වැලිවිට
අසරණ සරණ
සරණංකර සිරි
සංඝරාජ මා හිමි - 3
323 වන ජන්ම සංවත්සරය, 243 වන අනුස්මරණය හා මහා විහාරවංශික ස්‍යාමෝපසම්පදාවට වසර
268ක් සම්පූර්ණ වීම නිමිත්තෙනි.
සෝමවති රාජමහා විහාරාධිපති
මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ
මල්වතු මහා විහාර පාර්ශ්වයේ
වැඩබලන ලේඛකාධිකාරි
ආචාර්ය
පහමුණේ සුමංගල හිමි
මෙම ලිපියේ 2 කොටස
පසුගිය පොසොන් අව අටවක පෝදා පත්‍රයේ පළ විය
සම්බුද්ධ ශාසනය යනු උපසම්පදාවයි. උපසම්පදාවක් නැති නම් ශාසනය නොපවතී. ඒ නිසා ම නවරට
සසුන් පිහුටු වීමට පස් නමකට අධික පිරිසක් යැවූයේ පැවිදි උපසම්පදාව පිහිටු වීමේ
ප්‍රාර්ථනාවෙනි. එදා ආරම්භ කළ සම්බුද්ධ ශාසනය අද දක්වා ම පවත්වාගෙන ඒමට හැකි වූයේ
උපසම්පදා භික්‍ෂූන් වහන්සේ නිසා ම ය.
උන්වහන්සේලා ආරක්‍ෂා කිරීම, සිවුපසයෙන් ඇප උපස්ථාන කිරීම ආදිය රජයේ මෙන් ම
මහජනතාවගේ පරම යුතුකම වූ නිසා එකී උපසම්පදාව අඛණ්ඩව පවත්වාගෙන ඒමට රාජරාජ
මහාමාත්‍යාදීන් කටයුතු සිදු කරනුයේ ඒ නිසාම ය.
මේ අයුරින් සම්බුද්ධ ශාසනයත්, රටත් ජාතියත් සංස්කෘතියත් වැඩි දියුණු වූ මොහොතක
පොළොන්නරු යුගයේ දී කාලිංග මාඝ කළ විනාශයත් කෝට්ටේ යුගයේ දී සපුමල් කුමරු හය වන
බුවනෙක බා නමින් රජවීමෙන් පසු ඇති වූ ගැටුම් නිසාත්, පෘතුගීසීන්ගේ පැමිණීමෙන් පසු
ක්‍රිස්තු ධර්මය ව්‍යාප්ත කිරීමත්, ධර්මපාල කුමරු දොන් ජුවාන් නමින් ඔටුනු
පැළ¼දීමත් නිසා කෝට්ටේ යුගයේ දී විශාල බෞද්ධ පිරිස් ක්‍රිස්තියානි කරවීය.
පෘතුගීසීන් ඇති කළ බෞද්ධ විරෝධී මහා කැරැල්ල නිසා සමහර බෞද්ධයින් ක්‍රිස්තියානි වූ
අතර එසේ නොවූ අයට කසපහර, කඩුපහර, වෙඩි පහර, හිරගෙදර දැමීම, දඩගැසීම ආදී හිංසා කිරීම
නිසා ඔවුන් ද ක්‍රිස්තියානි කරමින් බෞද්ධ වෙහෙර විහාර ගොඩනැඟිලි කඩා පොළොවට සමතලා
කළහ. බෞද්ධ ප්‍රතිමා මන්දිර කඩා ක්‍රිස්තියානි පල්ලි හා ප්‍රතිමා සෑදී ය. සිංහල
බෞද්ධයන් රාජ ද්‍රෝහීන් බවට පත් කරමින් බෞද්ධ පොත් පත් ඇති පුස්තකාල ගිනිබත් කිරීම
ආදි මේ සියල්ල පෘතුගාලයේ මහරජුගේ නියමයෙන් වූ බව ප්‍රකාශ කරමින් පන්සල් පිරිවෙන්
අධ්‍යපනය විනාශ කොට කතෝලික පාසල් ආරම්භ කරමින් සිංහල බෞද්ධයන් ක්‍රිස්තියානි කරන
ලදි.
පෘතුගීසීන් කළ බෞද්ධ සංහාරය ලන්දේසීන් විසින් ද ඒ අයුරින්ම කිරීම නිසා භික්‍ෂූන්ට
පමණක් නොව ගිහියන්ටත් බෞද්ධ නමින් පෙනී සිටීම මරුවා තමන් වෙත කැඳවා ගැනීමක් විය.
සීතාවක පළමුවන රාජසිංහයන් ද පියා මරා බලයට පත්වීම පිතෘඝාතක අකුසලයක් බව භික්‍ෂූන්
පෙන්වා දුන් හෙයින් රජු බුදු සමය අතහැර ශිව ආගම වැළඳ ගත්තේය. බෞද්ධ සංහාරයක් අරඹා
පන්සල් වෙහෙර විහාර කඩා විනාශ කරමින් භික්‍ෂූන් දහස් ගණනින් මරා ශ්‍රී පාදය වැනි
බෞද්ධ සිද්ධස්ථාන ශිව භක්තිකයන්ට දී බෞද්ධ පොත්පත් පුස්තකාල ආදිය විනාශ කරන ලදි.
රට අවුල් ජාලයකට පත්විය. පෘතුගීසි, ලන්දේසී, සිංහල යන ඔවුනොවුන් අතර ද සටන්
ඇතිවීමෙන් බුද්ධ ශාසනය අන්ත පරිහානියට පත්විය. පළමු වන රාජසිංහයන් උණකටුවක් ඇනී
මරණයට පත්විය. මෙවන් මොහතක සිංහල ජාතියත්, සංස්කෘතියත්, ධර්ම ශාස්ත්‍ර හා සම්බුද්ධ
ශාසනය සමග ම උපසම්පදාව ද පරිහාණියට පත්වීම නොවැළැක්විය හැකි විය. මේ අයුරින්
පිරිහෙමින් පැවති මහනුවර යුගයේ දී වැලිවිට අසරණ සරණ සරණංකර සාමණේරයාණන් වහන්සේ පහළ
වූහ.
වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමි
ශකවසින් එක්දහස් -
සසිය විස්සක් පිරිවස්
සතවක රිවි දවස් -
උතුරුපුටුපෙන් අවපොසොන් මස්
තුන්පනේ වැලිවිට -
ගොවිකුල මුදලි කෙනෙකුට
දාව පිරිසිදු කොට -
ඉපිද වැඩෙමින් සොළොස් වයසට (සඟරජ වත)
මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ ගංඅට පළාතේ වැලිවිට පහළගම වත්තේ වළව්වේ
තුම්පනේ හා වෙල්ලස්ස පාලනය කළ වික්‍රමසිංහ තිලකරත්න වාසල කුලතුංග මුදියන්සේලාගේ
වැලිවිට කුලතුංග මුදලිතුමාගේ හා බිබිල මැදගම වැලිවිට ලොකුකුමාරිහාමිගේ පුත් රුවනක
ලෙස රාජ්‍ය වර්ෂ 1698 ජූනි 18 වෙනි ඉරු දින උපත ලබා වැලිවිට කුලතුංග බණ්ඩා නමින්
හැද ී වැඩුණි.
පස්වියෙහි දී එරමුදුලියද්දේ උපාසකරාල හා මුරුත්දෙණියේ හේරත්ගෙදර ගුරුතුමාගෙන් මූලික
අධ්‍යයනය ලබා සොළොස් වියෙහි දී පෝය මලු විහාරයේ වැඩ විසූ වටපුළුවේ හිමියන්ගේ
ශිෂ්‍යයෙක් වු ද දෙවැනි විමලධර්ම සූරීය රාජ්‍ය කාලයේ දී රක්‍ඛංග දේශයෙන් ගෙනා
උපසම්පදාව ලබා සිටි සූරිගොඩ ශ්‍රී නරෙන්ද්‍රාරාමාධිපති සූරියගොඩ කිත්සිරිමෙවන්
රාජසුන්දර මහතෙරුන් වෙතින් උතුම් වූ පැවිද්ද ලැබී ය.
කෝට්ටේ යුගයේ පටන් ඇති වූ පෘතුගීසි, ඕලන්ද බලපෑම් ද බුවනෙකබා පළමුවන රාජසිංහ ආදි
රාජ්‍ය කාලවල දී සාපරාදී ක්‍රියාවන්ගෙන් වැනසී ගිය ශාසනික ආගමික ජාතික පරිහානිය
වැළැක්වීමට නොහැකිව අති බිහිසුණු ත්‍රාස ජනක හිංසාවන්ට මුහුණ දෙමින් කටයුතු කිරීමට
සිංහල බෞද්ධයන්ට සිදු වූයෙන් බෞද්ධ සිරිත්-විරිත් පැවැත්වීමට නොහැකි වූයේ ඒ සියල්ල
අමතක විය.
බෞද්ධකම කෙසේ වුවත් බෞද්ධ නම ලක් පොළවෙන් සම්පූර්ණයෙන් විනාශ වී යාමට ඉඩ නො දී
ඉමහත් දුෂ්කරතා මධ්‍යයේ ජීවිත පරිත්‍යාගයෙන් සාමණේර, ගණින් යන නම්වලින් පෙනී
සිටිමින් බෞද්ධ නාමයත්, ප්‍රතිමා, චෛත්‍ය, විහාර මන්දිර, දාකරුඬු, පෙති පිළිම,
පෞරාණික පොත්පත් හා ලේඛන, විහාර සන්තක ඉඩකඩම් ආදිය ආරක්‍ෂා කර ගනිමින් පිළිම ගෙවල්
අඳුරේ නොතබා බුද්ධ පූජා පවත්වමින් බෞද්ධ උරුමය, බෞද්ධකම ආරක්‍ෂා කර ගැනීමට ඔවුන් කළ
උදාරතර සේවය හා කැපවීම අගය කළ යුතු ය.
නැකැත්, වෙදකම්, යන්ත්‍රමන්ත්‍රවලට යොමුවෙමින් සමාජ සේවයක් කරමින් සමාජ ප්‍රභ.්වය
ලබා ගෙන විහාරස්ථානය වෙතට ගම ඇදබැඳ තබා ගැනීමට සමත් වූහ. වත් පිළිවෙත් පිරීමක් හෝ
ශ්‍රමණ ආකල්ප ගැන වැටහීමක් නොවූ අතර භාෂා සාහිත්‍යය, ශබ්ද ශාස්ත්‍ර, ධර්ම-විනය
පරිහානියට පත් වී තිබූ හෙයින් ඒවා පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට නිසි මගක් නොවී ය.
එවන් අවස්ථාවක සරණංකර සාමණේරයන් වහන්සේගේ මූලික අභිප්‍රාය වූයේ සංඝ ශාසනය වැඩි
දියුණු කිරීමත් භාෂා සාහිත්‍යය, ශබ්ද ශාස්ත්‍ර ධර්ම විනය වැඩි දියුණු කොට සම්බුද්ධ
ශාසනය බැබළවීම යි.
පොතපත සොයා ගැනීමට මෙන් ම ගුරුවරයකු සොයා ගැනීමේ ඉමහත් දුෂ්කරතාව නිසා සුවිශාල
පරිශ්‍රමයක් දරමින් මාකෙහෙල්වල සිරගත කර සිටි ලෙව්කේ රාළහාමි වෙත ගොස් බාලාවතාරය
මුල් කොටසත්, පෝයමළු විහාරයේ පල්කුඹුරේ අත්‍ථදස්සි හිමිගෙන් ඉතිරිකොටස ද ඉගෙන
ගනිමින් ස්ව උත්සාහයෙන් ත්‍රිපිටක ධර්මය හා පාලි, සිංහල, සංස්කෘත භාෂා පිළිබඳ
විශාරදත්වයට පත්වෙමින් ඒවා උගන්වමින් කටයුතු කිරීම නිසා විශාල ගිහිපැවිදි පිරිසක්
සම්බන්ධ වීමෙන් සිල්වත් සමාගමක් ඇති විය.
සරණංකර සාමණේරයන් වහන්සේ සම්බුද්ධ ශාසනයට හා ධර්ම ශාස්ත්‍රය දියුණු කිරීමටත්,
මහජනාවට කරන ඉමහත් සේවය නො ඉවසිය හැකි පිරිස නරේන්ද්‍රසිංහ රජතුමා නොමග යැවීම නිසා
රාජ උදහසට ලක් වූයේ සරණංකර සාමණේරයන් ලග්ගල සිරගත කරන ලදි.
එවන් අවස්ථාවක ගුරුවර්ණ පිළි හැඳ පෙරවූ බමුණෙක් නුවර පැත්තට එන බව අසා උපසම්පදා
නමක් යැයි සිතා හඟුරන්කෙත මඟුල්මඩුවට ගෙන්වා ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ
රජතුමා මැති අමැති පිරිවරා අවුත් රන් මොළවක අධිකාරම් නිලමේ ලවා කථා කිරීමේ දී,
විද්වානෙව විජනාති
විද්වජ්ජන පරිශ්‍රමම්
න හි වන්ද්‍යා විජානාති
ගුර්විං ප්‍රශව වේදනා”
(උගතෙක් වන වෙහෙස උගතෙක් ම දනී. දරු ප්‍රසූතියෙන් වන වේදනාව ද දරුවන් නැති
තැනැත්තියක් නොදනී.)
මෙම සංස්කෘත පද්‍යය නොතේරීම නිසා විහාර දෙකේ සාමණේරයන් ද ගෙන් වූ නමුත් ඒ කිසිවෙකුට
පහදා දීමට නොහැකි වූයෙන් ලග්ගල සිරගත කර සිටි සරණංකර සාමණේර හිමියන් ගෙන්වා විමසූ
කල සිංහල, පාලි, සංස්කෘත භාෂා තුනෙන් ම දේශනා පැවැත්වීම නිසා මල්වතු අස්ගිරි විහාර
දෙකේ සාමණේර වහන්සේලා හා රජතුමා ඇතුළු හැම දෙනාම ඉමහත් සතුටට පත්වූහ.
දෙවෙහෙර සාමණේරයන්ගේ හා රජතුමාගේ සහයෝගය නිසා පළමුකොට පෝය මළු විහාරය මුල් කොට
ගිහි-පැවිදි දෙපක්‍ෂයට ම අධ්‍යාපනය ලබා දෙමින් තවතවත් අධ්‍යයන කටයුතුවල යෙදෙමින්
ග්‍රන්ථ සම්පාදනය කිරීමෙන් ද මුනිගුණාලංකාරය හා අභිසම්බෝධි අලංකාරය රචනා කිරීමෙන්
අනතුරුව පෝයමළු විහාරයේ වැඩ වෙසෙමින් කරන මෙවන් ධර්ම ශාස්ත්‍ර සේවය දුටු
නරේන්ද්‍රසිංහ රජතුමා රාජ්‍ය වර්ෂ 1726 වර්ෂයේ දී කරන ලද ආරාධනය අනුව “සාරාර්ථ
සංග්‍රහය” ග්‍රන්ථය ලියා රජතුමාට ම පිළිගැන්වීමෙන් අපමණ සතුටට පත්ව ඇතෙක් පූජා කළ ද
එය ප්‍රතික්‍ෂේප කොට ගිහි-පැවිදි දෙපක්‍ෂයට ම අධ්‍යයනය ලබාදීමට සහාය ඉල්ලාසිටි
නිසාම තව තවත් රජතුමා මෙන් ම උභය විහාරවාසී සාමණේරයන් වහන්සේලාගේ ද කරුණාවට
පාත්‍රවිය.
මෙම ලිපියේ තවත් කොටසක්
ඇසළ පුර අටවක පෝදා පුවත්පතේ පළ වේ |