Print this Article


දන්නා දෙය ගැන නොදන්නා ලෙස සිටින්නේ ඇයි?

දන්නා දෙය ගැන නොදන්නා ලෙස සිටින්නේ ඇයි?


අප්පමාදෝ අමතපදං - පමාදෝ මච්චුනෝ පදං
අපමත්තා න මියන්ති - යේ පමත්තා යථා මතා

“පමා නොවීම නිවනට මඟ ය. පමා වීම මරණයට මඟ ය. පමා නොවූවෝ නොමැරෙති. පමා වූවෝ මළවුන් වැනි වෙති.”

අප්‍රමාදය හෙවත් පමා නොවී ම, නැත හොත් අද කළයුතු දෙය හෙටට කල් නොදැමීම බුදු සමයේ දී ඉගැන්වෙන ඉතා ප්‍රකට සදූපදේශයකි.

කි‍්‍රයාත්මක නොකළ ද අපේ ජන සමාජයට මෙම හදුන්වා දීම විරල වූවක් නොවේ. එහෙත් අපේ බෞද්ධ සමාජය තුළ ඇතැම්විට බොහෝ සෙයින් දන්නා දෙය වුවද නොදන්නා ලෙස සිටීමට කැමැත්තක් දක්වන අයුරු දක්නට ලැබේ.

භාරත දේශය කි‍්‍ර.පූ: 06 සියවස වන විට විවිධ ආගමික ඉගැන්වීම් නිසා ජන මනස ඔද්දල් වූ ස්වභාවයක පැවතී බව ප්‍රකට කරුණකි. මෙම නිසා බුදුවරයන් වහන්සේ නමකගේ පහළ වීම මෙම සමාජය අපේක්ෂා අතර, සෙසු විවිධ ඉගැන්වීම් අතර බුදු දහම නැවුම් දර්ශනයකින් යුතු වූ ඉගැන්වීමක් වූ බව නොරහසකි.

සම්මා සම්බුද්ධත්වයට පත් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ තත්කාලීන ව පැවති සාම්ප්‍රදායික ආගමික පරිසරය නව මඟකට යොමු කිරීම සදහා උන්වහන්සේගේ තාරුණ්‍ය හා සමාජ ප්‍රභූත්වය බහුල වශයෙන් හේතු වූවා යැයි අනුමාන කළ හැකි ය. එම සමාජයෙහි ආගමික නායකත්ව දරන ලද ෂට් ශාස්තෘවරුන් පිළිබඳව සිතා බැලුව ද එතුමන් වහන්සේලා සියලු දෙනාම ඉතා වයෝවෘද්ධ තත්වයෙන් පසු වුයේ වුව ද,බොහෝ පිරිස් සහිතව ගතානුගතික ව තම දර්ශනයන් ඉදිරිපත් කරමින් සිටි අය බවදක්නට ලැබේ.

තරුණ පැවිද්දෙක් ලෙස සම්මා සම්බුද්ධත්වයට එළඹි තථාගතයන් වහන්සේ සමඟ එක්වූ බොහෝ දෙනා තුරුණු විය ඉක්මවුවෝ නොවූහ. අගසව් දෙනමගේ සිට යස සහ භද්දවග්ගිය ප්‍රමුඛ බුදුරදුන් වෙත එළඹි පිරිස්වල සියල්ලෝ ම තුරුණු වියෙහි පසු වූහ. ඔවුහු නව දහමක් පිළිබඳ අපේක්ෂාවන් ඇතිව පැමිණි පිරිසක් බව දක්නට ලැබේ. ඒ අනුව තථාගතයන් වහන්සේගේ දේශනාවන් පැවතී සාම්ප්‍රදායික ඉගැන්වීම් අභිබවනය කළ නවතම ඉගැන්වීම් ක්‍රමයක් විය.

බොහෝ දෙනා බොහෝ වෙනස් මඟක් ගත් මෙම ඉගැන්වීම් ක්‍රමයට ඇලුම් කළහ.එම නිසා වඩ වඩාත් බුදු දහමට නතුවීම වැළැක්විය නොහැකි විය. භාග්‍යවතුන් වහන්සේ වෙත බොහෝ පිරිස් වැල නොකැඩී දිනෙන් දින සමීප වූයේ උන්වහන්සේගේ දේශනා ක්‍රමයෙහි තිබු ආකර්ශනීයවූත්, නැවුම් වූ ත්, තාර්කීක වූ ත් සමානාත්මීය ස්වභාවය නිසා බව ඉතා පැහැදිලි ය.

තමා පිළිබඳව වන වගකීම අදෘෂ්‍යමාන ශක්තීන්ට හා කර්මය වෙත පවරා තිබු සමාජයක තමා පිළිබඳව වගකීම ඇත්තේ තමාට ම බව පැවසීම මහත් සමාජ පෙරළියක් සඳහා හේතු වුවාට සැකයක් නැත.

තමන්ගේ සාංසාරික පැවැත්ම හෝ නැවැත්ම පිළිබඳ වගකීම තමන් වෙතම පවරන ලද තථාගතයන් වහන්සේ ඒ සඳහා අප්‍රමාදී ව ක්‍රියා කිරීම සඳහා පුද්ගලයා හා සමාජය දිරිගන්වා ඇත්තේ සුවිශේෂී ආකාරයකට බව දක්නට ලැබේ.

පන්සාළිස් වසක් මුළුල්ලේ ලෝකාර්ථ චරියාවෙහි නිරත වූ තථාගතයන් වහන්න්සේ මහා කරුණාවෙන් යුතුව තම ශ්‍රාවක ශ්‍රාවිකාවන් මෙහෙයවන ලද්දේ අප්‍රමාදීව ක්‍රියා කිරීම සඳහාම ය. සම්බුදු සිරිත ආරම්භයේ සිට පරිනිර්වාණය දක්වාම භාග්‍යවතුන් වහන්සේ බොහෝ දේශනා සිදු කිරීමේ දී තේමා කොට ගෙන ඇත්තේ ද අප්‍රමාදීව ක්‍රියා කිරීමේ අගය බව ති‍්‍රපිටක සාහිත්‍ය මඟින් මනාව අනාවරණය කොට තිබේ.

විවිධ උපමා උපමේය භාවිත කරමින් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට ඇත්තේ “හිස ගිනි ගත්තෙකු එම ගින්න නිවා දැමීම සඳහා” යුහුසුළු වන්නාක් මෙන් අප්‍රමාදී ව ක්‍රියා කළ යුතු බව ය. එමෙන්ම “ආදිච්චස්මිංඅගාරස්මිංයං නීහරති භාජනං” ගෙය ගිනි ගත් විට එහි ඇති භාණ්ඩ එළියට ගැනීමද මතු නොව ගින්න නිවා දැමීමට ඉක්මන් කි‍්‍රයාමාර්ග ගන්නාක් මෙන් ප්‍රමාදී බව දුරලීම ද කළ යුතු බව අවධාරණය කොට තිබේ.

මෙසේ විවිධ අවස්ථාවන්හි දී විවිධාකාරයෙන් අප්‍ර‍මාදී ව ක්‍රියා කිරීම පිළිබඳව අනුශාසනා කරන ලද තථාගතයන් වහන්සේ පරිනිර්වාණ මංචකයේ දී පවා මහණෙනි සියලු සංස්ඛාර ධර්ම අනිත්‍ය“ වන අතර, අප්‍රමාදීව සිහියෙන් කටයුතු කරන්නැයි අවවාද කොට ඇත්තේ ද තමන් වහන්සේගේ අවසන් බුද්ධ වචනය වශයෙනි.

කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ දී භාග්‍යවතුන් වහන්සේ විසින් ඉහත ගාථාවන්ගෙන් අප්‍රමාදී බවෙහි අගය ප්‍රකාශ කිරීම සඳහා හේතුපාදක කොටගෙන ඇත්තේ, සෝවාන් බවින් ද යුතුව මහත් පින්කම්වල නිරතව සිටි සාමාවතී බිසව ඇතුලු සේවිකා පිරිස මාලිගයට ගිනි තබා සාමුහික ව මරා දැමීමේ සාහසික කි‍්‍රයාව ය.

රටෙහි පාලකයා වූ උදේනි රජුගේ බිසෝවරු අතර සාමාවතිය ඉතා සැදැහැ සම්පන්න කුල කාන්තාවක් ලෙස ප්‍රකට ය. එහි විසූ මාගන්දියා රූ සිරියෙන් අගපත් ය. එමෙන්ම කුරිරු කමින් ද අගපත් ය වූ කාන්තාවකි.

තමාගේ රූමත්කම පිළිබඳව මහත් ආඩම්බරයෙන් පසු වූ ඇය විවාහ කරදීම සඳහා මව්පියන් තෝරාගනු ලැබුයේ බුදුරජාණන් වහන්සේය. එහිදී උන්වහන්සේ විසින් සිරුරෙහි ඇති පිළිකුල් බව ප්‍රකාශ කිරීම නිසාඇය බුදුරදුන් කෙරෙහි වෛරිව කි‍්‍රයා කළා ය. බුද්ධෝපස්ථානයට යන අය කෙරෙහි ද වෛරීව කි‍්‍රයා කරන්නියක් වුවා ය. එපමණකුදු නොව තථාගතයන් වහන්සේට දාමරිකයන් ලවා අපහාස කරවමින් උන්වහන්සේගෙන් පළිගැනීමෙහි ද නිරතව සිටියා ය.

මෙම පාපකාරී කාන්තාව වෛරී වූයේ භාග්‍යවතුන් වහන්සේට පමණක් නොවන අතර උන්වහන්සේ වැඳීම සඳහා නිතර විහාරයට ගිය සාමාවතීය පිළිබඳව ද පසු වූයේ බද්ධ වෛරයකින් යුතුව ය. ඒ අනුව එක් දිනක් සාමාවතිය සිය මාළිගයෙහි පරිවාර ස්තී‍්‍රන් හා සමඟ සිටියදී අපරාධකරුවන් ලවා ගිනි තබා විනාශ කරන ලදී.

මේ නිසා උදහස් වූ රජතුමා මෙය මාගන්දියගේ කුමන්ත්‍රණකාරී කි‍්‍රයාවක් බව තේරුම්ගෙන එම පාපකාරී ස්ත්‍රීය මතු නොව ඇගේ ඥාති සමුහයද සමූල ඝාතනය කරන ලද ආකාරය ලොමු දැහැගැන්වෙන අයුරින් අපේ ධර්ම සාහිත්‍ය මගින් වාර්තා කොට තිබේ.

මේ මහා සාපරාදී විනාශය අරමුණු කොටගත් භාග්‍යවතුන් වහන්සේ විසින් අප්‍රමාදීහු මිය ගිය ද නොමියන බවත් , ප්‍රමාදීහු ජිවත් වුවත් මියගිය වුන් වැනි බවද සදහන් කරමින් මෙම උතුම් දම් දෙසුම සිදුකරන ලදී.