්‍රීඩාවලට ඇබ්බැහි වී මුලු ජීවිතයම කාලකන්නි කර ගනිති. එය මත් ද්‍රව්‍යවලට අබ්බැහි වීම වැනි ය. සදාචාරවත් දරුවෝ දුරාචාරී හැසිරීම් වලට නතු වී ජීවිතය ම නසා ගනිති. මෑත කාලයේ බාලාපචාර, දූෂණ, වංචා, සොරකම්,මිනීමැරුම් ආදියට මෙම ජංගම දුරකථන අවභාවිතය හේතු වී ඇත,