Print this Article


රයිගම්පුර ඉතිහාසයේ මං සලකුණු පවසන කොතලාවල රාජ මහා විහාරය

 රයිගම්පුර ඉතිහාසයේ මං සලකුණු පවසන කොතලාවල රාජ මහා විහාරය

" වීදාගම මාහිමියන්ගේ අනුග්‍රහයෙන් ළමා කල රැකවරණ ලැබූ සයවැනි පැරකුම්බා නිරිඳුන් වර්ෂ 1412දී ඔටුනු පළඳන ලද්දේ රයිගම දී ය. වර්ෂ 1415 දී කෝට්ටේ රාජධානිය පිහිටුවන තෙක් රටේ රාජධානිය වශයෙන් රයිගම පැවතුණි."

ගම්පොළ සහ කෝට්ටේ යුගවල දී පරිපාලනමය සහ ආර්ථික වශයෙන් සුවිශාල වැදගත්කමක් දැක්වූ රයිගම් පුරවරයෙහි පිහිටි පෞරාණික විහාරස්ථානයක් වශයෙන් සැලකෙන කොතලාවල රාජමහා විහාරය කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම හොරණ මහා මාර්ගයේ පිහිටා ඇත.

පානදුර සහ කළුතර තොටමුණුවලට ආශ්‍රිතව පිහිටා තිබීම නිසා වැදගත් වානිජ්‍යමය වටිනාකමක් රයිගමට ලැබුණු බව නොරහසකි. ගම්පොළ යුගයේ ප්‍රභූරාජ හෙවත් මහාමාත්‍ය පදවිය හොබවන ලද අලගක්කෝනාර හෙවත් අලකේශ්වර සෙන්පති පරපුරේ පාරම්පරික නිජබිම ලෙස හඳුනා ගන්නේ රයිගමයි.

උතුරේ ආර්යචක්‍රවර්තී නම් පාලකයාගේ ආක්‍රමණ හමුවේ ගම්පොළ තුන්වන වික්‍රමබාහු රජු ආරක්ෂාව පිණිස පසුබැස පැමිණියේ රයිගමට වීම නිසා මෙහි ආරක්ෂාව ඉහළ මට්ටමක පැවතුණැයි අනුමාන කළ හැකි ය.

සිංහල සාහිත්‍යයේ ප්‍රගමනය උදෙසා අනුපමේය දායකත්වයක් ලබාදුන් වීදාගම මහා මෛත්‍රෙය මාහිමියන් වහන්සේ වැඩසිටි වීදාගම ඝනානන්ද පිරුවන පිහිටියේ ද මීට නුදුරිනි.

වීදාගම මාහිමියන්ගේ අනුග්‍රහයෙන් ළමා කල රැකවරණ ලැබූ සයවැනි පැරකුම්බා නිරිඳුන් වර්ෂ 1412දී ඔටුනු පළඳන ලද්දේ රයිගම දී ය. වර්ෂ 1415 දී කෝට්ටේ රාජධානිය පිහිටුවන තෙක් රටේ රාජධානිය වශයෙන් රයිගම පැවතුණි. මින් සියවසක් ඇවෑමෙන් විජයබා කොල්ලයෙන් පසු කෝට්ටේ රාජධානිය කොටස් තුනකට බෙදී ගිය පසු ඉන් එක් කොටසක් වූයේ රයිගම් බණ්ඩාර කුමරු පාලනය කළ රයිගම රාජ්‍යයයි.

රයිගම් බණ්ඩාර කුමරුගෙන් පසු සීතාවක රාජධානියට එක් වූ වකවානුවේ සීතාවක රාජසිංහ රජු සමඟ එක්ව සටන්වලට සහභාගී වූ රයිගම පෙරුම්පුල්ලි නම් අමාත්‍යවරයකු පිළිබඳ සීතාවක හටනේ සඳහන් වෙයි.

රයිගම නගර සීමාවේ පිහිටි කොතලාවල රාජමහා විහාරය ද එම ඉතිහාසයේ කියැවෙන යුගයට අයත් විහාරස්ථානයක් යනු පිළිගැනීමයි. සංඝයා වහන්සේලා වාසය කළ යන අරුතින් ගනේවත්ත විහාරය ලෙස ද හඳුන්වා ඇත. නම්පොතේ සොරණ, විසිදාගම, කොතලාවල, රඹුක්කන, පානදුර දේවාලය...... ආදී වශයෙන් කියවෙන පරිදි කොතලාවල විහාරය නම් මෙම පුදබිමයි.

සියවස් ගණනාවක් පැරණි නා ගස් දෙකක් මින් කලකට පෙර විනාශයට පත් වූ බව කියැවේ.


විහාරාධිපති
කොතලාවල විමල මාහිමි

ගමෙහි පිහිටි වැව කොතලයක හැඩයක් ගත් නිසා කොතල වැව වූ බවත්, කොතලවැව පිහිටි ග්‍රාමය යන අරුතින් කොතලාවල ග්‍රාම නාමය ලැබුණු බවත් ජනප්‍රවාදයේ එයි. රයිගමට නුදුරු වෙහෙරකැටියෙහි තැන වූ දාගැබක කොත් පැළඳ වූ දිනයේ ම සොරුන් විසින් ගලවා ගෙන ගිය බවත්, මෙසේ කිහිප විටක් සිදු වීමේදී රජ අණින් එක් නිර්භීත පුද්ගලයකු ඉදිරිපත්ව සොරුන් අල්ලා ගත් කල ප්‍රසාදයට පත් රජතුමා කොත ලෑ වල යනුවෙන් නම් කොට මේ ප්‍රදේශය නින්දගමක් වශයෙන් පිරිනැමූ පුවතක් ද ජනප්‍රවාදයේ කියැවෙයි.

මහනුවර යුගයේ අවසාන භාගය වන විට ගොඩගෙදර ගුණරතන සිල්වතුන් වහන්සේ ද තත්ශිෂ්‍ය කරගහමුණේ ආනන්ද හිමියන් ද මෙහි වැඩ සිටි බව සඳහන් වෙයි. වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍ය වූ ගිනිගත්පිටියේ සංඝරක්ඛිත නාහිමියන්ගේ ශිෂ්‍ය වූ මදුරාවල ධම්මදින්න මාහිමියන්ගේ ශිෂ්‍යවරයකු වූ නාරංගස්පිටියේ සුදස්සි මාහිමියන් වහන්සේ මීට නුදුරු පතහවත්ත විහාරයට වැඩම කිරීමෙන් පසු කොතලාවල දායක පිරිසගේ අයැදුම පරිදි කොතලාවල විහාරයට ද වැඩම කරවා ශාසනික සංග්‍රහය ආරම්භ කරවීය.

නාරංගස්දෙණියේ සුදස්සි මාහිමියන්ගේ ශිෂ්‍ය වූ කොතලාවල රාජමහා විහාරාධිපති රයිගම සුමංගල මාහිමියන් වහන්සේ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් සෙවණේ ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණ කටයුතු සිදු කොට සම්භාවනීයත්වයට පත්වූහ.

විවිධ බාධක හමුවේ මහත් වෙහෙසක් ගනිමින් විහාරස්ථානය ආරක්ෂා කිරීමට රයිගම සුමංගල හිමියන් දක්වන ලද දායකත්වය සුවිශාල ය. ඉන් පසු රයිගම සංඝානන්ද මාහිමි, දීයකඩුවේ ධම්මානන්ද නාහිමිවරුන්ගෙන් පසු වර්තමානයේ දී ශාස්ත්‍රවේදී කොතලාවල විමල මාහිමියෝ විහාරාධිපති පදවිය හොබවති.

විහාරස්ථානයේ වෙහෙර වහන්සේ වර්ෂ 1922 ආරම්භ කොට 1944 වර්ෂයේ කොත් පළඳවා ඇත. මුලින් මෙහි පැවති පෞරාණික බෝධීන් වහන්සේගේ අංකුරයකින් හටගත් බෝධීන් වහන්සේ නමක් වර්තමානයේ විහාර බිමෙහි සැදැහැවතුන්ගේ වන්දනාවට පත් වෙයි.

දෙදහස් පන්සියය වන සම්බුද්ධ ජයන්ති සැමරුම් සිහිවටනයක් වශයෙන් විහාර මන්දිරය ඉදි කොට ඇත. විහාරස්ථ සීමා මන්දිරය 2019 වර්ෂයේ ඉදි කරවා ඇත.

පුරාණ රයිගම් රාජධානියේ උරුමය තහවුරු කරන, සම්භාවනීය පතහවත්ත සඟ පරපුරට අයත් පුදබිමක් ලෙස කොතලාවල රාජමහා විහාරය හඳුන්වා දිය හැකි ය.