ප්‍රඥා ඇසින්
ලෝකය දකින්න
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති
පත්බේරියේ
ශ්‍රී විමලඤාණ නාහිමි
අන්ධභූතෝ අයං ලෝකෝ
තනුකෙත්ථ විපස්සති
සකුන්තෝ ජාල මුත්තේහි
අප්පොස්සග්ගාය ගච්ඡති.
මේ පුහුදුන් ලෝකයා පැණැස (පඤ්ඤා චක්ඛු) නැතිහෙයින් අන්ධ ය. මේ ලෝවැසියා අතරෙහි
ස්වල්ප දෙනෙක් පංචස්කන්ධය අනිත්‍ය ආදී වශයෙන් වෙසෙසා දකියි. ලිහිණී වැද්දකුගේ
දැලින් මිදුණු වටුවෙකු මෙන් ස්වල්ප දෙනෙක් මාරයාගේ පංචකාම නමැති දැලින් මිදී
නිර්වාණයට යන්නේ ය. ධම්මපදය - 13 වැනි ලෝක වර්ගයේ 7 වැනි ගාථාව
ශ්‍රද්ධාවන්ත පින්වත්නි,
සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මෙම ගාථා ධර්මය දේශනා කළේ අලවි නුවර අග්ගාලව
චේතිය නම් විහාරස්ථානයෙහි වැඩවසන සේක් එක්තරා පේසකාර දියණියක් අරභයා ය.
මරණ සතිය
එක් දිනක් ජනපද චාරිකාවේ වඩින බුදුරජාණන් වහන්සේ ආලවි නුවරට වැඩම කළ විට එනුවර
වැසියෝ දන් පිළිගැන් වූ අතර බත්කිස නිම කළ උන්වහන්සේ මෙසේ අනුමෝදනා ධර්මයක් දේශනා
කළහ.
ජීවිතය අනිතය, මරණය ඒකාන්තය, මම මරණයට පත්වන්නේ වෙමි. මාගේ ජීවිතය මරණය කෙළවර කොට
සිටී. යන අයුරින් මරණ සතිය වඩන්න. යමෙක් මරණසතිය මෙසේ නොවඩන ලද නම් ඔවුහු පසුකලෙක
නයකු දැක බිය වූ තැනැත්තෙක් සන්තාපයටසේ පැමිණෙන්නාහ. මර හඬ දෙමින් කලුරිය කරත්.
යම් කෙනෙක් මරණසතිය වඩන ලද්දේ නම් ඔවුහු දුරදීම නයකු දැක කෝටුවකින් ගෙන විසි කොට
සිටි අයෙක් මෙන් නිර්භීතව සිටිත්. ඒ නිසා මරණසතිය වැඩිය යුතු යැයි පැහැදිලි කරමින්
ධර්මදේශනා කළ සේක.
පේසකාර දියණිය.
එම ධර්ම දේශනාව ඇසූ සොළොස් හැවිරිදි පේසකාර දියණියක් වූවා ය. ‘අහෝ, බුදුරජාණන්
වහන්සේගේ ඉගැන් වූ මේ ධර්මය කොතරම් ශ්‍රේෂ්ඨ දැයි සිතූ ඇය බුදුරජාණන් වහන්සේගේ
දේශනාව අනුව එතැන් පටන් දිවා රෑ දෙක්හිම “මරණසති” භාවනාව තුන් අවුරුද්දක් තිස්සේ ම
නොකඩවා වැඩුවා ය. එක් දිනක් අලුයම් කාලයෙහි මහා කරුණාවෙන් ලෝකය දෙස බලන බුදුරජාණන්
වහන්සේ ආලවි නුවර පේසකාර දියණියට පිහිට විය යුතු යැයි සලකා පන්සියයක් භික්ෂු සංඝයා
පිරිවරා දෙව්රම් වෙහෙරින් නික්ම යොදුන් තිහක් වූ මඟ අනුපිළිවෙලින් ආලවි නුවර
අග්ගාලව විහාරයට වැඩම කළ සේක.
ආලවි නුවර වැසියෝ ද බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට දන් පිළිගන්වා අනුමෙවෙනි බණ ඇසීමට
සූදානම් වූහ. මේ අතර බුදුරජාණන් වහන්සේගේ වැඩම වීම අසා පී‍්‍රතියට පත්ව බුදුන් දැක
බණ අසන්නට සිතා ගත්තා ය. නමුත් පේසකාර දියණියගේ පියා රෙදිවියන තරස් දණ්ඩෙහි නූල්
වියා පේසකාර ශාලාවට ගෙනැවිත් දෙන ලෙස නියම කළේ ය. කිම? බණ අසම්ද? නැතනම් පියා
පැවරුම් මෙහෙය කරම් දැයි විමතියට පත් වූවත් බණ අසා ම පේසකාර ශාලාවට යාමට තීරණය කළා
ය.
බුදුරජාණන් වහන්සේ ද ධර්මාසනයේ වැඩහුන් සේක. ජනතාව ද ධර්මශාලාවේ බණ ඇසීමට සූදානම්ව
සිටියත් පේසකාර දියණිය එනතුරු ධර්ම දේශනාව ආරම්භ නොවීය. දැන් පේසකාර දියණිය ධර්ම
ශාලාවට ඇතුල් වී බුදුරජාණන් වහන්සේ වෙත එළඹ දොහොත් මුදුන් තබා වැඳ එකත් පසෙක
සිටිකල්හි මෙබඳු අපූර්ව සංවාදයක් ඇති විය.
දියණිය, ඔබ කොහිසිට ආයෙහි ද?
ස්වාමීනි, මම කොහිසිට ආයෙම්දැයි නොදනමි.
දියණිය, ඔබ කොතැනක යන්නෙහිද?
ස්වාමීනි, මම කොතැනක යන්නේ දැයි නොදනිමි.
නොදනිහිද?
දනිමි. ස්වාමීනි,
දනිහිද?
නොදනිමි ස්වාමීනි,
මේ ප්‍රශ්න උත්තරවලට සවන්දුන් මහජනතාව පේසකාර තරුණියගේ දොඩමලු බවට ගරහමින් උද්ඝෝෂණය
කළ නමුත් බුදුරජාණන් වහන්සේ සංවාදය නැවත ආරම්භ කළහ.
දියණිය, මාගේ පළමුවන ප්‍රශ්නයට ‘නොදනිමි’ යයි උත්තර දුන්නේ මක්නිසාද?
ස්වාමීනි, ඔබ වහන්සේ මා කොතැනින් චුත ව මේ ආත්මභාවයෙහි උපන්නේ ද යන්න ප්‍රශ්න කළ බව
සිතා ‘නොදනිමි’ යයි උත්තර දුනිමි.
සාධුකාර දෙමින් මානවිකාව, ඔබේ පිළිතුර නිවැරැදියි දෙවැනි ප්‍රශ්නයට නොදනිමි යනුවෙන්
උත්තර දුනේනේ ඇයි?
ස්වාමීනි, ඔබ වහන්සේ මා මේ ඇති බවින් චුතව කොහි උපදින්නේ දැයි විචාළ බව සිතා
‘නොදනිමි’ කියා උත්තර දුනිමි.
දෙවන වරටත් සාධුකාර දෙමින් දියණිය, ඔබේ උත්තරය නිවැරැදියි. මගේ තුන්වැනි ප්‍රශ්නයට
‘දනිමි’ යැයි උත්තර දුන්නේ කුමක් නිසාද?
ස්වාමීනි, මම මැරෙන බව දනිමි. එම නිසා ‘දනිමි’ යයි උත්තර දුනිමි.
තෙවන වරටත් සාධුකාර දෙමින් සාධු, ඔබේ උත්තරය නිවැරදියි. දන්නෙහිද යනුවෙන් ඇසූ
ප්‍රශ්නයට ඔබ නොදනිමි කියා උත්තර දුන්නේ ඇයි?
ස්වාමීනි, මාගේ මරණය අසවල් දින සිදුවේ දැයි මා නොදන්නා නිසා නොදනිමි උත්තර දුනිමි.
බුදුරජාණන් වහන්සේ සිව්වන වරටත් සාධුකාර දෙමින් දියණිය, ඔබ මා ඇසූ ප්‍රශ්න සියල්ලටම
නිවැරදි පිළිතුරු දී ඇත.
මේ පරිද්දෙන් සංවාදය නිම වූ බුදුරජාණන් වහන්සේ මුලින් සඳහන් කළ ‘අන්ධභූතෝ අයං ලෝකෝ’
යනාදී ගාථාවෙන් අනුමෝදනා ධර්ම දේශනා ආරම්භ කළහ. ධර්ම දේශනාවසානයේ එකුත්විසි වියැති
පේසකාර දියණිය සෝවාන් ඵලයෙහි පිහිටියා ය. ඇය පේසකාර ශාලාවට යන විට නින්දට වැටී සිටි
පියා හදිසියෙන් යන්ත්‍රය ක්‍රියාත්මක කළ නිසා රෙදිවියන හරස් දණ්ඩ ඇගේ උරෙහි වැදී ඕ
එතැනම කලුරිය කළා ය.
සිය දියණියගේ අකල් මරණයෙන් මහත් ශෝකයට පත් පේසකාර හඬා වැළපෙමින් බුදුන් කරා එළඹ ඒ
පුවත පියා සැළ කළේ ය. බුදුපියාණෝ ද ඔහු අස්වසමින් අග්මුල් නැති මේ දීර්ඝ සංසාරයේ දී
ඔබ මෙවන් දියණියන්ගේ මරණ වෙනුවෙන් හෙලූ කඳුලු සිව්මහා සාගරයන්හි ජලයට ද වඩා අධික බව
වටහා දී ශෝකය තුනී කරවූහ. නොබෝ දිනකින් බුදු සසුනේ පැවිදි වූ පේසකාර රහත් ඵලයට
පැමිණියේ ය.
පින්වත්නි,
මෙම පේසකාර දියණියගේ කතා වස්තුවෙන් මරණ සතිය වැඩීමෙන් ඉහාත්මයෙහි ලැබෙන අනුසස්
කවරේදැයි හොඳින් පැහැදිලි වෙයි. අංගුත්තර නිකායෙහි පඤ්චක නිපාතයට අයත් අභිණ්හ පච්ච
වෙක්ඛිතබ්බ සූත්‍රයේ දී ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි සැම දෙනා විසින් ම මම මරණය
ස්වභාවකොට ඇත්තෙමි. මරණය නොඉක්ම වූයේ වෙමි. (මරණ ධම්මෝම්හි, මරණං අනතීතෝ)
නිරන්තරයෙන් නුවණින් මෙනෙහි කළ යුතු බව උගන්වා ඇත.
ඒ මක්නිසාද? සත්වයන් තුළ පවත්නා ජීවිත මදය නිසා ඔවුහු කය, සිත, වචන යන තුන්දොරින්
ප්‍රාණඝාතාදී අකුසල කර්ම රැස් කරති. මරණ සතිය වැඩීමෙන් ජීවිත මදය දුරුවී යථාර්ථය
අවබෝධ වෙයි. එමනිසා පස් පව් දස අකුසල් නැති පන්සිල් සුරකින සමාජයක් ඇති කිරීමට
මරණසතිය මහෝපකාරී වෙයි.
මරණ සතිය වඩන භික්ෂූන් වහන්සේ හැමවිටම අප්‍රමාදී ව විහරණය කරයි. අනිත්‍යාදී
ත්‍රිලක්ෂණය අවබෝධ කර ගනී. ඉහාත්මයේ දී ම නිවන සාක්ෂාත් කර ගනී. නැතහොත් සුගති
පරායණ වෙයි.
(අන්ධභූතෝ අයං ලෝකෝ) මේ පුහුදුන් ලෝකයා අන්ධ යැයි වදාළේ ලෞකික සත්වයාට ඇස් ඇතත්
පණැස නැති බැවින් අන්ධ ලෙස සැලකිය යුතු හෙයිනි. ලෝකය ශාස්වතය ආදී මිථ්‍යාදෘෂ්ටි
ඇතිවන්නේ පණැස නැති බැවිනි. පැණැස ඇත්තේ ආර්යයන් වහන්සේලාට ය.
උපතින්ම අන්ධයා සමහර විටක නියම මගිනුත්, සමහර විටක නොමගිනුත් යයි. එසේම පැණැස නැති
පුහුදුන් තැනැත්තා සසර සැරිසරමින් සමහර විටක පින් ද සමහර විටෙක පව් ද කරයි. හොඳ
නරක, පින් පව්, හරි වැරදි, ඇත්ත නැත්ත, මඟ නොමඟ, යුතු අයුතු දේ යනාදිය මසැසින් නොව
පැණැසින්ම දත යුතු වේ. ලෝකයා සසර ප්‍රමාද වන්නේ ඇයි? මසැසින් දකින සියල්ල නිත්‍ය,
සුඛ, සුභ වශයෙන් ගන්නා බැවිනි. ලෝකයේ යථා ස්වභාවය වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මයන්
වටහා ගත යුත්තේ පැණැසෙනි. ප්‍රඥා චක්ඛුසෙනි. |