Print this Article


අරියවංශ  දේශනාව

අරියවංශ දේශනාව

අතීතයේ ලක්දිව ඉතා ජනප්‍රිය දේශනාවක් වූ අරියවංශ දේශනාවට විශේෂත්වයක් හිමි වී තිබුණේ ය. එය අංගුත්තර නිකායේ උරුවෙල වග්ගයට අයති සූත්‍රයකි. මේ සූත්‍රය අරියවංස, මහා අරියවංස, වංස ආදී නොයෙක් නම්වලින් සඳහන් වේ.

මේ සූත්‍රය දේශනා කරන ලද්දේ උත්සවශ්‍රීයෙනි. අරියවංස දේශනාව කළ හැම තැනකම වොහාර තිස්ස රජු නිති දන් වැට පිදූ බව මහවංසයේ සඳහන් වේ.

අරියවංස දේශනාව කරන භික්ෂුන් වහන්සේට දන් දෙනු පිණිස රාජ රාජ මහා මාත්‍යයන් හා ධනවතුන් ගම්බිම් පුද කළ බව සෙල්ලිපිවල සඳහන් ව තිබේ.

දීඝ භාණක අභය හිමියන් පැවැත් වූ අරිය වංස දේශනාව ඇසීමට ස්ත්‍රියක් තම දරුවාට කිරි පොවමින් හැට යොදුන් මඟ ගෙවා පැමිණ බව දැක්වේ.

ගවරවාල අංගනයේ භික්ෂූන් වහන්සේ තිස් නමක් දෙසතියට වරක් අරියවංස සූත්‍රය දෙසූ බව සඳහන් වෙයි. එකල වැඩිපුරම මෙම සූත්‍රය දේශනා කොට තිබෙන්නේ වස් කා‍ලයේ ය. ධර්මාශෝක රජතුමා සිව් පිරිස අමතා අරිය වස මෙනෙහි කරමින් භාවනා කළයුතු යැයි අශෝක සෙල් ලිපිවල ද පවසා තිබේ.

මහා ධර්ම කථිකයකු වූ දීඝ භාණක අභය ස්ථවිරයන් වහන්සේ අරියවංස සූත්‍රය මාතෘකා කොට දේශනාවක් පැවැත් වූ එක් අවස්ථාවක දී මුළු මාගම ම උන් වහන්සේගෙන් බණ අසන්නට පැමිණියහ. දේශනාවසානයේ දේශකයන් වහන්සේට බොහෝ පුද පඬුරු පූජා කළහ. අභය හිමියන් ගේ කීර්තියටත් ජනප්‍රිය භාවයටත් ඊර්ෂ්‍යා කළ එක්තරා මහ තෙර නරමක්.

“අපූරුයි දීඝ භාණකයා අරියවංසය දේශනා කරමි’යි. රෑ තිස්සේ මහා ගාල ගෝට්ටියක් කෙළේ යැයි” පැවසී ය.

පසුදා උදෑසන මේ තෙරවරු දෙනම එහි සිට තම තමන්ගේ නිවාසස්ථාන කරා යෑමට එතැනින් පිටත් වුහ. ගව්වක් පමණ ගෙවන තෙක් දෙදෙනාටම යාමට තිබුණේ එකම මඟක ය. මඟ දිගටම මහලු ශ්‍රමණයා දීඝ භාණක අභය හිමියන්ට තොර තෝංචියක් නැතිව ම අපහාස වදන් කී නමුත් උන්වහන්සේ ඉතා සංසුන් ව ඉවසුවා මිසක් එකම වචනයකුදු නො බිණුහ. උන්වහන්සේගේ සිත ‍ යොමු වී තිබුණේ භාවනාවට ය.

මේ දෙනම තම තමන් වහන්සේලා ගේ විහාර ස්ථානවලට යෑමට වෙන් විය යුතු මං සන්ධියට පැමිණියහ. දීඝ භාණක හිමියෝ මහලු තෙර නමට වැඳ “ස්වාමින් වහන්ස, මේ ඔබ වහන්සේ යා යුතු මඟයැයි” පෙන්වූහ.

මහලු තෙර නම එය නෑසුනාක් මෙන් ඒ මඟින් ගියේ ය.