Print this Article


දියුණුවේ දොරටු විවර කර ගනිමු

දියුණුවේ දොරටු විවර කර ගනිමු

මෙලොව ජීවත් වන සෑම දෙන තම ජීවිතය දියුණුව වෙත ගෙන යෑමට කැමැති ය. බෞද්ධයන් හැටියට ලෞකික සම්පත්වලින් දියුණුව පමණක් තිබීම ප්‍රමාණවත් නැත. ආධ්‍යාත්මික දියුණුව ද තිබිය යුතු ය.

නිරෝගීකම ද, සීලය ද, වෘද්ධයන්ගේ මත ඇසීම ද , පණ්ඩිත බව ද, දැහැමි බව ද, අලස නො වීම ද දියුණුව සඳහා අවශ්‍ය කරුණු හයකි.

මේ දියුණුවේ දොරටු සයින් ඇතුලුවීම ළදරුවාගේ සිට වැඩිමලා දක්වා එක සේ ප්‍රතිඵල ලබා දෙන්නකි.

නිරෝගීකම

මිනිසුන්ට ලෙඩ හැදෙන ක්‍රම දෙකක් ඇත. එනම්, හිතේ හැදෙන ලෙඩ සහ ගතේ හැදෙන ලෙඩයි. මෙලොව සහ ආධ්‍යාත්මික ව දියුණු වීමට නම් මේ දෙකින් ම නිරෝගී විය යුතු ය.

ගතේ හැදෙන ලෙඩ යනු, මෙලොව වශයෙන් අපිට වැළඳෙන විවිධ වූ රෝගාබාධයන් ය. මේවායෙන් සුවවීම ඉතා වැදගත් වේ. හිතේ හැදෙන ලෙඩ යනු ඉරිසියාව, වෛරය, ක්‍රෝධය, මානය, උද්ධච්ඡකම ආදිය යි.

ගතේ ලෙඩවලට වඩා මේවා ඉතා භයානක ය.

අද සමාජය දෙස බලනවිට පෙනී යන කරුණක් වනුයේ නවීන විද්‍යාව අතින් මිනිසුන් දියුණු වුව ද සදාචාරය අතින් පරිහානියට පත්ව ඇති බව ය. මෙයට හේතුව වනුයේ ඉරිසියාව, ක්‍රෝධය, වෛරයත් සමඟ මිනිසුන් ජීවත්වීම යි. මේ නිසා ගතේ ලෙඩත් හිතේ ලෙඩත්, මේ දෙකෙන්ම නීරෝගීකම ඇතිකර ගැනීම දියුණුවට මඟයි.

සිල්වත්කම

සීලය යනු ආකල්ප සංවර්ධනය යි. මිනිසාගේ හැදිච්චකම ද සීලය ලෙස දැක්වේ. පුද්ගලයකුගේ දියුණුව ඇති කර ගැනීමට සීලය බෙහෙවින් ම උපකාරී වෙයි. සිතින්. කයින්, වචනයෙන් මිනිසා සිල්වත් විය යුතු ය.

යමකුගේ අතට සිල් නැති වුණොත් ඔහු අත පාවිච්චි කරනුයේ නො නිසි විදිහට ය. යමකුගේ කටෙහි සිල් නැත් ද එතැන දී ඔහුගේ කට අවැඩ දායක වන්නේ ය. යමකුගේ සිතෙහි සිල් නැති වුවහොත් ඔහුගේ ආරෝග්‍ය හා ශක්තිය පිරිහී යනවා පමණක් නොව දියුණුව කරා යන්නට ද නොහැකි වෙයි. මෙනිසා අප ජීවත්වන විට සිල්වත් වීම හා සීලය ආරක්ෂා කිරීම ඉතා වැදගත් වේ. සීලය හා ප්‍රඥාව යන මේ දෙකම තිබුණු විට තම ජීවිතය ජයග්‍රහණය කරා ගෙන යා හැකි ය.

වැඩිහිටියන්ගේ මත ඇසීම

වැඩිහිටියන් අත්දැකීම් අතින් බොහෝ ඉදිරියෙන් සිටියි. මෙනිසාම පුද්ගලයකුට දියුණුවීමට නම් වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා ඉතා වැදගත් වේ. අද සමාජයේ ජීවත් වන බොහෝ තරුණ තරුණියන් වැඩිහිටියන්ගේ කීම නොඅසා තමන්ගේ ජීවිතය, අසාර්ථක කර ගත් අවස්ථා අප අසා ඇත. මෙනිසා දියුණුවට වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා අවශ්‍ය ය.

පණ්ඩිත බව

නුවණ නැතිව කිසි දෙයක් කළ නොහැකි ය. දාන, සීල, භාවනා ආදී මේ සියල්ල ම සිදු කිරීමට අපට නුවණ අවශ්‍ය ය. නුවණැත්තා යනු උපාධීන් සමත් උදවියම නොවෙයි. උපාධි නොගත් ඒ අයට වඩා දැනුමෙන් ඉහළට ගිය කොතෙක් අය සිටිත් ද? ශාස්ත්‍රීය ඤාණය මෙන්ම ධාර්මික ඤාණයෙන් යුතු පුද්ගලයා සමාජයේ කැපී පෙනෙන කෙනෙක් බවට පත් වේ. උගතා සහ බුද්ධිමතා යනු දෙදෙනෙකි. සමාජයේ ජීවත් වන විට උගතෙක් නොව බුද්ධිමතෙක් විය යුතු ය.

දැහැමි බව

“ධම්මානුධම්ම පටිපත්තිය” ධර්මයට අනුව යෑම මෙයින් අදහස් කරයි. සමාජය හදන්නට නම් තමන් ප්‍රතිපත්තියෙහි යෙදී අන් අය ඒ මඟට ගැනීමට උත්සාහ කළ යුතු ය. එය එසේ නොවීම නිසා අද සමාජය තුළ බොහෝ ගැටලු මතුව ඇත. භෞතික අතින් මිනිස්සු දියුණු වුවද ධර්මයට අනුව ජීවත් වීම අද සමාජය තුළ දක්නට නොමැත. බොහෝ අධම ක්‍රියාවන් සිදුවීමට ප්‍රධාන හේතුව මෙය විය හැකි ය. මෙනිසා අධාර්මික බවින් මිදී ධාර්මික දිවි පැවැත්ම අතිශයින් ම වැදගත් වේ.

බෝසතාණන් වහන්සේ බුදු බව ලැබීමට උත්සාහ කරන විට කෙ තරම් බාධක පැමිණියේ නමුදු උන්වහන්සේ නො පසුබස්නා වීර්යයෙන් ඒ සියල්ල විඳ දරාගෙන සම්බුද්ධත්වයට පත් විය. සමාජයේ ජීවත් වන හැම කෙනකුටම දියුණු විය හැකි ය. අලස නොවී ක්‍රියා කිරීම එයට වැදගත් වේ.

අප කරන රැකී රක්ෂා හෝ වෙනත් කටයුත්තක් හෝ බණ භාවනාවක් උත්සාහයෙන් තොරව කළ නොහැකි ය. කෙ තරම් හිරිහැර කරදර පැමිණුනත් ඒවා තමන්ගේ දියුණුවට සැලසෙන ආශිර්වාද සේ සැලකිය යුතු ය.

අද පොසොන් අව අටවක පොහෝ දින මෙම කරුණු සිත්හි ධාරණය කරගෙන ජීවිතයට ප්‍රායෝගික කර ගන්නට අදිටන් කරගත යුතු ය.

උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ අනුහසින් දැහැමි සමාජයක් නිර්මාණය වේවා.