Print this Article


මිහිඳු හිමි සලකුණු කළ අටමහ ස්ථාන

මිහිඳු හිමි සලකුණු කළ අටමහ ස්ථාන

මහමෙව්නා උද්‍යානය තුළ රාජකීයයන් සඳහා රාජකීය ගෘහයක් විය. ප්‍රථමයෙන්ම මිහිඳු හිමියන්ට පූජා කළේ මෙම ගෘහයයි. ශ්‍රී මහා බෝධිය පිහිටුවා ඇත්තේ එහි නැඟෙනහිර දොරටුව අසල හෙයින් මෙම ගෘහය ශ්‍රී මහා බෝධියට බටහිර දෙසින් පිහිටා ඇති බව සලකණු ලැබේ. මහමෙවුනා උයන මිහිඳු හිමිගේ පිළිගැනීමෙන් පසුව සංඝ සම්මුතියෙන් උපෝෂථාගාරයක් බවට පත් විය.

මහ පොළොව කම්පාවෙයි

මෙම මහමෙව්නා උයන තුළ මිහිඳු මා හිමියන් විසින් ඉසින ලද මල් පතිතවීමෙන් මහ පොළොව කම්පා වූ පූජනීය ස්ථාන පිහිටීම දැක්වීම සඳහා ස්ථාන හතක් හා දේවානම්පියතිස්ස රජතුමා විසින් මිහිඳු හිමියන්ට තිස්සාරාමය සඳහා මහමෙවුනා උයන රන් කෙණ්ඩියෙන් පැන් වත්කොට පූජා කිරීමේ දී පැන් පතිතව මහ පොළොව කම්පා වූ ස්ථානය තිස්සාරාමය යනුවෙන් පූජනීය ස්ථාන අටක් මුල්ම කාලයෙහි මෙම මහා විහාරයට අයත්ව තිබී ඇත. එම ස්ථාන අට අටමහ ස්ථාන නම් විය.

මාලක සීමාව (කම්මමාලකය), ජන්තාඝර පොකුණ, ජය ශ්‍රී මහා බෝධිය, ලෝවාමහාපාය (පොහොය ගෙය) සංඝයාට ලාභ බෙදන ලහබත් ගෙය, දාන ශාලාව (චතුස්සාලාව), රුවන්වැලි සෑය හා තිස්සාරාමයයි.

දෙවන දින මිහිඳු හිමියන් නන්දන වනයේ ධර්ම දේශනා කිරීමෙන් පසු මිස්සක පර්වතය කරා නැවත වැඩීමට සූදානම් විය. එවිට දේවානම් පියතිස්ස මහරජතුමා පැමිණ මිහිඳු හිමියන්ට නන්දන වනයෙහි ම එදින රාත්‍රිය ගත කිරිම සඳහා ආරාධනා කරනු ලැබී ය. එනමුත් මිහිඳු හිමියන් පවසනුයේ පුරයට අතිශයින් ආසන්න බැවින් සුදුසු නොවන බව ය.

එවිට රජතුමා සිහිපත් කරනුයේ පුරයට නුදුරුව නොළංව ජලයෙන් හා ගස් සෙවණින් යුක්ත වූ මහමෙවුනා උයනෙහි උන්වහන්සේට වැඩ සිටින ලෙස ආරාධනා කිරීමයි. එයට කැමති වු මිහිඳු හිමියෝ එදින රාත්‍රී මහමෙවුනා උයන්හි රාත්‍රී නවාතැන් ගත්හ.

මහමෙවුනා උයන සඟ සතුකොට පූජා කරයි

තෙවන දින මහ රජතුමා විසින් හිමිදිරි පාන්දරම මල් ගෙන්වා ගෙන මිහිඳු හිමියන් බැහැ දුටුවේ ය. හිමියන්ට වන්දනාමාන කොට සුවඳ මලින් මිහිඳු හිමියන් පුදා රාත්‍රී කාලය සුව සේ ගත කළේද, උයන තපස්වීන්ට පහසු වේදැයි විචාරණ ලදී. මිහිඳු හිමියන් පවසනුයේ උයන තපස්වීන්ට සුදුසු වන බවත් සුව සේ රාත්‍රී කාලය ගත කළ බවත් ය.

රජු නැවත විමසනුයේ ආරාම භික්ෂූන්ට කැප ද යන්නයි. මිහිඳු හිමියන් බුදුරජාණන් වහන්සේ වේලුවනාරාමය පිළිගත් අයුරු දක්වා භික්ෂූන්ට ආරාම පිළිගැනීම කැප බව දන්වන ලදී. ඒ අවස්ථාවෙහි දේවානම්පියතිස්ස මහරජ තෙමේ තම අතින් පැන් කෙණ්ඩිය ගෙන මිහිඳු මහ රහතන් වහන්සේගේ දක්ෂිණ හස්තයට පැන් වත් කොට මහ මෙවුනා උයන සඟසතු කොට පූජා කළ බව ය. එවිටම මහ පොළොව කම්පා විය. පාථිවිය කම්පා වීමට හේතු විමසූ විට මිහිඳු හිමියන් පවසනුයේ ලංකාද්වීපයෙහි බුදු සසුන පිහිටි බව සංකේතවත් කළ බව ය.

සීමා මාලකය

රජ තෙමේ බොහෝ සතුටට පත්ව දෑසමන් මල් මිහිඳු හිමියන්ට පිරිනැමූ විට උන්වහන්සේ දකුණු දිසාවට මඳක් ගොස් සමන් මල් මිටි අටක් හිඹුල් රුකක් මුල ඉසින විට එවිට ද පොළොව කම්පාවට පත්විය. කම්පා වීමට හේතු විමසූ විට හිමියන් ප්‍රකාශ කළේ කකුසන්ධාදි තුන් බුදුන් කාලයේ සිටම මෙම ස්ථානය සංඝ කර්ම කිරීම පිණිස උපයුක්ත සීමා මාලකය පිහිටන බව ය.

ඉන්පසු මිහිඳු හිමියන් වැඩම වනුයේ උතුරු දෙසින් පිහිටි රමණිය පොකුණක් වෙත ය. එහි දී මල් මිටි අටක් ඉසීය. එවිට ද පොළොව කම්පාවට පත්විය. එයට හේතු විමසන විට මහේන්ද්‍ර හිමියන් පවසනුයේ මෙම ස්ථානය භික්ෂූන්ගේ ගිනිහල් පොකූණ වන බව ය. ජන්තාඝර නමින් හඳුන්වා ඇත්තේ එම ස්ථානයයි.

මින් පසු හිමියන් වැඩමවනුයේ රාජ මන්දිරයේ දොර කොටුවටයි. එහිදී ද සමන් මලින් එම ස්ථානය පිදූ විට මහපොළොව කම්පාවට පත්විය. එසේම මහරජතුමා ද අතිශයින් රෝමෝද්ගමනයෙන් යුක්ත වූ බවත් ඒ පිළිබඳව විමසා සිටි විට මිහිඳු හිමියන් පවසනුයේ රජතුමනි මේ ස්ථානය මේ කල්පය පුරාවට බුදු වී වදාළ කකුසඳ, කෝනාගමන, කාෂ්‍යප යන තුන් බුදුවරයන් වහන්සේලා ම පිට දි බුදු වී වදාළ උතුම් බෝධීන් වහන්සේලා රෝපණය කරන ස්ථානය වන බව ය.

එබැවින් අප ගෞතම සම්බුදු රජාණන් වහන්සේ පිට දුන් උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව පිහිටන්නේ ද මෙම ස්ථානයේ ම වන බව ය.

ලෝවාමහාපාය

එම ස්ථානයෙන් මිහිඳු හිමියන් වඩිනුයේ මහා මූචල නම් වෘක්ෂ මූලයට ය. එහි ද පෙර සේ ම සමන් මල් ඉසින විට මහ පොළොව කම්පාවට පත්විය. ඒ පිළිබඳව විමසන විට මිහිඳු හිමියන් පවසනුයේ මෙම ස්ථානය මහා සංඝයාගේ පොහොය ගෙය වන ලෝවාමහා ප්‍රාසාදය පිහිටන ස්ථානය වන බව ය.

රසවත් අඹ ඵලයක් පිළිගැන්වීම

ඉන්පසු මිහිඳු හිමියන් ඇතුලු පිරිස පිවිසෙනුයේ පැනඹ මළුවටයි. එහිදි උයන් පල්ලා විසින් මහරජුට ඉතා රසවත් අඹ ඵලයක් පිරිනමනු ලැබේ. එම අඹ ඵලය රජු විසින් එම ස්ථානයේ දී ම මිහිඳු හිමියන් වෙත පූජා කරන අතර රජු විසින් සකසා ඇතිරිලි අතුරා දුන් ස්ථානයේ වැඩ හිඳ උන්වහන්සේ එම අඹ ඵලය එහිදී ම අනුභව කොට අඹ බිජුවටය රජු වෙත දුන් අතර එය එම ස්ථානයේ ම රෝපණය කරන ලදී. මිහිඳු හිමියන් අඹ බිජුවටය පැළවී වැඩෙනු පිණිස අත් ධෝවනය කර එම ජලය බිජුවට මත විසිරවී ය. එවිට එම බිජුවටයෙන් අඹ අංකුරයක් පැන නැඟී ක්‍රමයෙන් වැඩී පත්‍රයන්ගෙන් හා ඵලයන්ගෙන් යුත් විශාල අඹ රුකක් බවට පත් වී ඇත. ඒ දෙස බලා සිටි මහ රජතුමාට මෙම ආශ්චර්යය දැක රෝමෝද්ගමනයෙන් යුක්තව හිමියන්ට නමස්කාර කර ඇත.

එවිට පෙර සේ ම මිහිඳු හිමියන් දෑසමන් මලින් එම ස්ථානය පිදීය. එවිට ද මහ පොළොව කම්පාවට පත් වු අතර ඒ පිළිබඳව තෙරුන් විමසූ විට පවසනුයේ මෙම ස්ථානයේ සංඝයාට උපන් නොයෙක් ලාභයන් සමඟිව බෙදන ස්ථානය වන බව ය.

කකුසඳ බුද්ධා දී තුන් බුදුවරයන් වහන්සේලා ම උන්වහන්සේලාගේ කාලයෙහි මෙම උයන උන්වහන්සේලාට පූජා කළ කල්හි ලක්දිව වැසියන් විසින් සතර දිශාවෙන් ම ගෙන එන ලද දාන වස්තූන් මෙහි තබා වැළඳූ ස්ථානය වන චතුස්සාලාව පිහිටන ස්ථානයේ සමන් මල් විසුරුවන ලදී. එහි දීත් පෙර සේ ම පොළොව කම්පාවට පත්ව එම ස්ථානය සංඝයාගේ භක්ත භෝජන ස්ථානය වන බව රජ හට දැන්වීය.

රත්නමාලි මහා සෑ රද

ඉන්පසු මිහිඳු හිමියන් වැඩම කරනුයේ රජ උයන්හි පිහිටි කකුධ නම් කුඩා වැවක් සමීපයට ය. ඒ වැව මතුයෙහි දිය කෙළවර සෑයක් පිහිටුවීමට යෝග්‍ය වූ උස් තැනක් වීය. එම ස්ථානයට මිහිඳු හිමියන් වැඩම කරවූ පසු දේවානම්පියතිස්ස මහ රජතුමා විසින් මිහිඳු හිමියන්ට සපුමල් මිටි අටක් දුන් විට එම සපුමල් මිටි අටෙන් එම උස් ස්ථානය පුදන ලදී. එවිට ද මහ පොළොව කම්පාවට පත්විය. එම කම්පාවීමට හේතුව විමසන විට දි මිහිඳු හිමියන් පවසනුයේ සිවු බුදුවරයන් විසින් සෙවුනා ලද මෙම උතුම් ස්ථානයේ අප ගෞතම සම්බුදු රජාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කොට එක්සිය විසි රියන් උසට ඉදි කරනු ලබන රත්නමාලී නම් මහ සෑ රාජයාණන් වහන්සේ මෙහි පිහිටන බවය. එවිට රජතුමා පවසනුයේ එම දාගැබ් වහන්සේ තමන් විසින් ඉදි කිරීමට කැමති බවය. එවිට මිහිඳු හිමියන් පවසනුයේ මහරජතුමනි , ඔබට මෙහි බොහෝ කටයුතු සිදුකිරීමට ඇති බව ය. එසේම මෙම දාගැබ් වහන්සේ ඔබගේ මී මුණුපුරකු විසින් කරවන බවත්ය. ඒ පිළිබඳ ඓතිහාසික ක්‍රියාදාමය ද ගෙනහැර දක්වමින් පවසනුයේ ඔබගේ සහෝදර වූ මහානාග නම් යුව රජුගේ පුත්‍ර වූ යටාලතිස්ස නම් රජකු වන්නේ ය. ඔහු පුත් ගෝඨාභය නම් රජකු වේ. එතුමාගේ පුත් වූ කාවන්තිස්ස නම් රජකුට දාව දුටුගැමුණු යන නාමයෙන් ප්‍රසිද්ධ වූ මහරජෙක් වන්නේය. එතුමා විසින් මෙම ස්තූපය ඉදිකරන බව දන්වන ලදී. එම පුවත සඳහන් කොට දේවානම්පියතිස්ස මහරජු විසින් මෙම ස්ථානයේ ගල් ටැඹක් ඉදි කරන ලද බව සඳහන් වේ.

ඉන්පසු රජුත් සමග මිහිඳු හිමියන් වඩිනුයේ තිස්සාරාමය පිහිටුවන ස්ථානයටයි. එහි දී ද මල් ඉසින විට පොළොව කම්පාවට පත් වූ විට රජුට පවසනුයේ තිස්සාරාමය මෙහි පිහිටන බව ය.

මෙලෙස මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේ දේවානම්පියතිස්ස මහ රජතුමා සමග මහමෙවුනා උයන්හි සැරි සරමින් දෑසමන් මල් ස්ථාන හතකට හා සපුමල් එක ස්ථානයකට ඉසිමින් මහ පොළොව කම්පා කරවමින් මෙම උතුම් අටමහ ස්ථානයන් සලකුණු කරන ලද බව ය. වර්තමානයෙහිත් මිහිඳු හිමියන් සලකුණු කරන ලද එම අට මහා ස්ථානයන් මහා විහාර භූමිය තුළ පවතී.

ඉහත සඳහන් ඉදිකිරීම් බෞද්ධ මහා විහාරයක තිබෙන්නා වූ ප්‍රධාන අංගයන් ලෙස සැලකිය හැකි ය. ක්‍රිස්තු වර්ෂ දහවන සියවසේ දී පමණ රචිත පාලි මහා බෝධිවංසයේ අනුරාධපුර මහා විහාරය පිහිටි ආකාරය පිළිබඳ දැක්විමේ දී එය සිංහ වික්‍රාන්තියෙන් වු බව සඳහන් කරයි.

යම් සිංහයෙකු සිටගෙන දකුණුපසට හිස හරවා පිටුපස බලා සිටින්නාවු ආකාරය සිංහ වික්‍රාන්ති නම් වේ. ඒ අනුව සිංහයාගේ වල්ගය අග පිහිටි ස්ථානයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ විය. පසුපස දකුණු පාදය තැබූ ස්ථානය ලෝවාමහාපාය විය. පිටුපස වම් පාදය තැබූ ස්ථානය සන්නිපාත ශාලාව ද නාභිය පිහිටි ස්ථානය ධාතුඝරය ද උදරයේ වම්පස පිහිටි තැන රංසිමාලකය ද ඉදිරි දකුණුපය තැබූ තැන රුවන්වැලිසෑය ද උගුර පිහිටි තැන කණ්ඨක නම් පොකුණ ද හිස දකුණු දෙසට හරවා පිටුපස බැලූ කල්හි දෘෂ්ටිය වැටුණු තැන බුදු පිළිම ගෙය ද විය.

යථෝක්ත සිංහ වික්‍රාන්ති ආරාම සැලැස්මෙහි මිහිඳු හිමියන් විසින් මහමෙවුනා උයන තුළ සලකුණු කරන ලද අටමහ ස්ථානයන් අතුරෙන් වැඩි ස්ථාන ප්‍රමාණයක් සඳහන් වී ඇත. එසේම අලුතින් සකස් වු පිළිම ගෙය, ධාතුඝර වැනි අංග කීපයක් ද දක්නට පුළුවන.