දුටුගැමුණු මහ රජතුමා -
38:
ගැමුණු කුමරු අසහනයට පත්වෙයි
“වේළුසුමන, මා දන්නා ශාස්ත්‍රයට අනුව කාවන්තිස්ස රජතුමා මේ වන විට මියගොස්. මා මේ
සූදානම් වෙන්නේ හෙට ඒ ආදාහන උත්සවයට සහභාගී වීමට මාගමට යාමටයි. දුටුගැමුණු
කුමාරයාත් සමඟ යාමට තිබුණා නම් හොඳයි. ඒ නිසයි මගේ ගමන ප්‍රමාද කළේ. ගැමුණු
කුමාරයාගේ තොරතුරු දන්නා සෙබලෙකු ඌරුපැලැස්සට පිටත් කර යැව්වා. “
“දාව ආචාර්යවරයාගේ වදන් ඇසූ මට ඉවසා ගත නොහැකි දුක් වේදනාවක් ඇති වුවා. වචනයක්වත්
කතා කරගන්නට බැරිව කොයිතරම් වේලාවක් බලාසිටියාදැයි මා දන්නේ නැහැ. පියවි සිහිය
ලැබුණු සැනින් මා මෙහි පැමිණියා. “
“වේළුසුමන, නුඹට මෙහි එන්නට කීවේ තොප යවා ගැමුණු කුමාරයා හැකි ඉක්මනින් මෙහි ගෙන්වා
ගැනීමටයි. නමුත් දැන් අපේ බලාපොරොත්තු සියල්ල බිඳ වැටෙනවා. ඉදිරි දවස් කිහිපය තුළ
සිදුවිය හැකි අනපේක්ෂිත සිදුවීම් ගැන සැලකිලිමත් වෙමු. “
“මහා තෙරුන්වහන්ස, කැලණියට මේ පුවත සැලවුවහොත් ගැමුණු කුමාරයා මෙහි පැමිණිය
හැකියි.”
“නමුත් වේළුසුමන, කාවන්තිස්ස රජතුමාගේ අභාවය පිළිබඳ අප කිසිවකුට දැනුම් දෙන්නේ නැහැ
.”
“පිණ්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේ කැළණි විහාරයේ වැඩ සිටී නම් දුටුගැමුණු කුමාරයා
කැලණියට ගියේ නම් මෙම පුවත ස්ථිරවම කුමාරයාට ලැබේවි. අවශ්‍ය නම් මට හෙට උත්තිය රජ
මාළිගයට යන්නට පුළුවන්. “
“එම උත්සාහයෙන් ඵලක් නැහැ. හෙට හවස රජතුමාගේ ආදාහන කටයුතු සිදුකරනවා. “
“වේළුසුමන, කුමාරයා සොයා ගැනීමට ඔබ ගෙන ඇති උත්සාහය අගෙයි. දැන් අපට කරන්නට
තිබෙන්නේ එන හැටියකට මුහුණ දීමටයි. හැම දේම වෙන්නේ හොඳට යැයි සිතමු. ඔබට හැකි නම්
තිස්ස කුමාරයා, දුටුගැමුණු කුමාරයාට විශ්වාසවන්තව තබා ගැනීමට වෑයම් කරන්න. තිස්ස
කුමාරයා වෙනස් වුවහොත් අපේ සැලැස්ම වසර ගණනාවකින් ආපස්සට යනවා. එය අපට විශාල
පාඩුවක්. “
“මේ පිළිබඳව අද රාත්‍රී හතට සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන රැස්වීමේදී සාකච්ඡා
කිරීමට බලාපොරොත්තු වෙනවා. “
“වේළුසුමන දැන් ඔබ ගොස් අනෙක් සෙනෙවිවරුන් සමග එකතු වී හෙට පැවැත්වෙන ආදාහන කටුතු
සංවිධානය කරන්න. “
“රාජ්‍ය සම්ප්‍රදායට අනුව දුටුගැමුණු කුමාරයා සොයා ගැනීමේ වගකීම පැවරී ඇත්තේ
අමාත්‍ය මණ්ඩලයටයි. දාව ආචාර්යතුමා පැමිණි විගස අනික් අය සමග කතාබහට පෙර අප හමුවිය
යුතු බව පවසන්න.”
වේළුසුමන මාහිමිපාණන් වහන්සේට වැඳ අවසර ගෙන නික්මුණේය. සිය අසු පිටට නැගී වේගයෙන්
අසු ධාවනය කරන දෙස බලා සිටි උන්වහන්සේලා වේළුසුමන සිදුකරන අප්‍රකට සේවය ගැන
ප්‍රසාදයෙන් යුතුව කතා කළහ.
එළැඹෙන පසළොස්වක පුන් පොහෝ දින පුසුල්පිටිය රජ මහා විහාරයේ මහා පිංකම කොටගේපිටිය
ගම්මානයේ තරුණ ගොවි නායක වූ හිද්දලයා විසින් භාරගෙන ඇති බව කොත්මලේ ප්‍රදේශය පුරා
ප්‍රචාරය විය. මේ නිසා එදිනට පෙහෙවස් සමාදන් වීම සඳහා අවට ගම්මානවලින් උපාසක
උපාසිකාවන්ගේ තිස් දහසකට අධික ප්‍රමාණයක් පැමිණෙන බව ආරංචි වී තිබිණි. සියලු පිරිසට
දානය පිරිනැමීම භාරගෙන තිබුණේ ඌරුපැලැස්සේ ගම ගෙදර විසින්ය.
මෙදින ධර්ම දේශනය උසස්ම අයුරින් සිදුකිරීමට හිද්දලයා බලාපොරොත්තු විය. ඒ අනුව
පුසුල්පිටිය විහාරාධිපතින් වහන්සේගේ ආරාධනාව අනුව චිත්තගුත්ත මහතෙරුන් වහන්සේ වැඩම
කරවීමට කැමති වීම ගැන සියල්ලෝම සතුටට පත්වුහ. එදිනට දෙදහසකට වඩා වැඩි මහා සංඝරත්නය
වැඩම කරන බව ඌරුපැලැස්සේ ගම ගෙදරට දන්වනු ලැබුහ. ඒ ගිලනප්ස දහවල් දානය, පිරිකර ආදිය
කල්වේලා ඇතිව සුදානම් කරගත යුතු බැවිණි.
පින්කමේ ප්‍රධාන දායකයා හිද්දලයා වුවද මුළු ගම්මානයම පින්කමේ කොටස්කරුවන් කරගැනීමට
ඌරුපැලැස්සේ ගමරාලට වුවමනා විය. මේ හැම දෙයකටම පෙර හිද්දලයාගේ උපදෙස් ලබාගැනීම
අවශ්‍යය. එහෙත් මේ සම්බන්ධව ඔහුගේ එතරම් උනන්දුවක් නොපෙනෙන විට ගමරාළ කලබලයට
පත්විය.
ගම හාමිනේ මේක බරපතළ වැඩක්. මේ වගේ විශාල පින්කමක් අහල ගම් හතකවත් කෙරිලා නැතිලු.
මේ පින්කමට මහා සංඝයා වහන්සේලා දෙදහසක් පෙහෙවස් සමාදන් වන උපාසක උපාසිකාවන්
තුන්දහසක් ඊට අමතරව පිංකම බලන්න ඈත ගම්වලින් එන පිරිස ඇතුළු සැමටම සංග්‍රහ කරන්නට
ඕනෑ. මේ හැම කටයුත්තක්ම අඩුවක් පාඩුවක් නැතිව මට කෙරෙන්නට ඕනෑ.”
“සංඝයා වහන්සේලාගේ දානාදිය වෙනම පිරිසකට පවරන්න. හිද්දලයා ගමේ තරුණ ගොවි නායකයා
ලෙසට පළමු වරට කරන මේ වැඩේ අපි උපරිමයෙන් කරමු. දානෙට අවශ්‍ය දේවල් සියල්ල රැස්කර
ගන්නට ගම හාමිනේට පුළුවන්. ගමේ අයත් අවසර ඉල්ලනවා දානෙට කෑම, බීම, පිරිකර ගෙන
එන්නට. ඒ අයටත් ඉඩක් දෙන්නට ඕනෑ. හැමෝම සම්බන්ධ කරගෙන කරන පිංකම්වල ආනිසංස වැඩියි.”
ගමරාලගේ උනන්දුව ගැන හාමිනේ සතුටට පත්වූවාය. දුවයි බෑනයි දෙදෙනාත් පිංකමට උනන්දු
කරවන්නට ඕනෑයි ඇයට සිතිනි.
“දැන් දැන් හිද්දලයාට ගමන් බිමන් වැඩියි. හිටි ගමන්ම දින දෙක තුන අතුරුදහන් වී
සිටියි. යහළු පිරිසත් වැඩියි. නිතර බර කල්පනාවට වැටෙයි. මේ පළාතේ අස්වැන්න නෙළන්නේ
දුටුගැමුණු කුමාරයාගේ යුද්ධෙට දෙන්නලු. මේ පළාතේ තරුණයෝ සෑහෙන ප්‍රමාණයක් ගිරි නුවර
යුද කඳවුරට සම්බන්ධ වෙලා. හිද්දලයා ඔවුන්ට කඩු හරඹ පුහුණු කරනවාලු.”
“අපේ හිද්දලයාට යුද්ධයට යන්න හිතිලද දන් නැහැ. අනේ එහෙමනම් වෙන්න එපා. ඒ කොලුවා මේ
ගමට මොන වාසනාවක්ද?”
“ඒ කොලුවාට මොන යුද්ධයක්ද ? මේ මහපොළවත් එක්ක කරන යුද්දෙ හොඳටම ඇති. පුරන් වැටුණු
කුඹුරු යායක් අස්වැද්දුවේ කවුද ? හිද්දලයා ඇත ගැසු කිසි වැඩක් වැරදුනේ නැහැ.”
ඒ ඇසූ ගමරාල සහ ගම මහගේ සිනාසුණහ. ඒ ඔවුන්ගේ සතුටය.
පසුදා උදෑසනම හිද්දලයා කුඹුරට ගියේය. ඔහු යන්නට කලින් රන් මැණිකාට මෙසේ කිවේය.
“අද කුඹුරේ වැඩි වැඩක් නැහැ. මම දහවල් මොණරාගලට යනවා. දහවල් බත කුඹුරට ගේන්න. ඉර
බහින්න කලින් මම ආපසු එනවා.”
කුඹුරට ගොස් වතුර බැඳ හිද්දලයා ගියේ මොණරාගලටය. එහි යන විට අසුන් පිට හිඳගත්
තරුණයන් සතර දෙනෙකු කඩූ හරඹයක යෙදෙනු දුටු හිද්දලයාගේ සිතෙහි සතුටක් ඇතිවිය.
“කඩු ශිල්පයේ දක්ෂකම් පෙන්වන අය ළඟදීම කඳවුරට එක්කරගෙන යනවා. ඒ අය ඇතුන් අසුන් පිටේ
කඩු හරඹ පුරුදු වීමටත් අවශ්‍යයි. “
“කොච්චර හොඳද ? අපි ළඟදීම යුද කඳවුරට එන්නම්.”
“අපට අශ්ව ශිල්පය කියාදෙන වේළුසුමන යෝධයා හිද්දලයා ගැන ඇහුවා. ඔබව සොයන්නට
ඌරුපැලැස්සටත් ගිහින්. ඔබට හදිසි පණිවිඩයක් දෙන්නට විය හැකි එහෙම සෙව්වේ.”
“මම පසුගිය දවස් වල දුර ගමනක් ගිහින් හිටියේ. දවස් තුනක් ගෙදර හිටියේ නැහැ. ආයෙත්
සෙව්වොත් කියන්න මම රන්තලාව කුඹුරේ සිටිනා බව. කඩු හරඹය බොහෝම ප්‍රවේසමෙන් පුහුණු
වන්නට ඕනේ. මම නැවත මෙහි එන්නේ පෝයදාට පසුවදායි. එහෙනම් මම යනවා.”
හිද්දලයා ආපසු එන ගමන් කල්පනාවට වැටුනේය. ඔහුගේ සිතට මහත් අසහනයක් දැනෙන්නට විය.
වේළුසුමන මා සොයාගෙන ඌරුපැලැස්සට ගියේ ඇයි ? කුමක්ද මේ හදිස්සිය ?”
“මෑණියන්ගේ හදිසි පණිවුඩයක්ද ? පියාණන් තරමක අසනීප තත්වයෙන් පසුවන බව වේළුසුමන
පැවසුවා මතකයි. පියාණන්ගේ අසනීපය වැඩිවෙලාද ?” තමන් තුළ ඇති අසහනයට හේතුව කුමාරයාට
සිතාගත නොහැකි විය. සුසුල්පිටිය රජමහා විහාරයේ පිංකම අවසන් වූ විගස ගිරි නුවරට ගොස්
දාව ආචාර්යතුමා හමුවී ඔහුත් සමග මාගම යා යුතු බව කුමාරයා තීරණය කළේ ය.
අයන්ති විතාන |