Print this Article


ධර්ම විනය පිළිබඳ ගැටලු තිබේ නම් සුදුසුම දේ සංගායනාවක් පැවැත්වීමයි

ධර්ම විනය පිළිබඳ ගැටලු තිබේ නම් සුදුසුම දේ සංගායනාවක් පැවැත්වීමයි

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධූරන්ධර අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

අග්‍රගණ්‍ය පාණ්ඩිත්‍යයකින් පිරිපුන් සුපේශල ශික්ෂාකාමී යතිවරයාණන් වහන්සේ නමක් වශයෙන් වැඩසිටින ඔබ වහන්සේ ශාසන දායාදය ලබා ගත් ආකාරය සිහිපත් කරමින් ම සාකච්ඡාවට ප්‍රවේශ වෙමු නායක හාමුදුරුවනේ,

කළුතර දිස්ති‍්‍රක්කයේ බේරුවල මැතිවරණ කොට්ඨාශයට අයත්වන කොටපිටිය ග්‍රාමයේ ජීවත් වූ චාර්ලිස් වීරසේකර පියතුමන් සහ ඇල්පිනෝනා වීරසේකර යන සදාදරණීය මව්පිය දෙපළ ගේ පුත්‍ර රත්නයක් වශයෙන් 1961 ජූලි 10 වෙනි දින ජන්ම දායාදය ලැබුවා. මා ඇතුළු සහෝදර සහෝදරියන් පස් දෙනෙක් සිටි බවත් සිහිපත් කළ යුතුයි. එවකට නාකන්දලගොඩ මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවා. සැදැහැවත් මව්පිය දෙපළගේ ආශිර්වාදය ඇතිව කොටපිටිය සුධර්මාරාමාධිපති ව වඩ සිටි බදුරලියේ රතනසාර නා හිමිපාණන් වහන්සේගේ හා රාජකීය පණ්ඩිත මගුරේ ඤාණිස්සර මා හිමියන්ගේ ආචාර්යත්වයෙන් මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙන්පති මොල්ලිගොඩ ශී‍්‍ර අරියවංශ මහානායක මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් සංසාරගත පුණ්‍ය ශක්තියට අනුව 1975 වර්ෂයේ ජනවාරි 03 වෙනි දින උත්තරීතර ප්‍රවජ්‍යාභාවය ලබා ගැනීමට භාග්‍යවන්ත වුණා.

අනතුරුව මතුගම වලගෙදර ශී‍්‍ර නිවාස පිරිවෙන,මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහපිරිවෙන යන පරිවේණාස්ථානයන් තුළින් සිංහල,පාලි,සංස්කෘත භාෂා ආදිය මෙන්ම මූලික බෞද්ධ අධ්‍යාපනය ලැබුවා . අග්‍රගණ්‍ය පඬිරුවනක් වුණ ලබුගම ලංකානන්ද මහා නාහිමි,මහාචාර්ය උඩුවේ ජනානන්ද මාහිමි, මහාචාර්ය වල්පොල රාහුල නා හිමි වැනි ශ්‍රේෂ්ඨ සංඝ නේතෘන් වහන්සේලාගේ පා සෙවණේ ගුරුහරුකම් ලබන්නට තරම් භාග්‍යවන්ත වූ බවත් මේ අවස්ථාවේදී කෘතවේදී ව සිහිපත් කළ යුතුයි. නිසි වයස් සම්පූර්ණ වූ විට 1981 වර්ෂයේ ජූනි 09 වෙනි දින කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝෂථාගාරයේදී ලබුගම ලංකානන්ද මා හිමියන්ගේත්,මගුරේ ඤාණිස්සර මාහිමියන්ගේත් ආචාර්යත්වයෙන් උතුම් උපසම්පදා භූමියට පත්වුණා.

ශාස්තී‍්‍රය ශික්ෂණයෙන් ජාත්‍යන්තර වශයෙන් පවා සම්භාවනාවට පාත්‍ර වූ ඔබ වහන්සේ කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධූරය දක්වා ආ පියවර පිළිබඳ අතීතාවර්ජනයක යෙදෙනවා නම්,

මූලික අධ්‍යාපනයෙන් අනතුරුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හා ශාස්ත්‍රපති උපාධිය ලැබුවා. අනතුරුව එම විශ්ව විද්‍යාලයේදීත්,එංගලන්තයේ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ආසියානු හා අපි‍්‍රකානු අධ්‍යයන පීඨයේදීත් ආචාර්ය උපාධිය ලබා ගැනීමට අවශ්‍ය පර්යේෂණ කටයුතුවල නිරත වුණා. අනතුරුව ආචාර්ය උපාධිය ලබා ගත්තා. ශී‍්‍ර ලංකා ප්‍රාචීණ භාෂෝපකාර සංගමය විසින් පිරිනමනු ලැබූ රාජකීය පණ්ඩිත ගෞරව උපාධියෙන් හා බුරුම රජය මගින් පිරිනැමූ අග්ගමහාපණ්ඩිත උපාධියෙන් ද පිදුම් ලැබුවා. 1986 වර්ෂයේ සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය ධූරය ලැබ කටයුතු කළා.

1988 වර්ෂයේ දී රුහුණු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකු වශයෙන් කටයුතු කළා. 1991 වර්ෂයේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ස්ථිර කථිකාචාර්යවරයකු ලෙස පත්ව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙසත් පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ අංශාධිපති වශයෙනුත් කටයුතු කළා. 2010 වර්ෂයේ සිට එම අධ්‍යයනාංශයෙහි ම මහාචාර්ය ධූරයට පත්වුණා. ධර්ම ශාස්ත්‍රොද්ග්‍රහණය කළ ගිහි පැවිදි විශාල සිසු පිරිසක් දේශීයව හා විදේශීයව විශ්ව විද්‍යාල තුළත්, ශාස්තී‍්‍රය ආයතන තුළත් සකී‍්‍රයව කටයුතු කරන ආකාරය පිළිබඳව ඉතාමත් සතුටුයි.

ඒ වගේම වැඩිම විදේශීය සිසුන් පිරිසක් ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණය කරන කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ ප්‍රථම පැවිදි අධ්‍යක්ෂවරයා වශයෙන් එයට අනුබද්ධ ආයතන බිහි කරමින් වඩාත් පුළුල් කාර්යභාරයක් සිදුකළා. සිංගප්පූරුවේ Buddhist Library ආයතනයට අනුබද්ධ ආයතනයක් සාර්ථක ව පවත්වාගෙන යනවා. මහාචාර්ය ක්වාලාලම්පූර් ධම්මජෝති හිමියන්ගේ මූලිකත්වයෙන් හොංකොංවල නව බෞද්ධ විශ්ව විද්‍යාලය අනුබද්ධ ආයතනයක් ලෙස පිහිටුවීමට කටයුතු කළා . කොරියාවේ ඩොංගුක් විශ්ව විද්‍යාලය සමඟ අනුබද්ධ ආයතනයක් හා චීනයේ අනුබද්ධ ආයතන 2ක් පිහිටුවීමට මූලික කටයුතු කළා.

ඒ වගේම ශාස්තී‍්‍රය ලෝකයට ප්‍රදානය කළ කෘති වශයෙන් සද්දසාරත්ථජාලිනී සංස්කරණය,බෞද්ධ විනය අධ්‍යයනය,බුදුසමය හා පූජාචාරිත්‍ර,කම්මවාචා,පැවිදි උපසම්පදා වත,පාලි හා බෞද්ධ අධ්‍යයන ග්‍රන්ථ හා Symposium of Buddhist Studies,Pali and Buddhist Studies  ආදී කෘති ද සංස්කරණය කළා.ජාත්‍යන්තර පර්යේෂණ සැසිවාරවල දී ශාස්තී‍්‍රය දේශන සඳහා විශාල වශයෙන් සහභාගි වුණා.

දේශීය වශයෙන් ශී‍්‍ර ලංකා ප්‍රාචීන භාෂොපකාර සමාගමෙහි සංවත්සර මහා සභාවෙහි 2015 වර්ෂයේ මුඛ්‍ය දේශනය, ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයෙහි 10 වන වාර්ෂික බෞද්ධ අධ්‍යයන සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය,හා මහනුවර පල්ලෙකැලේ ශී‍්‍ර ලංකා ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන පීඨයෙහි දී 2015 වසරේ පවත්වන ලද ප්‍රධාන දේශන විශේෂයි.

ඒ වගේම ශාස්තී‍්‍රය කටයුතුවලට අමතරව 1998 වර්ෂයේදී කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණී සාමගී‍්‍ර ධර්මමහා සංඝ සභාවේ කර්මවාගාචාර්ය ,2006 වර්ෂයේදී උපසම්පදා ලේඛකාධිකාරී ,2011 වර්ෂයේ දී නියෝජ්‍ය ලේඛකාධිකාරී ,2013 වර්ෂයේ දී එම සංඝ සභාවෙහි ම ප්‍රධාන ලේඛකාධිකාරී හා 2014 වර්ෂයේ සිට කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ස්වාමීන් වහන්සේ වශයෙන් පැවරී තිබෙන ශාසනික, නෛතික, සාමාජික හා ජාතික කාර්යභාරයන් ශාසන මාමක ව ඉටුකරගෙන යනවා. සංඝ සභාවේ එකසිය පනස් වන වර්ෂය වෙනුවෙන් බෞද්ධ විනය අධ්‍යයන නමින් සංස්කරණය කළ කෘතිය විද්වත් ලෝකයේ වගේම බෞද්ධ ලෝකයේත් ප්‍රසිද්ධියට පත්වුණා.

වාද්දුව තල්පිටිය බෝධි රාජමහා විහාරස්ථානය සියලු විහාරාරාංගයන්ගෙන් හා ප්‍රාකාර තොරණාදියෙන් අලංකාරවත් ව සැදැහැවතුන්ගේ චිත්තප්‍රමෝදය ඇතිවන ආකාරයට නිර්මාණය කළා.

අපේ හාමුදුරුවනේ,නූතන ශාසනික ප්‍රවණතාවයන් පිළිබඳව අතිශය සංවේදී ලෙස බලන ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් යම් සමාලෝචනයක යෙදෙනවා නම් වටිනවා.

අපි දැන් ජීවත්වෙන්නේ 21 වෙනි ශත වර්ෂය තුළයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2564ක් ගෙවිල අවසන්. එම කාලය තුළ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකාලික ධර්මයක් ලෙස, සදාකල්හි ගැළපෙන දර්ශනයක් ලෙස මේ ලෝකයේ ආගම් අතර ඉහළින්ම වැජඹෙනවා. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. හැබැයි අප මීට අවුරුදු දෙදහස් පන්සියයකට පෙර සිටි සමාජයත්, වර්තමාන සමාජයත් ගත් විට ලොකු පරතරයක් තිබෙනවා. ඇතැම් කරුණු ඒ සමාජයට ගැළපුණ ද, වර්තමාන සමාජයට ගළපා ගැනීමට අපි උනන්දු විය යුතුයි.

උදාහරණයක් වශයෙන් භික්ෂූන් වහන්සේලා එකල ජීවත්වූ පරිසරයට වඩා විද්‍යාවෙන්, තාක්ෂණයෙන් සහ බොහෝ කරුණුවලින් වෙනස් වූ ඇතැම් විට භෞතික විද්‍යාවෙන් දියුණුවට පත්වූ ලෝකයකයි අපි ජීවත් වෙන්නේ. මේ ජීවත්වන ලෝකයට බුදු දහමේ තිබෙන දර්ශනය එකඟයි. හැබැයි අපේ සංස්කෘතිය පැත්ත සහ එහි සමාජමය වාතාවරණයට එය අපි නිවැරැදිව ගළපා ගත යුතුයි.

ධර්ම විනය පිළිබඳ අපිට ගැටලු ඇත්නම්, වඩාත් සුදුසුම දේ සංගායනාවක් පැවැත්වීමයි. භික්ෂූන් වහන්සේලාගේ යම් දුර්වලතා ඇත්නම්,විනය පිටකයටත් අනුකූලව එම දුර්වලතා මඟහැර ගැනීමට අවශ්‍ය කරන නූතන කථිකාවතක් භික්ෂූ සමාජයට අවශ්‍යයයි. උතුම් ති‍්‍රපිටකය ශී‍්‍ර ලංකාවේ මෙතෙක් අපි රැකගෙන ආ ඉහළම ආධ්‍යාත්මික වස්තුවයි. එනිසා ති‍්‍රපිටකය ආරක්ෂාකර ගැනීමත්,එය අනුගමනය කිරීමත්,තව බෝහෝ කල් නොවෙනස්ව පවත්වාගෙන යාම සඳහාත් අවශ්‍ය කරන ති‍්‍රපිටක සංරක්ෂණ පනතක් වැනි යම්කිසි වැඩපිළිවෙළක් අපිට අවශ්‍ය ම බව මා විශ්වාස කරනවා.