Print this Article


ඔබ සැබෑ උපාසකයෙක් ද?

ඔබ සැබෑ උපාසකයෙක් ද?

" සැබෑ උපාසකයා සිල්වත් බවින් යුක්ත ය. එනම් එම සීලය අරියකාන්ත සීලයක් බවට පත්කොට රැකීම පිණිස ඔහු කැප වේ. නොකඩවා දිවි ඇතිතෙක් එකදිගට රකින සීලය මෙනමින් හැඳින්වේ."

‘උපාසක‘ යන්නෙහි වචනාර්ථය ‘ළඟ හෝ සමීපයේ හිඳීන්නා‘ යන්නයි. සමීප වනුයේ ධර්මයටයි. ඒ අනුව ධර්මයෙහි හැසිරෙන පුද්ගලයා උපාසක හෝ උපාසිකා යන්නෙන් දැක්වේ.

පන්සලකට පැමිණෙන ඕනෑම පුද්ගලයකු උපාසකත්වය ලබන්නේ ද? බෞද්ධයකු වනුයේ උප්පැන්න සහතිකයට අනුව ද? යන ප්‍රශ්නයන්ට ‘නැත‘ යන්න පොදු පිළිතුරයි. තවද, උපාසකත්වය ලැබීම හා බෞද්ධයකු වීම යනු දෙකක් නොව එකක් ම වනබව මෙන්ම එය ධර්මයට අනුව ජීවත් වීමෙන් පමණක්ම ලැබිය හැකි බව ද මූලිකව ම දැක්විය යුතු ය.ප

බුදුන් වහන්සේ ජීවමාන අවධියේ දී ම උපාසකත්වය ඉල්ලා සිටි බොහෝ දෙනෙක් වූහ. මහාවග්ග පාලියට අනුව සත්සතියෙන් අනතුරුව බුදුන් සමීපයට පැමිණි තපස්සු හා භල්ලුක යන වෙළෙඳ දෙබෑයෝ බුදුරදුන්ට විළඳ හා මී පැණි පූජාකොට බුදුන් වහන්සේ සහ ධර්මය පමණක් සරණ ගොස් ශාසනයේ ප්‍රථම ද්වේවාචික උපාසකයන් බවට පත්වූහ.

තම පුත්‍රයා වූ යස නිවසෙහි නොසිටිනා බව දැනගත් පියා ඔහු සොයමින් යන අතරතුර ඔහු බුදුන් සමීපයෙහි පැවිදි වූ බව දැන ගත්තේ ය. යසකුල පුත්‍රයා පැවිදි ව රහත් බවට පත් වූ අයුරු දැක්වූ බුදුහිමියෝ ඔහුට චතුරාර්ය සත්‍ය දේශනාව ඇසුරෙන් ධර්මය දෙසූහ.

”භගවන්තං සරණං ගච්ඡාමි, ධම්මං ච භික්ඛු සංඝංච, උපාසකං මං භන්තේ ධාරෙතු” වශයෙන් පැවසූ හෙතෙම ශාසනයේ තෙරුවන් සරණ ගිය ප්‍රථම උපාසකයා බවට පත්විය.

නිගණ්ඨනාථපුත්තගේ මෙහෙයවීමෙන් බුදුරජාණන් වහන්සේ සමග වාදකොට පරාජය කිරීමේ අරමුණින් පැමිණි අභයරාජ කුමාරයා වාදයෙන් පැරදී ධර්මය අසා උපාසකයකු බවට පත්විය.

අජාසත්ත රජතුමා සැබෑ උපාසකයකු බවට පත්වූයේ සාමඤ්ඤඵල සූත්‍ර දේශනාවෙන් අනතුරුව වේ. කොතරම් වෙහෙර විහාරස්ථාන ඇසුරුකළ ද ධර්මය පිළිපැදීමකින් තොරව ලැබිය හැකි උපාසකත්වයක් නොමැති බවට එය කදිම නිදසුනකි.

සීහසේනාපති සූත්‍රයෙහි දැක්වෙනුයේ නිගණ්ඨනාථපුත්‍රගේ අග්‍ර ශ්‍රාවකයකු වූ සීහසේනාපතිතුමා බුදුන් වහන්සේගෙන් ධර්මය අසා තමාට ශාසනයෙහි උපාසකත්වය ලබාදෙන මෙන් තෙවරක් ඉල්ලාසිටි ආකාරයයි.

එහිදී බුදුරජාණන් වහන්සේ ඔහුට උපාසකත්වය ලබාදුන් අතර නිගණ්ඨනාථපුත්තගේ ශ්‍රාවකයකු ලෙස සිටිමින් ම කටයුතු කරන ලෙස දැක්වූහ. ‘ බෞද්ධ‘ යන්න හුදු ලේබලයක් පමණක් බවත් ධර්මය අනුව ජීවිතය සකසා ගනිමින් උපාසකත්වයට පත් වූ විට සැබෑවට ම බෞද්ධයකු වන බවත් මින් තහවුරු වේ.

අංගුත්තර නිකායේ මහානාම සූත්‍රයට අනුව ‘තෙරුවන් සරණ යන්නා‘ උපාසකයකු බව දක්වයි.

අවබෝධයෙන් යුක්තව තෙරුවන් සරණ ගොස්, උපාසකයකු බවට පත්වන පුද්ගලයකුගේ මූලිකම ලක්ෂණය පංචශීලය ආරක්ෂා කිරීම තුළින් සිල්වතකු බවට පත්වීම බව මහානාම සූත්‍රයෙහි ම දැක්වේ.

අංගුත්තර නිකායෙහි වණිජ්ජා සූත්‍රයට අනුව උපාසකයකු විසින් සිදු නොකරනු ලබන වෙළෙඳාම් පහකි. එනම් ආයුධ වෙළෙඳාම,විෂ වෙළෙඳාම, සත්ව වෙළෙඳාම, මාංශ වෙළෙඳාම හා මත්පැන් වෙළෙඳාම යන පහයි.

අංගුත්තර නිකායාගත උපාසක චණ්ඩාල සූත්‍රය තුළ උපාසකයකු හා උපාසකයකු නොවන පුද්ගලයන් පිළිබඳ ලක්ෂණ වෙන වෙනම දක්වා ඇත.

ඒ අනුව සැබෑ උපාසකයා ආකාරවතී ශ්‍රද්ධාවෙන් යුක්ත වන අතර චණ්ඩාල උපාසකයා (සැබෑ උපාසකයකු නොවන්නා) අමූලිකා ශ්‍රද්ධාවෙන් කටයුතු කරයි.

බොහෝ මිනිස්සු ශ්‍රද්ධාව පදනම් කොට ගන්නේ පුද්ගලයන් අනුව ය. උදාහරණයක් ලෙස පුද්ගලයකු විසින් එක්තරා පන්සලක හිමි නමක් සමඟ දැඩිව සහයෝගයෙන් ඇසුරුකොට උන්වහන්සේගේ අඩුපාඩුවක් දැක කළකිරීමක් ඇතිවුවහොත් එදායින් පසු කිසිදා පන්සලකට නොයන, භික්ෂූන් වහන්සේලා දුටු තැන අවමන් කරන හෝ ගරු නොකරන එහෙත් බෞද්ධයකු වශයෙන් පෙනී සිටින අවස්ථා සමාජයේ සුලභ ය.

ඔවුන් බුදුරජාණන් වහන්සේට අනුව සැබෑ උපාසකයෝ නොවෙති. අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය පුද්ගලයකුගේ ශ්‍රද්ධාවේ පදනම පුද්ගලයන් මත නොයැපේ. යම් වරදක් දුටුවහොත් පුද්ගලයකු කෙරෙහි අපැහැදීම් ඇතිවුවත් සමස්තය කෙරෙහි අපැහැදීමක් ඇතිවන්නේ නම් එය සැබැවින්ම එක ජල බිඳක අපිරිසුදුතාවය ඔස්සේ සමස්ත මුහුදටම බැන වදින්නාක් මෙන් අනර්ථ ය.

එකී ශ්‍රද්ධාව පුද්ගලයන් මත නොයැපෙන එහෙත් නිවැරැදි අවබෝධයෙන් ඇති කර ගත්තක් වූ කල එය තමාගේ මෙලොව හා පරලොව සුභසිද්ධිය පිණිස ම වන්නේ ය.

සැබෑ උපාසකයා සිල්වත් බවින් යුක්ත ය. එනම් එම සීලය ආරියකාන්ත සීලයක් බවට පත්කොට රැකීම පිණිස ඔහු කැප වේ. නොකඩවා දිවි ඇතිතෙක් එකදිගට රකින සීලය මෙනමින් හැඳින්වේ. කෙසේ වුවද, ආයති සංවරය එනම් තමා අතින් සිදුවන වැරැදි නිවැරැදි කර ගැනීම උදෙසා හික්මීම,අධිෂ්ඨානශීලී වීම හා නිවැරැදිකරගැනීමෙන් යුක්තව සිල් ආරක්ෂා කර ගනිමින් වාසය කිරීම සැබෑ උපාසකයකු සතු ලක්ෂණයකි. එහෙත් සැබෑ උපාසකයකු නොවන්නා එසේ සිල් නොරකී.

සැබෑ උපාසකයා දිට්ඨ, සුත හා මුත යන මංගල කරුණු පාදක කොටගෙන ජීවත් නොවේ. එකී කරුණු තුන මෙසේ විමසිය හැකි ය.

දකින දෙය

ගෙදරින් එළියට එනවිට ඇතැම් සතුන් දැකීම සුබයැයි කල්පනා කිරීම, ඇතැම් සතුන් හෝ වස්තූන් හෝ පුද්ගලයන් දැකීම අයහපත් යැයි ආදී වශයෙන් දකින දේ තුළ කටයුත්තක ශුභාශුභ තීරණය කිරීම.

අසන දෙය

හූනන් ආදී සතුන්ගේ හඬ ඇසීම අසුභ යැයි සිතීම කටයුත්තක් ඇරඹීමේ දී මගුල් බෙර හඩ ඇසීම ඇතැම් සතුන්ගේ හඬ ඇසීම සුබ යැයි ආදී වශයෙන් හඩ අනුව කටයුත්තක සුබ අසුබ තීරණය කිරීම.

ස්පර්ශ වන දෙය

උදෑසනට විවිධ මල්වල සුවඳ ආඝ්‍රාණය කිරීම, කිරිදෙනුන් අතගෑම ආදී දේ තුළ කටයුත්තක් සුබ යැයි සම්මත කිරීම,රෙදිවැල් යටින් යෑම් හා විව්ධ දෑ ස්පර්ශ වීම අසුභ යැයි සිතීම් ආදී වශයෙන් ස්පර්ශය අනුව කටයුත්තක සුබ අසුබ තීරණය කිරීම.

ඒ අනුව සැබෑ උපාසකයකු නොවන්නා මෙවැනි කරුණු මත යැපෙමින් කර්මය හා කර්ම ඵලය පිළිබඳව විශ්වාසය නොතබමින් ජීවත් වේ. සැබෑ උපාසකයා එවැනි මිථ්‍යා මත ප්‍රතික්ෂේප කරමින් යතාර්ථවාදී ව ජීවිතය දකිමින් ජිවත් වේ.

දක්ෂිණාව යන්නෙහි අදහස නම් තව කෙනකුට පින් දීමේ අරමුණින් යමක් පිදීමයි. සංඝ රත්නයේ ගුණයන් තුළ දක්ඛිණෙය්‍ය යන ගුණය ද ඇතුළත් කොට ඇත්තේ එසේ කෙනකුට පින් පැමිණවීමට දෙනු ලබන දානයක් පිළිගැනීමට සංඝයා සුදුසු බව දැක්වීමටයි. සැබෑ උපාසකයා මේ ශාසනය තුළම එවැනි උතුම් පුද්ගලයන් සොයන අතර, සැබෑ උපාසකයකු නොවන්නා ඒ සඳහා වෙනත් ශාසනයන් හෝ පුද්ගලයන් ද සොයයි. එනම් සැබෑ උපාසකයා කිසිවිටෙක යාගහෝම හෝ මිථ්‍යා දෘෂ්ටික ක්‍රමයන් සෙවීම නොකරයි.

එසේම සැබෑ උපාසකයා මිථ්‍යාදෘෂ්ටික ක්‍රම තුළ දන් නොදෙයි. හේ සැබෑවටම බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි දන්දීම් කරයි. දේවාල පසුපස ගොස් දෙවියන් නොයදී. සැබෑ උපාසකයා ”නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ,ධම්මෝ,සංඝෝ මේ සරණං වරං” යැයි පවසමින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම තෙරුවන් සරණ ගොස් ඒ තුළ කුසල් වඩා නිවන් අවබෝධය කෙරෙහි කැප වේ.

අංගුත්තර නිකායාගත උපාසක පරිහානිය සූත්‍රය තුළ ද උපාසකයකුගේ පිරිහීමට හේතුවන කාරණා හතක් පිළිබඳව දක්වා තිබේ. භික්ෂූන් වහන්සේලා දැකීමට අප්‍රිය කිරීම, දහම් ඇසීම පමා කිරීම, උසස් සීලයක් රැකීමට අකමැති වීම, භික්ෂූන් කෙරෙහි අප්‍රසාදය දැක්වීම ආදිය උක්තව දැක්වූ උපාසක චණ්ඩාල සූත්‍රයෙහි කරුණුවලට අමතරව දැක්විය හැකිය.

උපාසකත්වය ස්ත්‍රී හා පුරුෂ දෙපාර්ශවය කෙරෙහි ම පොදු වූවක් බැවින් පෙර දැක්වූ සියලු කරුණු උපාසිකාවන් කෙරෙහි ද එලෙසම පවතින බව කිවයුතු ය.