Print this Article


ආපදාවක දී පිහිට ඉල්ලා අනුන්ට දීන වන්නේ ඇයි

ආපදාවක දී පිහිට ඉල්ලා අනුන්ට දීන වන්නේ ඇයි

"යුතුකම් අනුව සිතා බලන තැනැත්තා ආර්ය ධර්මයෙහි පිහිටියෙකි. ඔහුට නුවණැත්තෝ මෙලොව දී පසසත්. ඒ උතුම් ප්‍රතිපදා බලයෙන් සුගතිගාමී ව, අතිශයින් ම තුටු පහටු වන්නේ ය. "


වස්තුව සපයන්නට බලාපොරොත්තු වන්නා වූ ගිහියන් විසින් මලත්, මලේ වර්ණයත්, මලේ සුවඳත්, සටහනත් නො නසා, ඒවාට මද වශයෙන් හෝ හානියක් සිදු නො කොට මල්වලින් රොන් ගෙන, මී බඳින මී මැස්සන් මෙන් අනුන් නොපෙළා වස්තුව සැපයිය යුතු බවත්, එසේ මදින් මඳ වස්තුව සපයන්නා වූ තැනැත්තාට වස්තුව රැස් වන්නේ තුඹසක් බඳින වේයන් මදින් මඳ පස්ගෙන තුඹසක් ගොඩ නඟන්නාක් මෙනැ’යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක

මෙසේ වස්තුව රැස් කොට, වස්තුව කොටස් හතරකට බෙදිය යුතු ය. එයින් කොටසකින් එදිනෙදා ජීවත්වීම පිණිස වැය කළ යුතු ය. දෙකොටසක් තවත් ආදායම් ලබන්නට කර්මාන්තාදී යම් කිසිවක් සඳහා යෙදිය යුතු ය. ඉතිරිව තිබෙන අනෙක් කොටස යම්කිසි රෝගාබාධ වැනි ආපදා අවස්ථා පැමිණි කල්හි ගැනීම පිණිස තැන්පත්කොට තැබිය යුතු ය. යම් ගිහියෙක් මෙසේ ක්‍රමවත්ව කටයුතු කරන්නේ නම් හෙතෙම මිත්‍රධර්ම ද මැනැවින් ආරක්ෂා කරන්නේ ය. කල්‍යාණ මිත්‍රයෝ ද ඔහු හා එක්ව සබඳකම් පවත්වති.

ගිහියන්ට වස්තුව අත්‍යවශ්‍ය ය. ගිහියකු තුළ සැප සතරක් තිබිය යුතු බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. ඒ සතරෙන් අත්ථි සුඛය (තමන්ට තමන්ගේ වැඩ කර ගැනීමට තරම් ධනවත් බවක් තිබීම) යනු පළමු වැනි සුවය යි.

ධනවතා සිය ධනය වැයකොට තමන්ගේ අත්‍යවශ්‍යතාවන් සපුරා ගනිමින් අනාගතයෙහි යම්කිසි ආපදාවක් පැමිණිය ද වියදම් කොට සැනැසිල්ල උදාකැරගත හැකි බව සිතා සැනැසෙන්නේ ය. ඔහුට පරිවාර සම්පතෙන් ද අඩුවක් නොමැත. නෑ මිතුරු සියල්ලන් ම ධනවතා පිරිවරා ගැනීම ස්වභාවය බැවිනි.

ගිහියකු තුළ තිබිය යුතු වූ සැපතක් වන අනවජ්ජ සුඛය (මම දැහැමින් සෙමෙන් ධන සම්පාදනය කෙළෙමි’යි ලැබෙන සැනැසිල්ල) තිබිය යුතුය. එකී අනවජ්ජ සුඛයට බාධා නොවන පරිදි මී මැස්සා මලෙන් රොන් ගන්නා සේ කිසිවකුට හානියක් අලාභයක් නොවන පරිදි තමන්ගේ ශ්‍රමය වැය කොට ධන හානියක් අලාභයක් නොවන පරිදි ධන සම්පාදනය කළ යුතු ය.

නොපසුබස්නා වීර්යයෙන් සපයා ගන්නා ලද, දෙ අත් බලය යොදා සපයා ගන්නා ලද්දා වූ , ඩහදිය වගුරුවා මහන්සියෙන් සපයා ගන්නා ලද්දා වූ ඒ නිසා ම ධාර්මික වූ දැහැමින් ලැබුණා වූ වස්තුව විය යුතු ය.

තමන් මහන්සියෙන් සපයා ගන්නා ලද ධනය වැය කිරීම ද ඉතා කල්පනාකාරීව කළ යුතු ය. පළමු කොට භෝගාපාය මුඛ (වස්තුව වැනැසෙන දොරටු) තේරුම් ගෙන, ඒවාට වස්තුව වැය නොකොට රැකගෙන, තමන් විසින් කළමනා යුතුකම් පිණිස වැය කොට තමන්ගේ සහ තම දරුවන්ගේ අනාගතය සලකා ඒවාට යම්කිසි කොටසක් වෙන් කොට තබා ගත යුතු ය.

ගිහියකුට තිබෙන්නට අවශ්‍ය වන්නා වූ සැප හතරෙන් භෝග සුඛය ද එකකි. තම වස්තුව පරිභෝග කළ සැටි සිතා බැලීමෙන් උපදින්නා වූ සැපත (සැනසිල්ල) භෝග සුඛය නම්.

ඒ භෝග සුඛය නිසි ආකාරයෙන් ලබන්නට මතු සඳහන් වන පරිදි පිළිපැදිය යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කළ සේක.

මා විසින් මගේ ආහාරපාන ඇඳුම් පැළඳුම් ගමන් බිමන් ආදිය පිණිස වස්තුව මැනැවින් වැය කරන ලදී.

මා විසින් පෝෂණය කළ යුතු වූ මව්පියෝ ය, අඹුදරුවෝ ය. දසි දස් කම්කරු පිරිස ය, යනාදී අය මැනැවින් පෝෂණය කරන ලදී.

අප වෙත පැමිණි විපත්තිවල දී ඒවා සඳහා කළ යුතු වියදම් කොට සහනය ලබා ගන්නා ලදී.

පරලොව සුව පිණිස දක්ෂිණා (දන්පින්) පිරිනමන ලදී.

නෑයෝ ය. ආගන්තුකයෝ ය. මිය පරලොව ගිය නෑ මිතුරෝ ය. රජවරුන් හෝ රජය වෙනුවෙන් පෙනී සිටින අය ය, දේවතාවෝ යන කොටස් පසට දිය යුතු දේ (ඥාතිබලි ආදී පස) දෙන ලදී.

ධනය වැය කොට සිල්වත් උතුමනට උපස්ථානය කරන ලදී. ගිහිගෙයි වසන කෙනෙක් යම් කිසි ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් වස්තුව සපයන්නාහු නම්, ඒ ප්‍රයෝජනය මම මගේ වස්තුවෙන් ලැබුවෙමි.

මෙසේ කරන ලද එකී යුතුකම් අනුව සිතා බලන තැනැත්තා ආර්ය ධර්මයෙහි පිහිටියෙකි. ඔහුට නුවණැත්තෝ මෙලොව දී පසසත්. ඒ උතුම් ප්‍රතිපදා බලයෙන් සුගතිගාමී ව, අතිශයින් ම තුටු පහටු වන්නේය.

යමෙක් මෙකී පරිදි තමන් ද වස්තුවෙන් ප්‍රයෝජන නොගෙන, කළමනා යුතුකම් ද සම්පූර්ණ නොකොට, වස්තුව රැකබලා ගැනීමෙන් පමණක් සෑහීමට පත් වී වෙසේ නම්, ඔහුට ඒ වස්තුව නිසා බරක් මිස, වැඩක් නැත. පැන් පොකුණකට අරක් ගත්තා වූ රකුසකුට නොදෙවෙනි පුද්ගලයෙකැ’යි ඔහු වෙනුවෙන් කියනවා මිස වෙන කිව යුත්තක් නොමැත. බුදුරජාණන් වහන්සේ, දවස අදින්න පුබ්බක, මජ්ඡරිය, කෝසිය වැනි අය තරම් නූනත් ඔවුන්ට ආසන්න ධනවන්තයෝ මෙකල නැත්තාහු නොවෙති.

ධන සම්පාදන කැරැ ගත් තැනැත්තා විසින් ඒ ධනය කොටස් සතරක් කොට වෙන් කරගෙන සිහිබුද්ධියෙන් ක්‍රියා කරනවායැයි දේශනා කොට වදාළේ වුව ද, ගිහියන් හැම දෙනාට ම එසේ කරන්නට නොපිළිවන් බව ඉතා හොඳින් පැහැදිලි වේ. මෙය සිඟාලක සිටුපුත් හට දේශනා කරන ලද ධර්මයකි. සිඟාලක සිටු පුත්‍රයෙකි. සිටු පුත්‍රයකුට ලැබෙන ආදායම් ප්‍රමාණය ගැන සලකා බලත් ම ඔහුට ලැබෙන්නා වූ මුළු ආදායම් ප්‍රමාණය කොටස් සතරකට බෙදා එක කොටසක් වැය කිරීම ඔහුගේ එදිනෙදා සියලු වියදම්වලටත් ප්‍රමාණවත් වේ. අනාගතාභිවෘද්ධිය පිණිස යම් යම් කටයුතු සඳහා වෙන් කොට සිව්වන කොටස ආපදාපන්න අවස්ථාවන්හි ප්‍රයෝජනය පිණිස තැන්පත් කැරැ තබන්නටත් පිළිවන් ය.

මේ කරුණෙහි ලා අප විසින් පිළිපැදිය යුත්තේ මෙබඳු සූත්‍ර දේශනාදිය යථානුලෝමික දේශනා ගණයෙහි ඇතුළත් වන නිසා කාලය, දේශය, පුද්ගල යන කරුණු සලකා ඒ ඒ කාලය වශයෙන් ද ඒ ඒ දේශයන්ගේ වශයෙන් ද ඒ ඒ පුද්ගලයන්ගේ ද වශයෙන් ය.

සුදුසු පරිදි වැඩි වැඩ නොමැතිව චාම් ලෙස ජීවත් වෙමින් අනාගතාභිවෘද්ධිය පිණිස යොදන්නට ධනයක් නොමැති නම්, මොන විදියකින් හෝ දවසකට සුළු මුදලක් වත් එකතු කොට තබන්නට අවශ්‍ය බව තේරුම් ගත යුතු ය. එසේ නොකළොත් ආපදාවක් පැමිණි කල්හි අනාථවන්නට සිදුවන බව හොඳින් තේරුම් ගත යුතු ය.

එසේ නොකිරීම නිසා ආපදාපන්න අවස්ථාවලදී කර කියා ගන්නට කිසිවක් නොමැතිව අනුන්ගේ පිහිට සොයමින් එහේ මෙහේ දුවන්නටත්, අනුන්ට දීන වන්නටත් සිදුවනු ඒකාන්ත ය. එපමණක් නොව ඒ ඒ ආපදාවෙන් සහනයක් ලබන්නට නොලබා දුක්වීමට සිදුවේ.

මෙහිදී ප්‍රධාන වශයෙන් සැලකිය යුත්තේ තමන්ට ලැබෙන ආදායම් ප්‍රමාණය සිහි බුද්ධියෙන් තේරුම් ගැනීම ය. එසේ තේරුම් නොගෙන වැඩි ආදායම් ලැබෙන අය වැඩ කරන සැටි අනුකරණය කොට මමත් එලෙස උජාරුවට කටයුතු කරන්නේම්, එසේ නූනොත් එය මට මදි කමකි. යන වශයෙන් සිතා අනුන් අනුකරණය කරමින් ධනය වැය කළොත් ඔහු පමණක් නොව ඔහුගේ අඹුදරුවෝ ද අසරණ වෙති. ලෝකයෙහි තිබෙන යන්ත්‍ර සූත්‍ර පවා ක්‍රියා කරවිය යුත්තේ ඒවායේ තිබෙන බලය ශක්තිය අනුව ය. එය සැලකුවේ නැත්නම් ඒ යන්ත්‍ර සූත්‍ර පවා කැඩී බිඳී කාර්යක්ෂම නොවීම ඒකාන්ත ය. එමෙන්ම තමාගේ ආදායම් පමණ දැන ඒ අනුව ක්‍රියා කළ යුතු ය. එසේ නූනොත් ඇති වන්නා වූ පිරිහීම කොපමණදැ’යි කීමටත් අපහසු ය.

සමජීවිකතාවෙන් (අය - වැය තේරුම්ගෙන වැඩිත් නැතිව පමණට අඩුත් නැතිව සම සේ) ජීවත් වීමට යමෙකුට හැකියාව තිබේ නම් එය අගය කළ යුතු ය. වස්තුව මැනැවින් ආරක්ෂා කිරීම වශයෙන් වදාළ ආරක්ඛ සම්පදාව ගැන ද සලකා බැලීම වස්තුව නාස්ති කිරීමෙන් වැළැකීමට උපකාර වේ. ජීවක වෙදැදුරුතුමාගේ කතා පුවතෙහි හිසරදයෙන් පෙළුණ සාකේත නුවර සිටු භාර්යාවට ප්‍රතිකාර වශයෙන් ජීවක වෙදැදුරු තුමා නස්‍ය කළ විට, ඒ නස්‍යයෙන් ගලා ගිය ගිතෙල් ස්වල්පය පවා දැස්සක ලවා අරපරෙස්සම් කැරැ තැබීමේ පුවත ලොකු ආදර්ශයකි.