Print this Article


ජීවිතය සුවඳවත් කරන ප්‍රතිපත්තිගරුකබව

ජීවිතය සුවඳවත් කරන ප්‍රතිපත්තිගරුකබව

දුක්ඛදායක ලෝකයක සැරිසරන සත්වයා ඒ දුකෙන් මුදවා ගැනීම අරබයා චතුරාර්ය සත්‍ය ධර්මයක් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්හ. දුක, දුක ඇතිවීම, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය යන චතුස් සත්‍ය කෙරෙහි අවධානය යොමු කොට ඒ අනුව අපගේ ජීවිතය සකස් කර ගත යුතු ය. මෙය න්‍යායාත්මක ස්වරූපයක් නොව ප්‍රායෝගික සාධකයකි.

ජීවිතය වඩාත් උසස් තලයකට අවතීර්ණ වන්නේ ප්‍රතිපත්ති මත ය. මේ ප්‍රතිපත්තිවල එකම ස්වරූපයක් තිබිය යුතු ය. බාහිර හා අභ්‍යන්තර වශයෙන් දෙකක් බැරිය. චරිත දෙකක් ජිවිතයට රඳවා ගතහොත් එය මුළා කිරීමකි. මුළා වන්නේ සමාජය නොව තමන්ම ය. මෙය මැනවින් සාක්ෂාත්කොට ගත යුතු ය.

දෙබිඩි චරිත

අද්‍යතන සමාජයේ අපට දකින්නට ලැබෙන බොහෝ අයගේ ජීවිත දෙබිඩි ය. නිවෙසට එක ජීවිතයකුත්, සමාජයට තවත් ජීවිතයකුත් වශයෙන් දෙයාකාර ය. මෙය තමන් රවටා ගැනීමකි. ආත්ම වංචාවකි.

බාහිර වශයෙන් සුරාපානය නො කරන්නේ යැයි හඟවා නිවෙසේ දී සුරාපානය ගන්නේ නම් එය තමන් ම රවටා ගැනීමකි. පංචශීල ප්‍රතිපත්තිය යම් පුද්ගලයකු අකුරට ම ඉටු කරන්නේ නම් මේ අනවරාග්‍රභවය අපට කෙටි කරගත හැකි ය.

මිනිසා සංවේදී, විනය ගරුක,

ශික්ෂණයෙන් යුත් පුද්ගලයෙක් බවට පත් කරන්නේ ධර්මය යි. ධර්මය කෙරෙහි සිත් සතන් යොමු කොට ඒ අනුව යමකු දිවි ගෙවන්නේ නම්, ගැටලු මතු නොවේ.

පංචශීලයෙහි පිහිටීම

පංච ශීලයෙහි යමකු රැඳෙන්නේ නම් එම පුද්ගලයා ජීවිතය ජය ගන්නෙකි. සත්ත්ව ඝාතනයෙන් වැළැකීම, සුරාපානයෙන් වැළැකීම, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළැකීම, බොරු කීමෙන් වැළැකීම ආදියෙන් යම් පුද්ගලයකු දුරස් වන්නේ නම් එම පුද්ගලයා දැහැමි ස්වරූපයෙන් උපයුක්ත ය.

හුදෙක්ම ජීවිතයේ යතාර්ථය මැනවින් අවබෝධ කොට ගත් පුද්ගලයා ප්‍රතිපත්ති පූජාවට නිරන්තරයෙන්ම නැඹුරු වෙයි. උදේ පටන් රාත්‍රී වනතුරු බණ ඇසුවත්, බුදුරදුන්ට කො තරම් මල් පූජා කළත්, බණ පොත

කොතරම් පරිශීලනය කළත් පුද්ගලයා කෙරෙහි ප්‍රතිපත්ති ගරුක ස්වරූපයක් නැත්නම් ඒ වෑයමෙන් කිසිදු ඵලක් නොමැත.

ප්‍රසන්න බව

ප්‍රතිපත්තිවලින් උපයුක්ත පුද්ගලයා ඉතාම පි‍්‍රයජනක ය. එක් වරක් ඔහු හෝ ඇය දෙස බැලුවොත් පුන පුනා ඒ දෙස බලන්නට නැඹුර වේ. ඒ මන්දයත් ඒ අය කෙරෙහි පවත්නා ප්‍රතිපත්තිගරුක භාවය මත ය.

ඉවසීම, දයාව, කරුණාව, අන් අය කෙරෙහි දක්වන භක්තිය, නිතරම තමන්ගේ ජීවිතයට දක්වන සැලකිල්ල අන් අය කෙරෙහිත් දැක්වීම, ප්‍රතිපත්තිගරුක තැනැත්තා කෙරෙහි පවත්නා ලක්ෂණයන් ය. අප පි‍්‍රයජනක භාවයට පත්විය යුතු ය. එසේ නොමැතිව අමනුෂ්‍යයෙක් ලෙස ජීවත්වුවහොත් එම ජීවිතයෙන් ඵලක් නොමැත.

මිනිසා අමනුෂ්‍යයකු බවට පත්වන්නේත් ස්වකීය දිවි මඟෙහි ප්‍රතිපත්ති නොමැති නිසා ය. මනුෂ්‍යත්වයක් ලබා ගන්නේ ඉතාම

දුෂ්කරතා මධ්‍යයේ ය. එම මනුෂ්‍යත්වය අප රැක ගත යුතු ය.

වසලයා කවුද

‘වසලයා’ යන්නට බුදුරදුන් නව අර්ථකථනයක් දී ඇත. නරක වැඩ කරන පුද්ගලයා බුදුරදුන් හැඳින්වූයේ ‘වසලයා’ යනුවෙනි. කෙනෙකු වසලයකු වන්නේත්, බ්‍රාහ්මණයෙකු වන්නේත් උත්පත්තියෙන් නොවේ. වසලයකු වන්නේ කරන ක්‍රියා හේතු කොටගෙන ය.

උසස් අයට උසස් අන්දමට සැලකීම, පිදිය යුත්තන් පිදීම, බොහෝ ඥානය තිබීම, ශිල්ප ශාස්ත්‍රවල දක්ෂකම, විනය ගරුක වීම, මානව ශික්ෂණය, හොඳ වදන් පැවසීම මංගල කරුණු ලෙස දැක්වේ. ප්‍රතිපත්ති ගරුක පුද්ගලයා කෙරෙහි පවත්නේ මෙවන් ලක්ෂණයන් ය.

අනවරාග්‍ර වූ හෙවත් කෙළවරක් නැති භවයෙන් මිදෙන්නට නිතරම සිතට ගත යුතු ය. අද සමාජයේ බොහෝ අය කෙරෙහි දක්නට නැත්තේත් මෙයම ය.

සංයමය ආත්මකොට ගන්නා ප්‍රතිපත්තිගරුක පුද්ගලයා කිසිම දෙයකට සැලෙන්නේ නැත. එමෙන්ම අනවශ්‍ය බරක් හිසේ දරා ගන්නේත් නැත. ඉතාම සැහැල්ලු දිවි පෙවෙතක් අනුගමනය කරන ප්‍රතිපත්ති ගරුක තැනැත්තා සමාජයට අතිශය පරමාදර්ශි පුද්ගලයෙකි.

අන් අයගේ චරිතවලට කිඳා බැස විවේචනයට යොමු වන්නේ නැත. නිසල චරිතයක ස්වරූපය පෙන්නුම් කරන්නේ ය.

ජීවිතය ආත්මයෙන් කෙළවර වන්නේ නැත යන්න බුදුසමයේ ඉගැන්වේ. ආත්ම, අනාත්ම සංකල්පයේ දී අනාත්මය මත රැඳී සිටින බුදුසමය ප්‍රතිපත්ති මත පිහිටි චරිතයකින් අපේක්ෂා කරන්නේ ආත්මය කෙටි කර ගන්නට ය.

යතාර්ථය සාක්ෂාත් කරගෙන අවබෝධකොට ගත යුතු යුතුය. සමාජ යථාර්තය, පුද්ගල යතාර්තාය පුද්ගලයා විසින් අවබෝධ කොට ගත යුතු ය. අවබෝධයෙන් තොරව කටයුතු කරන්නේ නම් ජීවිතය මුළා වේ.

නරක සිතුවිලි ප්‍රතිපත්තිගරුක පුස්ගලයා කෙරෙහි ඇතිවිය නොහැකි ය. පාරිශුද්ධාත්මක දිවියකට අර අඳින, මංපෙත් විවර කර ගන්නා පුද්ගලයාට නිරන්තරයෙන්ම සැනසිල්ලක් අත්වේ. අන් අය තලා පෙළා, පහත් අඩියකට පෙරළා දමන්නට අන් අයගේ සැපතට අකුල් හෙළන, ඊර්ෂ්‍යා කරන පුද්ගලයාට කිසිදු ප්‍රතිපත්තියක් නැත.

සැපතට සතුටුවීම

අන් අයගේ සැපතට සතුටු වන පුද්ගලයා ප්‍රතිපත්තිවලින් පරිපූර්ණ ය. එය සලකන්නේ තමන්ගේ සැපතක් ලෙස ය. අන් අයගේ සැපත තවත් වර්ධනය කරන්නට දක්වන්නේ අපූර්ව ලැදියාවකි.

මිණුම් දඬු දෙකක්

“පුද්ගලයෙකු යැයි කියා කෙනෙකු පරමාර්ථ වශයෙන් පවතින්නේ නැතැයි බුදු සමය පවසන අතර, පඤ්චස්කන්ධයෙන් සකස්වුණු සම්මුති වශයෙන් පවතින්නා වූ, එම නිසා සංස්කෘත වූ පුද්ගලයකුගේ පැවැත්ම පිළිගෙන ඇත. එබඳු පුද්ගලයෙකු සම්බන්ධ ව කතා කරන විට, පුද්ගල අනන්‍යතාව නිර්ණය කිරීම සඳහා මිනුම් දඬු දෙකක් උපයෝගී කරගෙන ඇත. පඤ්චස්කන්ධය දෙයාකාරයක සිද්ධීන්ගෙන් සමන්විත වේ. එනම් ශාරීරික හා මානසික සිද්ධීන් ය. මේ දෙයාකාරයේ ම සිද්ධීහු නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතී.

මාංශ අනුභව කරන්නේ නැත්නම් එය අඛණ්ඩව පැවතිය යුතු ය. අතරමගදී එම පිළිවෙත තබාගෙන යළි මාංශ අනුභව කරන්නට ගියොත් ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමකි. එක් අතකින් මෙය මායාවකි. තවත් අතකින් තමන්ගේ සිත පාලනය කර ගැනීමට තමන්ට හැකියාවක් නැතිකමයි.

මෙබඳු දුර්වල චෛතසිකයකින් විඥානයක් පහළ නොවේ. කිසියම් ඒකාග්‍රතාවක සිත තබා ගත යුතු ය. තමන්ගේ චිත්ත චෛතසිකය පාලනය කර ගන්නට තමන්ට ශක්තියක්, හැකියාවක් තිබිය යුතු ය.

තිලකුණු මෙනෙහි කිරීම

මෙතැන දී තමන් සදාකාලික වශයෙන් ජීවත් නොවන බවත් තේරුම් කරගත යුතු ය. ජීවිතය අනිත්‍ය යයි, දුක්ඛයි, අනාත්මයි යන තිලකුණු කෙරෙහි අවධානය යොමු කළ මනා ය.

පුද්ගලයා තමන්ට ලබාගත නොහැකි බොහෝ දේ ලබා ගන්නට මහත් වෙහෙසක් ගනු ලැබේ. මේ ඔස්සේ අඛණ්ඩව ම සිත යොදවයි. මෙය ද මහා දුකකි. මේ දුකෙන් අප අත් මිදිය යුතු ය. ඇයි මෙතරම් දුකක් ජීවිතයට දෙනු ලබන්නේ, තමන් ලද පමණින් සතුටට පත්විය යුතු ය. අන් අයගේ ධනයට ආශා කිරීමෙන් තමන්ට කිසිදු සෙතක් අත්නොවේ. තවදුරටත් ජීවිතය ප්‍රපාතයට ඇද වැටීමකි මෙයින් නිරූපණය වන්නේ.

ප්‍රතිපත්තිගරුක පුද්ගලයා කිසිම දෙයකට, කිසිවකුට බයවන්නේ නැත. මරණයට නිතරම සූදානමින් සිටියි. ප්‍රතිපත්ති සමුදායක දිවි ගෙවිම අනුව ස්වකීය විඥානය සුඛවිහරණය උදෙසා මෙහෙයවීම අනුව ජීවිතයෙන් ජය ගැනීමක් සිදුවන්නේ ය. ප්‍රතිපත්තිවලින් තොර පුද්ගලයා නිතරම පරාජිත ස්වරූපයක් දරයි. පරාජිත පුද්ගලයා පසුපස හඹායාම වෙනුවට ජයග්‍රාහී පුද්ගලයා පසුපස හඹා යා යුතු සාධකය, නියතය වෙත යා යුතු ය.