Print this Article


පාලි භාෂාවත් බෞද්ධ දර්ශනයත් ලෝකයට දිය හැකි අනර්ඝ වස්තුවක්

පාලි භාෂාවත් බෞද්ධ දර්ශනයත් ලෝකයට දිය හැකි අනර්ඝ වස්තුවක්

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ අනුරාධපුර ශී‍්‍ර ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ උපකුලපති මාතර අනගාරික ධර්මපාල නගරයේ ශී‍්‍ර අශෝකාරාම විහාරාධිපති මාතර ශ්‍රී සිද්ධාර්තෝදය මහ පිරිවෙනේ පරිවේණාධ්‍යක්ෂක සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මහාචාර්ය කනත්තෙගොඩ සද්ධාරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

බහුශ්‍රැත ධර්මධර විනයධර සම්භාව්‍ය ස්වාමීන් වහන්සේ නමක් වන ඔබ වහන්සේ අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ අභිනව මහෝපාධ්‍යාය ධූරයෙන් පිදුම් ලැබුවා. ගුරු හාමුදුරුවරුන්ගේ ආභාසය ලබමින් ආ ගමන් මඟ සිහිපත් කරමින් සාකච්ඡාව ආරම්භ කරමු හාමුදුරුවනේ,

මාතර දිස්ති‍්‍රක්කයේ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාතර කඩවත්සතර කනත්තෙගොඩ කියන බොහොම පිටිසර සුන්දර ග්‍රාමයක 1966 සැප්තැම්බර් මස 10 වෙනි දින උප්පත්තිය ලැබුවා.බී. ඒ . ලීලාරත්න සහ ජේ .ඒ.ඇසිලින්නෝනා යන සැදැහැවත් සදාදරණීය මව්පිය දෙපළ ලොකු ධනවතුන් නොවුණත්,මා ඇතුළු දරුවන් 8 කගේ ජීවිත ආලෝකමත් කරගැනීමට සම්පූර්ණ දායකත්වය ලබා දුන්නා.

මාතර වනිගසේකර මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබමින් 6 වන ශ්‍රේණියට සමත් වූණ කාල වකවානුවේදී මාතර දිස්ති‍්‍රක් විහාරාධිපති සංගමයේ ලේඛකාධිකාරීන් වහන්සේ ලෙස කටයුතු කළ මාගේ ගුරුදේවෝත්තම රාජකීය පණ්ඩිත දිවියාගහ ගුණානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයේ මැදිහත්වීමෙන් මාතර දිස්ති‍්‍රක් විහාරාධිපති සංගමය මාතර බෝධිරාජයාණන් අභියස කුල දරුවන් 50 ක් පැවිදිකිරීමේ මහා පින්කමේදී මමත් එක කුල දරුවෙකු වශයෙන් 1979 වර්ෂයේ ජනවාරි මස 04 වන දින කනත්තෙගොඩ සද්ධාරතන යන ශාසනික නාමයෙන් උත්තරීතර පැවිදිභූමියට ඇතුළත් වීම මගේ ජීවිතයේ සුවිශේෂීම සිද්ධිය ලෙස මම දකිනවා.ඒතැන් සිට අධ්‍යාපනික, සාමාජික වශයෙන් මගේ ජීවිතයේ ලොකු පරිවර්තනයක් සිදුවුණා.

එහිදී මාගේ ගුරුදේවෝත්තම රාජකීය පණ්ඩිත දිවියාගහ ගුණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මඟ පෙන්වීම උන්වහන්සේගේ අවවාද අනුශාසනා දිරීගැන්වීම නිසා දවසින් දවස මගේ අධ්‍යාපනය වැඩි දියුණු කර ගන්නට ඉඩ අවකාශ සැලසුණා. මාතර අනගාරික ධර්මපාල නගරයේ ශී‍්‍ර සිද්ධාර්තෝදය මහ පිරිවෙනින් මූලික පැවිදි අධ්‍යාපනය ලබා ගත්තා.

ගුරුහාමුදුරුවන් වහන්සේලාගේ මග පෙන්වීම යටතේ පැවිදි ජීවිතය ආලෝකවත් කරගැනීමට හේතු වූ බවත්මේ අවස්ථාවේදී ගෞරව පූර්වකව සිහිපත් කළ යුතුයි.

පිරිවෙන් අධ්‍යාපනයෙන් පසු 1986 වර්ෂයේදී අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්ම පීඨයට ඇතුළත් ව 1992 දී පන්ති සමාර්ථයක් සහිතව ති‍්‍රපිටකවේදී උපාධිය ලබා ගත්තා. නැවත එම වර්ෂයේ දී ම කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව 1996දී ප්‍රථම පන්ති ගෞරව සාමාර්ථයක් සහිතව ශාස්ත්‍රවේදී උපාධියත්, ඒ වගේම ශාස්ත්‍රපති උපාධියත්,කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපන ඩිප්ලෝමා උපාධියත් සම්පූර්ණ කරමින් කිසියම් ආකාරයකින් ශාස්තී‍්‍රය ජීවිතයේ ගමන් මඟ වඩාත් යහපත් තත්ත්වයට පත් කර ගන්නට යෙදුණා.විශ්ව විද්‍යාල සේවයට පෙරාතුව ගම්පහ බෙම්මුල්ල විද්‍යාකර පිරිවෙනේ උපගුරුවරයකු ලෙසත්, මාතර ශී‍්‍ර සිද්ධාර්තෝදය මහ පිරිවෙනේ පරිවේණාධිපතීන් වහන්සේ වශයෙනුත් සේවයට වැඩම කළා.

අනතුරුව 1998 වර්ෂයේදී අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂූ විශ්ව විද්‍යාලයේ බෞද්ධ දර්ශනය පිළිබඳ කථිකාචාර්ය ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් ආචාර්ය මණ්ඩලයට ඇතුළත් විමත් සමඟ ශාස්තී‍්‍රය ජීවිතය වඩාත් ආලෝකමත් වුණා. විශ්ව විද්‍යාල ආචාර්යවරයකු වශයෙන්

පර්යේෂණවල නියැළෙමින් 2002 වර්ෂයේදී කැලණිය විශ්ව විද්‍යාලයෙන් දර්ශනපති උපාධිය ලබා ගත්තා. චීන රජයෙන් ලැබුණ ශිෂ්‍යත්වයකට අනුව බීජිං නුවර මින්තු විශ්ව විද්‍යාලයේ පුරා වසර 4ක් චීන භාෂාවත් හදාරමින් දර්ශනශූරි උපාධිය ලබාගෙන නැවත ශී‍්‍ර ලංකාවට වැඩම කළා.

ශී‍්‍ර ලංකා භික්ෂූ විශ්ව විද්‍යාලයේ විවිධ පරිපාලන තනතුරුවලට සම්බන්ධ වෙමින් ශිෂ්‍ය භීක්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපන සංවර්ධනයට අවශ්‍ය කරන ඉගැන්වීම් කටයුතුවල නිරත වුණා. 1998 වර්ෂයේ දීම ශාලාධිපතීන් වහන්සේ ලෙස පරිපාලනයට සම්බන්ධ වෙමින් ශිෂ්‍ය උපදේශක, අංශාධිපති ,පීඨාධිපති වශයෙන් හා විවිධ සමිතිවල සභාපතිත්වය දරමින් නිලතල ඉදිරියට පවත්වා‌ගෙන ආවා. විශ්ව විද්‍යාලයීය සනාතන සභික හා පාලක සභික ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් දායකත්වය ලබාදෙමින් කටයුතු කළා. මෑත කාලීනව පුරප්පාඩු වූ උපකුලපති ධූරය සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලුම් පත්‍රයකට අනුව ලබා තිබූ අධ්‍යාපනය වගේම සිදුකළ සේවාව , ලැබූ අත්දැකීම් හා සුදුසුකම් මත එම ධුරයට පත්වුවා. විශ්ව විද්‍යාල පාලක සභාව හා උත්තරීතර සභාව විසින් මා ඒ සඳහා වඩාත්ම සුදුසුම භික්ෂුව ලෙස තෝරා පත්කරමින් උසස් අධ්‍යාපන ඇමතිතුමාගේත් උත්තරීතර සභාවේත් නිර්දේශය මත අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් විශ්ව විද්‍යාලයේ උපකුලපතීන් වහන්සේ ලෙස පසුගියදා පත්කරනු ලැබුවා.

අපේ හාමුදුරුවනේ,සියම් මහා නිකායේ ශී‍්‍ර රෝහණ සංඝ සභාවේ අධිකරණ නායක ස්වාමීන් වහන්සේ වශයෙන් වගකීම් සහගත කාර්ය භාරයක නියැළීමට පසුබිම සකස් වුණේ කුමන ආකාරයෙන්ද?

රෝහණ සංඝ සභාවේ සුවිශේෂී පසුබිමක් තිබෙන නිසා එහි විධායක සංඝ සභාවට එක වරටම ඇතුළත් වෙන්න බැහැ. විධායක සංඝ සභාවට ඇතුළත් වීමට ආයුතු ගමන් මගක් තිබෙනවා. ඒ අනුව තරුණ භික්ෂු සංවිධානයේ සාමාජිකත්වය ලබමින් වසර දෙක තුනකින් අනතුරුව උපසම්පදා කාරක සංඝ සභාවට ඇතුළත් වුණා.මා වෙත පවරන ලද රාජකාරිය සහ වගකීම ළුලදායි ලෙස මනාව ඉටුකළ බවට සෑහීමකට පත්වූ එවකට සංඝ සභාවේ මහානායක ධූරය දැරූ සාහිත්‍ය චක්‍රවර්තී රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපතිව වැඩසිටි අත්තුඩාවේ ශී‍්‍ර රාහුල මහානායක මා හිමිපාණන් වහන්සේ ඇතුළු විධායක කාරක සංඝ සභාව විසින් විධායක සභික ධූරය පිරිනමන්නට යෙදුණා. රෝහණ සංඝ සභාවේ ශී‍්‍රමත් මහානායක අත්තුඩාවේ රාහුල මා හිමිපාණන් වහන්සේගේ අපවත්වීමත් සමඟම තනතුරු ඉදිරියට ඇදීම හේතු කොටගෙන රෝහණ සංඝ සභාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පුරප්පාඩු වූණා. මගේ කිසිදු ඉල්ලීමකින් තොරව ශී‍්‍ර මත් මහානායක මා හිමිපාණන් වහන්සේ ඇතුළු ති‍්‍රංශත් වර්ගික කාරක මහා සංඝ සභාව විසින් මා වෙත ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරය පිරිනැමීමට ගත් තීරණය අවස්ථා දෙකකදීම මා විසින් ම නොපිළිගනිමින් ප්‍රතික්ෂේප කරන්නට සිදුවුණේ මා එවකට වැඩිහිටි භික්ෂූන් වහන්සේ නමක් නොවූ නිසයි. එවකට මහානායක ස්වාමීන් වහන්සේ ලෙස කටයුතු කළ රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යාය ගොම්බද්දල නන්දාරාම මහානායක මා හිමිපාණන් වහන්සේ ඇතුළු සානුනායක ති‍්‍රංශත්වර්ගික කාරක සංඝ සභාවේ ඉල්ලීම ඉවත දැමීමට නොහැකි නිසාම නැවත එම අධිකරණ සංඝ නායක ධූරය බාර ගැනීමට සිදුවුණා.රෝහණ සංඝ සභාවේ දියුණුව වෙනුවෙන් ගමන් මග නිවැරැදි කරමින්,අවශ්‍ය කරන මඟපෙන්වීම් සිදුකරමින්, ධර්ම විනයානුකූලව කි‍්‍රයාත්මක විය යුතු ආකාරය පෙන්වාදෙමින් ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරනවා.

ශාස්තී‍්‍රය ශික්ෂණයෙන් ඔබ වහන්සේ ලබාගත් දැනුම් සම්භාරයට අනුව විවිධ විපර්යාසයන්ට ලක්වෙමින් පවතින මෙබඳු සමාජයක අධ්‍යාපනය ලබමින් හැදෙන වැඩෙන නූතන භික්ෂූන් වහන්සේලාට ලබාදෙන අවවාද අනුශාසනා මොනවගේද?

ශාස්ත්‍රය ලබාදීමත් සමඟ පුද්ගල ශික්ෂණය ඇතිවිය යුතුවම තිබෙනවා. වර්තමාන අධ්‍යාපන රටාව තුළ සමාජයත් ,රටත්, අපේක්ෂා කරන ආකාරයට ගිහි පැවිදි දෙපාර්ශ්වයෙහිම ශික්ෂණයක් ඇතිවෙලා තිබෙනවාද? කියන ප්‍රශ්නාර්ථයක් තිබෙනවා.

අප ජීවත්වන සමාජ පරිසරයේ තිබෙන සිද්ධින් අධ්‍යාපනය ලබන ගිහි පැවිදි ශිෂ්‍යයන්ට දකින්නට,අත්විඳීන්නට තිබෙන නිසා අපි අපේක්ෂා කරන මට්ටමට ගෙන ඒම ඉතාමත් දුෂ්කර කාරණාවක් වුණත්, අපට වගකීමෙන් බැහැර වෙන්නට හැකියාවක් කොහොමටවත් නැහැ.

කිසියම් ආකාරයක විභාග ඉලක්ක කරගත් භික්ෂු අධ්‍යාපනයක් වුණත්, අධ්‍යාපනය තුළට පුද්ගල චර්යාව සංවර්ධනය කරන අධ්‍යාපන රටාවක් ඇතුළත් කරගත යුතුයි. බෞද්ධ අධ්‍යාපන රටාව තුළ ඒම කාරණාව වඩාත් ඉහළින් තිබෙන බව අපි දන්නවා. ඇතැම් විට බෞද්ධ අධ්‍යයන විෂයයන් තුළින් දුරස්වෙලා ආර්ථික වටිනාකම් ඇතැයි කල්පනා කරමින් විද්‍යා විෂයයන් ට යොමු වෙනවා.

බෞද්ධ විෂය තුළ අනෙක් විෂයයන්ට වඩා ආර්ථික වටිනාකම් ගොනු කරගැනීමේ හැකියාවක් තිබෙන බව අමතක නොකළ යුතුයි. එම ආර්ථික වටිනාකම් ගොනු කර ගන්නට නම්, පාලි භාෂාව, බෞද්ධ දර්ශනය ගැඹුරු ලෙස අධ්‍යයනයට යොමුවීමත් සමඟම ජාත්‍යන්තර භාෂාවක් ප්‍රගුණ කළ යුතුමයි. ලංකාවෙන් ඉල්ලන සුවිශේෂී සම්පත වන පාලි භාෂාවත් ,බෞද්ධ දර්ශනයත් ලෝකයට දිය හැකි අනර්ඝ වස්තුවක්. ඒ සඳහා අධ්‍යාපන රටාව සකස්විය යුතුයි.

භික්ෂූන් වහන්සේලා ඒ සඳහා අවධානය යොමුකරමින් අධ්‍යාපනය සංවර්ධනය කරගැනීම අවශ්‍යයි.මා ලැබූ අත්දැකීම් අනුව භික්ෂූන් වහන්සේලාට විදේශීය භාෂා දැනුම පිළිබඳ බරපතල ඌනතාවයක් තිබෙනවා.වර්තමාන භික්ෂූන් වහන්සේ ඉදිරි ගමන් මඟ සකස් කරගන්නට නම්,පාලි, ති‍්‍රපිටක ධර්මය, සිංහල භාෂාව වගේම ඉංගී‍්‍රසී භාෂාව මැනවින් ප්‍රගුණ කරගත යුතුමයි.