Print this Article


භීම්රාවෝ රාම්ජි අම්බෙඩ්කාර්තුමාගේ ආගමික පුනරුද ව්‍යාපාරය - 01: ඉන්දීය ජාතික ධජයට ධර්ම චක්‍රය හඳුන්වා දුන් හරිජනයාගේ අසහාය නායකයා

ඉන්දීය ජාතික ධජයට ධර්ම චක්‍රය හඳුන්වා දුන් හරිජනයාගේ අසහාය නායකයා

භිම්රාවෝ රාම්ජි අම්බෙඩ්කාර්තුමා ක්‍රි.ව. 1891 - 1956 යන කාලයේ භාරතයේ ජීවත් වූයේ ය. ඔහු ගත කළ මෙම කෙටි කාලයේ දී විශාල සේවාවක් තම මව්බිමට සිදු කළේ ය. ඒ බව එතුමා හඳුන්වා ඇති නාමයන්ගෙන් පිළිඹිබු වේ.

එනම්, ඔහු ඉන්දියානු නීතිවේදියෙක්, දේශපාලන නායකයෙක්, ඉතිහාසඥයෙක්, කථිකයෙක්, ආර්ථික විද්‍යාඥයෙක්, ගුරුවරයෙක්, සංස්කාරකයෙක්, මහජන ලේඛකයෙක්, විප්ලවවාදියෙක් සහ ඉන්දීය බුද්ධාගමේ පුනර්ජීවනවාදියෙක් වශයෙන් ය.

භාරතීය සමාජයේ එවකට ඇතිව තිබූ හින්දු කුලවාදයෙන් පීඩාවට පත් වූවා සේ ම එය නැති කිරීම සඳහා ද විශාල අරගලයක් දියත් කරන්නට අම්බෙඩ්කාර්තුමාට සිදු විය. ඒ සඳහා ඔහු බුදුදහම තෝරාගත් අතර එහි ඉගැන්වීම් තම ඉලක්ක කරා ගමන් කිරීමේ පියගැටපෙළ කරගත්තේ ය.

දිළිඳු කුලයෙන් පැමිණි අම්බෙඩ්කාර්තුමා ඉන්දීය රජයේ ප්‍රධාන තනතුරු සඳහා ගමන් කළ අතර භාරතීය රාජ්‍ය ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ මණ්ඩලයේ සභාපතිවරයා ද විය. වර්තමානයේ පවතින ඉන්දීය දේශපාලන සමාජ සහ ආගමික පසුබිම සඳහා අම්බෙඩ්කාර්තුමාගේ දැක්ම ඉතා ගඹුරින් බලපා ඇත.

ඒ අනුව ඔහුගේ මඟ පෙන්වීම මත ඉන්දීය රාජ්‍ය තේමාව සඳහා “බහු ජන හිතාය - බහු ජන සුඛාය” යන බෞද්ධ පාඨය ද ජාතික කොඩිය සඳහා බෞද්ධ නරපතියෙක් වූ අශෝක රජුගේ ස්මාරකවල ඇති ධර්ම චක්‍රය ද යොදාගෙන ඇත.

නූතන ජාත්‍යන්තර දේශපාලනයේ ආදර්ශයට ගත හැකි හොඳම රාජ්‍ය ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ ගෞරවය ද අම්බෙඩ්කාර්තුමාට හිමි වී ඇත.

අභාවයෙන් පසුව ද අම්බෙඩ්කාර්තුමා ඉන්දීය සමාජයේ ඉහළ ම සිවිල් සම්මානය වන භාරත් රත්න සම්මානය මඟින් පිදුම් ලැබීය. එසේම අද වන විට භාරතීය භූමියෙහි පිහිටි ස්මාරක අතුරින් 80% පමණ ඔහු වෙනුවෙන් ම නිර්මාණය කර ඇත. අම්බෙඩ්කාර් ජයන්තිය ඉන්දීය රාජ්‍ය පුරා රජයේ නිල නිවාඩු දිනයක් ලෙස සමරනු ලබයි. එසේම ඉන්දීය බෞද්ධයෝ අම්බෙඩ්කාර්තුමා බෝධිසත්වයෙක් ලෙස පූජනීයත්වයෙන් සලකනු ලබති. මෙවන් ශ්‍රේෂ්ඨ පුද්ගලයකුගේ ආගමික පුනරුද ව්‍යාපාරය මෙම ලිපිය මඟින් පෙන්වා දීමට සිදුකරයි.

ක්‍රි.ව. 1893 - 1956 කාලයේ ඉන්දියාවේ විසූ හය කෝටියක් පමණ වූ හරිජනයාගේ අසහාය මෙන් ම විජයග්‍රාහී නායකයා වූයේ අම්බෙඩ්කාර් භිම්රාවෝ රාම්ජි ය. පංචම කුලයට අයත් ජන කොට්ඨාසයකින් මොහු පැවතගෙන එයි. මොහුගේ පියා රාම්ජි මලෝජි නමැති හරිජනයෙකි.

අම්බෙඩ්කාර් ළදරුවා මව්කුසින් බිහිව මෙලොව එළය දුටුවේ ක්‍රිස්තු වර්ෂ 1893 අප්‍රේල් මස 14 වන දිනයේ දී ය. හින්දු කුලවාදයේ තාඩන පීඩන විඳ නොයෙක් බාධක අභිමුවේ මෙතුමා ඉන්දීය සමාජයේ ස්ථායී තැනක් තමා වෙනුවෙන් ම ගොඩනඟා ගත්තේ ය. එය තම උප්පත්තියත් සමඟ ම වූ ස්වාධීන ජීවිතය යයි.

ඔහු ද සෙසු ඉන්දීය දරුවන් මෙන් ම කුඩා කාලයේ ගමේ පාසලෙන් අධ්‍යාපනය ලැබීය. ඉගෙනීමේ දක්ෂයෙක් වූ අම්බෙඩ්කාර් ඉන්පසු බොම්බායේ ඇල්ෆ්පිස්ටන් විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය හැදෑරී ය. වයස අවුරුදු 19 දී උපාධිධාරියෙක් වූ අම්බෙඩ්කාර්තුමා අමෙරිකාවේ කොලම්බියා විශ්වවිද්‍යාලයට බැඳී සමාජ විද්‍යාව පිළිබඳ උපාධියක් ද හිමිකර ගත්තේ ය. එයින් නො නැවතුණු අම්බෙඩ්කාර්තුමා එංගලන්තයට ගොස් අර්ථශාස්ත්‍රය පිළිබඳව උපාධියක් ලැබූ අතර, බැරිස්ටර් විභාගයෙන් ද සමත් විය. අධ්‍යාපනයේ දිගුවක් අරඹමින් ඔහු තවත් ක්ෂේත්‍ර කරා අවතීරණ වූයේ ය. එහිදී දර්ශනවිශාරද උපපාධිය ද, නවීන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ද හිමි කර ගත්තේ ය. දැනුමෙන් දියුණු වූ ඔහු පසුව තම ජනතාව වෙනුවෙන් සිය ජීවිතය කැප කරන්නට විය. තම ජනතාවට යුක්තිය සාධාරණය ඉටුකර විමුක්තිය උදා කිරීමේ අදිටනින් මොහු නව ජීවිතයකට පියවර තැබී ය. එනම්, දේශපාලනයට අවතීර්ණ වීම ය. ඒ කම්කරුවන් වෙනුවෙන් දියත් වූ මහා සටනකින් ය. මොහු කුලවාදයට එරෙහිව සමාජයේ මහා හඬක් ඇති කළේ ය.

බොම්බායේ ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ සාමාජිකයකු ලෙස දේශපාලන ජීවිතය ඇරඹූ ඔහු කම්කරු පක්ෂයේ නායකත්වය දැරීය. නායකත්වයෙන් අව්‍යාජ වූ මොහු ප්‍රථමයෙන් හින්දු කුලවාදයෙන් පීඩාවට පත් වූ ජනතාව නඟා සිටුවීමට පාසල්, පුස්තකාල සහ නේවාසිකාගාර පිහිටුවීමට සංගමයක් ආරම්භ කළේ ය. රජයේ පොදු අරමුදල්වලින් පිහිටුවන ආයතනවලට තම ජනතාවට ඇතුළු වීමට අවස්ථාවක් ලැබෙන පරිදි පනතක් සම්මත කර ගත්තේ ය. ඒ තම රටවැසි ජනතාව කෙරෙහි පැවැති ආදරයත් එතුමා තුළ පැවැති දැඩි උද්යෝගයත් නිසා ම සිදු විය.

තවද ඉන්දියාවට නිදහස ලබාදීමට ක්‍රි.ව. 1930 බ්‍රිතාන්‍යයේ පැවැති සාකච්ඡාවට සහභාගී වූ පිරිස අතර අම්බෙඩ්කාර් එක් නියෝජිතයෙක් වශයෙන් සහභාගී විය. ඉන්දීය අභිනව ආණ්ඩුක්‍රමය සැකසීමේ දී එහි ප්‍රධාන සම්පාදකයෙක් හැටියට මෙතුමා කටයුතු කළේ ය. එසේ ම ක්‍රි.ව. 1947 ඉන්දියාව නිදහස්, රාජ්‍යයක් වීමෙන් පසු නේරුතුමාගේ අගමැති මණ්ඩලයේ අධිකරණ ඇමැතිවරයා වශයෙන් කටයුතු කරන්නට වාසනාව හිමි විය.

ළමා කාලයේ සිට අම්බෙඩ්කාර්තුමා බුදුහමට මහත් ලැදිකමක් දැක් වීය. ඒ බව ඉන්දීය රාජ්‍ය ලාංඡනය සඳහා සාරානාතයේ සිංහ හිසත්, ජාතික ධජයට ධර්ම චක්‍රයත් යෙදීමෙන් සනාථ වේ. ක්‍රි.ව. 1950 දී කොළඹ පැවැත් වූ සමස්ත ලෝක බෞද්ධ සම්මේලනයට පැමිණි මොහු එහි මුල් තැන ගෙන ක්‍රියා කළේ ය.

තවද හරිජනයා බුද්ධාගමට හැරවීමේ ක්‍රියාවේ යෙදුණු අතර ක්‍රි.ව. 1956 බුද්ධ ජයන්ති වර්ෂයේ ඔක්තෝබර් මස 14 දින නාගපූර්හි දී දෙලක්ෂයකට අධික පංඡම ජනයා සමඟ බුද්ධාගම වැළඳ ගත්තේ ය.

“භාරතය ලොව තුළ ශ්‍රේෂ්ඨත්වයට පත් කළ ශ්‍රේෂ්ඨයාණන්ගේ ධර්මය නැවත භාරතයට ගෙන ඒමට අවස්ථාව ලැබීම භාග්‍යයක් බව පැවසූ මෙතුමා මා හින්දුවෙක් ලෙස ඉපදුණත් හින්දුවෙක් ලෙස මිය නොයමි” කියා ය.

විවිධ විෂයයන්හි ලද පාණ්ඩිත්‍ය මත මෙතුමා ග්‍රන්ථ කිහිපයක් නිර්මාණය කළේ ය “ශුද්‍ර ජනයාගේ ප්‍රභවය, origin of sudras රුපියලේ ගැටලුව, problem of the rupee පකිස්ථානය පිළිබඳ චින්තාව Thoughts on pakistan ඉන් කිහිපයකි.

ඉන්දීය සමාජයටත්, එහි වැසියන්ටත්, ඉන්දීය සාහිත්‍යයටත් මෙතුමා මහත් සේවාවක් ඉටු කළේ ය.