Print this Article


සීරුවෙන් සිහි බුද්ධියෙන් තමන් පාලනය කර ගන්න

සීරුවෙන් සිහි බුද්ධියෙන් තමන් පාලනය කර ගන්න

හොඳ දේට ඇබ්බැහිය ඉතා හොඳ ය. එසේම නරක දේට ඇබ්බැහිය ඉතාමත් නරක ය. මතට, අල්ලසට, සුරාවට, වංචාවට, බොරුවට, ස්ති‍්‍රයට, හොරකමට, දූෂණයට ඇබ්බැහි වීමෙන් තමා නොදැනුවත්ව ම පරාභවයට ඇදී යයි. අපගේ ආත්ම දමනය මුළුමහත් මානව සමාජයට ම පූර්වාදර්ශයක් වන හෙයින් තමන් මනාව පාලනය කර ගැනිමෙන් සමාජයට යහපතක් සිදුකළ හැකි ය.

හී වඩුවෝ තමන් කැමති පරිදි හීදඬු නමති. සීසාන ගොවියා තමන් කැමති පරිදි හීවිට දක්කති. තොටියා තමන් කැමති පරිදි ඔරුව පදවති. ලේඛකයා තමන් කැමති පරිදි පත, පොත ගොනු කරති. එසේ වුව ද තමාට තමන් පාලනය කර ගැනීම පහසු දෙයක් නොවේ. එය සීරුවෙන් සිහි බුද්ධියෙන් හසුරුවා ගත යුතු ය.

අනුන්ට හරි මඟ කියා දෙන්නට පෙර තමන් හරි මඟ යා යුතු ය. අනුන් දමනය කරන්නට පෙර තමන් දමනය විය යුතු ය. ලෝකයේ ඉතාමත් අමාරු දෙය වන්නේ තමා විසින් තමා දමනය කර ගැනීමයි. හොඳ දේ ලබා ගැනීම ඉතාමත් අමාරු ය. අමාරුවෙන් ලබා ගත් දේ හරි විදියට හසුරුවා ගැනීම ඊටත් වඩා අමාරු ය.

යමකු පව් වැඩ කළොත් එයින් තමා අපිරිසිදු වෙයි. ක්‍රෝධ කරන්නා මෛති‍්‍රයෙන් ද අසත්පුරුෂයා සත්පුරුෂකමින් ද බොරු කියන්නා සත්‍යයෙන් ද වංචනිකයා අවංකකමින් ද මසුරු මිනිසා ධන පරිත්‍යාගයෙන් ද දිනිය යුතු ය.

මිනිසා අතර ගැටුම් ඇතිවීමට හේතුව කුමක්දැයි වරක් ශක්‍ර දෙවියන් විසින් සම්බුදු හිමියන්ගෙන් විමසූ බව “සක්ක පඤ්ඤ”සූත්‍රයේ විස්තර වේ. මේ සියල්ලටම හේතුව තණ්හාව බවත්, තණ්හාව දුරු කළ විට බෝසත් ගුණ ඇති මිනිසකු නිර්මාණය වන බවත් මෙහිදී සම්බුදු හිමියන් දේශනා කර ඇත. එසේම ගැටලු ඇතිකර නොගෙන සාමය තුළ හැසිරීමට “සප්ත ජටිල” සූත්‍රයේ දී සම්බුදු හිමියන් කරුණු පැහැදිලි කර ඇත. අප නියමාකාරයෙන් මිනිසුන් හඳුනා ගත යුතු ය. එවිට ඇතිවන සංජානනය තුළින් තීරණ තීන්දු ගැනීම් පහසු කරවන අතර, ඒ තීරණ බොහෝ දෙනාගේ හිතසුව පිණිස වෙයි.

සංයුක්ත නිකායේ “වේපචිත්ති” සූත්‍රයේ දැක්වෙන පරිදි උතුම් ම ඉවසීම වන්නේ බලය ඇති අය දුබලයා කෙරෙහි ඉවසීම ය. දුබලයා ඉවසන්නේ නැති බැරි කමටය. ප්‍රබලයා ඒ බව තේරුම් ගත යුතු ය.

සංයුක්ත නිකායේ ම “රජ්‍ය” සූත්‍රයේ විස්තර වන පරිදි නොනසමින්, නොනස්වමින්, පැහැර නොගනිමින්, පැහැර නොගන්වමින්, ශෝක නොකරමින්, ශෝක නොකරවමින්, බොරු නොකරමින්, බොරු නොකරවමින්, අනුන් දේපළ නොගනිමින්, නොගන්වමින්, ධර්මයෙන් රාජ්‍ය පාලනය කළ හැකි බව සම්බුදු හිමියන් පැහැදිලි කර ඇත. “අධම්මික” සූත්‍රය මෙසේ දැක්වෙයි. “ගව රැළක ප්‍රධානියා ඇදට ගමන් කරයි නම් ඔහු පසුපසින් එන සෙසු ගවයෝ ද ප්‍රධානියා අනුකරණය කරති.එසේම පවුලේ ප්‍රධානියා වැරැදි ලෙස හැසිරෙන්නේ නම් ඔවුන්ගේ අනුගාමිකයෝ ද ඊටත් වඩා වැරැදි ලෙස හැසිරෙති. එසේම ගවරැළේ මුදුනා සෘජුව ගමන් කරන විට සෙසු ගවයන් ද ඔහු අනුකරණය කරන්නාක් මෙන් ප්‍රධානීන් හරිමඟ හරියට යන්නේ නම් මිනිසුන් ද ඔවුන් අනුකරණය කරනු ඒකාන්ත ය.

පංචශීල ප්‍රතිපත්තිය, සප්ත අපරිහානි ධර්ම, දස රාජ ධර්ම, දස සක්විති වත්, සතර සංග්‍රහ වස්තු, සතර බඹ විහරණ, “පඨ ම චක්කානු වත්තන” සූත්‍රයේ සඳහන් පංච විධ ගුණ, සතර අගතියෙන් තොර වීම සහ මෛතී‍්‍ර භාවනාව, යහපත් සකී‍්‍රය ආභරණ වේ.

අශෝක රජතුමාගේ ගිරිනාර් ලිපි අංක හයෙහි එතුමා විසින් මහජන සේවාව කළයුතු ආකාරය මෙසේ සඳහන් කර ඇත.

“මහජන සුබසිද්ධිය සඳහා අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කිරීමේදී මම කිසිවිටෙක තෘප්තියට නොපැමිණියෙමි.මගේ රටේ ජනතාවගේ යහපත සඳහා වැඩකිරීම මගේ පරම යුතුකම හා වගකීම යැයි මම සිතමි. නොපසුබස්නා උත්සාහයෙන් නිතරම වැඩ කරමින් රටවැසියාගේ යහපත පිණිස වැඩ කිරීමට වඩා වෙනත් ශ්‍රේෂ්ඨ කර්තව්‍යයක් මට නැත. මා ගන්නා සියලු උත්සාහයන්ගේ පරම පිවිතුරු අරමුණ වන්නේ මගේ ජනතාව සුවපත් කිරීමයි. මගේ පුත්‍රයෝද ඔවුන්ගේ පුත්‍රයෝද මේ රජ දහම අනුකරණය කරෙත්වා”

කාලිංග ගිරිනාර් ලිපි අංක හතෙහි ධර්මාශෝක රජතුමා විසින් මෙසේ සඳහන් කර ඇත.

“සවේ මනුසා මම පජා” මගේ රටේ සියලු ජනතාව මගේම දරුවෝය. මගේ දරුවන් ගැන මා සිතන අකාරයටම මගේ රටවැසියන් ගැනද මම සිතමි. දරුවන් වෙනුවෙන් මව්පියන් ඕනෑම දෙයක් කරන්නේද? එපරිද්දෙන්ම මගේ රටවැසියන්ගේ යහපත පතා මම ඕනෑම දෙයක් කරමි.”

සම්බුදු පියාණන් ජාතක පාලියෙහි මෙසේ දක්වා ඇත.

යම් ආකාරයකින් මව්පියන් සිය දරුවන්ගේ දියුණුව පතන්නේ ද එසේම රාජ්‍ය පාලකයා සියලුම රට වැසියන් තමන්ගේ දූ පුතුන් ලෙස සලකා කටයුතු කළ යුතු ය.

යටකී බුදු බණෙහි අදහස මෙයයි.

බලය සඳහා අසමඟිය වපුරන සමාජයක් බුද්ධ ධර්මයෙන් ඉඳුරාම

ප්‍රතික්ෂේප කරයි. සාමය සමානාත්මතාවයත් ඇති සමාජයක් ගොඩනැඟීම බුද්ධ ධර්මයේ ප්‍රතිපත්තියයි. මෙබඳු සමාජයක වැඳුම් පිදුම් ලබන්නේ තමා විසින් තමාම දිනා ගන්නා අයයි.

මෙහිදී වෛරය මෛත්‍රියෙන් ද, අධර්මය ධර්මයෙන් ද ජය ගනිමින් “දහමින් දැහැමියා රකී” යන සම්බුදු දහම මුදුන්පත් වෙයි.

මිනිසා තමා විසින් ගොඩනඟා ගත් තත්ත්වයන් තුළින් වෙනත් මිනිසුන්ට සේවය කළ යුතු ය. “මිනිසාට සේවය කිරීම මිනිසාගේ පරම යුතුකම යැයි” මෙහිදී සම්බුදු දහමින් පෙන්වා දී ඇත.

සාමය, මිත්‍රත්වය, හොඳ හිත තුළ මිනිසාට සේවය කිරීම පරමාදර්ශය කරගත් විට තමන් වෙනුවෙන් ද අනුන් වෙනුවෙන් ද ඵලදායක ගමනක් යා හැකිය.