Print this Article


කෝවිඩ් වසංගත රෝගය හමුවේ බිඳවැටෙන කායික හා මානසික සෞඛ්‍යය රැක ගත යුතු හැටි

කෝවිඩ් වසංගත රෝගය හමුවේ බිඳවැටෙන කායික හා මානසික සෞඛ්‍යය රැක ගත යුතු හැටි

2019 වසර අග භාගයේ චීනයේ වුහාන් නගරයෙන් ව්‍යාප්ත වූ කොරෝනා වෛරස හෙවත් කොවිඩ් 19 වසංගතය 2021 ජුනි මස මුල් සතිය වන විට ලොව රටවල් 222 ක මිලියන 173 කට අධික ජනයා රෝගාතුර කොට ඉන් ලක්ෂ 37 කට අධික පිරිසක් මරුමුවට පත්කොට ඇත.

ලොව මෙතෙක් අත්දුටු දරුණුම වසංගතයක් වූ මෙය පාලනය කිරීමට දැනට යෝජිත ක්‍රම අතරින් ප්‍රතිශක්තිකරණ එන්නත් කිරීමත්, සංචරණ සීමා පැනවීමත් සාර්ථකම ක්‍රියාමාර්ග ලෙස හඳුනාගෙන ඇත.

මෙම සංචරණ සීමා කිරීම් හමුවේ ආර්ථික, සාමාජික, ආගමික හා දේශපාලනික අපහසුතා රැසකට මුහුණදීමට ලොව බොහෝ දෙනකුට සිදුව ඇති අතර, එය සමස්ත ලෝකවාසීන්ගේ කායික හා මානසික සෞඛ්‍යයට ඉතා දැඩි බලපෑමක් එල්ලකර තිබේ. බෞද්ධයකු ලෙස මේ තත්ත්වයට මුහුණදී ඒ කළමණාකරණය කරන්නේ කෙසේද යන්න මෙම ලිපියෙන් අපි විමසා බලමු.

මෙත් සිත හා කාරුණික බව

අප මෙතෙක් මෛත්‍රී භාවනාව ප්‍රගුණ කළෙමු. දැන් කාලය පැමිණ ඇත්තේ එම මෛත්‍රිය හා කරුණාව පෙරදැරිව අවදියෙන් කටයුතු කිරීමට ය. ඔබේ මුඛාවරණ පැළඳීම හා දෑත් නිතරම පිරිසුදු කිරීම සිදුකළ යුත්තේ පොලීසියට හා නීතියට බියෙන් නොව සියලු සත්වයින්ගේ ම යහපත වෙනුවෙන් බව නිතර සිහිපත් කරන්න.

ඔබ තරුණ වියේ පසුවන නිසා මෙම කොවිඩ් රෝගය ඔබට වැළඳුණ ද එය එතරම් දෙයක් නොවන බව සිතනවා නම්, ඔබ දෙවරක් සිතා බැලිය යුතු ය. මන්ද ඉන්දීය කොවිඩ් ප්‍රභේදය නිසා වැඩිපුරම මිය ගිය පිරිස වයස 18 - 40 අතර අය නිසාය . “මම මරණ ධර්මතාවය ඉක්මවූ කෙනෙක් නොවන බව ද මා නිසා වෙනත් කිසිවකුගේ ජීවිතයට උවදුරක් නොවේවා යන මෙත් සිතින් ද නිතර සිත අවදිමත් කොට, එදිනෙදා කටයුතුවල යෙදෙන්න. එසේ කටයුතු කිරීම ලොවට අභයදානය දීමකි. ප්‍රතිශක්තීකරණ එන්නත ලබා ඇති විට ද ඔබ එකී සෞඛ්‍ය පුරුදු අඛණ්ඩව කළ යුත්තේ, “තවමත් මම වාහකයකු වීමේ හැකියාව ඇති අයකු බව“ දයානුකම්පිත ව සිතමිනි.

ආතතිය මඟහරිමු

මෙබඳු තත්ත්වයන් තුළ මානසික පීඩා හා ආතතිය ඇති වීමට ඉඩකඩ බොහෝ ය. භය, අපේක්ෂා භංගත්වය හා අවිනිශ්චිතබව මින් නිසැකව ම ඇතිවන සෘණ හැඟීම් වේ. වසංගත තත්ත්වයන් නිසා සිදුවන සංචරණ සීමා කිරීම් හා ආර්ථික අවපාතයන් නිසාද, සාමාජික සබඳතා සීමාවීම නිසාද එබඳු හැඟීම් අපතුළ මෝදුවිය හැකි ය. එබඳු තත්ත්වයක් තුළ අප සුබවාදීව සිතිය යුතු කෙසේද?

සත්‍ය තත්ත්වය නම් මෙම තත්ත්වය මීටත් වඩා දරුණු විය හැකිව තිබූ බවයි. නමුත් ඔබේ පැරැණි යහපත් කර්මවලට ස්තූති වන්නට ඔබේ ජීවිතය යහපත්ව තිබීම ගැන සතුටු වන්න.

ලොව ඇතැම් රටවල මිනිස්සු කුසගින්න නිසා සංචරණ සීමා සමය තුළ මිය ගියහ. ඔබට එබන්දක් වී නැත. ඔබට එක වේලක් හෝ ආහාර ගනිමින් ජීවිතය පවත්වා ගත හැකිව තිබේ. රස මසවුළු නැතත් තිබෙන ආහාරය ගැන සතුටු වන්න. ඇතැම් මිනිසුන් රැකියාව අහිමිව මහ මඟට වැටුණමුත්, ඔබට තවමත් හිසට වහලක්, ඇතුව තිබීම පිළිබඳ සතුටු වන්න. කවර බාධක පැමිණිය ද, එවිට ඒ බාධක පමණ ඉක්මවා නොදැක, මෙය මීට වඩා බරපතළ වීමට තිබූ බවත්, මේ බාධක කුඩා ඒවා බවත් තේරුම්ගෙන කටයුතු කරන්න.

මේ තත්ත්වය ද සදාකාලික නොවන අතර, තාවකාලික ය. මේ නරක සමය ද වෙනස්වී ගොස් යහපත් සමයක් පැමිණෙන බව තේරුම්ගෙන “මේකත් වෙනස්වෙනවා” යැයි සිතමින් අනිත්‍යනුපස්සනාවෙන් වර්තමාන ස්වභාවය දකින්න.

වර්තමානයට අනුගත වන්න

මනඞකල්පිතයන්වල නොසිට, අතීතයේ ගෙවූ කාලය සමඟ මේ වත්මන් මොහොත සංසන්දනය නොකොට වර්තමාන මොහොතේ යතාර්ථය පිළිගෙන සිත සාමාකාමී කරගන්න. අතීතයේ කොතරම් නිදහසක් හා සතුටක් සහිත අවස්ථා වුව ද, ඒ සියල්ල අවසන් බවත් මේ මොහොත ඒවායෙන් වෙනස්, අලුත්ම නැවුම් එකක් බවත් තේරුම්ගෙන සිත මේ මොහොතට අනුගත කර ගන්න.

අනවශ්‍ය වියදම් කපා හරින්න

සංගීත සංදර්ශන, චිත්‍රපට ශාලා, සැණකෙළි, ක්‍රීඩා උත්සව ආදී සෙනඟ ගැවසෙන ස්ථාන වසංගතය අවසන් වනතුරු භජනය නොකිරීමට නුවණැත්තෝ වගබලා ගත යුතු ය. වෙළඳසැල් හා රජයේ කාර්යාල සේ ම රැකියාස්ථානවලට නිතර යායුතු වුව ද, එම සංචාර මනා සිහියෙන්, සෞඛාරක්ෂිත ක්‍රම මැනවින් පිළිපදිමින් සිදු කළ යුතු ය. බාහිර සමීපතමයන් හමුවීමේ දී, “මේ මාගේ නෑයාය, මේ මාගේ මිත්‍රයා ය” යන්න නොසලකා, සැමගේ ආරක්ෂාව වෙනුවෙන් මුඛාවරණ අඛණ්ඩව පැළඳීම නුවණට හුරු ය. මන්ද යත් රෝගය එබඳු නෑ මිතුරු සබඳතා කිසිවක් නොහඳුනන හෙයිනි. එය නොතකන දුර නොබලන සෑම විටම ඔබ අනතුරේ හෙළන්නේ සමස්ත සමාජයයි.

එහෙයින් වර්තමානයට එළඹසිටි සිහිය ඉතාමත් වැදගත් වේ.

කාලසටහනකට අනුව වැඩ කරන්න

ඇතැම් කෙනෙක් තමන් නිවසේම සිටින හෙයින් අලස වීමට ඉඩ ඇත. එසේ නැතිනම් ඔබ අන්තර්ජාලය ඔස්සේ රැකියාව කරන්නේ නම් මුළු දවසම ඉඩ තිබේ යැයි කාර්යාල කටයුතු අතපසු කිරීමට හෝ කල්දැමීමට ඉඩ ඇත. මේ ගැන ඉතාමත් අවදිමත් වන්න. මන්ද, එය පසුව මානසික ආතතියක් ඇති කිරීමට තුඩුදෙන පුරුද්දක් බැවිනි. එසේ කල්තැබූ වැඩ ගොඩගැසී ආතතියට පත් බොහෝ කාර්යාල සේවකයන් මේ කාලසීමාවේ අපට බොහෝ සෙයින් මුණ ගැසිණි. එය ඔබට නොවීමට, වගබලා ගත යුතු ඔබ ම ය.

රැකියා කටයුතු හා අධ්‍යාපන කටයුතු ලැප්ටොප් පරිගණක හා ජංගම දුරකථන ඔස්සේ සිදුවන බැවින් එයට ඇබ්බැහි වීමට වැඩිහිටියන් හා ළමුන් ද පෙළඹීම සුලබ ලක්ෂණයකි. කායික හා මානසික සෞඛ්‍යයට මෙය ඉතාමත් භයානක ය. සමාජ මාධ්‍ය Facebook, Twitter, instagram, tiktok ආදීන් තුළ ඔබේ ජීවිතය දියවීමට ඉඩ නොදී බුද්ධිමත් ව අවශේෂ කාලය ගත කරන්න. මිනිත්තු 45 කට වරක් තිරය වෙතින් ඇස් ඈත්කොට ඇස්වලට මිනිත්තු පහක විවේකයක් දෙන්න. අනවශ්‍ය දෙයට ගෙවන ඔබේ ජීවිත කාලය මේ වටිනා මනුෂ්‍ය ජීවිතය අපතේ හැරීමක් වන අතර, ඒ කාලය ඇතුන් ලවාවත් යළි ලබා ගත නොහැකි බව තේරුම් ගන්න.

කාල නාස්තියට හොඳම විසඳුම

දෛනික කාලසටහන මේ කාල නාස්තියට හොඳම විසඳුමයි. හිමිදිරියේ පිබිද කලින් නින්දට යන පරිදි කාලසටහනකට දවසේ සියලු කටයුතු පෙළ ගස්වාගන්න. එය ඔබේ ආතතිය හා වෙහෙසකර බව දුරුකර, සැහැල්ලුවක් පිළිවෙලක් සේ ම කාලය නිසිපරිදි කළමණාකරණයක් ඇති කර දෙනු ඇත.

අලුත් හැකියාවක් පුරුදු වෙමු

නිවසේ සිටීම නිසා දැන් මහ මඟට සේ ම අවශේෂ කටයුතුවලට ගෙවුණ කාලය ඉතිරි බව සත්‍යයකි. එහෙත් එම කාලය සමාජජාලා හෝ පරිගණක ක්‍රීඩාවලට යොදන්නේ නම් එය අනුවණ කටයුත්තකි. එම කාලය ඒ වෙනුවට ඵලදායී අලුත් කුසලතාවක් ඇතිකර ගන්නට යොදාගත හැකි ය.

අලුත් භාෂාවක් ඉගෙනීම, කෑම ඉවීම, කායික ව්‍යායාම ප්‍රගුණ කිරීම, ක්‍රීඩා පුහුණුව, කවි, කෙටිකතා, නිසඳැස් හෝ ලිපි සම්පාදනය, පොත් කියවීම හෝ තමන් කැමති විෂයයක් ඔස්සේ තොරතුරු ගවේෂණය ද, චිත්‍ර ශිල්පය ද, වඩුවැඩ හෝ මූර්ති නිර්මාණය ද, මැහුම් ගෙතුම් ද කුඩා හෝ නව නිෂ්පාදනයක් බිහි කිරීමට ද මෙම කාලය යොදා ගත හැකි ය.

පරිගණක උපාංග හැකියා දියුණු කිරීම ද, අන්තර්ජාලයේ අධ්‍යාපන පාඨමාලා අඩවිවල පාඨමාලාවක් හැදෑරීම ද, වීඩියෝ නිර්මාණ හා සංස්කරණ ශිල්පය ද, අන්තර්ජාල රැකියාවක තාවකාලිකව යෙදීමට ද මෙය යොදාගත හැකි ය.

අප්‍රමාදීව කටයුතු කරන්නා මෙලොවත් පරලොවත් දෙකම ජයගන්නා බවත්, විශේෂයෙන් නොසිතන තැනැත්තා විශේෂත්වයට පත් නොවන බවත් අප හොඳින් සිත තබාගත යුතු ය.

ආධ්‍යාත්මික ව දියුණු වෙමින් දහම් මඟට පියවර තබන්න

මෙම වසංගත කාලය අපට කියාදෙන වැදගත්ම පාඩම නම් ජීවිතයේ අනිත්‍ය බවයි. නානාවිධ වයස් මට්ටම්වලට අයත් ස්ත්‍රී, පුරුෂ, දුප්පත් හෝ ධනවත් බලහීන හෝ බලවත්, උගත්, නූගත්, ජනීජනයත් ලක්ෂ ගණනක් වසංගතය හමුවේ මියගියහ. බිලියන ගණන් ඉපැයූ මහා සමාගම් බංකොළොත් වූයේ සති කිහිපයකිනි. රැකියා අහිමි වූ අය අමෙරිකාවේ පමණක් මිලියන 50 ඉක්මවා ඇත. බාහිර රැස් කර ගත් කවර ධනයක්, දේපළක්, වස්තුවක් වුව ද, ඒවා අප පාලනයේ නොපවතින බව තේරුම්ගෙන අස සදාකාලික වූ ධනය ඉපැයීමට උත්සුක විය යුතු ය. ධර්ම මාර්ගයේ පියවර තැබිය යුතු ය. සසර පුරා අප පසුපස එන එකම ධනය පිනත්, කුසලයත් පමණි.

පෙර සිහියෙන් සීලය නොරැකියේ නම් මේ සීලය දියුණු කිරීමට කාලයයි. භාවනා පුහුණුවේ යෙදී සමාධියත්, ප්‍රඥාවත් ප්‍රගුණ නොකළේ නම් මේ ඊටද කාලයයි. ධර්මය ප්‍රඥාව යොදමින් නූගත්තේ නම් එම පවිත්‍ර සිරි සද්ධර්මය අවබෝධ කිරීමට කාලයයි.

හෙට ඕනෑදෙයක් විය හැකිය. නුවණැත්තෝ අඛණ්ඩව කවරක් වුවද දහම් මඟ දියුණුවීම නොනවතන හෙයින් එබඳු නුවණැතියකු වන්න. අසල්වැසියන් පිළිබඳ විමසිලිමත් වෙමින් කරුණාවන්ත වන්න. හැකි පමණින් නැතිබැරි අයට මදක් හෝ පිහිටවන්න. වචනයෙන් හා මෙත් සිතින් සැමට දිරිමත් වදනින් අස්වසන්න. නිවසේ උදේ සවස පවුලේ අය සමඟ බුද්ධ වන්දනාවේ හා බුද්ධ පුජාවල නියුතු වන්න.