Print this Article


නිමක් නැති සසර ගමනට නිමාවක්

නිමක් නැති සසර ගමනට නිමාවක්

" තාවකාලික වශයෙන් සැප යැයි විඳී හැම දෙයකම කෙළවර ඇත්තේ ද දුකෙකි. පූර්ණ කාලීන වශයෙන් මිදීමක් ලබන්නට නම් සසර කතරින් එතෙර විය යුතු ම ය. සසර ගමනේ නිමාවක් දැකිය හැක්කේ සියලු දුක් කෙළවර කිරීමෙනි."

සසර පුරා බැඳී සෙනෙහස සිරිමත් සංසිද්ධියකි. සසර ගමනේ නිමාවක් නැත. කලින් කල තැනක උපත ලබමින් ‍දිවි ගෙවමින් යන මෙම ගමනේ දී අපට මුණ නොගැසුණ කෙනෙක් ද නැත. අප කළ නොකළ දෙයක් නැත. ඒ අතර හොඳ දේ මෙන්ම නරක දේ ද තිබිය හැකි ය.

ඒ සියල්ල මාර්ගෝපකරණ වශයෙන් අප රැගෙන එන්නට ඇත. ඒ සියල්ලේ එකතුවක් වශයෙන් මේ සියල්ල අප සැලකිල්ලට ගත්ත ද වරදක් නැත. වත්මන් දිවිය ගොඩනැඟී ඇත්තේ ද අප එදා ‍කී ‍දේ අනුවම ය.

සසර ගමනේදී විවිධ කටුක හා අමිහිරි, මිහිරි හා සුමිහිරි අත්දැකීම් ලබන්නට ඇත. ඒවා දුක් වේදනාව හා පසුතැවිල්ල ගෙන දෙන අඳුරු අත්දැකීම් මෙන් ම, තවත් වරෙක සතුට, ප්‍රීතිය හා සැනසිල්ල ගෙන දෙන සොඳුරු අත්දැකීම් ද වෙන්නටත් පුළුවනි. ඒවා සියල්ල තාවකාලික යි.

තවත් සමහරක් දුක වේදනාව හා දොම්නස ගෙන දෙන අමිහිරි අත්දැකීම් වෙන්නටත් පුළුවනි. කෙ‍සේ වුවත් සියල්ල පිළිගන්න වෙනවා.

අග, මුල ‍නොපෙනෙන මේ දිවි ගමනේ අප විඳීතාක් විඳ ඇත්තේ දුක් දොම්නස් විනා සැබැවින් ම වෙනත් සැපයක් නම් වෙන්න බැහැ. ජීවිතයේ සැප යැයි විඳී හැම දෙයක් ම පිළිබඳ පුනරාවලෝකනයක යෙදෙන විට දැනෙන්නේ විඳ ඇත්තේ දුක් වැලක් පමණක් බවයි. සැපක් නම් විඳ ඇත්තේ ම නැත. සුළු හෝ සැපයක් වින්දේ නම් එහි වූයේ තාවකාලික සුවයකි.

මේ බව හරිහැටි නොදැන සැප වශයෙන් විඳ ඇත්තේ මහා දුක් රාශියකි. මව්පිය සෙනෙහස අහිමි වීමෙන්, යොවුන් වියේ බැඳී සෙනෙහස බිඳීයාමෙන්, ගින්නෙන්, ජලයෙන් හා සොර සතුරු ආදී උවදුරෙන් දුක සේ උපයා සපයා ගත් තමා සන්තක වස්තුව අනපේක්ෂිත ව ගිලිහීයාමෙන් විඳී මානසික වේදනාවන් අපමණ ය. ඒවා නැවත ලබා ගැනීමට ගත් උත්සාහයන්හි දී මුහුණ දුන් කටුක අහිමිරි දුක්මුසු අවස්ථාවන් සිහිපත් වී‍මෙන් නිතර නිතර මනසට නැඟුණ වේදනාවන් ද අපමණ ය. මේ ස්වභාවය එක් ආත්මයකට පමණක් සීමා නොවී ය. අතීත අනාගත හා වර්තමාන යන තුන් කාලයට ම පොදුව බලපාන තත්ත්වයකි.

‍නොබිඳී නොසඳී පවත්නා ‍සසර පැවැත්ම

භාග්‍යවතුන් වහන්සේ වදාළා මහණෙනි, මේ සසර නොදන්නා ලද අග ඇතියේ ය. අවිද්‍යාවෙන් ඇවුරුණු තෘෂ්ණාවෙන් බැඳුණු සහ දිවෙන, සසර සැරි සරන සත්ත්වයන්ගේ මුල නොපෙනෙයි. මව් නො වූ විරූ, පියා නො වූ විරූ, බෑණා නො වූ විරූ, ලේලි නො වූ විරූ, පුතා නො වූ විරූ, දූ නො වූ , විරූ. මහණෙනි, මේ දීර්ඝ කාලයෙහි එබඳු සතෙක් සුලබ නොවෙයි. ඒ කවර හෙයින් ද යත්? මහණෙනි, මේ සසර නොදන්නා ලද අග ඇතියේ ය. අවිද්‍යාවෙන් ඇවුරුණු තෘෂ්ණාවෙන් බැඳුණු සහ දිවෙන, සසර සැරි සරන සත්ත්වයන්ගේ මුල නොපෙනෙයි.

මහණෙනි, මෙසේ ඔබ විසින් දිගු කලක් දුක් විඳීන ලදී. තියුණු දුක් විඳීන ලදී. ව්‍යසන විඳීන ලදී. සොහොන් හෝ පොළොව වඩන ලදී. මෙයිනුදු මහණෙනි සියලු සංස්කාරයන්හි කළකිරෙන්නට නිසිම ය. නො ඇලෙන්නට නිසිම ය. මිදෙන්නට නිසිම ය.

සත්ත්වයා ගේ සසර ගමන් මඟ මුල අග පිරිසිඳ නො දත හැකි බැවින් අවිදිතාග්‍ර ඇතියේ ය. එසේම අගක් මුලක් නොපෙනෙන මේ දිගු සසර ගමනේ දී තම මව - පියා , සහෝදර, සහෝදරිය සහ ඉතා සමීප ඤාති මිත්‍රාදීන් සදහටම වෙන් ව යාමෙන් අත්විඳී මානසික වේදනාවන් ද වචනයෙන් පළ කළ නොහැකි තරම් ය. මේ මොනම දෙයකින් වත් සදහට ම මිදීමක් නම් නොවේ ම ය. තාවකාලික වශයෙන් සැප යැයි විඳී හැම දෙයකම කෙළවර ඇත්තේ ද දුකෙකි. පූර්ණ කාලීන වශයෙන් මිදීමක් ලබන්නට නම් සසර කතරින් එතෙර විය යුතු ම ය. සසර ගමනේ නිමාවක් දැකිය හැක්කේ සියලු දුක් කෙළවර කිරීමෙනි.

දුටු සැණින් - සිත බැඳීම

අපට හදිසියේ අහම්බෙන් නමුත් කෙනෙකු දුටු පමණින් ඉතා ළඟින් ඇසුරු කැර ඇති නිතර දැක පළපුරුදු ඇති. කවදාවත් නැති තරම් ඉතා සමීප, කුළුපග, ලෙන්ගතු බවක් දැනෙන්නේ හෝ හැ‍ඟෙන්නේ සැබවින් ම මේ ජීවිතයේ හටගත් දැඩි බැඳීමක් හා ළඟ ඇසුරක් නිසා ම නොවන්නට පුළුවන‍ි. වෙන මොනයම් හෝ අදිසි බලයක් මෙහි තිබෙන්නට ඇත. එසේත් නොවන්නේ නම් මෙයට පදනම වන්නට ඇත්තේ සසර පුරා බැඳී දැඩි සෙනෙහස විය හැකි ය. මෙබඳු අහඹු සිදුවීම්වලට ඇතැම්විට ඔබත් මුහුණ දෙන්නට ඇත. මේ සම්බන්ධව නොයෙක් ආකාරයෙන් කල්පනා කර බලන්නටත් ඇත. ඇතැම් විට අවසන් තීරණයකට එළැඹෙන්නට අපොහොසත් ව සිතේ හටගත් සිතිවිල්ල සුළඟේ පාවී යන්නටත් ඇත. කොහොම වුවත් මේ ගැන කරුණු කාරණා ගැඹුරින් සිතා බැලීම මේ අවස්ථාවේ ඉතා වැදගත් වේ. බුදුරජාණන් වහන්සේ මුහුණ දුන් එබඳු අවස්ථාවන් කිිහිපයක් ‍මෙහිදී විමසුමට ලක්කර ඇත.

ශාසනික හා ගේහසිත ප්‍රේමය

ආදරය, ප්‍රේමය, සෙනෙහස හා හිතවත්කම ආදී සිතිවිලි පුහුදුන් මිනිස් සිතක පහළ වන හැඟීම් සමුදායකි. යම් යම් අවස්ථාවල තමා වඩාත් කැමති එක් සජීවි හෝ අජීවි වස්තුවක් වටා බැඳී පැවති මේ හැඟීම් සමුදාය තව සුළු මොහොතකින් වෙනත් එවැනි ම වස්තුවක් මුල්කැර ගෙන ඒ බැඳීම ඒ ආකාරයෙන් ම ඇතිවීම පුදුමයට කරුණක් නොවේ. මිනිස් මනසේ ක්‍රියාකාරිත්වයේ ස්වභාවය මෙය වේ.

කාමතො, රාගතො, පෙමතො, පියතො මේ හැම නමකින් ම අදහස් කරන්නේ සිතෙහි ඇතිවන සෙනෙහස යි. එය ගේහසිත ප්‍රේමය, ශාසනික ප්‍රේමය යැයි දෙවැදෑරුම් වේ. ගේහසිත ප්‍රේමය නම් ගිහිගෙය වැසි අයට හටගන්නා ප්‍රේමය යි. එයට මොනයම් හෝ කාරණයක් හේතු වේ. මව්පියන්ට නම් දරු සෙනෙහස, ස්වාමියාට නම් තම බිරිඳ කෙරෙහි ඇති සෙනෙහස, සහෝදරයාට තම සහෝදරිය කෙරෙහි ඇති සෙනෙහස, අසල්වැසියාට තම අසල්වැසියා කෙරෙහි ඇතිවන සෙනෙහස මේ ආදී වශයෙන් විවිධ විවිධ කරුණු කාරණා මුල්කරගෙන සෙනෙහස උපදී.

අනාගාමි වූ ආර්ය පුද්ගලයාට නම් ප්‍රිය විප්‍රයෝග‍යෙන් ශෝකයක් හා බියක් හට නොගනී. ඉන් මෙහා සිටි හැම දෙනාට සෝවාන්, සකදාගාමි, පුද්ගලයින් ඇතුළුව සෙසු පුහුදුන් සැමට ශෝකය හා බිය උපදී. අනාගාමි වන තෙක් සහමුලින් නොසංසි‍ෙඳේ.

ශාසනික ප්‍රේමය නම් ශාසන

විෂයයෙහි වූ භක්ති ප්‍රසාදය යි. යම් පුද්ගලයකු හෝ යම් වස්තුවක් කෙරෙහි මේ පැහැදීම තුළ හට ගන්නා ප්‍රේමය යි.

බුදුරදුන් ජීවමාන සමයෙහි ඇති වූ මෙම සංවේදී සිදුවීම ශාසනික ප්‍රේමය හොඳීන් විදහා දක්වන සිදුවීමකි.

සම්බුද්ධ පරිනිර්වාණය ආසන්න බව අසා හදවතෙහි නැඟි සෝ ගිනි යටපත් කැර ගන්නට අපොහොසත් ව දොරෙහි අගුලෙහි එල්බගෙන හඬමින් වැළපෙමින් සිටි අනඳ හිමියන් අමතා බුදුරජාණන් වහන්සේ විසින් මෙම අති සං‍වේදී අවස්ථා‍වේ මෙසේ දේශනා කරන ලදී.

ආනන්දය, නොහඬව්, විලාප නොකියව්, සියලු ප්‍රිය මනාප දෙයින් වෙන්වෙන බව, සියලු සකර දම් අනිස බව මම නොකියෙම් ද? ඇති වූ සියල්ල නැති වන සුළු ය. සංස්කාරයන්ගේ අනිත්‍යතාවය වළකාලිය නොහේ ය යනුවෙනි.