Print this Article


මහින්දාගමනයට පෙර ලක්දිව පැවැති ඇදහිලි හා පුද සිරිත්

මහින්දාගමනයට පෙර ලක්දිව පැවැති ඇදහිලි හා පුද සිරිත්

බුද්ධ කාලීන භාරතය තුළ මිථ්‍යා දෘෂ්ටික ආගම් සැට දෙකක් තිබූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. මෙකී ආගම් අතර බ්‍රාහ්මණගම, ජෛනාගම, ආජීවක පරිබ්‍රාජක හා අචේලක යන ආගමික කොටස් දඹදිවින් පිටස්තර දේශවල ද ශීඝ්‍ර ලෙස පැතිර ගිය බවට ඉතිහාසය සාක්ෂි දරයි. ඒ අනුව මහින්දාගමනයට පෙර ලක්දිව පැවතියේ ද දඹදිව පැවැති එකී ආගමික ඇදහිලි හා පුද සිරිත් බව විශ්වාස කළ හැකි ය.

ලක්දිව දඹදිවට ඉතා සමීපව පිහිටි රටක් වීම එරට පැවැති ඇදහිලි හා පුදසිරිත් මෙරට පැතිරී යාමට මූලික වශයෙන් බලපා ඇත. එසේම දඹදිවින් පැමිණි ජන කොට්ඨාසයකින් ලක්දිව ජනාවාසවීමත්, ආසන්න පිහිටීමත් හේතුවෙන් දෙරට අතර සිදු වූ වෙළඳ, ඤාති මිත්‍ර හා තානාපති වශයෙන් විවිධාකාර වූ සබඳතා රැසක් ඇතිවීම ද ඊට තවත් හේතුවකි.

මෙම සබඳතා ලක්දිව ජාතික, ආගමික හා සාමාජික යන අංශයන් කෙරෙහි බෙහෙවින් බලපා ඇති බව පෙනේ. මහින්දාගමනයට පෙර ලක්දිව පැවැතියේ ද සමකාලීන දඹදිව ව්‍යාප්තව පැවැති ආගමික ඇදහිලි හා පුදසිරිත් යැයි පැවසිය හැක්කේ එබැවිනි.

බුදුරදුන් ජීවමාන සමයෙහි ම ලක්දිව පිහිටුවා වදාළ බුදුදහම ශතවර්ෂ කිහිපයක් ඇවෑමෙන් මෙරටින් අතුරුදහන්වීමට මූලික වශයෙන් බලපෑ හේතු සාධක කවරේදැයි නිශ්චිත වශයෙන් ම ප්‍රකාශ කිරීම අපහසු ය.

යක්ෂයින් ඇදහීම

මහින්දාගමනයට පෙර ලක්දිව පැවැති ප්‍රධාන ආගමික විශ්වාසයක් නම් යක්ෂයින් ඇදහීමයි. පණ්ඩුකාභය රජු අනුරාධපුරයෙන් නැඟෙනහිර දිසාවෙහි කාලවේල යක්ෂයාටත් අභයවැවෙන් පහළ ප්‍රදේශයෙහි චිත්තරාජ යක්ෂයාටත් දේවාල ඉදිකරවා වාසය කරවා ගත් බව මහාවංශයේ විස්තර වේ. පණ්ඩුකාභය රජු උපතේ සිට ම ඔහුට ආරක්ෂකයන් ලෙස මෙම යක්ෂයින් දෙදෙනා සිට බව එකල විශ්වාසය විය. ඔහු රාජ්‍යත්වයට පත්වීමෙන් පසුව මෙම දෙදෙනාට විශේෂ ගරු සැලකිලි දක්වා වාසය සඳහා ද පහසුකම් සලස්වා දුන්නේ ඊට කෘතගුණ සැලකීමක් ලෙසයි.

චිත්තරාජ යක්ෂයා උදෙසා පුද සත්කාර කිරීම එකල දඹදිව ජනතාව ද තදින්ම හුරුපුරුදු වී සිටි ඇදහිල්ලකි.

පුරාතන ලක්දිව යක්ෂ වන්දනාව පිළිබඳ විමසීමක යෙදෙන මහාචාර්ය වල්පොල රාහුල හිමියෝ ලක්දිව බුදු සමයේ ඉතිහාසය කෘතියෙහි දක්වා ඇත්තේ චිත්ත රාජ හා කාලවේල ලක්දිව ආදිවාසීන්ගේ හෝ වැද්දන් ගේ හෝ නායකයින් දෙදෙනෙකු වත්, පණ්ඩුකාභය සැබවින්ම සියැසින් දැක හඳුනන ප්‍රාණීන් වත් නොව අද දවසේ පවා මිථ්‍යා විශ්වාසීන් ගේ මනඞකල්පයෙහි වෙසෙන යක්ෂ භූතාදීන් මෙන් එකල මිනිසුන්ගේ මනඞ කල්පයට අරක්ගෙන සිටි ප්‍රේතාත්මයන් බවයි.

මළවුන් පිදීම

මහින්දාගමනයට පෙර ලක්වැසියන් අතර මළවුන් පිදීමේ ඇදහිලි ක්‍රමය ද තදින්ම ව්‍යාප්තව පැවතිණ. ප්‍රේතාත්ම ඇදහිල්ල හෙවත් මියගිය නායකයින් හා විශිෂ්ට ආදී පුරුෂයන් පිදීම බණ්ඩාර ඇදහිල්ල වශයෙන් ආදි කාලයේ පටන් අද දක්වාම ලක්දිව පැවත එන සිරිතක් බව වල්පොල රාහුල හිමියෝ පෙන්වා දෙති.

මළවුන් පිදීම පිළිබඳ චාරිත්‍රය ලක්දිව තදින්ම මුල්බැස තිබූ බවට ප්‍රබලම සාධකයක් වන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට සැපත්වීමෙන් පසු දේශනා කළ ධර්ම කොට්ඨාසයන් ය. ලක්දිව ජනතාව ප්‍රේතාත්ම ගැන විශ්වාසය තබා ඇති බව දත් මිහිඳු මාහිමි ඔවුන්ගේ මිථ්‍යා විශ්වාස තුරන් කිරීමේ අරමුණෙන් පේතවත්ථු, විමානවත්ථු ආදිය මුල් කරගෙන ධර්ම දේශනා කළ බව පැහැදිලි ය.

නාග ඇදහීම

මහින්දාගමනයට පෙර පැවති ඇදහිලි හ පුදසිරිත් ගැන සඳහන් කරන මහාවංස කතුවරයා නාගයින් ඇදහීම ගැන කිසිදු තොරතුරක් ඉදිරිපත් නො කරයි. එහෙත් එහි නාග ගෝත්‍රිකයන් ගැන විස්තර හමුවෙයි. පුරාතන ලංකාවාසීහු නාග නමැති භූතයන් විශේෂයකට වැඳුම් පිදුම් කළහ. චූලෝදර මහෝදර යන නා රජුන්ගේ අරගලයක් සංසිඳවීම සඳහා බුදුරජාණන් වහන්සේ වරක් ලක්දිව නාගදීපයට වැඩම කළ බව අපි දනිමු. මෙම නාගදීපය හෙවත් නාග දිවයින නාග ගෝත්‍රිකයින් විශාල වශයෙන් පදිංචිව සිටි ප්‍රදේශය විය යුතු ය.

නාග ඇදහීම දකුණු ඉන්දියාවේ දැනුදු පවතින ආගමික පිළිවෙතකි. පුරාතන ලක්දිව ගල් කැටයම්වල නාග රූප බෙහෙවින්ම යෙදීමෙන් පෙනී යන්නේ නාගයින් පිළිබඳ විශ්වාසය ලංකාවාසීන්ගේ සිත්වලින් බැහැර නොගිය බවයි. දොරටුපාල රූපවලත්, බුදුරුවෙහිත් නාග රූප මූර්තිමත් කර තිබීමෙනුත් එම අදහස තහවුරු වෙයි.

වෘක්ෂ වන්දනාව

පණ්ඩුකාභය රජු වෛශ්‍රවණ නමැති යක්ෂ රාජයා නගරයේ බටහිර වාසල නුග රුකක වාසය කරවූ බව කියවෙයි. ඒ අනුව ප්‍රාග් මහින්ද යුගයේ වෘක්ෂ වන්දනාවට ද ප්‍රමුඛස්ථානයක් හිමිව තිබේ. නූතනයේ පවා විශාල ලෙස වැඩුණු නා, නුග, ඇසතු යනාදී වෘක්ෂයනට අරක්ගත් දෙවිදේවතාවුන් ඇතැයි ඇතැමෙක් විශ්වාස කරති. එම ගස් කපා විනාශ කිරීම හෝ ප්‍රයෝජනයට ගැනීම මහත් අනතුරුදායක විපත් ගෙනදෙන අශුභ දෙයක් කොට සලකති. ඇසතු වෘක්ෂය බෞද්ධ ලෝකයා ගෙන් වැඳුම් පිදුම් ලබන පූජනීය වස්තුවක් බවට පත් වූයේ බුදුරජාණන් වහන්සේ එකී වෘක්ෂ මූලයෙහි වැඩ සිට බුද්ධත්වය අවබෝධ කළ හෙයිනි.

දෙවියන් ඇදහීම

එක් එක් කර්මාන්තවලට ප්‍රධාන වූ කිසියම් දෙවි කෙනෙක් සිටින බවක් එකල ජනතාවගේ සිත් සතන් තුළ තදින්ම මුල් බැසගත් විශ්වාසයකි. ස්වකීය කර්මාන්තවලට යාමට පෙර ඒ ඒ දේවතාවා වෙනුවෙන් පුද සිරිත් ඉටුකර යාම සිරිතක් ව පැවතිණි. උපුල්වන්, සමන්, විභීෂණ, සතරවරම්, ස්කන්ධ කුමාර ආදී දෙවියන් ද තවත් දේවතාවියන් ද වෙනුවෙන් එකල ජනතාව පුද සත්කාර කළ බවට සාධක තිබේ.

බ්‍රාහ්මණ ආගම

එදා ලක්දිව ජන සමාජයේ බමුණාට ඉතා උසස් තැනක් හිමි වී තිබුණු බව වංසකතා විස්තරවලින් හෙළි වෙයි. උගත් බමුණෝ පාලක පක්ෂයට අවවාද අනුශාසනා කරමින් පුරෝහිත තනතුර ඉසිලූහ. විජය කුමරු සමඟ පැමිණි උපතිස්ස බමුණා ඔහු ලක්දිව රජබවට පැමිණි පසු පුරෝහිතයා විය. පණ්ඩුකාභය ශිල්ප උගත්තේ ත්‍රිවේදයේ පරතෙරට පත් ‘පණ්ඩුල’ නම් බ්‍රාහ්මණයාගෙනි. දෙවනපෑතිස් රාජ්‍ය සමයේ ශ්‍රී මහා බෝධි ශාඛාව මෙහි වැඩමවා ගෙන ඒමේ දී තිවක්ක බමුණු ගමේ පුද සත්කාර පිණිස වඩා හිඳ වූ බව සඳහන් වෙයි. ඓතිහාසික සෙල්ලිපි කිහිපයකම බමුණන් ගේ නම් සඳහන් වෙයි. මේ නිසාම බ්‍රාහ්මණ ඇදහීම් ක්‍රම ද ලක්දිව ව්‍යාප්තව තිබූ බව සිතාගත හැකි ය.

ජෛනාගම

මහින්දාගමනයට පෙර සමයේ ලක්දිව ජෛනාගම ද සුළු වශයෙන් හෝ ව්‍යාප්තව පැවතිණ. චන්ද්‍රගුප්ත රාජ්‍ය සමයේ උතුරු ඉන්දියාවට පැමිණි ජෛන මහාවීරගේ අනුගාමිකයන්ගෙන් කොටසක් ලංකාවට ද සංක්‍රමණය වන්නට ඇතැයි, සිතිය හැකි බව මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීහු පෙන්වා දෙති.

ශිව ඇදහීම

ශිව දෙවියා හා ශිව ලිංග වන්දනාව මහින්දාගමනයට පෙර ලක්දිව පැවැති බවට සාක්ෂි තිබේ. පණ්ඩුකාභය රජු ඒ ඒ තන්හි සිවිකා ශාලා හා සොත්ථි ශාලා කර වූ බව මහාවංසයෙහි සඳහන් වෙයි. සිවිකා යනු ශිවලිංග පිහිටුවා තිබූ ශාලාව වශයෙන් මහාවංස ටීකා කරුවෝ අරුත් සපයති. මහසෙන් රජු ලක්දිව සෑම තැනෙකම තිබූ ශිව දේවාල හා ශිව ලිංග විශාල කළ බව වංසකතාවෙහි සඳහන් ය. ශිව ලිංග වන්දනාව දක්ෂිණ භාරතීයන්ගේ ජනපි‍්‍රය ආගමික ඇදහිල්ලක් වූ හෙයින් මහින්දාගමනයට පෙර එම වන්දනා ක්‍රමය ලක්දිව ද පවතින්නට ඇතැයි, විශ්වාස කළ හැකි ය.

මෙම කරුණුවලට අනුව ඉඳුරාම නිගමනයකට බැසිය යුත්තේ මහින්දාගමනයට පෙර ලක්වැසියන් මෙම ඇදහිලි හා පුදසිරිත් අනුගමනය කළ බවත් එහෙත් ඔවුන්ගේ ජීවිතය හා බලපෑ සැබෑ ආගමක් නොතිබුණු බවත් ය.