Print this Article


චූලහත්ථිපදෝපම සූත්‍රය

චූලහත්ථිපදෝපම සූත්‍රය

සූත්‍ර පිටකය, මජ්ක්‍ධිම නිකාය මූල පණ්ණාසකය, තුන්වැනි ඔපම්ම වර්ගයේ 7 වැනි සූත්‍රයයි.

අප භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ වැඩ වසන කල්හි විශේෂ දිනයක් උදා විය. ඒ කොසොල් මහ රජතුමන්ගේ අතිශය සම්භාවනාවට ලක් වූ “ජාණුස්සෝණි” නම් බ්‍රාහ්මණයා නගර ප්‍රදක්ෂිණා කරන දිනයයි.

ජාණුස්සෝණී බ්‍රාහ්මණයාගේ වීථි සංචාරය

එදින අලුයම ස්නානය කොට, පෙරබත්කිස නිමවා, සුදු වස්ත්‍රයක් හැඳ සුදු, උතුරු සළුවක් පොරවා, සුදු පැහැති මල් පැළ ද, සුවඳ විලවුන් ගල්වා, සුදු ආභරණ පැළඳ එසේම සුදු වෙළඹුන් යෙදූ, සුදු පැහැයෙන් සරසන ලද අලංකාර රථයකට නැඟී සුදුවතින් සැරසුණු දස දහසක් බ්‍රාහ්මණයන් පිරිවරා විශේෂයෙන් සරසන ලද නගරයෙහි වීථි සංචාරය කරනු පිණිස සැවැත්නුවර දක්ෂිණ ද්වාරය අභිමුඛ ව ප්‍රදක්ෂිණා කරයි. මේ අසිරිය බලනු පිණිස මහජනයා ද එක්රොක් වූහ.

පිලෝතික පිරිවැජියා හමුවීම

එදින සැවැත්නුවර වැසි වාත්ස්‍යයන ගෝත්‍රයට අයත් ‘පිලෝතික’ නම් තරුණ පරිබ්‍රාජකයා අලුයම දෙව්රම් වෙහෙරට පිවිසියේ ය. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට උපස්ථාන කොට නිමවා පරිබ්‍රාජක පිරිකර ද රැගෙන ජේතවනයෙන් නික්ම ඉදිරියට එන්නා වූ පිලෝතික පිරිවැජියා ජාණුස්සෝණි බ්‍රාහ්මණයා විසින් ඈතදීම හඳුනා ගන්නා ලදී. එවිට දෙදෙනා අතර මෙබඳු සංවාදයක් ඇති විය.

ජාණුස්සෝණි - පින්වත, මේ මධ්‍යහන කාලයෙහි කොහි සිට එන්නේද?

පිලෝතික - පින්වත, මම ගෞතම බුදුරජාණන් වහන්සේ සමීපයේ සිට එන්නෙමි.

ජාණුස්සෝණි - පින්වත, ඔබ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ප්‍රඥාවන්තයෙක් පණ්ඩිතයෙක් යැයි සිතන්නේ ද?

පිලෝතික - ශ්‍රමණ ගෞතමයාණන් වහන්සේගේ නුවණ හා වියත්බව මම නොදනිමි. එය කියන්නට සමර්ථ නොවෙමි. උන්වහන්සෙගේ නුවණ හා වියත් බව දැනගත හැක්කේ එබඳු බුදුවරයකුට පමණයි.

ජාණුස්සෝණි - පින්වත, ඔබ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඉහළින්ම වර්ණනා කරන්නේද ?

පිලෝතික - පින්වත, රාජ රාජ මහාමාත්‍යාදීන් විසින් ද බොහෝ බ්‍රාහ්මණ ගෘහපතීන් විසින් ද, බොහෝ පරිබ්‍රාජක ආදීන් විසින් ද වර්ණනා කළ, ප්‍රශංසා කරන ලද උන්වහන්සේ දේව බ්‍රහ්මාදීන් විසින් ද වර්ණනා කරන ලදී. එනිසා මම කෙසේ නම් උන්වහන්සේ වර්ණනා කිරීමට සමර්ථයෙක් වෙම්ද?

ජාණුස්සෝණි - පිලෝතික, ඔබ උන්වහන්සේ කෙරෙහි මෙතරම් පැහැදුණේ කුමන කරුණක් නිසා ද?

පිලෝතික පිරිවැජියා ජාණුස්සෝණි බ්‍රාහ්මණයාගේ මේ ප්‍රශ්නයට දීර්ඝ පිළිතුරක් සැපයීය. එය මෙසේ ය.

හස්තිපදෝපමාව

පින්වත, ඇතුන් වාසය කරන මහා වනයට දක්ෂ හස්ති ශිල්පියෙක් ඇතුළු වූ විටෙක දික් වූ ද, පළල් වූ ද විශාල ඇත් පා සටහනක් දැක එය මහ ඇතාගේ යැයි තීරණය කරන්නාක් මෙන්, මම ද භාග්‍යවතුන් වහන්සේගේ ඤාණ පද සතරක් දුටුවෙමි. ඒ අනුව උන්වහන්සේ සම්මා සම්බුද්ධ යැයි නිගමනය කළෙමි. උන්වහන්සේ දෙසූ ධර්මය ස්වාක්ඛාත යැයි ද ශ්‍රාවක සංඝයා සුප්‍රතිපන්න යැයි ද නිගමනය කළෙමි.

පළමුවන ඤාණ පදය

මේ ලෝකයෙහි සියුම් වූ නුවණ ඇති අනුන් හා වාද කොට ජය ගැනීමට සමත්, ප්‍රසිද්ධ ක්ෂත්‍රිය පණ්ඩිතයන් බුදුරදුන් වෙත යම් යම් ප්‍රශ්න ගොතා ගෙන වාද කරනු පිණිස එළඹෙනු මම දුටිමි.

බුදුරජාණන් වහන්සේ යම් ගමකට හෝ නියම් ගමකට වැඩිවිට වාද කිරීමේ අදහසින් බුදුරදුන් හමුවට එන මේ

ක්ෂත්‍රිය පණ්ඩිතයන් සමඟ උන්වහන්සේ දැහැමි කතාවෙන් කරුණු දක්වති. එවිට ඔවුන් ගෙන ආ ප්‍රශ්න සදොස් බව තේරුම් ගෙන ඒවා ඉදිරිපත් නොකරති. උන්වහන්සේ කෙරෙහි පැහැදී බුද්ධ ශ්‍රාවකයන් බවට පත් වෙති. මේ මා දුටු පළමු ඤාණ පදයයි.

දෙවන ඤාණ පදය

පින්වත, එසේම ක්ෂත්‍රිය පණ්ඩිතයා මෙන්ම වාදයෙහි සමත් බ්‍රාහ්මණ පණ්ඩිතයෝ ද බුදු රදුන්ගේ දැහැමි කතාවෙන් පැහැදී තමන් ගෙනා ප්‍රශ්න සදොස් බව දැන ඒවා පසෙකලා බුද්ධ ශ්‍රාවකයන් බවට පත් වන අයුරු මම දුටුවෙමි. මේ දෙවන ඤාණ පදයයි.

තෙවන ඤාණ පදය

පින්වත, ක්ෂත්‍රිය හා බ්‍රාහ්මණ පණ්ඩිතයන් මෙන්ම වාද කරනු පිණිස බුදුන් වෙත ආ ගෘහපති පණ්ඩිතයෝ ද තමන් ගෙනා ප්‍රශ්න සදොස් බව දැන ඉවත දමා බුද්ධ ශ්‍රාවකයන් බවට පත්වනවා දුටුවෙමි. මේ තෙවන ඤාණ පදයයි.

සිව්වන ඤාණ පදය

පින්වත, වාද කිරීම් සමත් ඇතැම් ශ්‍රමණ පණ්ඩිතයෝ බුදුරදුන් වෙත පැමිණුන ද උන්වහන්සේගේ දැහැමි කතාවෙන් සතුටු ව තම ප්‍රශ්න නිසරුබව දැන ඉවත දමා බුදු සසුනට ඇතුළත් වන අයුරු දුටුවෙමි. එම නිසාම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වෙති. ධර්මය ස්වාක්ඛාතය, සංඝයා සුප්‍රතිපන්නය යි නිගමනය කෙළෙමි යි පිලෝතික තම දීර්ඝ පිළිතුර මෙසේ අවසන් කළේ ය.

මෙබස් ඇසූ ජාණුස්සෝණි බ්‍රාහ්මයා, රථයෙන් බිමට බැස උතුරු සලුව සකස් කොට දෙව්රම දෙසට හැරී දෑත් හිස්මුදුනේ තබා වැඳ

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස’ යි

තෙවරක් පී‍්‍රතියෙන් ප්‍රකාශ කළේ ය. මම ද උන්වහන්සේ හමුවී පිළිසඳරක යෙදිය යුතු යැයි ද වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

“හස්තිපදෝපමාව සම්පූර්ණ කිරීම”

ඉක්බිති ජාණුස්සෝණි බ්‍රාහ්මණ තෙමේ දෙව්රම් වෙහෙරට ගොස් බුදුරජාණන් වහන්සේ වෙත එළඹ පිළිසඳර කතාවෙන් පසු ඉහත සඳහන් වූ තමා හා පිලෝතික පිරිවැජියා අතර වූ සංවාදය සැළ කෙළේ ය. එවිට උන්වහන්සේ,

“බ්‍රාහ්මණය, මෙපමණකින් හස්ති පද උපමාව විස්තර වශයෙන් සම්පූර්ණ නොවේ යැයි වදාරා එය මෙසේ පැහැදිලි කළ සේක.

වාමනිකා

බ්‍රාහ්මණය, දක්ෂ වූ හස්ති ශිල්පියා ඇත් වනයේ දී දිග පළල මහ ඇත් පා සටහන දුටු පමණින් එය මහ ඇතාගේ පා සටහන යැයි නිගමනය නොකරයි. මක්නිසාද මේ ඇත් වනයෙහි වාමනිකා නම් වූ මිටි වූ බඩ මහත ඇතින්නියෝ සිටිත්. මේ පා සටහන ඔවුන්ගේ විය හැකි යැයි සිතා තවදුරටත් වනය තුළට ගමන් කරයි.

උච්චා කාළාරිකා

ඔහු ඇත් වනයෙහි දිග හා පළල මහා පාසටහන් නැවත දකී. ගස්වල හත් අටරියනක් උසින් පිට ඉලූ තැන් ද දකියි. දක්ෂ වූ හස්ති ශිල්පියා මේ පා සටහන මහ ඇතාගේ යැයි නිගමනය නොකරයි. මේ වනයේ මහත් පාද ඇති, උස් වූ, එක් දළක් උස් වූ අනෙක් දළ පහත් වූ ද උච්චාකාළාරිකා නම් ඇතින්නියකගේ පා සටහන විය හැකි යැයි සිතා වනය තුළට යයි.

උච්චා කණේරුකා

දක්ෂ හස්ති ශිල්පියා තවදුරටත් වනයතුළට යන්නේ නැවත ද දිග පළල ඇත් පා සටහන් දකී. එසේම ගස්වල පිට ඉලූ තැන් ද දළින් සිඳි තැන් ද දකී. නමුත් මේ පා සටහන මහා ඇතාගේ යැයි නිශ්චයට නොපැමිණේ. මහ වනයේ වෙසෙන උස් වූ ද මහත් වූ පාද ඇති “උච්චා කණේරුකා” නමැති ඇතින්නියකගේ පා සටහනක් විය හැකි යැයි සිතා ඉදිරියට ම යයි.

මහ ඇතා හමුවේ

බ්‍රාහ්මණය, මෙසේ ඉදිරියට යන දක්ෂ හස්ති ශිල්පියා තවත් ඇත් පා සටහනක් දකී. එය දිගින් දික් වූ, සරසින් පුළුල් වූ මහ ඇත් පා සටහනකි.

එසේම ගස්වල උස් තැන්හි පිට ඉලූ තැන් ද, දළ පහරින් සිඳලූ තැන් ද දකී. ඒ සමඟ ඔහු මහ ඇතා ගසක් මුල සිටින අයුරු, ඇවිදින අයුරු, හිඳගෙන සිටින අයුරු හෝ වැතිර සිටින අයුරු සියැසින් දැක “ඒ මහ ඇතා” යැයි නිගමනයට පැමිණෙයි.

මේ දක්ෂ හස්ති ශිල්පියා පිට ඉලූ තැන්, දළ සිඳිතැන් දුටු පමණින් මුලින් දුටු පා සටහන් මහ ඇතාගේ යැයි තීරණයට නොපැමිණ ඉදිරියට ගමන් කිරීමෙන් ම ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන්ම නිවැරැදි නිගමනයට පැමිණියේ ය.

වඩා නිවැරදි ඇත් පද උපමාව

ජාණුස්සෝණි බමුණාට පැහැදිලි කර දුන් බුදුරජාණන් වහන්සේ උපමා උපමේය සන්සන්දනය කරමින් ධර්මය දේශනා කළහ.

උපමාව - ඇත්වනය, දක්ෂ හස්ති ශිල්පියා, මහා හස්තියා, මහා ඇත් පාසටහන්, හස්ති ශිල්පියා ඒ ඒ තැන ඇත් පා සටහන් දැක වාමනිකා, කාළාරිකා, කණේරුකාදි ඇතින්නියන්ගේ පියවර විය හැකි යයි නිෂ්ඨා රහිත වීම, හස්ති ශිල්පියා, ඒ ඒ තැන්වල දුටු පා සටහන් මේ මහ ඇතාගේ යැයි අනෙකකුගේ නොවේ යැයි මහ ඇතා දැකීමෙන් තීරණය කිරීම.

උපමේය - නීවරණ නසන ධර්ම දේශනාව, යෝගාවචර භික්ෂු නම, සම්මා සම්බුදුරජාණන් වහන්සේ, ධ්‍යාන අභිඥා ධර්මයන්, යෝගාවචරයා, මේ ධ්‍යාන අභිඥාවෝ බුදු සසුනෙන් බාහිර පරිබ්‍රාජකයන්ට ද ඇතැයි නිෂ්ඨාරහිත වීම, ආර්ය ශ්‍රාවකයා සව් කෙලෙසුන් නසා රහත් බවට පැමිණීමෙන් නිගමනය කිරීමයි.

අනතුරුව බුදුරජාණන් වහන්සේ ඇත් පිය උපමාව සම්පූර්ණ කරමින් යෝගාවචරයා නිර්වාණාවබෝධය ලබන්නේ කෙසේදැයි ජාණුස්සෝණි බමුණා අමතා මෙසේ දේශනා කළ සේක.

බ්‍රාහ්මණය, තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මය අසා ගිහි ගෙය සම්බාධ සහිත ය, රාගාදී රජස් උපදින තැනකි. පැවිද්ද අහස මෙන් නිදහස් යැයි සිතා ගිහිගෙන් නික්ම පැවිදිවෙයි.

මේ පැවිද්දා කාය වාග් සංවරයෙන් යුක්ත වෙයි. ආර්ය ශීලය සමාදන් ව පරපණ නැසීමාදී විසිහය වැදෑරුම් කරුණින් වෙන්වූයේ වෙයි. කය පරිහරණය කිරීමට ප්‍රමාණවත් සිවුරෙන් ද, කුස පරිහරණය කිරීමට ප්‍රමාණවත් පිණ්ඩපාතයෙන් ද ආදී වශයෙන් සිවුපසයෙහි ලද පමණින් සතුටු වෙයි.

මෙසේ ඉතරීතර ප්‍රත්‍ය සන්තෝෂයෙන් යුතු උන්වහන්සේ පියා පත් බර පමණක් ගෙන පියාඹන ලිහිණියෙකු මෙන් පාසිවුරු පමණක් දරමින් ආර්ය ශීලයෙන් යුක්ත ව ආධ්‍යාත්මික වූ නිවැරැදි සුවය විඳියි.

එම යෝගාවචරයා ඇසින් රූප දැක ස්ත්‍රී පුරුෂාදී වශයෙන් නිමිති නොගනී. අත් පා ආදී අවයවයන්ගේ ආකාරය නොදනී. මෙසේ චක්ෂුරාදී ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙයි. ආධ්‍යාත්මික වූ කෙලෙසුන් නොවැගිරෙන්නා වූ සැපය විඳියි. හෙතෙම ඉදිරියට යාමෙහි, පෙරළා ඒමෙහි මැනවින් දැන කරන සුලු (සම්පජානකාරී) වෙයි. මෙසේ අභික්කන්ත පටික්කන්ත ආදී සත් තැන්හි ආර්ය සති සම්පජඤ්ඤයෙන් යුක්ත වෙයි.

අනතුරුව ඒ යෝගාවචරයා ජන ශූන්‍ය වූ ආරණ්‍ය වෘක්ෂ මූල ආදී විවේක ස්ථානයක ඌරු බද්ධාසනයෙන් හිඳ කය සෘජු කොට තබා සිහිය කර්මස්ථානාභිමුඛ කොට හිඳියි. පඤ්ච උපාදානස්කන්ධයන්හි රාගය දුරු කොට අභිධ්‍යාවෙන් සිත පිරිසුදු කරයි. එලෙසින්ම ව්‍යාපාද, ථීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන ප්‍රඥාව දුර්වල කරන පංචනීවරණයන් දුරු කොට කාමයන්ගෙන් වෙන්ව ම විතර්ක විචාර පී‍්‍රති, සුඛ සහිත ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.

මෙම ප්‍රථ ම ධ්‍යානය තථාගතයන් වහන්සේගේ ඤාණයෙන් යටපත් කළ ඤාණ පදය යයි ද, ඤාණ නමැති ඉල ඇට ගැටුණු තැන (තථාගත නිසෙවිතං) ඤාණ නමැති දළයෙන් සිඳී නැත. (තථාගත රඤ්ජිතං) යැයි ද කියනු ලැබේ.

ආර්ය ශ්‍රාවකයා එපමණකින් භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ ය, දෙසූ ධර්මය ස්වාක්ඛාත ය, ශ්‍රාවක සංඝයා සුපටිපන්න යැයි නිගමනයට නොපැමිණේ ම ය. නැවත ද යෝගාවචර මහණ තෙමේ ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කරයි. එය තථාගත පද තථාගත නිසේවිත තථාගත රඤ්ජිත යැයි කියනු ලැබේ. එනමුත්, ආර්ය ශ්‍රාවකයා එපමණකින් තෙරුවන් කෙරේ නිශ්චයට නොපැමිණේ ම ය.

යෝගාවචර මහණ තෙමේ මෙසේ පිරිසුදු වූ ප්‍රභාස්වර වූ අංගණ රහිත වූ පහ වූ කෙලෙස් ඇති කර්මයට යෝග්‍ය වූ ස්ථිති ප්‍රාප්ත වූ නොසැලෙන බවට පත් වූ සමාහිත සිත චතුර්ථධ්‍යානලාභී යෝගාවචරයා පුබ්බේ නිවාසානුස්සති ඤාණය හෙවත් පෙර විසූ කඳ පිළිවෙළ දන්නා නුවණ පිණිස සිත නැඹුරු කරයි. එපමණකින් තෙරුවන් කෙරේ නිශ්චයට නොපැමිණේම ය.

අනතුරුව චුතූපපාත ඤාණය හෙවත් සත්ත්වයන්ගේ චුති උත්පත්ති දන්නා නුවණ පිණිස සිත නැඹුරු කරයි. නමුත් ආර්ය ශ්‍රාවකයා එපමණකින් තෙරුවන් කෙරෙහි නිශ්චයට නොපැමිණේම ය. ධ්‍යාන අභිඥාවන් බාහිර ශාසනයන්හි ද පවතින හෙයිනි. අනතුරු ව ආසවක්ඛයකර ඤාණය පිණිස සිත නැඹුරු කරයි. දුක්ඛ, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධ, දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා යන චතුරාර්ය සත්‍ය තත් වූ පරිදි යථාභූත වශයෙන් දැන ගනී. ආසව, ආසව සමුදය, ආසව නිරෝධ, ආසව නිරෝධ ගාමිණී පටිපදාව ද තත් වූ පරිදි දැන ගනී. බ්‍රාහ්මණය, මෙයද තථාගත පද, තථාගත නිසේවිත, තථාගත රඤ්ජිත යැයි කියනු ලැබේ. ආර්ය ශ්‍රාවකයා එපමණකින් තෙරුවන් කෙරේ නිශ්චයට නොපැමිණියේ ම ය. මේ ධ්‍යානාභිඥාවන් බාහිර ශාසනයන්හි ද පවත්නා හෙයිනි.

එහෙත්, මාර්ග ඤාණයෙහි දී මහා හස්තියා දක්නා වූ හස්ති ශිල්පියා මෙන් භාග්‍යවතුන් වහහන්සේ සම්මා සම්බුද්ධය යනාදී අයුරින් තෙරුවන් කෙරෙහි නිශ්චයට පැමිණෙයි.

දැන් යෝගාවචර මහණහුගේ සිත කාම ආස්‍රවයෙන් ද, භවාස්‍රවයෙන් ද, අවිද්‍යාස්‍රවයෙන් ද මිදෙයි. අර්හත් මාර්ග ඤාණයෙන් තෙරුවන් නිශ්චය කළේ අර්හත් ඵල ක්ෂණයෙහි සියලු කෘත්‍ය අවසන් කළ හෙයින් සර්වප්‍රකාරයෙන් රත්නත්‍රයෙහි නිශ්යට පැමිණියේ ය. බ්‍රාහ්මණය මෙතෙකින් ඇත් පිය උපමාව සම්පූර්ණ වේ යැයි වදාළ සේක.

මෙසේ වදාළ කල්හි ජාණුස්සෝණි බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට මුණ නොගැහෙන අයුරින් ප්‍රශංසා කොට මම අද පටන් දිවිහිමියෙන් බුද්ධ, ධම්ම, සංඝ රත්නය සරණ යන බවට ප්‍රතිඥා කළේ ය. උපාසක භාවයට ද පැමිණියේ ය.