Print this Article


බෞද්ධ සදාචාරය රැක ගනිමු

බෞද්ධ සදාචාරය රැක ගනිමු

ගත වූ සියවස් විසිතුනක කාලය මුළුල්ලේ සිරිලක ධර්මදූතයන් වහන්සේලා මේ උරුමය සිතින් දරා ජාතියට බුදු බණ ඉගැන්වූහ. සදාචාරය ගොඩනැඟූහ. යහපත් සිරිත් විරිත් කියා දුන්හ. පාපයේ බියත්, කුසලයේ යහපතත් කියා දුන්හ. දුකෙන් මිදී සහනශීලී ජීවිතයකට මං පෙත් විවර කළහ. පත පොත කියා දුන්හ. ජීවිතයේ කවරම අභියෝගයක් වුව සාර්ථකව විඳ දරා ගන්නට අවශ්‍ය මානසික උසස් බව ගොඩනැංවූහ.

ශ්‍රී ලාංකික සියලු ජනතාවගේ ප්‍රධාන ජාතිකෝත්සව දිනයක් ලෙස පොසොන් පොහොය අපට ඉතා වැදගත්. සිංහල ජාතිය ප්‍රාණය ලැබුවේ ද රජුගේ පටන් රටවැසියන් දක්වා සියලු දෙනාම බෞද්ධ සිරිත් විරිත් අනුව හැඩ ගැසෙන්නට ආරම්භ වූයේ ද පොසොන් පෝ දා සිදු වූ මහින්දාගමනයත් සමඟයි.

තිසරණය පිහිට කොට ගත් ජාතියක් පංචශීලය සුරකිමින් අවිහිංසාවාදී දිවි පෙවෙතක් ගත කරන ජාතියක් බවට පත් වූයේ බුදුදහම අපේ දායාදය බවට පත්වීමෙන් පසුව ය.

පන්සල කේන්ද්‍ර කරගත් ගමක භික්ෂුව ප්‍රධාන මුර දේවාතවා ද, කුල දේවතාවා ද වෙමින් නව සංඝ සමාජයක සමාරම්භය මේ සමඟ අපට උරුම විය. ලෝකයේ වෙන කවර සමාජයකවත් නොමැති පරිදි දානය, පරිත්‍යාගය, ආගන්තුක සත්කාරය, මව්පිය වැඩිහිටි උපස්ථානය, ත්‍රිවිධ බෝධි වන්දනාව පෙරටු කර ගත් සිංහල ජන ජීවිතය මෛත්‍රීය, කරුණාව වැනි විශිෂ්ට ආධ්‍යාත්මික ගුණාංගයන්ගෙන් පොහොසත් වන්නට වූයේ මෙම විශිෂ්ට මිහිඳු සංස්කෘතියේ දායාද වශයෙනි.

ගමේ පන්සලේ ධර්ම ශාලාව, ප්‍රධාන අධ්‍යාපන කේන්ද්‍රස්ථානය පමණක් නොව සමාජ කටයුතුවල මූලස්ථානය බවට ද පත් විය. පැරණි විහාරස්ථානයන්හි අදත් ශේෂ ව පවතින යෝධ ධර්ම ශාලා අපට කියා පාන්නේ ජනතාවක් හැඩ ගැසූ ශ්‍රේෂ්ඨ අතීතයයි.

සියලු දෙනා බිම වාඩි වී බණ ඇසූ, දහම් කතා පැවැත්වූ, ධර්ම සාකච්ඡා කළ, ජාතක කතා ශ්‍රවණය කළ, ධර්ම ශාලාව ජන දිවියේ තක්සලාව ම විය. පාපයෙන් මිදුණු , කුසලයෙහි යෙදුණු ජාතියක් අපට බිහි වන්නේ මෙම ධර්ම ශාලාවෙන් සිදුවූ ධර්ම සන්නිවේදනය හේතුවෙනි.

විශිෂ්ට සංස්කෘතියත් අපට දායාද වූ පොසොන් දා අප සිහිපත් කළ යුත්තේ අපගේ ශ්‍රේෂ්ඨ ධර්ම සන්නිවේදකයාණන් වූ මහා මහින්ද මහරහතුන් වහන්සේ ය.

බුදුරජාණන් වහන්සේගේ ගාම්භීර දර්ශනය රැගෙන පැමිණි මිහිඳු හිමියන් ප්‍රධාන ධර්මදූත පිරිස ප්‍රථමයෙන් ධර්මය දේශනා කරන්නට රටේ නරපතියා වූ දෙවනපෑතිස් මහරජතුමා ම තෝරා ගැනීම මිහිඳු හිමියන්ගේ දූරදර්ශී බව ප්‍රකට කරවයි. බොහෝ දෙනා තවමත් විශ්වාස කරන්නේ මෙය අහම්බෙන් සිදු වූ හමුවීමක් ලෙසයි. එහෙත් ඓතිහාසික සාක්ෂි අපට ප්‍රත්‍යක්ෂ කරන්නේ මිහිඳු හිමියන් හා දෙවනපෑතිස් හමුව පෙර සැලසුම් කළ වැඩ සටහනක ප්‍රතිඵලයක් ලෙසයි.

මිහිඳු හිමියන් රටේ රජතුමා හමු වී දහම් දෙසීමට මිහින්තලයට වැඩම කළ අතර ඒ බව රජු ද දැන සිටියේ ය. රජු බෞද්ධයකු නොකොට රට වැසියාට බණ කීමෙන් පලක් නොවන බව මිහිඳු හිමියෝ දැන සිටියහ. එබැවින් රජු හමුවීමට සැලසුම් කෙරුණු අතර රජුගේ බස ද මිහිඳු හිමියෝ ඉගෙන පැමිණියහ. රජුගේ ප්‍රඥාව විමසන්නට අඹ පැනය ඉදිරිපත් කළ අතර එය සාර්ථකව විසඳීමෙන් රජුගේ අවබෝධය පසක් කෙරිණි. තෙරුවන් ගුණ මෙම රටවැසියාට අවබෝධ කළ හැකිය යන්න එයින් දැනගත් මිහිඳු හිමියෝ රජුට චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කොට වදාළහ. එසේ ඇරඹි ලක්දිව ධර්මදූත මෙහෙවර ඉතා සාර්ථක ව සිරිලක ධර්මද්වීපයක් බවට පත් කෙරිණි.

ගත වූ සියවස් විසිතුනක කාලය මුළුල්ලේ සිරිලක ධර්මදූතයන් වහන්සේලා මේ උරුමය සිතින් දරා ජාතියට බුදු බණ ඉගැන්වූහ. සදාචාරය ගොඩනැඟූහ. යහපත් සිරිත් විරිත් කියා දුන්හ. පාපයේ බියත්, කුසලයේ යහපතත් කියා දුන්හ. දුකෙන් මිදී සහනශීලී ජීවිතයකට මං පෙත් විවර කළහ. පත පොත කියා දුන්හ. ජීවිතයේ කවරම අභියෝගයක් වුව සාර්ථකව විඳ දරා ගන්නට අවශ්‍ය මානසික උසස් බව ගොඩනැංවූහ.

අතීතයේ ධර්ම ශාලාවෙහි කළ මෙම කාර්ය භාරය වර්තමානයේ ජන මාධ්‍ය වෙතට හුවමාරුව තිබෙයි. එහෙත් විද්‍යුත් සන්නිවේදනයේ විසම ජනක දියුණුව හේතුවෙන් වර්තමානයේ තොරක් නැති දේශනා රූපවාහිනි, ගුවන් විදුලි පමණක් නොව සී.ඩී ඔස්සේ පැතිර පවතී.

පොහෝ දිනයෙහි උපෝෂථ ශීලයෙහි ද පිහිටා විහාරස්ථානයට නොගොස් ගෙදර රූපවාහිනියෙන් බණ අසන උපාසක උපාසිකාවෝ ද අද අපට වෙති.

ධර්ම සන්නිවේදනය පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අවවාද කිසිවක් නොගෙන ඇතැම් දේශකයන් වහන්සේලා නළුවන් විකටයන් බවට පත්ව සිටීම කොයි තරම් ඛේදවාචකයක් දැයි සිතා බලන්න.

ධර්ම දේශනාවක් විනෝද සමයක් බවට දේශකයන් වහන්සේලා පත් කර ගන්නේ නම් අපට බර්ටි ගුණතිලකයන්ගෙන් වැඩක් තිබේද? ටෙනිසන් කුරේලා කරන කාර්ය භාරය කරන්නට බෞද්ධ ධර්ම සන්නිවේදකයන් ඉදිරිපත් වීමත්, නමස්කාරයවත් නොදන්නා බෞද්ධයන් කට ඇර ගෙන තමාටම සිනාසෙන්නටත් පුරුදුව සිටීම නූතනයේ ධර්මයට අත්වූ බරපතළම පහරක් බව කිව යුතු ය.

බුදුහිමියන්ට, මිහිඳු හිමියන්ටත් නිගා දෙන මෙම දේශකයන් වහන්සේලා ශ්‍රේෂ්ඨ බුද්ධ ධර්මය දෙසන්නට සැකසූ ධර්මාසනවලට නැඟ සුපර්ඩාන්ස්ලා වැනි බාල පහත් තත්ත්වයට ඇද වැටීම මිහිඳු උරුමය කාබාසිනියා කර දැමීමකි.

මිනිසුන්ගේ දුර්වලතා අනුකම්පාවෙන් පෙන්වා දී ඒවා ධර්මානුකූල ව සකසා ගැනීමට මඟ පෙන්වනවා වෙනුවට ඒවාට සිනාසීම, හාස්‍යයට ලක් කිරීම ධර්මය අධර්මය කිරීමක් නොවේද?

බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ උදායි සූත්‍රයෙහි දහම් දෙසීම පහසු නොවන බවත්, දේශකයා තුළ ගුණ 05ක් පිහිටුවා ගෙන දහම් දෙසිය යුතු බවත් වදාළහ.

1. ‘ආනුපුබ්බී කථං කථෙස්සාමීති’ ආකූල බවින් මිදී මුල මැද අග යහපත් වන පරිදි පිළිවෙළක් අනුව දහම් දෙසමි' යි සිතා බණ කිව යුතු ය.

2. “පරියාය කථං කථෙස්සාමීති”

ඒ ඒ දෙය එසේ වීමට හේතු දක්වමින් අර්ථය විකෘති නොවන ලෙස සුදුසු වූ කතාවක්ම කියමි’ යි සිතා බණ කිව යුතු ය.

3. “අනුද්දයතං පටිච්චකථං කථෙස්සා මීති”

දුකට පත්වූවන් එයින් මිදවීම පිණිස ශ්‍රාවකයා කෙරෙහි අනුකම්පාවෙන් හා මෛත්‍රී සිතින් ම බණ කිව යුතු ය.

4. “අමිසන්තරො කථං කථෙස්සාමීති”

ලාභාපේක්ෂාවෙන් හෝ කීර්ති ප්‍රශංසාදිය අපේක්ෂාවෙන් හෝ බණ නොදෙසිය යුතු ය.

5. ‘අත්තානං පරං අනුපවාච්ච කථං කථෙස්සාමීති”

තමා හුවා නොදක්වා, අන්‍යයන් හෙළා නොදැක අන්‍යයන්ගේ ගුණ නොනසන ලෙස දහම් දෙසිය යුතු ය.

උදායි තෙරුන්ට බුදුරජාණන් වහන්සේ වදාළේ මෙම කරුණු පහ කෙරෙහි අවධානය යොමු නොකොට දහම් දෙසන්නාගේ ධර්මය පිරිසුදු ධර්මය නොවන බවයි. එයින් ශ්‍රාවක දේශක දෙපිරිසට ම අර්ථයක් සිදු නොවන බවයි. එසේ නම් සී.ඩී බණ දෙසන මුදලාලිලා මෙම ප්‍රධාන ධර්ම සන්නිවේදන මූල ධර්ම පවා බිඳ දමා තිබෙයි.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය සාන්දෘෂ්ඨික ය. එනම් ඇස් පනාපිට ම ‘අකාලිකෝ’, කල් නොයවා ප්‍රතිඵල ලැබිය හැකි ධර්මයකි. සී.ඩී. බණවලින් ඒවා ලැබිය හැකිද? බුදුහිමියන් අභය රාජ කුමාරයාට වදාළේ කවර සත්‍යයක් වුව ද එය කීමට අවැඩදායක වේ නම්, ඇසීමට අපි‍්‍රය වේ නම් ඒ දේ නොකිව යුතු බවයි. මේ මූල ධර්මය සී.ඩී. බණකරුවන් උල්ලංඝනය කර තිබෙයි.

එමෙන්ම සුභාසිතවා සූත්‍රයේ දී වදාළේ, සුදුසු කල්හි, සත්‍යයක්, මෘදු ස්වරයෙන්, ශ්‍රාවකයා කෙරෙහි අනුකම්පාවෙන් මෙත් සිතින් කිවයුතු බවයි. මේ සියල්ල බිඳ දමන ධර්ම සන්නිවේදනය ධර්මයටත්, ජනතාවටත් හානියක් මිස යහපතක් ඇති නොකරනු ඇත. අනුවණ බෞද්ධයිනි, මේවා ධර්මය නොවන බව වටහා ගනිත්වා.