Print this Article


ත්‍රිපිටක සංරක්ෂණයට නීති පැනවීම අවශ්‍ය ද?

ත්‍රිපිටක සංරක්ෂණයට නීති පැනවීම අවශ්‍ය ද?

පන්සාළිස් වසරක බුද්ධ කෘත්‍යය නිමවා මහා පරිනිර්වාණයෙන් ලොවෙන් සමු ගන්නට පෙරාතුව බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද අතිශය සංවේදී නියමයක් මජ්ක්‍ම නිකායේ මඛාදේව සූත්‍රයේ සඳහන් වෙයි. ඒ මෙසේ ය.

“යේන මේ ඉදං කල්‍යාණවට්ටං නිහිතං අනුප්පවත්තෙය්‍යාථ මා ඛෝ මේ තුම්හේ අන්තිම පුරිසා අහුවත්ථ“

ආනන්ද හිමිපාණන් වහන්සේ අමතා කෙරුණු මේ නියමය අරුත් ගැන්වෙන්නේ “මාගේ ශ්‍රාවක භික්ෂූනි, මා විසින් ස්ථාපිත කරන ලද මේ කල්‍යාණ ධර්ම මාර්ගය ඇතුළත් සාසනය දිගින් දිගටම පවත්වාගෙන යන්න. එහි අවසානයෙහි හෙවත් සාසනන්තර්ධානයෙහි සාමාජිකයන් නොවන්න” යනුවෙනි.

මේ බුද්ධාවවාදය මඟින් අප අවබෝධ කරගත යුතු වන්නේ සාසන පරිහානි අවස්ථාවක එහි සාක්කිකාරයන් නොවන අයුරින් ක්‍රියාකොට ඒ අවාසනාවන්ත අවධිය ඈතට තල්ලුකර දැමිය යුතු බව ය.

මේ බුද්ධ නියමය ශතවර්ෂ විසිපහක් තිස්සේ අපේ පුරාණ ආචාර්ය භික්ෂු සංඝයා වහන්සේ විසින් තම ජීවිත පරිත්‍යාගයෙන් ඉටු කරන ලද ආකාරය ශාසන ඉතිහාසයේ සවිස්තර ලෙස සටහන් වී ඇත.

බුද්ධ ශාසනය විනාශ කිරීම සඳහා සතුරු උපක්‍රම දෙයාකාරයකින් ක්‍රියාත්මක ය. ඉන් එකක් නම් බෞද්ධ විරෝධී මිථ්‍යාදෘෂ්ටික බලවේග වල ක්‍රියාදාමයන් ය. දේශපාලන ආක්‍රමණ හා අන්‍යාගමික උපාය උපක්‍රම ආදී වශයෙන් ඒ තත්ත්වයට නිදසුන් අනන්ත ආකාරයෙන් අපි අත්දැක ඇත්තෙමු.

ක්‍රිස්තු පූර්ව පළමුවන සියවසේ දාඨිය පීඨිය පනයමාර ආදී දකුණු ඉන්දීය ආක්‍රමණිකයන්ගේ පටන් පොළොන්නරු සමයේ චන්ද්‍රභානු හා මාඝ ආදී ම්ලේච්ඡ දුර්දාන්තයන් දක්වා අතිශය කෲර විනාශයන්ට බුද්ධ ශාසනය මුහුණ දුන්නේ ය.

ඉන්පසු යුරෝපා ජාතීන් තුන් කොටසකගේ මිථ්‍යාදෘෂ්ටික උපාය උපක්‍රමයන් ට අනුව අද දක්වාත් ක්‍රියාත්මක වන ධර්ම විරෝධී ක්‍රියාමාර්ග අපට හුරුපුරුදු ය.

එහෙත් මේ එකදු උපක්‍රමයකින් වත් බුදු සසුන මේ සිරිලක් බිමෙන් අතුගා දමන්නට නොහැකි විය. ඒ නිසා ධර්ම විරෝධී සතුරු හමුදාවන් තම උපක්‍රමය වඩාත් උපායශීලී ලෙස ක්‍රියාත්මක කරන්නට දැන් දැන් පියවර ගෙන ඇත. එනම් අභ්‍යන්තරයෙන් ම ධර්ම ප්‍රතිරෝධය නිර්මාණය කිරීමයි. ඒ සඳහා යොදා ගැනෙන්නේ භික්ෂූන් වහන්සේලා ලෙසින් වෙස්වළාගත් ආරාම පන්සල්වල ම වාසය කරමින් ශ්‍රමණ වේශධාරී ව ජීවත්වන පාපකාරීන් පිරිසකි.

මේ වත්මන් අර්බුදය බුදුරජාණන් වහන්සේගේ අනාගත ඥානයට යොමු වූ අයුරු සංයුක්ත නිකායේ කස්සප සංයුක්තයේ මෙසේ සඳහන් ය.

“න ඛෝ කස්සප පඨවිධාතු ඉමං සද්ධම්මං අන්තරධාපේති. ආපෝ ධාතු - තේජෝ ධාතු - වායෝ ධාතු - ඉමං සද්ධම්මං අන්තරධාපේති, අථ ඛෝ ඉධේව තේ උප්පජ්ජන්ති මෝඝ පුරිසා, යේ ඉමං සද්ධම්මං අන්තරධාපෙස්සන්ති”

එයින් කියැවෙන්නේ “පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූත හෝ වෙනත් බාහිර බලවේගයක් විසින් මේ සත් ධර්මය හෙවත් බුද්ධ ශාසනය විනාශ කරන්නේ නැත. එහෙත් මේ සාසනයෙහි ම පහළ වන්නා වූ අඥාන දුෂ්ට දුර්ජනයන් විසින් ම මේ සාසනය හෙවත් සද්ධර්මය විනාශ කරනු ලබන්නේ ය” යනු යි.

වත්මන්හි මේ කාරණය අප විසින් මැනවින් ම පසක් කරගෙන සිටිමු. ධර්මය අධර්මය ලෙසින් ද අධර්මය ධර්මය ලෙසින් ද, විකෘති ආකාරයෙන් දේශනා කරන, ලියන, කියන භික්ෂූ වේශධාරී පිරිසක් සමාජයේ පහළ වී ඇත. ඔවුහු ත්‍රිපිටක ධර්මය නිර්දය ලෙසින් විවේචනය කරති. සම්භාවිත ථෙරවාදී අර්ථකථන ප්‍රතික්‍ෂේප කරති. සම්භාවිත ත්‍රිපිටක පරිවර්තන සේ ම, අටුවා ටීකා ආදිය ද අපහාසයට උපහාසයට යොමු කරති. සාම්ප්‍රදායික වියරණ රීති ඉක්මවා පෙළ වදන් වලට අත්තනෝමතික විවරණ අරුත් සපයති.

කරුණු නොදත් භාෂාව හෝ ධර්මාර්ථයන් නොදත් පැවිදි ගිහි පිරිස් මේ මිථ්‍යාදෘෂ්ටික ශ්‍රමණ වේශධාරීන්ට ආකර්ෂණය වී ඔවුන් පසු පස යති.

මේ තත්ත්වයට විසඳුම් වශයෙන් ත්‍රයිනිකායික අධිකාරීන් වහන්සේලා විසින් ගන්නා ලද යම් යම් ක්‍රියාමාර්ග ද ව්‍යර්ථ වී ඇත. එනිසා ශාසන භාරධාරී වගකිවයුතු භික්ෂු නායකත්වය විසින් රජයට කරන ලද අනුශාසනා පරිදි නවතම ක්‍රියා පිළිවෙලක් අද වන විට දියත් වී ඇත.

එනම් “ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය” යනුවෙන් නෛතික ක්‍රියාවලියක් හඳුන්වා දීමයි.

බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් මේ හා අදාළ පනත් කෙටුම්පත නිකාය භාරධාරී මාහිමියන් වහන්සේලා වෙත යොමු කරනු ලැබ ඇත. එම නෛතික වැඩපිළිවෙලේ පරමාර්ථය කුමක් ද යන්න ආරම්භයේ දී මෙසේ සඳහන් කර ඇත.

“ජාතික උරුමයක් ලෙස පිළිගෙන ඇති ත්‍රිපිටකය අට්ඨකථා සහ ටීකා යම් ආකාරයකින් වෙනස් කිරීම, විකෘති කිරීම, විනාශ කිරීම, නිග්‍රහ කිරීම, අවමන් කිරීම, අයථා භාවිතය හෝ සාවද්‍ය ලෙස අර්ථ නිරූපණය කිරීම වැළැක්වීම සඳහා.....”

මේ අනුව යෝජිත කෙටුම්පත් පනතට විරුද්ධ වීමට කිසිදු සාසන හිතකාමී අයකුට සාධාරණ හේතුවක් පැනනඟින්නේ නැත. ප්‍රශ්නය පැන නඟින්නේ ත්‍රිපිටක ධර්මය විකෘති කරමින් ධර්මය නොපිට පෙරළීමට යත්න දරන්නන් අතර ය.

ඇතැම් අධර්මවාදී පිරිස් මෙවන් පනතකට විරෝධය පළ කරන්නේ පොදුවේ බෞද්ධ ජනතාව අතර අනවශ්‍ය හා අස්ථාන භීතියක් ද දනවමිනි. ඔවුන් කියන එක් ප්‍රබල කරුණක් වන්නේ මේ මඟින් භික්ෂූන් වහන්සේලා පාලනය කිරීමට හා ධර්ම දේශනා සඳහා තහංචි පැනවීමටත් රජය උත්සාහ ගන්නා බවකි. එසේ ම මෙය දේශපාලන අරමුණු ඉටුකර ගැනීම පිණිස යොදා ගැනෙන උපක්‍රමයක් බවත් කියති.

යෝජිත නෛතික මණ්ඩලයට සාමාජිකයන් පත් කරනු ලබන්නේ තෛ‍්‍රනිකායික මහානායක මාහිමිවරුන් ප්‍රධාන සංඝ සභා නියෝජනය කරමිනි. බුද්ධ ශාසන අමාත්‍යවරයා අදාළ අනිකුත් පත්වීම් කරනු ලබන්නේ ද මහා නායක මා හිමිවරුන්ගේ නිර්දේශ මත ය. සෘජු නිල පත්වීම් කීපය හැරුණු විට මේ මණ්ඩලයට 99% ක් ම පත්වීම් කරනුයේ මහනායක හිමිවරුන්ගේ හා අදාළ සංඝ සභාවල අනුදැනුම මත ය. එනිසා එහි දී දේශපාලන ඇඟිලි ගැසීමක් හෝ නිලධාරී බලපෑමක් නොවන්නේ ය.

මේ රටේ ථෙරවාද ත්‍රිපිටකය ඇතුළු ශාසනික පැවැත්ම සම්බන්ධයෙන් නෛතිකවත්, ධර්මානුකූලවත් සම්ප්‍රදායිකවත් ප්‍රධානතම වගකීම පවතින්නේ සියම්, අමරපුර, රාමඤ්ඤ යන ත්‍රිවිධ මහා නිකායන්හි මහා නායක මා හිමිවරුන් වෙත ය.

“රජයේ නීතිරීති මගින් බුදුදහම ආරක්ෂා කිරීම කළ නොහැකි ය. එය ආධ්‍යාත්ම දියුණුව අරමුණු කරගත් ස්වේච්ඡා ධර්ම මාර්ගයකි” යන්න ද ඇතැම් අයගේ මතයකි. කරුණු විමසන විට මෙයද සාවද්‍ය හා විනාශකාරී මතයක් වන බව ද පැහැදිලි ය.

ශතවර්ෂ 25 ක් පමණ වූ ඉතිහාසය පුරාම බුදුදහම ආරක්ෂා වූයේ රාජ්‍යයේ රැකවරණය නිසා ය. තම ආගමේ පැවැත්ම හා ප්‍රචාරය වෙනුවෙන් ද සතුරාට මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධයෙන් ද අනිත් ආගම් වල ඉගැන්වෙන දෑ වැනි උපදෙස් හෝ නියමයන් අපේ බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ නැත. මේ කාර්යයෙහි ලා විවිධ ආගම් වල භීෂණකාරී ක්‍රියාවන්ට පවා අනුබලය ඒ ඒ ආගම් වෙතින් ලැබී ඇත ද බුදුදහමේ එවැනි ඉගැන්වීම් නැත. සතුරාට ද මෛත්‍රී කිරීම ආදී සම්ප්‍රදාය මඟින් ධර්ම විරෝධී ආක්‍රමණකාරී ක්‍රියාවල දී පවා ඊට විරුද්ධව පියවරක් ගැනීම සිදු නොවිණි. මේ බව නාලන්දා බෞද්ධ විශ්වවිද්‍යාලය විනාශ කිරීම ඇතුලු බොහෝ අවස්ථාවන්හි අප අත්දැක ඇත.

ඒනිසයි බුදුසසුනේ ආරක්ෂාව පිණිස මෙවැනි නීති ප්‍රතිපාදන අවශ්‍ය වන්නේ.

වත්මන් රාජ්‍ය ව්‍යවස්ථාවේ 9 වන වගන්තියේ සඳහන් පරිදි බුද්ධ ශාසනය රක්ෂණය කොට පෝෂණය කිරීමට රජය බැඳී සිටින්නේ ද එනිස යි.

තව ද යෝජිත පනත යටතේ එකී ව්‍යස්ථාව බල ගැන්වීමක් සේ ම ක්‍රියාවට නැංවීමක් ද සිදුවන බව පැහැදිලි ය.

කෙටියෙන් දැක්වූ කරුණු අනුව පෙනී යන්නේ ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩල පනත් කෙටුම්පත හැකි ඉක්මනින් ක්‍රියාවට නැංවීම සසුනේ චිර පැවැත්මට ඒකාන්තයෙන් ම හේතු වන බව ය. පවත්නා ඇතැම් අඩුපාඩුකම් සකසා නිසි සංශෝධන සහිතව එවන් නෛතික බලයක් ස්ථාපනය කිරීම වත්මන් රජයේ පරම යුතුකම වන්නේ ය. ශාසනභාරධාරී පැවිදි ගිහි කල්‍යාණයන් එහිලා ප්‍රෝත්සාහී විය යුතු වන්නේ ය.