Print this Article


ලෝ සත වෙත මෙත් වඩමු

ලෝ සත වෙත මෙත් වඩමු

“මහණෙනි, මේ සසුනෙහි යම් භික්ෂුවක් අසුරුසනක් ගසන කෙටි කාලයක් නමුදු සියලු සතුන් කෙරෙහි මෙත් සිත වඩනවා නම් මහණෙනි, ඒ භික්ෂුව මේ සසුනෙහි ධ්‍යාන ඇත්තෙක් බවට පත් වේ.

ලෝ සත වෙත මෙත් වඩන්නේ කෙසේද යන පැනයට පිළිතුරු මෛත්‍රී භාවනාවෙන් අපට කියා දෙයි. එහි පළමුවෙන් හුරු කරන්නේ තමාට මෛත්‍රීය වඩන ආකාරයයි. තමාට මෛත්‍රීය, ආදරය, කරුණාව නො දක්වන අයකුට අන්‍යයන්ට මෛත්‍රීය වැඩිය නො හැකි ය. ඒ නිසා,

“මම නිදුක් වෙම්වා, මම නීරෝගි වෙම්වා, මම සුවපත් වෙම්වා, මම දුකින් මිදෙම්වා, මම නිවන් ලබම්වා.”

යැයි පළමු ව තමාට මෛත්‍රී වැඩීම කළ යුතු ආකාරය දක්වා ඇත. එලෙස තමාට ආදරය, කරුණාව දක්වන්නා අනතුරුව තමා අවට සිටින සමීපතමයන් කෙරෙහි මෛත්‍රීය වඩයි. කරුණාවෙන් සලකයි. එය මෛත්‍රී භාවනාවේ දී දක්වා ඇත්තේ මෙසේ ය.

“මා මෙන් ම මාගේ මව්පිය ගුරුවරු හිතවන්තයෝ ද, මැදහත් සත්ත්වයෝ ද, වෛර නැත්තෝ වෙත්වා. තරහ නැත්තෝ වෙත්වා. නපුරු අදහස් නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. නිදුක් වෙත්වා. නිරෝගි වෙත්වා. සුවපත් වෙත්වා. දුකින් මිදෙත්වා. නිවන් ලබත්වා.

යනුවෙන් තම සමීප හිත මිතුරන්, ඥාතීන් කෙරෙහි මෛත්‍රීය වඩති. ඉන් පසු ලෝ තලයේ ජීවත් වන පෙනෙන නොපෙනෙන සියලු සත්ත්වයන් කෙරෙහි මෛත්‍රීය වැඩීමට යොමු වේ. එය විස්තර වන්නේ,

“මේ ගමෙහි ද, මේ නගරයෙහි ද, මේ ලක්දිව ද, මේ දඹදිව් තලයෙහි ද, මේ සක්වළෙහි ද වාසය කරන්නා වූ සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහ නැත්තෝ වෙත්වා. නපුරු අදහස් නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. දුකින් මිදෙත්වා. නිවන් ලබත්වා. කිසිවෙක් කිසිවකුට වෛර නො කරත්වා. කිසිවෙක් කිසිවකුට නින්දා නො කරත්වා. කිසිවෙක් කිසිවකුට අවමන් නොකරත්වා. සියල්ලන් ම සියල්ලන්ගේ ම සැප කැමැත්තෝ වෙත්වා. තුනුරුවන්ගේ අනන්ත සූවිසි මහ ගුණ බලයෙන් ලෝවැසි සියල්ලන්ට ම සැනසිල්ල වේවා” යනුවෙනි. මෙලෙස මෛත්‍රිය වැඩීමෙන් ලෝ සතුන්ගේ ද ආදරය, කරුණාව, දයාව හා මෛත්‍රිය නිරන්තරයෙන් ලබන්නකු බවට තමා ද පත්වෙයි. මෛත්‍රිය උතුරන සිතින් යුතු පුද්ගලයකුට ලැබෙන්නේ මෙවැනි ආශිර්වාදයකි.

ඉහත මෛත්‍රී භාවනාව පාලි පාඨ සහිත ව මෙලෙස ද පැහැදිලි කළ හැකි ය.

“ අන්තුපමාය සබ්බේසං
සත්තානං සුඛ කාමතං
පස්සිත්වා කමතො මෙත්තං
සබ්බ සත්තෙසු භාවයෙ”

සියලු සත්ත්වයන් සැප කැමැති බව තමා උපමා කොට බලා පිළිවෙළින් සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය කටයුතුයි.

“සුඛී භවෙය්‍යං නිද්දුක්ඛො
අහං නිච්චං මමං විය
හිතා ච මෙ සුඛී හොන්තු
මජ්ඣත්තාචථ වෙරිනො”

මම නිරතුරුව සැපවත් වෙම්වා. මා මෙන් මට හිත වූ මවුපියාදීහු ද’ මැදහත් සත්ත්වයෝ ද, වෛරී සත්ත්වයෝ ද සුවපත් වෙත්වා.

“ඉම්මහි ගාමක්ඛෙත්තම්හි
සත්තා හොන්තු සුඛී සදා
තතෝ පරඤ්ච රජ්ජෙසු
චක්කවාලෙසු ජන්තුනො”

මෙම ග්‍රාම ක්ෂේත්‍රයෙහි සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා. එයින් ඔබ්බෙහි අන්‍ය රාජ්‍යවල ද, සක්වළෙහි ද සත්ත්වයෝ සුවපත් වෙත්වා.

“සමන්තා චක්කවාළෙසු
සත්තානන්තෙසු පාණිනො
සුඛිනො පුග්ගලා භුතා
අත්තභා ව ගතා සියුං”

මෙයට හාත්පස පිහිටි සක්වළයන්හි සත්වයෝ ද, ප්‍රාණියෝ ද, පුද්ගලයෝ ද, භූතයෝ ද, ආත්ම භාවයට ගියාහු ද, සුවපත් වෙත්වා.

“තථා ඉත්ථි පුමා චෙව
අරියා අනරියාපි ච
දෙවා නරා අපායට්ඨා
තථා දස දිසාසුවාති”

ස්ත්‍රීහු ද, පුරුෂයෝ ද, ආර්යයෝ ද, පෘථග්ජනයෝ ද, දෙවියෝ ද, මනුෂ්‍යයෝ ද, සතර අපායෙහි සිටි සත්ත්වයෝ ද, සුවපත් වෙත්වා.

අනතුරුව බුදුරජාණන් වහන්සේ ක්‍රෝධය වෙනුවට සියලුම සත්ත්වයන්ට මෛත්‍රීය වඩන්නකුට ලැබෙන ආශිර්වාදයන් රැසක් මෙත්තානිසංස සූත්‍ර දේශනාවේ දී දක්වා ඇත.

“දිනක් බුදුරජාණන් වහන්සේ කොසොල් රට සැරි සරන අතරේ දී භික්ෂූන් වහන්සේ අරමුණු කොට අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දේශනා කළහ. මෙම සූත්‍රය ඇසූ භික්ෂූන් සැට නමක් රහත් වූහ. සැට නමක් ලේ වමාරන්නට වූහ. තවත් සැට නමක් සිවුරු හැර ගිහි වන්නට විය. මෙසේ දම් දෙසා නැවත දෙව්රම් වෙහෙරට වැඩම කළ පසු වෙහෙරේ වෙනදා මෙන් භික්ෂූන් නැති බව දුටු බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන්ගෙන් කරුණු විමසී ය. එවිට අනඳ තෙරණුවෝ මෙසේ පැහැදිලි කළහ.

භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දේශනා කිරීම නිසා භික්ෂූන් සංවේගයට පත් ව අපට මේ ශාසනයේ පිළිවෙත් පිරීමට නො හැකි බවත්, නො මනා පැවතුම් ඇති ව සැදැහැතියන්ගේ දන් පිළිගැනීම නුසුදුසු බවත් පවසා සිවුරු හැර ගියහ. මේ පුවත ඇසූ බුදුහු ධර්ම සංවේගයට පත් වූහ. ඉක්බිති ව අනඳ තෙරුන් ලවා භික්ෂූන් රැස් කරවා මෙසේ දේශනා කළහ. ගඟකට බසින්නට බොහෝ තොටුපලවල් ඇත්තාක් මෙන්, මෙම සසුනෙහි සැනසෙන්නට බොහෝ දේ තිබෙන බව යි.

“මහණෙනි, මේ සසුනෙහි යම් භික්ෂුවක් අසුරුසනක් ගසන කෙටි කාලයක් නමුදු සියලු සතුන් කෙරෙහි මෙත් සිත වඩනවා නම් මහණෙනි, ඒ භික්ෂුව මේ සසුනෙහි ධ්‍යාන ඇත්තෙක් බවට පත් වේ. දායකයින් දෙන දන් වැළඳීමට සුදුස්සෙකු බවට පත් වේ යැයි දේශනා කළහ.”

තවදුරටත් කරුණු ඉදිරිපත් කළ බුදුරජාණන් වහන්සේ ක්‍රෝධයෙන් හා වෛරයෙන් තොර ව මෛත්‍රීයෙන් සිත පුරවා ගත්තකුට ලැබෙන ආනිශංස එකොළහක් මෙසේ දේශනා කළහ. එනම්,

“සුඛං සුපති. සුඛං පටිබුජ්ක්‍ධිති. න පාපකං සිපිනං පස්සති. මනුස්සානං පියො හොති. අමනුස්සානං පියො හොති. දෙවතා රක්ඛන්ති. නාස්ස අග්ගිවා විසං වා සත්ථං වා කමති. තුවටං චිත්තං සමාධියති. මුඛ වණ්ණො විප්පසීදති. අසම්මුළ්හො කාලං කරොති. උත්තරිං අප්පටිවිජ්ඣන්තො බ්‍රහ්ම ලොකුපගො හොති.”

සැප සේ නිදයි, නපුරු සිහින නො දකියි, අමනුෂ්‍යයන්ට ද පි‍්‍රය වේ, සිත එකඟ වේ, නො මුළාව කළුරිය කරයි, ගිනි, විෂ, ආයුධ ආදියෙන් වන විපතක් නැත, මෛත්‍රීය සමවතින් මතු රහත් වන්නට නොහැකි වී නම් මරණින් මතු බඹලොව උපදියි. සැප සේ අවදි වේ, මිනිසුන්ට පි‍්‍රය වේ, දෙවියෝ රකිති, මුහුණ පැහැපත් වේ.

මේ සූත්‍රය අවසන් වන විට එතෙක් භික්ෂූන්ගේ සිතෙහි පැවති කනගාටුව, කළකිරීම, සන්තාපය නැති වී ගොස් පී‍්‍රතිය ඇති විය. භික්ෂූහු තුටු සිතින් යුතු ව වීර්යයෙන් මඟඵල ලබන්නට කටයුතු කළහ. ඊට අමතර ව ඛන්ධ පරිත්ත දේශනාවේ ද මෛත්‍රී පූර්වක ව ක්‍රියා කිරීම පුද්ගලයාට බාහිර ව වන විෂකුරු සතුන් වැන්නන්ගේ උපද්‍රවවලින් මිදීමට හේතු වන ආකාරය පහත අයුරින් දේශනා කර ඇත. එනිසා මිනිසුන් පමණක් විෂයෙහි නො ව, සතුන් කෙරෙහි ද මෛත්‍රී චිත්තයෙන් ක්‍රියා කිරීම සැපත පිණිස හේතු වන බව මෙමඟින් පැහැදිලි වේ.

“සබ්බේ සත්තා සබ්බේ පාණා
සබ්බේ භූතා ච කෙවලා
සබ්බේ භද්‍රානි පස්සන්තු
මා කඤ්චි පාපමාගමා”

හැම සත්ත්වයෝ ද, හැම ප්‍රාණීහු ද, සියලු භූතයෝ ද යන හැම දෙනා ම යහපතක් ම දකිත්වා. මොවුන් කෙරෙහි කිසිත් කරදරයක්, දුකක් නො පැමිණෙත්වා.

මෛත්‍රී සිත් පෙරටුව තිරිසන් සතුන් වෙත ද කරුණාවෙන් බලා කටයුතු කිරීම පුද්ගල සැනසීම පිණිස හේතුවන ආකාරය මෙම සූත්‍රයෙන් ද පැහැදිලි වේ. සතුන්ට පවා ආදරයෙන්, කරුණාවෙන් හා මෛත්‍රියෙන් කටයුතු කිරීමෙන් තිරිසන් සතුන් වුවත් අපට අනතුරක්, පීඩාවක් හෝ කරදරයක් නො කරන බව මෙම කරුණුවලින් පැහැදිලි වේ. එබැවින් ක්‍රෝධයෙන් පහ වූ සිත් ඇති ව, මෛත්‍රීයෙන් අනූන වූ සිත් ඇති ව ජීවත් වීම සැපය, සතුට පිණිස වන බව අවබෝධ කර ගත හැකි ය. කරණීය මෙත්ත සූත්‍රයේ දී ද මෛත්‍රී චිත්තය වැඩීමේ වැදගත්කම, හරවත් බව මෙසේ තේරුම් කරයි.

“මෙත්තං ච සබ්බලොකස්මිං
මානසං භාවයේ අපරිමාණං
උද්ධං අධො ච තිරියං ච
අසම්බාධං අවෙරං අසපත්තං”

“තිට්ඨං චරං නිසින්නො වා
සයානො වා යාවතස්ස විගතමිද්ධො
එතං සතිං අධිට්ඨෙය්‍ය
බ්‍රහ්මමෙතං විහාරං ඉධමාහු”

සිටගෙන හෝ ඇවිදින හෝ හිඳින හෝ නිදන හෝ යන මේ සෑම අවස්ථාව ක ම මෛත්‍රී සහගත සිහියෙන් සිටිනු කැමැත්තේ ද, ඒ තාක් කල් පහ වූ මිද්ධය හා අලස බව ඇති ව අධිෂ්ඨාන කරන්නේ ය. මෙම මෛත්‍රී විවරණය මේ බුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ඨ ම විවරණය වේ. මෙයින් පැහැදිලි වන්නේ සිටින, ඇවිදින, සිටගෙන හා නිදන යන ඉරියව් සතරේ දී ම මෛත්‍රී පූර්වාංගම කුසල සිතින් ක්‍රියා කිරීම යහපත පිණිස, ජීවිතයේ දියුණුව පිණිස හේතුවන බව ය.

මේ කරුණු සියල්ල නුවණින් තේරුම් ගනිමින් සියලු සත්ත්වයන් කෙරෙහි ඇති කරගත් කාරුණික සිතක් හා හෘදයාංගම දයාවක් සහිත ව මෛත්‍රීය සහගත චේතනාවන් ගෙන් ජීවිතය ගවසා ගෙන, මෙලොවත් පරලොවත් සැපය පිණිස ක්‍රෝධය, වෛරය, ද්වේෂය, තරහව නම් වූ අකුසල චිත්ත චෛතසිකයන් දුරින් ම දුරු කිරීමට මෙලෙස ධර්මයෙන් ලැබෙන මඟ පෙන්වීම නිවැරදිව තේරුම් ගත යුතු ය. ක්‍රෝධයේ ආදීනව මෙලොව පරලොව දුගතිය පිණිස බලපාන අයුරු සිහියෙන් දැකිය යුතු ය. සුවපත් මනසක් සහිත ජීවිතයක් ගත කළ හැක්කේ එවිට ය.

සිතකය වදනින් මෙත් ගුණ මතුවී
සාමය සමගිය ලෝ තුළ පැතිරී
සැමදෙන එක මවකගෙ දරු කැළ සේ
සොම්නස් වෙත්වා සැන සෙත්වා

සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා. නීරෝගි වෙත්වා. සුවපත් වෙත්වා.