Print this Article


ලෝක ශිෂ්ටාචාරය වෙනස් කළ ධර්ම විජය ප්‍රතිපත්තිය

ලෝක ශිෂ්ටාචාරය වෙනස් කළ ධර්ම විජය ප්‍රතිපත්තිය

සිරිසර වෙසක් පුන්සඳ කෙමෙන් අඩු වී යළි පොසොන් අඩ සඳ අහස් තලයේ බබළද්දී අපට සිහිපත්වන ප්‍රධාන නම් තුනක් ඇත. භාරත දේශයේ ධර්මාශෝක රජ, මහින්ද මහ රහතන් වහන්සේ, ශ්‍රී ලංකාවේ දේවානම්පියතිස්ස රජතුමා යන ඒ නම් තුනෙන් ධර්මාශෝක මහ රජතුමාගේ සත්ක්‍රියාව පිළිබඳ විස්තරයක් මෙයින් දැක්වෙන්නේ ය.

ධර්මාශෝක රජතුමා ගෙන් සිදු වූ සේවය මානව සමාජයට ම අවශ්‍යයෙන් ම අර්ථදායක වූ අයුරු ඓතිහාසික තොරතුරුවලින් ප්‍රත්‍යක්ෂ වන්නේ ය. සෑම රාජ්‍ය පාලකයෙක් ම පරපුරෙන් පරපුරට පවතින්නට කුමක් හෝ සේවාවක්, සටහනක් ඉතිරි කර යන්නට ඇත. එහෙත් ධර්මාශෝක ජීවන චරිතයත් කළ සේවයත් සෙසු රාජ්‍ය පාලකයන්ට වඩා සුවිශේෂ වන්නේ ය.

ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් දෙකකට පසු ලොව බිහි වූ උසස් තම නරපතියාණන් වන ධර්මාශෝක මහ රජතුමාගේ අවංක, දිරිමත් ප්‍රතිභා කෞශල්‍යතාවය ප්‍රකටවන රජතුමා විසින්ම සාදවන ලද පාඨලී පුත්‍ර නගරයේ අශෝකාරාමයේ දී සිදුකළ තෙවන මහා ධර්ම සංගායනාවෙන් පසුව නිකුත් වූ ධර්ම යාත්‍රාව විවිධාකාරයෙන් පුළුල්ව එවකට බුදුදහම වටහා ගැනීමට කැමැති සෑම රටකට ම හඳුන්වා දෙන ලදී.

අශෝක ධර්මය හඳුන්වාදීමේ දී ක්‍රියාත්මක කළ ප්‍රධාන කාර්යයන් අතර සෑම ආගමකටම ගරු කිරීම, දිග් විජය අත්හැරීම, ධර්ම විජය ක්‍රියාත්මක කිරීම, සමානාත්මතාවය, ධර්ම යාත්‍රාව, ආගමික අමාත්‍යාංශ පිහිටුවීම, සාමකාමී විදේශ ප්‍රතිපත්තිය යනාදිය ප්‍රධාන ය.

පියදාස, පියදස්සී, අශෝක, ධර්මාශෝක යන නම්වලින් ප්‍රකට වූ අශෝක රජතුමාගේ ජීවන චරිතය පිළිබඳ තොරතුරු එතුමා විසින් පිහිටුවන ලද ශිලා ලේඛනවල සඳහන් නො වන්නේ බෞද්ධයකු වශයෙන් පෙනී සිටින විට එවන් තොරතුරු අවශ්‍ය නැතැයි යන හැඟීමෙන් ක්‍රියා කළා හෝ ඒවා මහජනතාව දැන ගැනීමෙන් රාජ්‍ය තන්ත්‍රයේ යම් බිඳවැටීමක් සිදුවේ ය යන සංකල්පයෙන් යටපත් කළා හෝ සිතා ගන්නට පුළුවන.

ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනය පිළිබඳ සාහිත්‍ය ග්‍රන්ථවල දක්වන පරිදි මෙතුමා අවිහිංසාවාදී, ධාර්මික මහා අධීරාජයකු වශයෙන් මහා භාරතය පාලනය කළේය. මහාවංස, දීපවංශ, සමන්තපාසාදිකා, සද්ධර්මාලංකාරය, දිව්‍යාවදානය, යන ග්‍රන්ථවලින් මෙම රජතුමාගේ අසිරිමත් ජීවිතය, හා රාජ්‍ය පාලනය පිළිබඳ සත්‍ය තොරතුරු හා අතිශයෝක්ති වර්ණනා ද, දක්නට පුළුවන.

අශෝක රජතුමාට පෙර භාරත දේශය ආගමික, දාර්ශනික හා ආර්ථික වශයෙන් උසස්තම තලයක පැවතීම නිසා ධර්මාශෝක රජතුමාට එවන් භයානක යුද්ධයක් කිරීමෙන් තම ජනපි‍්‍රය තාවය ගොඩනඟා ගන්නට රට සමෘද්ධිමත් කරන්නට ජන හදවත් දිනා ගන්නට හැකි විය.

බුද්ධාදී අති උත්තමයන් පහළ වූ, කෝටි සංඛ්‍යාත මහරහතන් වහන්සේලා අහසින් බිමින් වඩින, සිය දහස් ගණන් රජ දරුවන් විරාජමානව ප්‍රාදේශීය රාජ්‍යයන් පාලනය කරන, මහා පුණ්‍යවන්ත රාජ්‍යයක ධර්මාශෝක වැනි ධීර, වීර, කාර්යශූර, රජ කෙනකු රාජ්‍ය කරනවිට සම්පත් ඇතිවීම, ඇතිදේ වැඩිවීම පොදු ජනතාව සමගියෙන් ජීවත්වීම, ධන ධාන්‍ය කෙත්වත් සරුවීම ආගම දහම වශයෙන් සත්‍යවාදවීම ස්වභාව ධර්මය වශයෙන් අසිරිමත් දේ පහළවීම සිදුවන්නේ ය.

මෙම අශෝක කුමාරයා බින්දුසාර පියරජතුමා යටතේ ප්‍රදේශ දෙකක පාලනය කරගෙන ගිය බව සඳහන් වන පිය රජතුමාගේ අවසාන කාලයේ ඔහු අවන්ති දේශයේ පාලනය බාරගෙන සිටියේ ය. පිය රජතුමාගේ අභාවයෙන් අනතුරුව රජකම සඳහා තම සහෝදර කුමාරවරුන් අනූනව දෙනෙත් ඝාතනය කළ බව සඳහන් වන්නේ ය. එසේම ස්වකීය පිය රජතුමාගේ අභාවයෙන් රජකමට පත්වුව ද සතුරු කරදර නිසා සතර වසරක් ඔටුනු නොපැළඳ පාලනය කොට අප බුදුරදුන් පිරිනිවන් පෑමෙන් දෙසිය දහ අටේ දී සියලු රාජධානීන් යටත්කොට අධිරාජයාණන් වශයෙන් ඔටුනු පැළඳ රජකමට පත්විය.

අශෝක රජතුමාට චණ්ඩාශෝක යන නම ඇතිවූයේ කාලිංග යුද්ධය නිසා ය. අශෝකාවදානයේ දැක්වෙන පරිදි අශෝක රජතුමා ඉතාමත් දරුණු බන්ධනාගාර ඇතිකොට මගධ කාලිංග යුද පිටියේ දී අල්ලාගත් සතුරු හමුදාව හිරකොට දරුණු වද දී ඝාතනය කළබව සඳහන් වන්නේ ය.

අශෝක රජතුමා බුදුදහම පිළිගැනීමත් ඉන් අනතුරුව යුද්ධයක් ජයගෙන ජය පැන් බීමට වඩා එයින් පශ්චාත්තාපවීමත් එතුමා විසින් පිහිටුවන ලද. ශිලා ලිපිවලින් විස්තර වන්නේ ය. විශේෂයෙන් 13 වන කාලිංග ලිපියෙන් රජතුමාගේ චිත්තාභ්‍යන්තරයේ පවතින වේදනාව ප්‍රකාශනයට පත් කෙරෙන්නේ ය.

“දෙවන පියදස් රජු විසින් ඔටුනු පලන් අටවන වසරෙහි කළිඟු රට දිනා ගන්නා ලදී. ගණනින් එක්ලක්ෂ පනස් දහසක් දෙනා එහිලා සිරකරුවන් ලෙස ගෙන යන ලදහ. ලක්ෂයක් පමණ දෙනා එහිදී මරන ලදහ. එමෙන් කීප ගුණයක් මිය ගියහ. එතැන් පටන් අලුතින් දිනාගත් කළිඟුරට පිළිබඳ ව දෙවන පිය පියදසුන් කැළ පවත්නේ තියුණු වූ දැහැමි හැඟීමකි.

මේසා විශාල මනුෂ්‍ය ඝාතනයක් කළ චණ්ඩාශෝක රජ ධර්මාශෝකවීමත්, විදේශීය ප්‍රතිපත්තියේ වෙනසක් ඇතිකර ගත්තේ ද යුද්ධය සදහට ම තම චින්තනයෙන් හා ක්‍රියාවෙන් අයින් කළේ ද, බුද්ධාගම පිළිගත් පසු ය. එමෙන්ම එවකට ලෝකයේ පැවැති විශාලතම ප්‍රදේශයක පාලනය හා උසස්තම ශිෂ්ටාචාරයක් පෝෂණය කිරීමත් නිසා ධර්මාශෝක රජතුමා අසිරිමත් රාජ්‍ය නායකයකු වශයෙන් ඉතිහාසයේ සනිටුහන් වන්නේ ය. දස දහස් ගණන් මහරහතන් වහන්සේලා හා දෙවියන් ඇසුර ලබමින් සක්විති රජකෙනකුට සමාන ව දස රාජ ධර්මයන් අනුව රාජ්‍ය පාලනය කිරීමද වෙනත් කිසිම රාජ්‍ය පාලකයෙකුට නොතිබූ මහේශාක්‍ය ලීලාවද විද්‍යාමාන වූ වග ඓතිහාසික තොරතුරුවලින් ප්‍රකට වන්නේ ය.

කාලිංග යුද්ධයේ දී සිදු වූ යුදගිනි පිළිබඳව පශ්චාත්තාප වූ මෙම නරපතියාණන්ට නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ ශාන්ත, දාන්ත, ඉරියව් ඇතිව ගමන් කරන විලාසය දැක පසුව රජ මැදුරට කැඳවා වඩා හිඳුවා බුදුබණ ඇසීමෙන් සම්පූර්ණ මානසික සහනයක් ලබාගෙන එයින් තම ජීවන පැවැත්මේ මෙන්ම සමාජ පැවැත්මේ වෙනසක් ද ඇති කළ වග පාලි වංස කතාවල දැක්වෙන්නේ ය.

ධර්ම යාත්‍රාව, ධර්ම විජය, ධර්ම මහාමාත්‍ය තනතුරුදීම බෞද්ධ භික්ෂූන් වහන්සේලාට දන්දීම දහස් ගණන් වෙහෙර විහාර කරවීම, සිද්ධස්ථාන වන්දනා කිරීම සෙල්ලිපි මාර්ගයෙන් බුද්ධ ධර්මයේ අත්‍යවශ්‍ය කරුණු ජනතාවට ප්‍රකාශ කරවීම ආදී කුදුමහත් විශාල වැඩ කොටසක් ඉෂ්ට සිද්ධ කර වූහ.

ධර්මාශෝක මහරජාණන්ගේ රාජ්‍ය පාලනය මෙන්ම ආගමික ජාතික හා ආර්ථික සේවය පිළිබඳව විශේෂඥ උගතුන්ගේ මත අනුව එක පුද්ගලයකුට මෙතරම් විශාල වැඩ කොටසක් කිරීමට හැකියාව ලැබීම පුදුම සහගත බව ය. පාඨලී පුත්‍ර නගරයෙහි රාජ මන්දර අශෝකාරාමය ආදී මන්දිර භූතයන් විසින් ගලින්ම නිමවන ලද බවව පාහියන්තුමාගේ ගමන් විස්තරයෙහි සඳහන් වේ.

ස්වදේශීය ජනතාව පමණක් නොව විදේශීය ජනතාව ද මෙතුමාගේ ධර්ම විජය ප්‍රතිපත්තිය පිළිගැනීමට තම තමන්ගේ කැමැත්ත පළ කළහ. මේ නිසා පාඨලී පුත්‍ර නගරයේ අශෝකාරාමයෙන් පිටත්ව ගිය ධර්මදූතයන් වහන්සේලා දෙස් විදෙස් රටවලදී ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ජනතා සිත් සතන් තුළ තිරසරව තැන්පත් කළහ.

මුළු ලොවට හිතවැඩ සැලසීම මට අයත් යුතුකමක් කොට සලකමි. ලෝකයාගේ හිත වැඩෙහි යෙදීමට වඩා වටිනා අන් සේවයක් නැති බැවිනි. මෙවන් අදහස් සිය ගණන් එම ශිලා ලේඛනවලින් ප්‍රකාශවන අතර, ධර්මාශෝක රජතුමාගේ කාර්යශූර බව මෙන්ම පශ්චාත්තාපයේ දී අහිංසකත්වය, පරම අවිහිංසාව, ත්‍රිවිධ රත්නය, කෙරෙහි අවංක ශ්‍රද්ධාව, ජනතාව කෙරෙහි ආදරය යන කරුණු අනුව මෙතුමා ලෞකික ලෝකයේ උසස්තම ගුණයන්ගෙන් සම්පූර්ණ වූ උතුම් ජනනායකයකු බව ප්‍රත්‍යක්ෂ වන්නේ ය. ධර්මාශෝක නාමය උතුම් බුදුදහම පවත්නාතාක් ලෝක ජනතා හදවත් තුළ රැඳී පවතින්නේ ය.